අධ්‍යාපනික

ඉන්දියානු සමාජයීය මඩගොහොරුව ප්‍රේමයේ කහ දියරයෙන් තෙත්කල ‘ප්‍රේම්චාන්ද්’

Off

උර්දු බසින් ‘මුන්ෂි’ යනු ගුරුවරයා හෙවත් ආචාර්යවරයා වේ. අතීත ඉන්දියාවේ නැගෙනහිර සහ නිරිත දිග පළාත්වල උර්දු බසට මුල්තැන ලැබුණු සමයන්හි මුන්ෂි යන වදන භාරතය තුල සුප්‍රකට වදනක්ව පැවතිනි. මුන්ෂි ප්‍රේම්චාන්ද් ඉන්දියානු ලියවිල්ලට සැබෑ ලෙසින්ම ගුරුවරයෙක් වූ බව ඔහුගේ ඉතිහාසය සාක්ෂි දරණු ඇත. හින්දි බසින් සහ උර්දු බසින් ලේඛනයේ යෙදුනු ප්‍රේම්චාන්ද් ඉන්දියානු සාහිත්‍යයේ ප්‍රමුඛතම ලේඛකයා බවට අදටත් පිළිගන්නා කරුණක් වන හෙයින් ඔහුගේ ඉතා කෙටි ජීවිත කාලය තුලින් උගතයුතු පාඩම් බොහොමයක් තිබේ.

සමාජ විවේචකයා

කෙටි කතාවේ නොමැකෙන ලකුණක් වූ ප්‍රේම්චාන්ද් විටෙක ප්‍රේමයෙන් සමාජයේ දුර්වල තැන් නිවැරදි කිරීමට උත්සහ දැරූ අතර, ඇතැම්විට ඉතා රළු සහ උපහාසාත්මක විවේචනයන් තුලින් කුල ක්‍රමයේ පීඩනය, කාන්තාව කෙරෙහි ඇති සමාජ අසාධාරණය, දරීද්‍රතාවයෙන් පීඩාවිඳින සමාජය පිළිබඳව මෙන්ම අන්ධ ආගමික විශාවසයන්ටද එල්ලකලේ මරු පහරක්ය.

ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනය පැවති අවධියේ බරණැස් නුවර ඈත කෙළවර ලමාහි නම් ග්‍රාමයේදී 1880 උපන් ප්‍රේම්චාන්ද්ට සිය මවගේ උණුහුම අහිමිවන්නේ යාන්තමින් වයස අවුරුදු අට පසුවෙද්දීය. නැවත විවාහපත්වූ ඔහුගේ පියා තැපැල් ලිපිකරුවෙක් ලෙසින් සේවය කරමින් කුඩා ප්‍රේම්චාන්ද්ට ගුරුකා විද්‍යාලයෙන් අකුරු උගැන්මට අවස්ථාව ලබාදුනි. දාන්පත් රායි ශ්‍රීවාස්තව් ලෙසින් නම් ලද ප්‍රේම්චාන්ද් තමන්ගේ මුල්ම කෘතියේ නම ලෙස භාවිතා කලේ ‘නවාබ් රායි’ යන්නය.

ලේඛකයාගේ කලඑළිය

ඉගනීමට දක්ෂයෙක් වූ ප්‍රේම්චාන්ද පසුකලෙක ගුරුවරයෙක් වශයෙන් සිය ජීවිකාව ආරම්භ කරද්දී පවා දක්ෂ ලේඛකයෙක්ගේ පෙරමග ලකුණු ඔහු කෙරෙන් දිස්වන්නට විය. කලා උපාධිය සමත්වන්නට ඉංග්‍රීසි සහ පර්සියන් සාහිත්‍ය උගත් ප්‍රේම්චාන්ද්ගේ සිත සාහිත්‍යලෝලීවීම වළක්වන්නට බැරිවිය. වයස අවුරුදු 28දී සිය ප්‍රථම කෙටි කතා එකතුව දැඩි දේශප්‍රේමී නිර්මාණයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් ඉන්දියාව යටත් කරගෙන සිටි බ්‍රිතාන්‍ය කිරීටය දැඩිව විවේචනය කිරීම වරදක් ලෙස වරදවා අර්ථකථනය කල බ්‍රිතාන්‍ය පාලනය ප්‍රේම්චාන්ද දිස්ත්‍රික් අධිකරණය ඉදිරියට පමුණුවා සියලුම පොත් පිටපත් ගිනිතබන ලෙසත් නැවතත් එවැනි ආකාරයේ පොත් නොලියන ලෙසටත් තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීය.

ඒ සිදුවීමෙන් ඇතිවූ ආවේගය පන්නරයක් බවට පත්කරමින් ‘ප්‍රේම්චාන්ද්’ නැමති සාහිත්‍යකරුවා බිහිවීම සිදුවිය. ඉන් පසුව හෙතෙම ඉතාම සූක්ෂම ලෙසින් සමාජ ස්ථරයන් අධ්‍යනය කරමින් ලේඛනයේ යෙදෙන්නට විය.හින්දි සහ උර්දු බසින් සමාජයේ ගැඹුරු තැන් ස්පර්ශ කරමින් ලේඛනයේ යෙදුණු ප්‍රථම ලේඛකයා බවට පත්වූ ප්‍රේම්චාන්ද් සමාජයේ ඇති අසාධාරණ බෙදීම දැඩි පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන ලද්දේ සැබෑ සමාජවාදී සහිත්‍යධරයේක ලෙසින්ය. එක් පැත්තකින් එය ඊනියා සමාජවාදී ලේඛකයන්ට හිස අතගා ටොකු අනින්නාක් මෙන් විය.

උර්දු සහ හින්දි

1918 වසරේදී මොහන්දාස් කරම්චාන්ද් ගාන්ධි හෙවත් මහත්මා ගාන්ධි විසින් නිදහස් සටන අතරතුර ඉන්දියාවේ නිල භාෂාව ලෙස හින්දි භාෂාව නම්කිරීමත් සමග වැඩි පිරිසකට ආමන්ත්‍රණය කිරීමේ අරමුණින් ප්‍රේම්චාන්ද් සිය ලේඛනය හින්දි බසින් හැසිරවීම ඇරඹීය. 1921 රාජ්‍ය සේවය ප්‍රතික්ෂේප කිරීමේ ව්‍යාපාරයට සහය දක්වමින් රාජ්‍ය සේවයෙන් ඉවත්වූ ප්‍රේම්චාන්ද් කුඩා පරිමාණයේ මුද්‍රණාලයක් මිළට ගෙන ‘සරස්වතී මුද්‍රණාලය’ ලෙසින් නම්කර පූර්ණකාලීනව ලේඛන කලාවේ යෙදීම ඇරඹීය. එය ඔහුගේ ජීවිතයේ විශාලතම හැරවුම් ලක්ෂයක් බවට පත්විය. එහිදී විවිධ සඟරා සහ පොත් ප්‍රකාශයට පත්කළද ආර්ථිකමය අගහිඟකම් නිසා ඒ අතරම ඔහු මාධුරී නම් හින්දි සඟරාවේද කර්තෘ පදවිය දැරීය.

කර්මභූමී, සාත්රාන්ජ් කේ කිලාඩි, නිර්මලා (1925), ප්‍රතිග්‍යා(1927) ඔහුගේ සුවිශිෂ්ටතම නිර්මාණ අතරින් කිහිපයකි. එයින්ද නිර්මලා යනු එකල මෙන්ම අදද ඉන්දියානු ජනසමාජය තුල පිළිලයක්ව පවතින දෑවැදි ක්‍රමය දැඩියේ හෙළාදකිමින් රචනා කරන ලද කෘතියකි. 1930 සිට ප්‍රකාශයට පත්කල හාන්ස් සඟරාව තුලින් බ්‍රිතාන්‍ය පාලනය දැඩි උපහාසයකින් යුතුව නිර්දය ලෙස විවේචනය කල ප්‍රේම්චාන්ද්ට එරෙහිව විවිධ බාධක සහ හිරිහැරකිරීම් සිදුකලද ඔහුගේ ක්‍රියාකාරිත්වය නතර නොවුණි.

ජීවිතයේ ගමන්මග

1934 බොම්බායට පැමිණි ප්‍රේම්චාන්ද් සිය ආර්ථික අහේනිකම් දැඩිව ඔහුට වද දෙද්දි හින්දි සිනමාව තුල සිය ලේඛනයේ මංපෙත් විවර කරමින් ‘මර්සූද්’ චිත්‍රපටය වෙනුවෙන් තිර රචනයෙන් දායක විය. ඒ නිසා ඔහු උපයාගත් මුදල්වලින් සාපේක්ෂව යහපත් ජීවිතයක් ගතකිරීමට හැකිවිය. නැවතත් 1936 වසරේ අලහබාද් නුවරට පැමිණ එහි ජීවත්වූ ප්‍රේම්චාන්ද් විවිධ රෝගාබාධවලින් දැඩිසේ පීඩා විඳින්නට විය. එහිදී ඔහුගේ අවසන් කෘතිය වූ ‘ගොදාන් උපන්යාස්’ අවසන් කළ ප්‍රේම්චාන්ද් එම කාලයේදීම ලක්නව් නුවර ප්‍රගතිි ප්‍රකාශක සංගමයේ ප්‍රථම සභාපතිවරයා ලෙසද තෝරාපත්කරනු ලැබීය. නමුත් එහි ක්‍රියාකාරීවීමටත් පෙර මරණයේ මංපෙතට පය තැබූ ප්‍රේම්චාන්ද් 1936 ඔක්තෝම්බර් 8 වැනි දින සදහටම දෙනෙත් පියාගත්හ.

සමාජ යථාර්ථය පිළිබඳව ඉතා ගැඹුරින් ලියාතැබූ ප්‍රේම්චාන්ද් නැමති සාහිත්‍යවේදියාගේ සංකල්පනා සහ දේශපාලනික අදහස් අදටත් ලෝකයටම යථාර්ථයේ අකුරු කියාදෙමින් සිටිති. ඉන්දියානු සමාජයේ එකල පැවති පරිහානිය පිටුදැක ප්‍රබෝධවත් හෙටක් දැකීම ප්‍රේම්චාන්ද්ගේ එකම අරමුණවූ බවත් ඔහු දැඩිසේ මිනිසුන්ට ප්‍රේමකල බවත් ඔහුගේ කෘතීන් තුලින් අදටත් කියාදෙන සත්‍ය වන බව සැකයක් නැත.

අපේ ඉසව්ව

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල