සාහිත්‍ය කළා විචාර

අවුල් වන්නට පෙර(50)…දේශපාලන ත්‍රස්තවාදය

Off

පසුගිය සටහනේ එක් අවස්ථාවක මම මොහාන් ද සිල්වා නම් අපේ කළමනාකරුවෙක් ගැන කුඩා හැඳින්වීමක් කෙරුවෙමි. මොහු වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඉතා සුන්දර මිනිසෙක් විය. අංශ ප්‍රධානියෙකුටත් වඩා සැමට මිතුරෙක් විය. ඔබරෝයි හෝටලයේ සිටි සුන්දරතම සහ ජනප්‍රියම චරිතය මොහු යැයි කීම අතිශෝක්තියක් නොවේ. මේ විනෝදකාමී මිනිසා ගැන තව බොහෝ දේ ලිවීමට තිබේ යැයි මම කීවෙමි. ඒ කෙසේ වෙතත්, මගේ මිතුරෙක් ඒ සටහන කියවා පසුදින මා ඇමතීය. ඔහු දන්වා සිටියේ මේ සොඳුරු මිනිසා අප අතරින් සදහටම සමුගත් බවක්ය. ඒ පසුගිය මාසයේය. සිනමා පටයක් මෙන් බොහෝ දේ මට මැවී පෙනෙන්නට පටන් ගත්තේය. එවන් මිනිසුන් සමාජයට සමුදෙන්නේ අපු නොසිතනා හෝරාවන්හී බැව් මට වැටහී ඇත්තේය. ඔහුගේ මරණ දැන්වීමේ Ex-Oberoi යැයි සඳහන් කර තිබුණේ ඒ ජනප්‍රියත්වය නිසාම විය යුතුය.

මගේ සටහන් තුළ මා පසුකරමින් සිටිනා අවධියේ ජනාධිපතිවරණයක් සහ ජනමත විචාරණයක් යන සිද්ධීන් නිසා, රට තුළ දේශපාලන උණුසුම තදින් පැතිරී තිබුණි. බොහෝ තරුණයින් මෙන්ම මමද හැකි පමණින් දායක වුණෙමි. ජනතා විමුක්ති පෙරමුණ සක්‍රීය ලෙස මැතිවරණ ව්‍යාපාරයේ යෙදුණු සමයක් ලෙස මෙම යුගය හැඳින්විය හැක. හෝටලයේ එක් එක් අංශයන්හී එකා දෙදෙනා බැගින් හෝ ජවිපෙ වෙනුවෙන් තම දායකත්වයද සැපයීය. මුදල් ඇයකැමි තනතුරක් දැරූ කුමුදු ෆොන්සේකා, සූපවේදීන් වූ ජේබී, ඩඩ්ලි, අතුල වැනි චරිත මතකයට එක්වේ. ජවිපෙට අනුයුක්තවූ වෘත්තිය සමිතියක් ඔබරෝයි හෝටලයට එක් කරගැනීමට අප සමත් විය. මේ ඔබරෝයි හෝටලය තුළ ස්ථාපිතවූ පළමු වෘත්තිය සමිතිය යැයි කිව යුතුය. කණිෂ්ඨ විධායක ශ්‍රේණියේ තනතුරක් දරන්නේ නම් ඔවුන්ට වෘත්තිය සමිති සාමාජිකත්වය දැරීමට නොහැකියැයි ආයතන නීතියක් විය. මේ නීතිය දඩමීමා කරගනිමින් ආයතනය විසින් කුමුදු ෆොන්සේකාව එවන් ධුරයකට උසස් කරනු ලැබුවත්, කුමුදු ඒ වටිනා අවස්ථාව ප්‍රතික්ෂේප කරන ලදි. මේ වෘත්තිය සමිතිය නිසා, සේවකයන් යම් යම් ඉල්ලීම් දිනා ගන්නටද සමත් විය. අප ඔබරෝයි හෝටලය නියෝජනය කරමින්, ජවිපෙ මැයි දිනයකටද සහභාගි වුණෙමු. මම අතුල සමග ඉතා ළඟ ඇසුරකට පත්වුණෙමි. අතුල පදිංචිව සිටියේ කඩවත නගරයට ආසන්නව රාගම පාරේ කඩකාමරයක් බඳු කුලී නිවසකය. එවකටත් විවාහකයෙක් වූ ඔහුට අතදරු පුතෙකුද විය.

අතුළත්, මමත් රාත්‍රී සේවා මුරයට සම්මාදම් වුවහොත්, පසුදින පාන්දර වැඩ අවසන් වී කඩවත බලා යෑම පුරුද්දක් විය. අතුලගේ නිවසේ දහවල් තෙක් නිදාගෙන ඉන්පසු හැන්දෑවනතෙක් දේශපාලන රැස්වීම් සඳහා වේදිකා සෑදීමට උදව්වීමත්, පෝස්ටර් ඇලවීමටත්, ආධාර එකතු කිරීමටත් දායක වෙමු. නැවත රාත්‍රී වැඩමුරයට වාර්තා කල යුතුය. මත්පැන් පානය සහ දුම්බීම බොහෝ කාලයකට මම අතහැර දැම්මේ එදා ජවිපෙ මග පෙන්වන්නන්, මේ අනවශ්‍ය ක්‍රියා තුළින් මතුවිය හැකි සෞඛ්‍යමය ගැටලු සහ ආර්ථික ගැටලු පිළිබඳ තම සාමාජිකයින් දැනුවත් කල නිසාමය. ජවිපෙ නිසාම මෙවන් ක්‍රියාවන් වලින් අත් මිදුණුවුන් බොහෝය. මමද කෙටි කලකට හෝ ඉන් අත්මිදුනෙමි. අපේ අම්මා කීවේ තාත්තවද ජවිපෙට සම්බන්ධ කළහොත් ඔය බීමෙන් සහ දුම්පානයෙන් මුදවා ගත හැකි බවකි. ඔහු උපේක්ෂාවෙන් ඒ යෝජනාව බැහර කළා පමණක් නොව, බාලා තම්පෝ මහතාගේ අතළඟ ක්‍රියාකාරිකයෙක් විය. ඔහු පැතුදේ ළඟා වූවාදැයි මම නොදනිමි. අප පැතුදේද නොලැබුණු බව කිව යුතු නොවේ.

එකල ගම්පහ දිස්ත්‍රික්කය භාරව කටයුතු කල ජවිපෙ සංවිධායක වරයාවූයේ එහි දේශපාලන මංඩල සභික මෙන්ම, අති දක්ෂ කථිකයෙක්වූද, උස මහත සිරුරකින් හෙබි වාස් තිලකරත්නය. මොහු ඉතා දක්ෂ සංවිධායකයෙක් විය. කිහිප වතාවක් මුණ ගැසී ඇත. ඒ යුගයේද ඉතා දක්ෂ සංවිධාන ශක්තියකින් හෙබි ජවිපෙ ගමක්, නගරයක් පාසා අලංකාර මැතිවරණ සටනක් මෙහෙයවිය. ආණ්ඩුවේ මැර ප්‍රහාරයන්ද ඒ හා සමගාමීව පෙරට එමින් තිබුණි. රෝහණ විජේවීරට අමතරව, උපතිස්ස ගමනායක, වාස් තිලකරත්න, මහින්ද පතිරණ, ශාන්ත බංඩාර ජවිපෙ ප්‍රධාන පෙළේ කථිකයින් විය. මොවුන් සැබවින්ම සහජ කුසලතාවයෙන් පිරි කංඩායමක් විය. මොවුන් නොයෙකුත් මාතෘකා තුළ දේශන පවත්වමින් ජනතාව ඇද බැඳ තබා ගැනීමට සමත් වූහ. ලයනල් බෝපගේ පක්ෂයේ ප්‍රධාන ලේකම් වූ අතර ඔහු ලිවීමේ අති දක්ෂයෙක් විය. ඉතා කුඩා සිරුරක් හිමි ශාන්ත බංඩාර, ශිෂ්‍ය ව්‍යාපාරය තුළින් මතුවූ දක්ෂයෙක් විය. මා වඩාත් සිත්ගත් පුද්ගලයා වූයේ උපතිස්ස ගමනායකයන්ය. මේ සියල්ලක් අතරින් අද ජීවතුන් අතර සිටින්නේ ලයනල් බෝපගේ පමණි. විජේවීර, ගමනායක, ශාන්ත බංඩාර රජයේ හමුදා අතින්ද, වාස්, මහින්ද පතිරණ පක්ෂ අභ්‍යන්තරයේ ගැටුම් තුළින්ද මරු වැළඳ ගත්හ.

දේශපාලනික ගැටුම් තුළ සිදුවන වැරදි, වැරදි ලෙස පිළිගෙන ඒවා නිවැරදි කරගන්නවා වෙනුවට, ඒ තුළින් මනුෂ්‍ය ඝාතනයන් දක්වා දිවයන ක්‍රියාමාර්ගයන් වේ නම් අප නිවැරදි මිනිසුන් නොවේ. එදා වාස්, මහින්ද සහ තවත් අයගේ කථාවත් ඔය ගණයට ඇතුළත් කල යුතුය. 1959 බංඩාරනායක ඝාතනයේ සිට ශ්‍රීපති සූරියාරච්චි, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, දමු දසනායකගේ සිට රොෂාන් චානක හරහා වතුර වෙනුවට උණ්ඩය පිරිනමන්නේත් පෞද්ගලික කාරණා නිස නොව, පැහැදිලිවම දේශපාලනයේ ඇති ත්‍රස්ත ස්වභාවයම නොවේද? මේ කුරීරත්වය හෙළා දැකිය යුතුවේ. ලෝක දේශපාලනය තුළ පවා මෙවැනි නිදසුන් බොහෝය. ප්‍රේමදාස, ගාමිණි දිසානායක, ඇතුලත්මුදලි, විජය කුමාරණතුංග ඝාතනයන් තුළ පවා පැහැදිලිව දක්නට ඇත්තේ, දේශපාලන මත ගැටුම් තුළින් අවසන්වූ ජීවිත කතාවන්ය. මේ කිසිවක් සාධරණ අවසානයන් නොවේ .LTTE කල දේශපාලන චරිතයන් ඉවත්කිරීමේ කුමන්ත්‍රණ සියල්ලක්ම හොඳින් විග්‍රහ කර බැලුවහොත් ඒ සියල්ලක්ම දේශපාලනික හේතු මිස, ඒ ඒ චරිතයන්ගේ ඇති පෞද්ගලිකත්වය මත සිදුවූවා නොවේ. මේ අමිහිරි තත්වයෙන් අප ඉවත්විය යුතුවේ. ඉදිරිය කෙසේ විය හැකි දැයි සිතා බලනු වටී.

ඉහතින් මා සඳහන් කල කරුණු සංවාදාත්මක විය හැක. අප නිවැරදි තැනක ස්ථානගත වන්නේ සංවාදයන් තුළින් මිස බෙලි කපාගැනීම් තුළින් නොවේ. දියුණු සමාජයක් ගොඩනැගෙන්නේ දියුණු මිනිසුන් තුළින් බව මම සිතමි. තම තමන් පෞද්ගලිකව දියුණු විය හැකි සිතුවිලි තුළට ගොණුවිය යුතුවේ.

තවත් වසර හයකට පැවැති පාර්ලිමේන්තුවම පවත්වා ගැනීම සඳහාවූ කුප්‍රකට, දූෂිත ජනමත විචාරණය රජය “ජයගත්” අතර, රෝහණ විජේවෙර මේ ජනමත විචාරණය අභියෝගයට ලක්කර නඩුවක් පැවරීය. මෙය බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ සිද්ධියක් බැව් මතකය. එදා විජේවීර විසින් ජනමත විචාරණයට එරෙහිව ගොඩනැගූ අධිකරණ මෙහෙයුම, ජේආර් ජයවර්ධනයන්ව සසල කිරීමට සමත්විය. ජයවර්ධන එය දේශපාලන පසුබෑමකට ලඝු නොකර, අධිකරණයෙන් බැහරවීමට සුදානම්වීමේ ප්‍රතිඵලය වූයේ, නව සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ, කළු ජූලියට මුවාවී තහනමට ලක්කිරීමයි. අප ඉතිහාසයේ බොහෝ ඛේදවාචකයින් රාශියකට පාර කැපූ දරුණුම උදලු ප්‍රහාරය මෙය විය. ජේආර් අමු අමුවේ පෙනී සිටියේ, තමා අබියස ඇති අභියෝග වළක්වාගනු පිණිස ඇති නිවැරදි නොවන තුප්පහි තීරණ තුළය. එහි ඇති කකුළු සුවය ඔහුට මිහිරක්ම විය. තහනමට ලක්කෙරූ අනිකුත් පක්ෂ දෙක සති කිහිපයකින් නිදහස් කර දමා ජවිපෙය වෙත සදාකාලික මර්දනය නියම කෙරුණි. එදා සිට කාලයක් ගතවෙන තුරු වැළලී ගිය මිනිස් සිරුරු හා සම්බන්ධ නිවට තීරණයට මේ මිනිසා වගකිව යුතුය. තව වගකිව යුත්තෝ බොහෝය.

රැකියාවේ ඇති කාර්යබහුලත්වයත් වෙනත් නොයෙකුත් කාරණා නිසාත්, ගෙදර ජීවත්වෙනවාට වඩා පිටත ජීවිතයට මම ප්‍රිය කෙරුවෙමි. කුඩා කල සිටම නිවසින් පිට ජීවත්වූ නිසාමදෝ ,පිටස්තර සමාජය, පිටස්තර නවාතැන් වෙත ඇලුම් කෙරුවෙමි. මම නිවසින් පිටත්වුනෙමි. මේ ගතකළ කාලය පිළිබඳව වෙනම සටහනකින් ලියා තැබිය යුතුවේ. සිදුවූ සහ සිදුකරගත් පසුබිම් කතා බොහෝය. හමුවූ මිනිසුන් අප්‍රමාණය. ඒ තුළින් වටහාගත් දේද අතිශයින් වැදගත්ය. මම ඔවුන් සහ ඔවුන් වටා සිටි මිනිසුන් ගැන ඊළඟ වටයේදී කියන්නෙමි.

අප දේශපාලන කුහකත්වයෙන් තොරව සිතන්නේ නම්, රෝහණ විජේවීර චරිතය අප ඉතිහාසයේ සටහන් තුළ ඉඩක් හිමි චරිතයකි. සමහරුන්ට හොඳ වූත්, සමහරුන්ට නරක වූත් මේ මිනිස් හඬ මම මෙහි ඉතුරු කර තබන්නේ, අසා නොමැත්තෙකුට සවන් දීම සඳහාය.

උපුටා ගැනීම – https://arugeadaviya.wordpress.com

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල