කාලීන සංවාද

කොරෝනා භීෂණය

0

මේ වන විට නව කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රමාණය 7,815 දක්වාත්, ආශ්‍රිත මරණ ගණන 170 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. අසල්වැසි ඉන්දියාවෙන් සහ පිලිපීනයෙන්ද නව කොරෝනා රෝගීන් හමු වීමත් සමඟ මේ වන විට චීනයෙන් පිටත රටවල් හා ප්‍රදේශ 20ක් කරා වෛරසය ව්‍යාප්ත වී තිබෙනවා. නව කොරෝනා වෛරසය ආසාදනය වූ අයගෙන් මිය ගොස් තිබෙන්නේ 2.2% ක් පමණයි.

මීට පෙර, 2002-2003 වසර වලදී ව්‍යාප්ත වූ සාර්ස් කොරෝනා වෛරසය රටවල් 29ක පැතිරී 8,098 දෙනෙකු ආසාදනය වුනා. ඔවුන්ගෙන් 774 දෙනෙකු මිය ගියා. ඒ අනුව, සාර්ස් මරණ අනුපාතය 9.6%ක් වුනා. ඉන් පසුව, 2013-2015 කාලයේ පැතිරුණු මර්ස් කොරෝනා වෛරසය රටවල් 26ක 1227 දෙනෙකුට වැළඳී ඔවුන්ගෙන් 449 දෙනෙකු මිය ගියා. එය 37%ක මරණ අනුපාතයක්.

කොරෝනා වෛරස් වර්ග නිසා ඇති වන අතුරු ආබාධ වලට ප්‍රතිකාර කරනු මිස වෛරසය මැඩලිය හැකි ඖෂධ නැහැ. එහෙත්, මිනිස් සිරුරේ ඇති වන ස්වභාවික ප්‍රතිශක්තියෙන් බොහෝ දෙනෙකුට වෛරසය මැඩ පැවැත්විය හැකියි. වයස්ගත හා වෙනත් රෝගී තත්ත්වයන් ඇති අය හැර සාමාන්‍යයෙන් නිරෝගී බොහෝ දෙනෙකුට නව කොරෝනා වෛරසය මැඩ පවත්වා ගැනීමට හැකි වී තිබෙනවා. සාර්ස් හා මර්ස් කොරෝනා වෛරස වලට සාපේක්ෂව නව කොරෝනා වෛරසය වැළඳුනු අයෙකු මිය යාමේ ඉඩකඩ කිහිප ගුණයකින් අඩුයි.

කෙසේ වුවත්, මරණ අනුපාතිකය අඩු මට්ටමක තිබීම නිසා නව කොරෝනා වෛරසය සාර්ස් හා මර්ස් කොරෝනා වෛරස වලට වඩා අඩුවෙන් භයානක බව කියන්න බැහැ. මෙය භයානක වන්නේ මරණ අනුපාතිකය නිසා නෙමෙයි. වෛරසය ව්‍යාප්ත වන වේගය නිසයි. සාර්ස් වෛරසය 8,098 දෙනෙකුට ආසාදනය වුනේ මාස අටක පමණ කාලයක් තුළයි. මරණ අනුපාතය වැඩි වුවත්, මරණ ගණනින් හා ආසාදිතයින් ප්‍රමාණය අනුව සාර්ස් වෛරසය තරම් බලපෑමක් නොකළ, මර්ස් වෛරසය පැතිරුනේත් මාස ගණනාවක කාලයක් තුළයි. නමුත්, නව කොරෝනා ආසාදිතයින් ගණන 7,815 දක්වා ඉහළ ගොස් තිබෙන්නේ සති හයක පමණ කාලයක් ඇතුළතයි.

මේ වන විට හඳුනාගෙන ඇති මුළු නව කොරෝනා ආසාදිතයින් ගණන ලොව පුරා සිටි සාර්ස් ආසාදිතයින් ගණනට ආසන්නයි. චීනයේනම් සාර්ස් ආසාදනය වූ ගණනට වඩා නව කොරෝනා ආසාදිතයින් ගණන දැනටමත් ඉක්මවා අවසන්. නව කොරෝනා වෛරසයේ මෙන්ම සාර්ස් වලද ආරම්භක රට වූ චීනයෙන් හඳුනාගත් මුළු සාර්ස් ආසාදිතයින් ගණන 5327ක් පමණයි.

සංසන්දනාත්මකව, 774ක් වූ සාර්ස් මරණ ප්‍රමාණයට සාපේක්ෂව 170 මට්ටමේ දැනට තිබෙන නව කොරෝනා මරණ ප්‍රමාණය අඩුයි. එහෙත්, නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වන්නේ මීට පෙර සාර්ස් හා මර්ස් කොරෝනා වෛරස ව්‍යාප්ත වූවාට වඩා බොහෝ වේගයෙන්. නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම කෙසේ හෝ පාලනය කර නොගත්තොත් මේ රෝගය ආශ්‍රිත මරණ අනුපාතය පහළ මට්ටමක තිබුණත්, මරණ ප්‍රමාණය වැඩි වීමේ අවදානමක් තිබෙනවා.

රෝගයේ ස්වභාවය අනුව චීනය විසින් කරන්නේ කළ යුතු හොඳම දෙයයි. රටක විශාල කොටසක් හුදෙකලා කිරීම චීනය වැනි රටකට මිස ඇමරිකාව වැනි රටකට ලේසියකින් කළ නොහැකි දෙයක්.

යාවත්කාලීන කිරීම:

මේ වන විට, නව කොරෝනා වෛරස ආසාදිතයින් ගණන 9,692 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මරණ ප්‍රමාණයද 213 දක්වා ඉහළ ගිහින්. එක් සතියක් ඇතුළත නව කොරෝනා වෛරස් ආසාදිතයින් ගණන දස ගුණයකින් වැඩි වීම ඇතුළු තවත් කරුණු සලකා බලමින් මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජාත්‍යන්තර සැලකිල්ලට බඳුන් විය යුතු මහජන සෞඛ්‍යය පිළිබඳ හදිසි ආපදා තත්ත්වයක් (Public Health Emergency of International Concern) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඉකොනොමැට්ටා

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල