සඳැස් / නිසඳැස්

අරලිය ලන්දට

Off

“අරලිය ලන්දට සඳ පායන කොට තුරුලිය මල් වට බඹරු බමන විට
සිය සිය සිය දහසට ඇඟිලි ගණිනා මට ඔබ ගැන සිහිවෙනවා..
එතකොට ගී පද ලියැවෙනවා…”

අපේ ජීවිතවල සමහර අත්දැකීම් තියෙනවා ජීවිත කාලයක් පුරාවටම අපිට අමතක කරන්න බැරි, අමතක වෙන්නෙ නැති. මතක් කරල බලන්න, හය හතර තේරෙන්න පටන් ගත්ත දා ඉඳල අද වෙනතුරු ඔබේ ජීවිතේට ඒ වගේ අත්දැකීම් නම් කීයක් ඇත්ද. සමහර දේවල් ඉතාම සුලු නොවැදගත් දේවල්. ඒත් ඒවා ඔබේ මතකයෙන් බැහැරවෙන්නෙ නෑ. ඒවා බොහෝම සුලු නොවැදගත් දේවල්. හැබැයි.. ඒ මට, ඔබට නෙවෙයි. මං කිව්වේ, ඒ අත්දැකීම් අනෙක් අයට බොහොම සුලු නොවැදගත් කාරණා. නමුත් ඔබට ඒව බොහොම වැදගත් සොඳුරු හෝ අඳුරු මතකයන්.

බොහෝවිට මේ අත්දැකීම් අපේ ජීවිතේ ළමා කාලයට අයිති දේවල්. මොන හේතුවකටද මංදන්නෙ නෑ මටනමේ වගේ අත්දැකීම මහ ගොඩක් තියෙනවා. සමහර අවස්ථාවල් සිදුවුණු සිදුවීම්, කතා කල දේවල්, සිද්ධ වෙච්ච තැන්. මහ පුදුම විදියට හිතේ ඇඳිල තියෙනවා. කියන්න තරම්වත් වටින දේවල් නෙවෙයි, සමහරා විට අම්මත් එක්ක බෙහෙත් ගන්න යනකොට වෙච්ච දෙයක්, නැත්නම් ගෙදරට නෑයෙක්, හිතවතෙක් පැමිණි වෙලාවක වෙච්ච කතාබහක්. නැත්නම් තනියෙන්ම සිටින මොහොතක සිතට දැනුනු සිතිවිල්ලක් වෙන්නත් පුලුවන්.

ඒත් ගැඹුරින් කල්පනා කරල බැලුවම අද ඒ දේඅපේ වයසෙ හැටියට බොහොම කුඩා සිදුවීමක් උනත්, එදා, වසර දෙකක තුනක, හතරක ළමයෙකුට මහා ලොකු දෙයක්. ඔලුවට බර යමක්. නැත්නම් නෑඹුල්, නිකැළල් ලපටි හිතක තදින් ඇඳුනු සිතිවිල්ලක්, සිතුවමක්. ඒක හරියට, ඉස් ඉස්සෙල්ලාම ගෙදරක බිත්තියක කපරාරුව උඩින් ගාපු හුණු පාර වගෙයි. ලේසියෙන් මකන්න බෑ. පුද්ගල චරිත වලටත් මේ දේ පොදුයි. සමහර මිනිස්සු ඉන්නවා අපට තාමත් නයාට අඳු කොල වගෙයි, සමහරු ඉන්නවා දකිනකොට හරි පිළිකුල්, තවත් සමහරු ඉන්නවා අපි එයාලට කොන්දේසි විරහිතව ආදරෙයි. මෙතන වෙන්නෙත් කලින් දේමයි.

දැන් ඔයාලට හිතෙනවා ඇති අදනම් මේ කියන්න යන්නෙ මගේ ජීවිතේ මැවැනි අතීත සිදුවීමක් කියලා. ඔව් ඔබ හරි. මේ කතාව එහෙම එකක් තමයි. නමුත් මතකයේ තියෙන මෙවන් සිය ගනනක් සිදුවීම අතර මේ මගේ මේ සටහන් වල තේමාවට ගැලපෙන කතාවක්. ඒ කිව්වෙ ගී සංවේදනාවක්. සමහර ගීත තියෙනවා මං අර උඩින් කිව්ව අත්දැකීම් වගේ අපේ ජීවිත වලින් ගලවල අයින් කරන්න බැරි. ඒ තරම්ම ඒ ගීත අපේ ජීවිත සමඟ බද්ධවෙලා. ගීතය ඇහෙන වාරයක් පාසා හිත අතීතෙට දුවන, එහෙම දුවල එක්කො හිතින් හඬා වැටෙන නැත්නම් සිනාසෙන ගීත අපේ ළඟ ගෝනි ගනන් ඇති.

ඉතින් මේ කියන්න යන්නෙ එහෙම ගීයක් ගැන.

මේ සිද්ධිය වෙනකොට මට අවුරුදු හතරක්, පහක් වගේ ඇති. ඔය කියන කාලෙ අපි පදිංචිවෙලා හිටියෙ සොරබොර වැව පාරේ, කුලී ගේක. මං ඒ ගැන කලින් වතාවකුත් කියල තියෙනවා. ඉතින්, තාත්තා වැඩකලේ අනුන්ගෙ ගරාජ් එකක, පඩියට. ඒ නිසාම වැඩ ඇරිලා එන්න හරිහමන් වෙලාවක් තිබුනෙ නෑ. සමහර විට පහට හයටත් ආවා, ඒත් සමහර දවස් වල අට නවය උනා, දහය දොළහ වෙච්ච දවසුත් නොතිබුනා නෙවෙයි. කොහොම උනත් මේ කොයි දවසෙ උනත් තාත්තා එනකල්ම තනියෙන්ම ඉඳපු අම්මයි මමයි, අර ඉදුණු බත් මුට්ටිය නිවෙනකල් ඉන්න බෑ වගේ, තාත්තා හවස ගෙදර එනකල් පෙර මඟ බලාගෙන ඉන්න පුරුදු වෙලා හිටියා.

ඇත්තටම මෙහෙම් ගෙවුන ගොඩාක් දවස් මට තාමත් මතකයි. හරිම සුන්දර වෙලාවක් ඒක.ගෙදර වැඩපල, රෑට උයන පිහින දේවල් අහවර කරල නාලා එහෙම අම්මයි මමයි මේ පෙරමඟ බලා ඉඳීම කියන කටයුත්ත පටන්ගන්නවා. මේකට තෝරගන්නෙ එක්කො මිදුලෙ බැඳල තිබුන ඔංචිල්ලාව, එහෙම නැත්නම් මිදුලෙන් ගෙනත් තියාගන්න ලී පුටුව. කොහොම හරි හවස හයට විතර අපි මෙහෙම වාඩිවෙනවා. අම්මා පුටුවෙ හරි ඔංචිල්ලාවෙ හරි වාඩිවෙලා මාව ඔඩොක්කෙට ගන්නවා. ඊළඟට ඉතින් මගේ ඔලුව අතගගා නොයේක් දේවල් කිය කිය පාර දිහා බලන් ඉන්නවා.

කට ඇරගෙන මං උඩ බලාගෙන ඉන්නවා. එහෙම ඉන්නකොට තමයි මගේ මුහුණට නැඹුරු වෙච්ච අම්මගේ මූණ මට හොඳට පේන්නෙ. එතකොට මට පේන්නෙ හැබැයි අම්මගේ මූණ විතරක්ම නෙවෙයි. මට මුලු ලෝකෙම පේනවා. ඉර බැහැගෙන යනවා. මට මහා විසාලව පේන තඹ පාට අහසෙ කලු පාටට කුරුලු රෑන් එක යායට පියාඹනවා. හරි කලබලේකින්. අම්මා උන්ව පෙන්නල මට කියනවා, අන්න පැටවු හොයාගෙන කුරුලු තාත්තාලා කෑමත් අරන් කූඩු වලට පියාඹනවා, ඔය විදියටමා තාත්තිත් දැන් මඟින් එනව ඇති පුතේ කියලා.

මෙහෙම ඉන්නකොට එයා බොහෝ විට ගීත මුමුණනවා. මං හිතන්නෙ ඒ නිසාම කුඩා කල ඉඳලම මං ලයාන්විතව ගැයෙන ගීත වලට අපරිමිතව ආදරය කරන්න පටන්ගත්තා. අම්මගේ උකුලට වෙලා, ඒ තුරුල්ලෙ උණුහුම විඳිමින්, හවස ආකාසෙ දිහා බලාගෙන අම්මගේ ආදරණීය හඬින් ඔබ අහපු ගීයක් කෙතෙක් කාලයක්නම් ඔබේ හදවතේ රැඳිල තියෙයිද. බොහෝ විට මේ ගී මං මුලින්ම ඇහුවෙත් ඒ අදාල ගායකයා හෝ ගායිකාවගේ හඬින් නෙවෙයි. අම්මගේ දයාබර හඬින්. මෙහෙම ගෙවෙන ගොඩාක් දවස් වල බොහෝ විට තාත්තා එනාකොට අම්මගේ තුරුල්ලට වෙලා හොඳ උණුහුමට ගී අසමින් උන් මට එහෙමම නින්ද ගිහින්. ඉතින් එහෙම වෙලාවලදි තාත්තා මාව වඩාගෙන බොහොම පරිස්සමින් මාව ගෙට අරන් යන විදිය මට හීනෙන් වගේ මතකයි තාමත්. සමහර දවස් වල තාත්ත එනකොට ගොඩක්ම රෑ වෙනවා, එහෙම එක දවසක තාත්තා එනකොට අම්මයි පුතයි දෙන්නම පුටුවට වෙලා නිදාගෙන හිටපු හැටි අදටත් තාත්තා මතක් කරනවා හිටිගමන්.

මේ හැමදේම කිව්වෙ මේ හැම එකක්ම එකිනෙකට බොහොම සවිමත්ව බැඳිල තියෙන නිසා. දැන් තමයි හරියටම කතාවට යන්න හදන්නෙ මං. මේ කියන්න යන දවසත් මං අර කිව්ව වගේම සුපුරුදු දවසක්. හැබැයි එදා පොඩි වෙනසක් තිබුනා, එදා අපේ ගෙදරට තවත් අමුත්තෙක් ඇවිත් හිටියා. ඇත්තටම බැලුවොත් එයා අමුත්තෙක් නෙවෙයි, අපියි හරිනම් එයාගෙ අමුත්තො. මොකද ඒතමයි අපි කුලියට ඉන්න ගෙදර අයිතිකාරී. හරියටම කිව්වොත් කුමී ඇන්ටි. ඔව්, මං එයාව ඇමතුවේ එහෙම. අපිට ගේ කුලියට දීල එයා රට ගිහින් හිටියේ. මේ එයා රට ඉඳන් ආපු කාලෙක දවසක්. එදා ඒ ඇන්ටි අපේ (එයාගෙ)ගෙදර හිටියේ.

දවසෙ කාල සටහන ඇගේ ආගමනයෙන් ටිකක් විස්ථාපනය වෙච්ච නිසා එදා අම්මට උයන්න රෑ උනාද කොහෙද. කොහොම හරි මොකක් හරි හේතුවකට එදා අම්මට වෙනද වගේ මාත් එක්ක තාත්තා එනකල් පාර දිහා බලන් ඉන්න තරම් ව්විවේකයක් තිබුනෙ නෑ. ඒත් මං කොහොමද පුරුද්දෙන් මිදෙන්නෙ. අම්මට ඉන්න කියල මං ලෑස්තිවුනා තාත්තා එනකල් මඟ බලන් ඉන්න. ඉතින් මං ගෙදර සන්ශේඩ් එක යටට ඇවිත් ඒකෙ තිබුන ආරුක්කුවේ යට වාඩිවෙලා කම්මුලට අත් දෙකත් තියාගෙන මදුරුවො එලව එලව වාඩිවෙලා හිටියා.

ඔන්න ඉතින් මං එහෙම ඉන්නකොට අර කීව කුමී ඇන්ටි මං ගාවට ආවා. පුතේ මොකද කරන්නෙ කියල මට කතාකරල එහෙම, එයා මාව ඔඩොක්කෙට ගත්තා. මාත් එක්ක අනන් මනන් ටිකක් කතාකර කර ටිකක් වෙලා හිටියා. කතාකරන්න තරම් දේකුත් නැති නිසා වෙන්නැති ටිකකින් එයා නිහඬ උනා. මටත් ඉතින් වගක් නෑ ඔහේ පාර බලාගෙන හිටියා. ටිකෙන් ටික අඳුර වැටුණා. ඒත් අඳුරට රජ කරන්න අවස්ථාව ලැබුනෙ නෑ. මුලු පරිසරයම බොහොම අලංකාර කරගෙන පුන් සඳ පායලා තිබුනා. ලෝබ නැතිව මුලු පරිසරයටම එළිය දුන්නා. ගහකොල රත්තරන් පාටින් නෑවිලා තිබුනා.

මෙහෙම වෙලාව යනකොට කුමී ඇන්ටි හීන් හඬින් ගීයක් මුමුණන්න පටන් ගත්තා. මනෝ ලෝකෙක හිටපු මම හීන් හඬින් බොහොම හෙමින් කියපු මේ ගීයට ආසාවෙන් කන්දුන්නා. අපේ මිදුලෙ තිබුනා අරලිය ගහක්. ඒ වෙලාවෙ ඒ අරලිය ගහේ කලු පාට කොල අතරින් රන් තැටියක් වගේ ලස්සනට හඳ පායලා තිබුනා පෙනුනා. ගීතය පටන් ගන්නකොටම කියපු වචන වලට මගේ නෙත් ඉස්සරහ මැවිල තිබුන දර්ශණය හරි අගේට පෑහුනා. මට ගීතයේ අනෙක් පද කිසි දෙයක් වැදගත් උනේ නෑ. ගීතය කියන්නෙ කා වෙනුවෙන්ද, මොකක් ගැනද කියල මට තේරුනෙත් නෑ, තේරුම් ගන්න උවමනාවක් උනෙත් නෑ. ගීතයේ තේරුම අද හදවතට හොඳින්ම දැනෙනාවා. එදා කුමී ඇන්ටි ඒ ගීතයෙන් නිරායාසයෙන් පිටකලේ ඇගේ තනිකම සහ බලාපොරොත්තුව වෙන්න ඇති. මොකද මම දන්නෙ නෑ අදටවත් ඇය එය ගැයුවේ සියදිවි හානි කරගෙන ඇගෙන් වෙන්වෙලා ගිය ඇගේ දයාබර සැමිය වෙනුවෙන්ද එහෙම නැත්නම්, වෙන කවුරුන් හෝ වෙනුවෙන්ද කියලා. මට ඒක හොයන්න උවමනාවකුත් නෑ. මට තේරුණ එකම දෙයක් තිබුනා. ඒ මගේ ඇස් ඉස්සරහ අරලිය අත්තකට මුවා වෙච්ච සඳ මඬලක් තිබුනා. ගීතය තුලත් අරලිය ගස් වලට සඳක් මුවා වෙලා තිබුනා. එහෙම නැත්නම් අරලිය ගහකට සඳ පායලා තිබුනා. මට පෙනුන දේම කුමී ඇන්ටි ගායනා කලා. ඒ නිසා ඒ ගීතයත් දුටුව දසුනත් නොමැකෙන ලෙස හිතේ තදින්ම..තදින්ම ඇඳිලා ගියා.

මං වෙනුවෙන් ඇයට යළි යළිත්, යළි යළිත් කිහිප වාරයක්ම ගීතය ගායනා කරන්න උනා. ඒත් මට ඇති හිතුනෙ නෑ. බැරිම තැන එයා මට ඒ සිංදුව ලියල දුන්නා. මට අද වගේ මතකයි, කුමී ඇන්ටි මට ඒක ලියල දුන්නේ ගෙදර කොහේ හරි මොකක් හරි හේතුවකට තිබිච්ච බිල් පොතක. ඒක අපි නිතර දකින බිල් පොතක් වගේ නෙවෙයි, ඒක අඩියක් විතර දිග එකක්. එක ළඟ එක ළඟ මල් වගේ එකම රටාවකට විහිදිලා තිබුනා රතු පාට කවරයක් තිබුන ඒකට. පිටු ගොඩාක්, ඔක්කොම වගේ ඉතිරිවෙලා තිබුන බිල් පොත මට අයිති උනා. මං ඒ පොතේ කිහිපවාරයක් අම්මටත් කියල ඒ සිංදුව ලියාගත්තා. මමත් අමාරුවෙන් අකුරු ගැටගහගෙන ඒක ආයෙමත් ලියන්න හැදුවා. ඒත් බැරිවුනා. ඒත් ඒ සිංදුව මට කටපාඩම් උනා. ඒ විතරක් නෙවෙයි, මං දිගටම ඒ පොතේ සිංදු ලියවගන්න පටන් ගත්තා අම්මටත් කිය්ලා. අම්මා ඒ කාලෙ අලුතින් කියපු හැම සිංදුවක්ම මං ඒකෙ ලියාගත්තා අම්මට කියලා.

අද ඒ සිංදු පොත කොහෙද දන්නෙ නෑ. මට ඒක මඟ ඇරිලා. සමහර විට ඊට අවුරුද්දකට විතර පස්සෙ අපි ඒ ගෙදරින් ආව දවසෙ ඒක අමතක වෙන්න ඇති. නැත්නම් කවුරුන් හෝ එය අහක දමන්න ඇති. කොහොම උනත් අද මං දන්නෙ නෑ ඒ පොත කොහේ කොතනක තියෙනවද නැත්ද කියලා. ඒ වගේම මං දන්නෙ නෑ, අද වෙනකොට කුමී ඇන්ටි කොහේ කොතනක ඉන්නවද කියලා. ආරංචි විදියට එයා තාමත් රට. කොහොම උනත් අද මං ළඟ මේ අජීවී වස්තුවත්, ජීවී මනුස්සයාත් නිසා සජීවී මතකයක් ඉතිරිවෙලා තියෙනවා.

අදටත් හඳ ඇති රෑක අරලිය ගහකට නෙවෙයි,වෙන මොන ගහකට හරි ඒ හඳ එළිය වැටිලා ලස්සනට පේනකොට මට මේ ගීය මතක් වෙන්වා. නිරායාසයෙන්ම කියවෙනවා. ඒත් එක්කම සොරබොර වැව පාරෙ අදටත් කාත් කවුරුත්ම නැතිව පාලුවට ගිහින් තියෙන මගේ ළමා කාලයෙන් කාලපරිච්ඡේදයක් ගෙවිච්ච් ඒ කුඩා කුලී නිවස මැවිල පේනවා.

අරලිය ලන්දට සඳ පායන කොට
තුරුලිය මල් වට බඹරු බමන විට
සිය සිය සිය දහසට ඇඟිලි ගණිනා මට
ඔබ ගැන සිහිවෙනවා..
එතකොට…
ගී පද ලියැවෙනවා…

රඹවන් හේනේ කරල් පැසෙන කොට
අඹ මල් ගානේ ගිරව් හඬන විට
දොඹ තුරු මානේ සෙවන දකින මට
ඔබ ගැන සිහිවෙනවා..
එතකොට…
සිතිවිලි ඉගිලෙනවා…

දඬු‍වැල් බෑ මී සුවඳ දැනෙන කොට
පඬුවන් අහසේ තරු පායන විට
හැඬුමට නොහැකිව දෙඇස වසන මට
ඔබ ගැන සිහි‍වෙනවා..
එතකොට…
සිහිනය උපදිනවා…

ගායනය : නන්දා මාලිනී
පද රචනය : ප්‍රියන්ත ධර්මවංශ
සංගීතය : කාලෝ විජේසිරි
ගීතය මෙතනින් download කරගන්න…
(Araliya Landata – Nanda Malini)

උපුටා ගැනීම – http://masandumal.blogspot.co.uk/2014/10/blog-post_30.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල