කාලීන සංවාද

බත්තලංගුණ්ඩුව අවලෝකන

Off

මංජුල වෙඩිවර්ධනගේ ‘‘ බත්තලංගුණ්ඩුව’’ 2007 වසරේ සිංහල නවකතාව තුළ මතු නොව මෑතකාලීන සිංහල නවකතාව තුළ ද සුවිශේෂී සංධිස්ථානයක් වෙයි.

එය ලෝක සාහිත්‍ය තුළ නවකතාව සම්ප‍්‍රාප්ත වී ඇති නව ඉසව් වෙතින් ද, නූතන සිංහල නවකතාවේ සිරිල් බී. පෙරේරා, ටෙනිසන් පෙරේරා, සයිමන් නවගත්තේගම වැනි සාහිත්‍යකරුවන් පෘථුල කරන ලද ඉසව් වෙතින් ද පෝෂණය ලැබ ලාංකීය ජන සමාජයේ මෙතෙක් සිංහල නවකතාකරුවන් ස්පර්ශ නොකළ සමාජ සංස්කෘතික ජීවන රටාවක අපූර්වත්වය ග‍්‍රහණය කර ගනී.

කතුවරයා බත්තලංගුණ්ඩුව නමැති කුඩා හුදකලා කොදෙව්වක ජීවන රටාව තුළින් ජීවිතය පිළිබඳ උපේක්‍ෂා සහගත දාර්ශනික බැල්මක් හෙළයි. එහි වන කතෝලික පසුබිම තුළින් ඔහු හෙළන බැල්ම මහායාන බුදු දහමේ එන මහා ප‍්‍රඥාවත්, මහා කරුණාවත් කැටි කොට ගත්තක් බඳුය. කතෝලික සංස්කෘතිය විෂය කොට ගනිමින් වික්ටෝරියානු සුචරිතවාදය සමග සැබෑ ජීවිතයේ ප‍්‍රතිරෝධය ඔහු ගෙන හැර දක්වයි. බයිබලයේ එන පේ‍්‍රම ගීතිකාවල පේ‍්‍රමය පිළිබඳ සංකල්පයනුත් එකට මුහු වන්නේ කතෝලික පසුබිම තුළ බෞද්ධ ජීවන දෘෂ්ටියක් හඳුනා ගන්නා පරිදිය.

යේසුස් වහන්සේ කලක් තන්ත‍්‍රයානික භික්‍ෂුවකව භාරතයේ, තිබ්බතයේ සිටි බව කිය වේ. බෞද්ධ ශුන්‍යත්වය කතෝලික පසුබිම හඳුනා ගන්නා නවකතාකරුවා තාන්ත‍්‍රික ලිංගිකත්වයද ඒ තුළ හඳුනා ගනී. ඒ මහායාන බුදුදහමට අනුව ආලය විඥානය ගබඩා විඥානය තුළ ගැබ්ව පවතින්නකි. බත්තලංගුණ්ඩුව යනු මක්කම නොඑසේ නම් බුදුන්ගේ දකුණු සිරිපතුළ පිහිටි මක්කම යැයි ඇතැම් ජාතිකවාදී විද්වතුන් දක්වයි. මෝක්‍ෂයට මග මොක්කම මක්කම වී යැයි ඔවුන්ගේ අදහසයි. සද්ධාර්මාලංකාරයේ පුෂ්පදේව වග්ගයේද බත්තලංගුණ්ඩුව ගැන සඳහන් වන බව කියවේ. නවකතාකරුවා සිය කතා නායකයා නැතිනම් ප‍්‍රතිවීරයා, මුල් සිඳුණු මනස් පුතා සිය මුල් සොයා යවන්නේ එම බත්තලංගුණ්ඩුවටය. මෙය කිසිසේත්ම සවිඥාණකව නොකළ බව පැහැදිලිය. එහෙත් වැදගත් වන්නේ එම අවිඥානයමයි. කලාකෘති යනු සබුද්ධික, සවිඥාණික, මානසික අභ්‍යාස නොවේ. සාහිත්‍ය කෘතියක් යනු එවැනි මානසික ව්‍යායාම සඳහා ජිම් එකක් නොවේ.

මංජුල කතෝලික සම්භවයකින් හෙබියෙකි. එහෙත් ලාංකීය කතෝලික සංස්කෘතිය තුළ වැළලී ගිය මුහුදුබඩ මහායානික නාග උරුමය ඉන්දු සම්භව ථෙරවාදී මෙන්ම, යුරෝපීය යටත්විජිත කතෝලික සංස්කෘතිය තුළද නිධන්ගත ය. කාල් යුංග් වැනි මනෝ විiාඥයන් දකින පරිදි අපගේ සාමුහික අවිඥානය ඔස්සේ නුතන නාගරික, බුද්ධිමය උප සංස්කෘතියක සිටින ගන්ධබ්බයකු සිය මුල් සොයා යාමක් මෙහි දකිත හැක. බයිබලයේ එන ධර්ම දේශකයාගේ පොතත්, ප‍්‍රඥා පාරමිතා සූත‍්‍රයත් සාමූහික අවිඥානය තුළ සමපාත වෙයි.

මේ සියල්ල කෘතියේ බහු ප‍්‍රස්ථරික, බහුමානික බව පෝෂණය කරයි. කෘතිය අවසානයේ බහුවිධ අවසානයක් ඔස්සේ කුළු ගැන්වෙන එය කතා නායකයාගේ අනන්‍යතා අර්බුදය සාපේක්ෂක කාල මානයන් අතර සංශය තුළින් කැටි කරයි. එසේ බහුමානී වන කෘතිය ජීවිතය සහ මනුෂ්‍යත්වය පරිපූර්ණත්වයෙන් ග‍්‍රහණය කරගන්නට සමත් වේ. හුදු දෘෂ්ටිවාදී, මතවාදී හෝ ආකෘතික සීමාවන් ඉක්මවා සාර්වත‍්‍රික සර්වකාලීන මෙන්ම සර්වභෞමික බවින් යුතු කලාකෘතියක් බිහි වීම පසුබිමේ මේ සියලූ අවිඥාණික විභවයන් පවතියි. අජිත් තිලකසේන කියන පරිදි කිසිවක් නොකියවෙන ගොළු බවක්ද එහි ඇත.

මහ සයුර කෘතිය තුළ ජීවිතයේ අපූර්වතම සංකේතයක් බවට පත් වේ. එය ඔවුන්ගේ ජීවන අරගලය එක් අතකින්ද, මිනිස් සමාජය තවත් අතකින්ද නිරූපණය කරන අතරම, ඉන් ජීවිතය පිළිබඳ දාර්ශනික මානයක්ද කෘතියට එක් කරයි. එහෙත් එය පිටතින් ආරෝපිත සංකේතයක් නොව කෘතිය තුළින්ම පැන නගින අවියෝජනීය සංකේතයකි.

නිකෝස් කසන්සාකිස් නම් ග‍්‍රීක නවකතාකරුවාගේ ‘‘සෝර්බා නම් ග‍්‍රීකයා’’ මෙන්ම ධර්මසේන පතිරාජගේ ‘‘බඹරු ඇවිත්’’ පිළිබඳ මතකයන්ද අවදි කරන ‘‘බත්තලංගුණ්ඩුව’’ සයිමන් නවගත්තේගමගේ ‘‘සංසාරණ්‍යය අසබඩ ’’ හි ආගන්තුකයාගේ චරිතය පිළිබඳ මතකයන්ද අවදි කරවයි. ඇන්ටනී ආගන්තුකයකු වන්නේ බත්තලංගුණ්ඩුවට පමණක් නොවේ. ඔහු කොළඹ සමාජයටද ආගන්තුකයෙකි. එසේම ඔහු තමාටද ආගන්තුකයෙකි.

ලකානියානු මනෝ විශ්ලේෂණය තුළ ප‍්‍රකට සංකල්පයක් වන සංකේතීය පියා පිළිබඳ ධාරණාවන් ඇන්ටනී තම පියා සොයා බත්තලංගුණ්ඩුව කරා යන මුල් සොයා යාම තුළ පිළිබිඹු වෙයි. මෙම සියලූ දාර්ශනික සහ මනෝ විද්‍යාත්මක ධාරණාවන් කෘතිය තුළින් නිරායාසයෙන්ම පැන නගින්නක් මිස ඒ මත ආරෝපණය කරන ලද සබුද්ධික කාරණා නොවේ. පියා සමඟ වන ඊඩිපස් ගැටුම ගේ‍්‍රටා සමඟ ඇති වන සබඳතාව තුළ කුළු ගැන්වේ. එම දෛවතය හුදු මානසික පමණක් නොව ක්ෂුද්‍ර හා මහේක්ෂීය වශයෙන් දේශපාලනික දෛවතයක් දක්වයි.

ආගන්තුක විවාහ ක‍්‍රමය, තන්ත‍්‍රයාන බුදු දහමේ බීජ නියාමය හරහා සයිමන් නවගත්තේගමගේ සෙවණැල්ල බත්තලංගුණ්ඩුව හරහා වැටී ඇත. ඒ ඔස්සේ ඔහු කුහක ලිංගික සදාචාරයන් ජීවිතය සහ මනුෂ්‍යත්වයත් අතර වන ප‍්‍රතිරෝධය තීව‍්‍ර ලෙස දක්වයි.
මහ සයුර ජීවිතයේ, සංසාරයේ සංකේතයක් ලෙස භාවිත කරන පරිදිම මෙම කුඩා කොදෙව්වද එක් අතකින් සංකේතාත්මක අරුත් නංවයි. එය දූපතක සිර වූ අපගේ හුදකලාව පිළිබඳව ඉඟි කරන අතර එම සිරවීමම නිදහසක් ලෙස ද ඉඟි කරයි. ‘‘නැවතීමමය ගමන සංසාරයය නිවන’’ වැනි මහායානික උපේක්‍ෂාවක් එහි පිළිබිඹු වේ. සැබවින්ම මෙහි එන ජීවන දැක්ම කතෝලික දහමට වඩා බුදු දහමට සමීප වෙයි. අනෙක් අතින් නාගරික මධ්‍යම පන්තිකපාරිභෝගිකවාදී, බුද්ධිවාදී, සංස්කෘතික මිනිසුන්ට වඩා සයුර ( ජීවිතය ) සමග පොර බදන ( පොළවේ ඉන්න ) මෙම සාමාන්‍ය මිනිසුන් දාර්ශනික බව ඉතා තියුණු ලෙස නවකතාව තුළින් පැන නගී. අපගේ ඊනියා දාර්ශනික, බුද්ධිමය හා සංස්කෘතික සීමාවන් ඉන් පැහැදිලිවම ප‍්‍රශ්න කෙරේ. මෙම මධ්‍යම පාංතික බුද්ධිමය ජීවියාගේ අනන්‍යතා අර්බුදය කෘතිය තුළ ප‍්‍රබල ලෙස ඉස්මතු වෙයි. නාගරික, මධ්‍යම පාංතික බුද්ධිමය ජීවිතය තුළ වන අනන්‍යතා අර්බුදය, දෛවතය, පරාරෝපණය, සංශය සහ එම ජීවිතය යථාර්ථය විසින් ප‍්‍රශ්න කිරීම ඇන්ටනී බත්තලංගුණ්ඩුවට යාම මගින් තව දුරටත් තීව‍්‍ර කරයි.

‘‘බඹරු ඇවිත්’’හි ද ඇන්ටනී කෙනෙක් වෙයි. ඒ බේබි මහත්තයාගේ ප‍්‍රතිරෝධය නම් මෙහි ඇන්ටනී බේබි මහත්තයා ද වෙයි. ප‍්‍රතිරෝධයක් එකම පුද්ගලයා තුළ සහලක්ෂිත වන අයුරු ව්‍යුහවාදීව 70 දශකයෙන් 2000 දශකයට වූ සංක‍්‍රාන්තිය විසින් යාවත්කාලීන කොට ඇත. ගේ‍්‍රටා සමඟ ඇති වන ගැටුම මෙන්ම එම සම්බන්ධතාවද ඕලාරික නොවන ධ්වනිතාර්ථවත් ආකාරයකින් ශෘංගාරාත්මක ලෙස ඉදිරිපත් කෙරේ. ආගන්තුකයා හා බීජ නියාමය පිළිබඳ මහායානික සංකල්ප කතෝලික වික්ටෝරියානු සදාචාරයට ප‍්‍රතිවිරෝධි ලෙස කෘතිය අවසානයේදී කුළු ගැන්වේ. ගේ‍්‍රටාගේ මෝරා එන ගැබ නව ප‍්‍රතිසංධියක් පිළිබඳව ඉඟි කරමින් ශෘංගාරය ඉක්මවා ලෝක ධර්මය තුළ බුද්ධිමය ජීවියාගේ අනන්‍යතා අර්බුදය එම අවසානය ඔස්සේ ද අඛණ්ඩව ගලා යයි.
‘‘සංසාරණ්‍යය අසබඩ ’’හි නදිය සේ සයුර බත්තලංගුණ්ඩුවේ ජීවිතය පිළිබඳ ඒකීය සංකල්ප රූපය වේ. ජීවිතයේ සියලූ අවස්ථාවක්ම නියෝජනය කරන, නිරූපණය කරන තොටිල්ල මෙන්ම මිනී පෙට්ටියද ඒ අතරතුර සියලූ අවස්ථාද නියෝජනය කරන මාලූ පෙට්ටිය පිළිබඳව කතුවරයා කරන හැඳින්වීම නවකතා කරුවකු ලෙස ඔහුගේ මුහුකුරායාමද, ජීවිතාවබෝධයද දක්වන අවස්ථාවකි.

කතෝලික ආගමේ සංස්කෘතික සංකල්ප, බත්තලංගුණ්ඩුවේ ජනයාගේ ජනවහර- ජීවිතය අපූරු විනිජ අරුමැසියාවකින් (exotic) ඉදිරිපත් කරන නමුත් ඔහු ටුවරිස්ට් නවකතාකරුවකු බවට නොවැටේ. ඔහු එම ජන ජීවිතය එහි පත්ළෙන්ම හසු කර ගනී. අරාබි නිසොල්ලාසයේ එන සින්බෑඞ් නම් නාවිකයා ජේම්ස් ජොයිස්ගේ ‘‘යුලිසිස්’’හි ද අනුප‍්‍රාසමය පද පෙරළියක ආරම්භක පදය වෙයි. එම සින්බෑඞ් නම් නාවිකයා සහ ශ‍්‍රීපාදය අතර ඓතිහාසික සම්බන්ධය බත්තලංගුණ්ඩුව දකුණු සිරිපතුළ පිහිටි මක්කමය යන ප‍්‍රවාදයන් සමඟ ඉස්මතු කරන්නේ ලාංකීය සාමූහික අවිඥානයයි. මෙසේ අරාබි නිසොල්ලාසය – යුලිසීස් – සමන්තකූට වර්ණනාව අතර වන පාඨාන්තරීය සබඳතාවන් ක‍්‍රියාකාරී වෙයි.

සිංහල බස ඉතා සුඛනම්‍ය ලෙස මෙන්ම ධ්වනිතාර්ථවත් ලෙස, රමණීය මෙන්ම ශෘංගාරාත්මක ලෙස නවකතාකරුවා යොදා ගනී. තම දාර්ශනික චින්තාවන් මෙන්ම ජීවිත පරිඥානය මෝචනය කිරීමට ඔහු බස අපූරුවට යොදා ගන්නවා මෙන්ම බත්තලංගුණ්ඩුවේ කතෝලික ජනවහර එතුළට අපූරුවට උකහා ගනී. සිංහල නවකතාව පැරණි යල්පැන ගිය ආඛ්‍යාන මාර්ගයෙන් ගලවා ගැනීමේ නූතන නවකතාකරුවා සතු මෙහෙවරට මෙන්ම, මහා ආඛ්‍යාන බිඳ දැමීමේ අද්‍යතන සාහිත්‍යකරුවා සතු වගකීමට ද මංජුල වෙඩිවර්ධන සිය දායකත්වය දක්වා තිබේ. ‘‘මේරි නම් වූ මරියා’’ කෘතියෙන් පසු තම සාහිත්‍ය ජීවිතය තුළ ගත් දැවැන්ත පිම්මක් ඔහු මෙතුළ විශද කරයි.

ලාංකීය උප සංස්කෘතියක බාහිර ආකෘතිය වෙනුවට ඒ හරහා පොදු ලාංකීය, සමාජ සංස්කෘතික, දේශපාලනික හරස්කඩක් දක්වන අතරම විශ්වීය ජීවන අත්දැකීමක් බවට නංවමින් කුඩා කොදෙව්වක අනුභූතියක් හරහා මහාද්වීපික සාහිත්‍යයක් කරා ලාංකීය සාහිත්‍යකරුවා යා යුතු ගමනේ තවත් පියවරක් මංජුල වෙඩිවර්ධන නම් තරුණ නවකතාකරුවා විසින් තබනු ලැබ ඇත.

අද්‍යතන ලාංකීය දේශපාලනයේ කේන්ද්‍රස්ථානය වී ඇති උතුරු නැගෙනහිර ජාතික ගැටලූව, ඉන් ගොඩනැගෙන පැසිස්ට්වාදී වාතාවරණය බත්තලංගුණ්ඩුවේ ජන ජීවිතවලට බලපාන ආකාරය ඇල්බා මූදු රැකියාව හැර දැමීම තුළ ව්‍යුහාත්මකව දැක් වේ.
කේ.කේ. සමන්කුමාර
නවකතා සමීක්‍ෂණ මණ්ඩල කමිටු සාමාජික ( අවසන් වටය ) 2008 ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල

උපුටා ගැනීම – http://www.lankadaily.lk

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල