කාලීන සංවාද

භික්ෂූන් රජ කර බලාපොරොත්තු වන්නේ මෙවන් සමාජයක්ද…? – If, Sri Lanka Govern by Buddhist Monk…

Off

මේ සමාජය ගැන තද බල කළකිරීමක් නැවතත් ඇති වී ඇත. මනුෂ්‍යත්වය හා මිනිස්කම් වලට කිසිම තැනක් නැත. ප්‍රචන්ඩත්වය පිලිකුල් කරනා මිනිසුන්ම, ප්‍රචන්ඩත්වය උත්කෘෂ්ඨත්වයට නගයි. ප්‍රචන්ඩත්වය සාධාරණීකරනයට ලක් කරයි. ප්‍රචන්ඩත්වය ප්‍රචන්ඩ මිස, එය සුමට, මට සිලිටු, සාධරණීකරණය කළ හැකි දෙයක් නොවේ. එසේ නම්, එවන් වචන හා ක්‍රියාවන් දෙකක් තිබිය නොහැක. මේ ළොව පිලිගත් මානුෂික අයිතිවාසිකම් කියා දෙයක් ඇත. දරුණු ත්‍රස්තවාදියෙක් වූවද, යටත් වූ පසු හෝ තුවාල ලබා අත් අඩංගුවට පත් වූ පසු, මරා දැමීමේ සිරිතක් නැත. එය ඇමරිකාව සිඳු කළද, අප විසින් සිඳු කළද, ත්‍රස්තවාදීන් විසින් සිඳු කළද අසම්මත, අවිනීත හා විනය විරෝධි ක්‍රියාවකි. එය විවේච්නයට බඳුන් වීම නොවැලක්විය හැක.

එමෙන්ම මුනිවරයකු වුවද, ඇමතිවරයකු වුවද, දානපති උපාසක මහතකු වුවද, මිනිමැරීමක්, හොරකමක්, දූෂණයක් සිඳු කලේ නම්, එය ඔහු කළ පුණ්‍ය ක්‍රියා හේතුවෙන්, අහෝසි කම්මයක් වන්නේ නැත. ආගම අනුවද එසේමය. නීතිය අනුවද එසේමය. එහෙත් ලංකාව යනු නීතීය සාධාරණ ලෙස, සැමට එක ලෙස ක්‍රියාත්මක නොවන රටක් හේතුවෙන්, ජනාධිපති සමා යටතේ, ස්ත්‍රී දූෂකයන් සාමදාන විනිශ්චය කරුවන් වේ. මිනීමරුවන් නැවත සමාජයට එක් වේ. සමහර මිනීමරුවන්, පාර්ලිමේන්තුවේද සිටි. එවන් රටක, එක අතකින් බැලූ කල, මඩකලපුවේ භික්ෂුවගේ ක්‍රියාදාමය පුදුමයට කරුනක් නොවේ.

මේ වැපිරූ බීජ වල ඵල නෙලන කාළයයි. මෙරටට බුද්ධාගම වැඩම වූ දා සිටම, භික්ෂුවගේ පැවත්ම රඳා පැවතියේ, රජවරුන්ගේ කැමත්ත අකමැත්ත මතය. හින්දු ආගම කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති රජවරුන් පාළණයට පැමිණි කළ, බුද්ධාගමට හා භික්ෂුවට අත් වූයේ ඉතා කනගාටුදායක ඉරණමකි. එමෙන්ම එකල පැවති මහායාන හා ථේරවාද කල්ලි ක්‍රමය හේතුවෙන්, එක් කල්ලියක් බැට කෑ වාර, ඉතිහාසයේ ඕනෑ තරම් ඇත. පන්සල් ගිනි බත් කෙරු අවස්ථාවන්ද, භික්ෂූන්, වන වැද, ජීවිත බේරා ගත් අවස්ථාවන්ද බොහෝමය. කෙසේ හෝ, නැත්තටම නැතිවී තිබු බුද්ධාගම, නැවත මතුවන්නේ, වැලිවිට ශ්‍රී සරණංකර සමයේ, දේශපාළණ වුවමනා මත, නැවත් මෙරට උපසම්පදා භික්ෂූ පරපුරක් ඇති කිරීමෙන් පසුය. 12 වන සියවසේ සිය 17 වන සියවස දක්වා බෞද්ධාගම ගැන හෝ භික්ෂූන් ගැන, ඉතිහාසයේ සඳහන් නොවන්නේ එබැවිනි.

යටත් විජිතයක් වීමෙන් පසුත්, මල්වතු අස්ගිරි විහාරයන්, බ්‍රිතාන්‍ය කිරීටයේ අතකොලු වන්නේ, රජුන්ගෙන් මිස ජනතාවගෙන් තමන්ට පැවත්මක් නොමැති බව, නිවන් මගටත් වඩා හොඳින් අවබෝධ කරගෙන සිටිනා නිසාවෙනි. භික්ෂුවක් හෝ දෙදෙනෙකු බ්‍රිතාන්‍යන්ට එරෙහි කැරළි හා බැඳෙන මුත්. බහුතර භික්ෂූන් හා පන්සල්, ඒ සඳහා කිසිදු දායකත්වයක් නොදක්වන්නේ, රාජ්‍යයෙන් තම පැවත්මට කිසිඳු හෝ බාදාවක් නොමැති නිසාත්, විශාල නින්දගම් හා දේපල, ඔවුනට ලැබෙන නිසාමය.

එහෙත්, නිදහසින් පසු, සමාජවාදි අදහස් හා ධනවාදි අදහස් පිරි පාළකයන්ගේ ආන්ඩු යටතේ ගිලිහෙන තම ආධිපත්‍ය, නැවත් ලබා දෙන්නේ 56 විප්ලවවාදියා විසිනි. එසේ ලබාදීමේ මහා පුණ්‍ය කර්‍ම්යට, ඔවුන් කෘතුගුණ සළකුනුයේ, විප්ලවවාදියාගේ පපුව හරහා මූනිස්සම් වැඩම කරවීමෙනි. ඒ ඔවුනට අවැසි ලෙස, ඔවුනට අවශ්‍ය වූ දේ ඉටු කර ගැනීමට නොහැකි වූ නිසාවෙනි. ජනරංජන මනරංජන නාමයන්ගෙන් පුද ලද මහින්ද රාජපක්ෂ රජතුමා සමග ඒ සෙල්ලම් දැමීමට කිහිප විටක්ම උත්සාහ කළ මුත්, ඒ සියල්ල ව්‍යවර්ත වී, දෙන දේ කා වෙන දේ බලාගෙන සිටිනා පිරිසක් වීම එක අතකින් සතුටු දායක් වූවද, ප්‍රධාන රාමුවෙන් පිට, භාහිරව ගොඩ නැඟූ, කරා බෞද්ධාගමේ ආදිනව, අද ඔහුටම පරා වලල්ලක් ලෙස කැරකී ඇති බව, ඕනෑම කෙනෙකුට වැටහී යනු ඇත.

ඔහු ගොඩ නැගුවේ, උගත් සිල්වත් ධර්මධර භික්ෂූන් පිරිසක් නොව, අවශ්‍ය විටෙක මහින්ද කහඳගමගේ ගේ පේමන්ට් හමුදාව මෙන්, ඕනෑම වලියකට සූදානම්, මරාගෙන මැරෙණ, සුවිසයිඩ් භික්ෂු පෙරමුණකි. බෝ පැලයක් දුටු විට එතන මඩුවක් සාදා, බිස්නස් එකක් ආරම්බ කිරීම, හංදියක් හංදියක් ගානේ බුදු පිලිම ඉඳිකර, මහ පත ලවුස්පීකරයක් කණුවක බැඳ, දෙසන්නේ, පිවිතුරු බුද්ධාගම නොව. අඩෝ තෝ කැමති උනත් නැති උනත් අහපන් ඩෝ. මේ තමයි අපේ බුද්ධාගම. නිවන් දකින්න පස්සේ පුළුවන් ඩෝ. ඉස්සෙල්ලා රට බේරාගෙන ඉන්න ඕන ඩෝ. ඊට විරුද්ධව එන ඕන එකෙකුට, අපි දෙනවා ඩෝ කන පැලෙන්න. අපි කියන දේ කොරන්න බැරි නම්, තොපිලට අබ සරණයි ඩෝ, වර්ගයේ මූලධර්මවාදි අමුතුම ආගමකි.

ඒය ථේරවාදද මහායානද යන්න අපට පැහැදිලි කොට දිය යුත්තේ, මහා නායක හිමිවරුන් විසින්. එහෙත් ඔවුන්ද මේව දැක දැක් නිහඬව ඉන්නේ, ඔවුන් බලාපොරොත්තු වන්නේද, මේ ආධිපත්‍යම වන බැවිනි. එහි සීලයක් නැත. ඇත්තේ බලහත්කාරයම පමණි. මඩකලපුවේ චන්ඩියා කියන්නේ මේ කතාවයි. ඔහු ආන්ඩුවේද, ජනාධිපති තුමාගේද, ඇමතිවරියගේද, නිළධාරීන්ගේද පලු අරින්නේ, අඩෝ මගේ බිස්නස් එකට, තොපෙන් කිසි සපෝට් එකක් නෑ ඩෝ කියනා පණිවිඩයයි. මොවුන් ෆෝම් කරන්නේද ආන්ඩුවමය. ඒ උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිංහල ජනයා පදිංචි කරවීමේ ක්‍රීයාවලිය තුලිනි. දැන ගත් ආකාරයට, මොහු යුධ සමයේ, මෙහි වැඩ වාසය කළ පුද්ගලයකු නොවේ.

උතුරු නැගෙනහිර සිංහලයන් පදිංචි කිරීම ආන්ඩුවේ කටයුත්තකි. එහෙත් එහි නායකත්වය පන්සලට පැවරීම, නොම්මර එකේ ගොන් කමකි. ඒ සඳහා ආන්ඩුවේ නිළධාරින් සිටිති. මෙහිදි කරනා නොම්මර එකේ ගොන් කම, හමුදාවටත් ඉහලින් පන්සල තැබීමයි. පොලීසිය නීතීය ක්‍රියාවේ යෙදවීමට නොහැකිව අන්ත අසරණව ඉන්නේ මේ හේතුවෙනි. ඔවුහු සියල්ල ආන්ඩුවෙන් බලාපොරොත්තු වෙති. ඔවුන් විනයධර භික්ෂූන් නොවේ. ඔවුන් බුද්ධ ධර්මය කිසිත් නොදනි. මෙය අසත්‍යයක් නම්, ඉත්තෑපානේ හාමුදුරුවන්ගේ ධර්‍ම දේශණවකට සවන් දීමෙන්, ඒ බව හොඳින්ම වටහා ගත හැක.

ලව්ස්පීකර දමා ගමටම දෙන්නේ මල්වත්ත පාරේ විරිඳුය, මොහොදීන් බෙග් ගේ පට්ට පරන සිංදුය, නැතිනම් වැදූ මව්ද එපා කරවන මව් ගුණ ගායනා සී ඩී එකකි. එවායෙන් බුදුන් දෙසු ධර්මය ප්‍රචාරය වන්නේම නැත. ඔවුන් වෙනත් සමාජ සේව කරනවා වන්නට පුළුවන. එහෙත් බලෙන් පින් කරපන් ඩෝ. මට මෙච්චර දියන් ඩෝ, අච්චර දියන් ඩෝ. ලයිට්, වතුර, ඉඩ කඩම්, නිකන් දියන් ඩෝ. අරු තම්බි නිසා එලවපන් ඩෝ කියමින්, මිනිස් සිත් තුල වෛරය ක්‍රෝධය ඉරිසියාව හා නොමිනිස්කම වපුරනවා විනා, බුදු හිමියන් දෙසු මහා කරුණාව කිසි දිනක දෙසන්නේ නැත.

ඉත්තෑපානේ සත්තම දමන්නට ගොස් ඉල්ලාගෙන වැළඳුවේ මේ මෑතකය. එහෙත් එහිදි හාමුදුරුවන් මෙන්ම, නිළධාරියාද හැසිරුනු ආකාරය ඉතා ඉහලය. හාමුදුරුවන් කලේ කිසි සේත්ම අනුමත කළ හැකි ක්‍රියාවක් නොවුනද, ඔහු තුලින්, ප්‍රචන්ඩත්වයක් ඉස්මතු වූයේ නැත. එහෙත් මෙහිදි, නිළධාරියා මෙන්ම, හාමුදුරුවන්ගේ ක්‍රියා කලාපයද, කිසි සේත් අනුමත කළ නොහැක. හාන්දුරුවෝ ගෑණුත් සමඟ නිදි වැඳිම, විදුලිය විසන්ධි කිරීමට යන පුද්ගලයාට අදාල නැත. එය අදාල වන්නේ, එසේ නිදි වදිනාවා නම්, එම උපාසිකාවන්ගේ පවුල් වල උදවියටය. ඔහුට තිබෙන්නේ විදුලිය විසන්ධි කර, භික්ෂුවට එරෙහිව නඩු පැවරීමය.

නිළධාරියාගේ වාසනාවට, මොවුන් තවමත් අවි ආයුධ වලින් සන්නද්ධ කොට නොමැත. එහෙත් සම හරක් එසේ සන්නද්ධ කළ බවටද කට කතා ඇත. එසේ කළේ නම් ඒවා නැවත ලබා ගැනීම කාගේ කාගේත් ශරීර සෞඛ්‍යයට හොඳය. අද මෙම නිළධාරියාට එල්ලවන ප්‍රචන්ඩත්වය, හෙට එල්ලවිය හැක්කේ කිසිවකුට දැයි කිව නොහැක. මේවාට විරුද්ධව ක්‍රියා නොකලහොත්, ඉන් පසු එනු ඇත්තේ මීට වඩා දරුණු ප්‍රචන්ඩත්වයක් බව කිව යුතුව නැත. භික්ෂූන් මෙන්ම, බෞද්ධ සමාජයම එසේමය.

තම නායකයා ත්‍රස්තවාදි බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය විට රතිඤ්ඤා පත්තු කර කිරි බත් කන්නේ මෙවන් සමාජයයි. තවත් ප්‍රහාරයකින් තම නායිකාවගේ ඇසක් අහිමි වන විට, එය සමච්චලයට ලක් කරන්නේ මෙවන් සමාජයයි. රටේ නායකයන්ට කුණු හබ්බෙන් බැන අඬ ගසනා විට, එය පිලිකෙව් නොකොට, සාධරනීකරණය කොට සතුටු වන්නේ මෙවන් සමාජයයි. පක්ෂ බේදය පසෙක තබා, අප ඉස්මතු කර ගත යුත්තේ, අප තුල ඇති තිරිසන් කම නොව, මානුෂික හැදියාවයි.

මේ භික්ෂුවට එරෙහිව ගන්නා නීතිමය ක්‍රියාමාර්ගයන් පිළිබඳව අප බලා සිටිමු. මන්ද ඔහු ජනාධිපති තුමාටද ප්‍රසිද්ධියේ අපහාස කොට තිබීමය. පවිත්‍රා වන්නිආරච්චි ජන අප්‍රිය ඇමතිවරියක් වුවද, කිසිවකුට ඇයට මෙසේ අපහාස කිරීමේ අයිතියක් නැත. එය ඇමතිවරියගේ ජන අප්‍රියත්වයටත් එහා ගිය තිරිසන් ක්‍රියාවකි. ඇය කරන්නේ රැකියාවකි. පිරිසකට ඇය වීරවරියක් වන විට, තවත් පිරිසකට හැතිරියක් විය හැක. එහෙත් ඇයද ලක් මවගේ දියනියකි, කාන්තාවකි, මවකි. මේවා අනුමත කරන්නන්ගෙන්ද ඇසීමට ඇත්තේ. මේ දේ තමන්ගේ කෙනෙකුට සිඳු වූවා නම්, ඔබ මෙසේ හැසිරෙන්නේද යන්නයි.

කෙසේ හෝ ජනාධිපති තුමාට අපට කීමට ඇත්තේ, ඔබම කිරි පොවා ඇති දැඩි කල දේශප්‍රේමය, ඔබතුමාටම පරාවලල්ලක් වී ඇති බවයි. ඔබ තුමාගේ ජීවිතය බේරා ගත යුත්තේ, බටහිර කුමන්ත්‍රණකාරින්ගෙන්වත්, දේශද්‍රෝහීන්ගෙන්වත්, ඩයස්පෝරාවෙන්වත්, විපක්ෂයෙන්වත්, ජනතාවගෙන්වත් නොව. දේශප්‍රේමීන්ගෙන්ම බවයි.

කාළෝ අයංතේ… මහ රජ..

උපුටා ගැනීම – http://maathalan.blogspot.co.uk

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල