කාලීන සංවාද

අවුල් වන්නට පෙර(52)..අමරබන්ධු රූපසිංහට පෙර , පෙරවදනක්

Off

අමරබන්දු රූපසිංහ නම් මේ මිනිසාගේ රාජකාරී ජීවිතය ගැන බොහෝ දේ කීමට මම නොදන්නෙමි. අප ඇසුරු කරනා කාලය තුළ, ඔහු කිසිවිටෙකත් තම රාජකාරී ජීවිතය ගැන කීමට හෝ නන් දෙඩවීමට යුහුසුළු නොවුවේය. මා දන්නෙත් ඔහු ඇසුරේදි, ඔහුගේ මිතුරන්ගේ කටින් පිටවූ දෑ සහ යම් මට්ටමින් මා සොයාගත් කරුණුවේ. මන්ද යත් 1977 ජේආර් ජයවර්ධන බලයට පත්වීමත් සමගම රිජ්වේ තිලකරත්නයන් ඇතුළු මෙවැනි දක්ෂයින් රාශියකට ගුවන් විදුලි සංස්ථාව තහනම් කලාපයක්වූ බැවිනි. 1977න් පසු මිය යන තෙක්ම නැවත අමරබන්දු රූපසිංහ හඬ ගුවන් විදුලියෙන් ඇසුණේ නැත්තේ උඩඟු දේශපාලක අමණයින්ගේ උද්ධච්ච හැසිරීම නිසා යැයි මම සිතමි. කෙසේ වෙතත් අරූ සහ අ.රූ.ගේ පෞදගලික සබඳතා මත පිහිටා මම මේ සටහන් කීපය දිග හරින්නෙමි. ඒ තුළින් මිනිස් ජීවිතය තුළ මුහුණ පෑමට සිදුවන දුක්ඛ දෝමනස්සයන් ගැන සාකච්ඡා කල හැක. මේ මිනිසාගේ පෞද්ගලික ජීවිතයේ අතිශය පෞද්ගලික කාරණා මා දන්නා නමුත්, ඒ ගැන කිසිවක් ලිවීමටවත්, සාකච්ඡා කිරීමටවත් මම බලාපොරොත්තු නොවෙමි.

අමරබන්දු රූපසිංහ නම්වූ මොහු, එදා මෙදා තුර ගුවන් විදුලියෙන් බිහිවූ දක්ෂතම ප්‍රවෘත්ති නිවේදකයා යැයි, ඔහුගේ සමකාලීනයන් පවා චකිතයකින් තොරව පවසා තිබේ. අමරේ අයියා ගුවන් විදුලි නිවේදකයෙක් පමණක් නොව, විස්තර විචාරකයෙක්, ප්‍රවෘත්ති සංස්කාරකවරයෙක්, සහ ගුවන් විදුලියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයෙක් ලෙසද සිටි බව මම අසා ඇත්තෙමි. පාලිත පෙරේරා විසින්, එච්.එම්. ගුණසේකරයන්ගේ මාර්ගෝපදේශකත්වය යටතේ සිංහලෙන් ක්‍රිකට් විස්තර ප්‍රචාරණයන් කල මුල් කාලයේ අමරබන්දු රූපසිංහද ඉන් එකෙක් බව පාලිත පෙරේරා, ඔහුගේ ‘පාලිත පෙරේරා..සමග සජීවි ලෙසින්’ නම් ග්‍රන්ථයේ සඳහන් කර සිටී. අමරබන්දු මිය යෑමෙන් පසුව , ඒ නමින් පදනමක් ආරම්භ කරේත් පාලිත බව පසුකාලයක මම පුවත්පත්වල දුටුවෙමි. ප්‍රේමසර ඈපාසිංහයන් ‘සිංහල ක්‍රිකට්’ වෙනුවෙන් එකතුවී ඇත්තේ පසුවය. ඔහු දුන් දායකත්වය සුලු පටු නොවේ. ප්‍රේමසර පදිංචිව සිටියේත් විජේරාම අවටය. අපි ඒ පාර හැඳින්වූයේ බලු බෙටි පාර කියාය. ඒ බල්ලන්ගෙන් තිබු කරදරය නිසාම මිස අන් කිසිවක් නිසා නොවේ. මේ පාරේම එක් කාලයක් බණ්ඩාර කේ විජේතුංග නම්වූ ඒ සෞන්දර්‍යවාදියාද පදිංචිව සිටියේය. ප්‍රේමකීර්ති තාවකාලිකව ලැගුම් ගෙන සිටියේ දෙල්කඳ හංදියේය. සොඳුරු මිනිසුන් රාශියක් ඒ වනවිට අප ආශ්‍රිත ගම්මානයේ නේවාසිකයෝ වූහ. වික්ටර් රත්නායකයන් නාවින්නේය. මිල්ටන් මල්ලවාරචිචි ඇඹුල්දෙණියේය. කියන්නට ගියහොත් පෝලිමක්ය. ඒවා දැනට අමතක කිරීම යෝග්‍යය.

මේ සියල්ලන්ම ගැන මම පසුව ලියමි. නන්නත්තාරවු සමාජයක කෙඳිරියක් හෝ නගන්නේ අදටත් ජීවත්වී සිටිනා මෙවන් අතලොස්සකි. යෝධයින් අතරේ මම වැනි කුඩා තරුණයෙකුට ඔවුන් හා පසු අසුනකින් හෝ වාඩීවී සිටීමටත්, ඒ යුග පුරුෂයන් හා එක්ව අඩියක්, පුඩියක් ගැසීමට ලැබීමත් මා ලැබූ භාග්‍යයක් හැර අන් කවරක්ද? මේ මා ලියුවේ අප අවට ප්‍රදේශවාසීන් ගැන පමණය. කේමදාස මාස්ටර් වැනි, උත්තම කුලයේ මිනිසුන් මට මුණ ගැස්සවූයේ මේ, අප කාටවත් අමතකවී ඇති අසික්කිත වේදනාවන්ට යටත්වූ සුන්දරයාය. ගුණදාස කපුගේ වැනි අති උතුම් මානවවාදීන් හා සමග වාඩිවී විජේරාම හන්දියේ බත් කඩේ බත් පැකට් එකත්, හොර පොළේ ගල් භාගයත් බෙදා හදා ගන්නට ඉඩ ප්‍රස්තාව ලැබුණේ මේ මිනිසා නිසාමය. අමරෙ අයියා මට දුන් දේ බොහෝය. අමරේ අයියාගේ මිත්‍රයෙක්වූ ප්‍රවීණ මාධ්‍යවේදී චින්තන ජයසේනයන් හඳුන්වාදුන් යෙදුමකට අනුව නම් ‘සෙස්ස පස්සටය’. මම ඒ අය පිළිබඳව පසුව ලියමි. අවුල් වන්නට පෙර සටහන් තුළ ලියවෙන වඩාත් සුන්දර ලියවිලි මතුවිය හැක්කේ , මේ සොඳුරු මිනිසා හා සබැඳිව ගතකළ, අරූ නම්වූ නොදියුණු මිනිසාගේ කතා පෙළය. මට සමාවී කියවන්න. මා හඬගා කියන්නේ මගේ ජීවිතයමය. එය උස් හඬින් කිව යුතු යැයි පළමු පාඩම කියා දුන් අය අතරේ මේ මිනිසා ඉහළින් සිටී. ඔහු මිය ගිය දිනයවත් මම නොදන්නෙමි.

අමරෙ අයියාගේ රැකියාව අහිමිවීමෙන් පසු. ඔහු කේමදාස මාස්ටර්ගේ බොහෝ වැඩ කටයුතුවලට දායකවූ බව මම අත්දැකීමෙන් දනිමි. මෙවැනි අවස්ථා සඳහා මමද කොලු ගැටයෙක් ලෙස ඔහු පසුපස ගියෙමි. ගොළු හදවතින් තුන් වැනි යාමයට, පිරිනිවන් මංගල්‍යය, Killer වැනි කැසට් පට තුළ ඔහුගේ ඒ ගාම්භීර මෙන්ම සිත් තුළ කිඳා බහිනා කටහඬ නැවත නැවතත් ශ්‍රවණය කල හැකිවේ.ඒ සියලු තැන්හී සුනිලා අබේසේකර නම්වූ ඒ එඩිතර ගැහැණිය අදටත් ජීවමානවේ. මොවුන් සොඳුරු මිතුරන් සහ මිතුරියන් විය. මේ මිනිසා ගී පද රචනයටත් දායකවී තිබේ. ඒ කෙසේ වෙතත් 1994දී නැවත ශ්‍රිලනිප ප්‍රමුඛ රජයක් බිහිවෙන විට අමරබන්දු රූපසිංහ සියලු දුක් ගැහැට තුළ තිබූ ශෝකී රසයම තම ආත්මයට බද්ධකරගෙන අවසන් සුසුම් හෙල හමාරය. එදා ගුවන් විදුලියේ ලොකු මාස්ටර්වූ තිලක් සුදර්මන් ද සිල්වාත්, මැද මාස්ටර්වූ අමරබන්දු රූපසිංහත්, පොඩි මාස්ටර්වූ ප්‍රේමකීර්ති ද අල්විස්වත් ජීවතුන් අතර නැත. ඒ මාස්ටර්ලා වෙනුවට ගුවන් විදුලියත්, අනිකුත් මාධ්‍යත් වටකර ගත් පච මාස්ටර්ලා ගෙන් නම් අඩුවක් නැත. මගේ මේ සටහනේ ඉදිරිය කියවීමට පෙර පහත සඳහන් ලින්ක් එක තුළට ගොස් VOICE ARCHIVE නම් වෙබ් අඩවියට පිවිසෙන මෙන් මම කාරුණිකව ඉල්ලා සිටිමි. එතැනට ගොස් අමරබන්දු රූපසිංහ නමින් ඇති ‘CUT 2′ විනාඩි දෙකේ හඬ පටයට සවන් දෙන්න. මේ හඬ පමණක් නොව, ඒවා සමහරක් ලියා ඇත්තේද මේ මිනිසා බව මම අසා ඇත්තෙමි. මේ විනාඩි දෙකේ හඬ පටය, අද මාධ්‍ය ක්ෂේත්‍රයට සිදුවී ඇති ඉරණම ඔබට පැහැදිලි කර දෙනු ඇතැයි මම විශ්වාස කරමි. සවන් දෙන්න එය ඔබට අවැඩක් නොවන බව මට විශ්වාසය. අදටත් අමරබන්දුගේ සොයාගත හැකි එකම කුඩා ඡායාරූපය ඇත්තේද මෙතැන පමණි.

PLEASE LISTEN VOICE ARCHIVE FOR TWO MINIUTES

අමරබන්දු රූපසිංහ ගැන ලියනවාට වඩා, මේ අගනා වෙබ් අඩවිය ගැන යමක් සටහන් කිරීම මගේ යුතුකමවේ. මේ මහඟු සද්කාර්යය පවත්වාගෙන යන්නේ අමරබන්දුගේ සමකාලීනයෙක්වූ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්න මහතාණන්ය. අශෝක තිලකරත්න යනු ඒ යුගයේ සිටි කෘතහස්ත මාධ්‍යවේදීන්, දැන උගත් පරිපාලකයින් අතරින්, අදටත් අප අතර ජීවමාන සිටිනා ජ්‍යේෂ්ඨයින් අතළොස්සෙන් එකෙකි. මේ නිහඬ රසවතා පවත්වාගෙන යන මේ අඩවිය තුළ, ඔබ නො ඇසූ, ගුවන් විදුලි මාධ්‍යවේදීන් පමණක් නොව, දෙස් විදෙස් රාජ්‍ය නායකයින්ගේ, වේදිකා , චිත්‍රපට නළු නිළියන්ගේ, ඇතුළු බොහෝ විෂයන්හී නම් දැරූ, ඒත් ඔබ නො ඇසූ ඔවුන්ගේ හඬ පටයන්ට සවන් දිය හැක. ඒ විද්වතුන්ගේ හඬ ගබඩා කර ඇත. එය මහඟු අත්දැකීමක්වනු නො අනුමානය. අශෝක තිලකරත්න මහතාණනි….මේ මගේ ප්‍රනාමයයි!!!!

මම දැන් නොසිතූ අකරතැබ්බයකට පත්වී සිටින්නෙමි. අමරබන්දු රූපසිංහ හා අරූගේ පෞද්ගලික කතා පටන් ගන්නට යැයි සිතාගත් තැනින් මේ සටහන පටන් ගතහොත්, මේ කොටස ගලපාගත නොහැකිවන බවක් මට සිතේ. ඒ මා දක්ෂ ලේඛන කුසලතා ඇත්තෙක් නොවනු නිසා විය යුතුය.සටහන කෙටි කරගැනීමට වීම මගේ අඩුවකි. තටම තටමා මේ වදන්නට යන්නේ මී පැටියෙක් විය හැකිය. එතකන් මට සමාවන්න..උණහපුළුවාට උගේ පැටියා මැණිකකි!!

නැවත හමුවෙන තුරු මේ ගීතයට සවන් දෙන්න. වීඩියෝ පටයක් සොයා ගත නොහැකිය. මාලනීගේ ආදරණීය නැඟණිය සන්ධ්‍යා බුලත්සිංහල පසුව ගයනා ලද මේ ගීතයේම වීඩියෝ පටයක් ඇති මුත් එය එතරම් පැහැදිලි නැත්තේ කාර්මික දුබලතා නිසා විය යුතුය.

ගැයුවේ….මාලනි බුලත්සිංහල
තනු හැදුවේ…..එච් එම් ජයවර්ධන
පද ලියා තැබුවේ…..අමරබන්දු රූපසිංහ

“හාමුදුරුවනේ” මෙතනට ගොස් සවන් දෙන්න. මීට වඩා පහසු කමක් ඇතොත් මටත් දන්වන්න.

උපුටා ගැනීම – http://arugeadaviya.wordpress.com/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල