කෙටි කථා

විප්ලව සල්ලි!!

Off

“තමුසෙලා.. මේ ඉස්කෝලෙත් කාලා.. තමුසෙලත් වැනසිල මේ රටත් විනාස කරන්නද හදන්නේ යකුනේ“

පන්තිය තුල ගිගිරුම් දෙන රසායන විද්‍යා ගුරුවරයාගේ වචන, කටින් පිටවු කෙළ බිංදු අංශු සමග මුසු වී පන්ති කාමරය සිසාරා හැම අතම දුවද්දී, ඊට මුහුණ දීගත නොහැකි අන් සියළුම ශබ්ද අංශුන් හැංගෙන්නට විය. කෙනෙකුගේ ආශ්වාසය-ප්‍රාශ්වාසය පවා ඒ හඩින් බියෙන් වේව්ලුම් කා දුර්වල වී හෝ අමතක වී ඇති සේය.

“තොපි තමා මේන් හෝල් එකට රතිඤ්ඤ වැල තිබ්බේ.. මට නෑ කියන්න එපා.. තොපිගෙන් දෙන්නෙක් ඒක හඳුන්කූරට පත්තු කරල ස්ටේජ් එක උඩ තිබුන කොහුමෙට්ටෙ අස්සේ හංගනවා දැකපු දෙන්නෙක්ම ඉන්නවා. ඉතිං තමුසෙල ඉවරයි.. මැරෙන්නද යකෝ හදන්නේ.. ප්‍රින්සිපල් සර් මේක පොලීසියට කිව්වොත් ඔක්කෝම ඉවරයි.. තොපි ඉන්නේ ටයර් එකක උඩ හෙට උදේ..ට.. ගොං තඩියෝ“

නැවත නැවතත් බෙරිහන් දෙන රසායන විද්‍යා ගුරුවරයාගේ මුවට කුමන රසායනකයක් හෝ යොදා කට වැසීමට ඇත්නම් යයි එක් අයෙකු කල්පනා කලේය. තවෙකෙකු ගුරුවරයාගේ කටට පාං කඩ ඔබා අත් පිටුපසට කොට බැඳ පන්තියේ බිම ඉන්දවිය යුතුයැයි කල්පනා කලේය. එහෙත් අන් කිසිවෙකුත් තුල එවැනි අදහසක් නොවීය. මේ සිදු වන මහා ලතෝනිය තවත් එක කණකොකා හැඩීමක්ම බව අන් සියළු දෙනාගේම මතය විය.

මේ සියළු සිද්ධින් 1989 මහා කලබල කාලයේ එක්තරා ප්‍රධාන පිරිමි පාසැලක උසස් පෙළ පන්ති කාමරයේදී සිදු වූ දේය. වසර දහයක් එපිටදී කලබලකාරයන් පාසැලෙන් පිටවී තවත් කලබල කාරයන් පාසැලට ඇතුලු වී සිටියද, පාසැලේ ප්‍රධාන ශාලාවේ නැවත අනුමැතියකින් තොරව රතිඤ්ඤ කරල් පත්තු වීමක් නම් සිදූ වූයේ නැත.

****************

“උඹට කියන්නේ බං.. එදා සර් බැනපු විදිය මට තාම ඒ වගේම මතකයි“

“අනේද කිය්නනේ.. මිනිහා අපි ගැන බය උනා නේ බං.. ඒකයි අර විදියට කෑ ගැහුවේ“

“මොන මගුලක්ද බං.. ඒ යකා කෑ ගැහුවට අපි බය උනායැ“

“ඔව් ඉතිං. ඒත් බලහං අපිට අවුරුදු පහක් විතර හැංගෙන්න උනා නේ“

“ඒකට කමක් නෑ.. දැං කියහං මොකක්ද අද ප්ලෑන් එක“

“ඔන්න ගම්පහ වීරමුණි සහෝදරයා මට පණිවිඩයක් එවලා තිබුනා අපේ රන්දෙනිය සහෝදරයා අතේ.. අද රෑට දාහේ මිටි පහක් එනවලු.. හෙට එළිවෙන කොට කළුතර ඒරියා එක කවර් වෙන්න ඕනලු.“

“ඉතිං බං පන්දාහෙන් බැහැනේ. කළුතර කවර කරන්න. ඕන නං මතුගම ටවුමට දුවන්න පුළුවන්. දැං බලහං කළුතර ටටුමේ ඉදල බැලුවත් අපේ පොයින්ට් කීයක් වැඩි වෙලා තියේද කියලා“

“අවුලක් නෑ බං… අළුත්ගම, දර්ග ටවුන් ඉදල යටදොළට, අවිත්තාවට, බේරුවල, කළුතර ටවුන් දෙක, නාගොඩ, ඊට පස්සේ කටුකුරුන්දේ ඉදල පුළුවන් තරං සෙට් කරමු.. මට හිතෙන්නේ අපිට මතුගමට ඇදගන්න පුළුවන් බං.“

“ඔය ලයින් එක කවර් කරන්න අඩු ගානේ මිටි හයක් ඕන.. පොඩ්ඩක් වැඩි උනත් ඒක ලොකු ලයින් එකකින් ඉවර කරන්න පුළුවන් බං මතුගමදි“

“හරි එහෙනං. උඹ අපේ කට්ටිය සෙට් කරහං. මම අපේ උන් ටික සෙට් කරන්නං. දෙසීය ගානේ මිටි කරල මං උඹට හවසට මිටි තුනක් එවනවා. ඉතිරි දෙක මං කරන්නං.. එහෙනං.. මම ගියා අපිට ජය“

“ජය වේවා මචෝ..“

************************

පසුදා පහන් වන විට කළුතර දිස්ත්‍රික්කයෙන් අඩක්ම අපුරු හැඩැති එකම වර්ගයේ පෝස්ටරයකින් ආලෝකමත් වී තිබුණි. කටුකුරුන්ද හන්දියේ තිබූ පැරණි අඩි දහයක් පමණ උසැති තාප්පය පුරා එවැනි පෝස්ටර් සියයක් දෙසීයයක් පමණ එක පේලියට මුළු තාප්පයම වැසෙන සේ අලවා තිබු අයුරු දුටු මහජනයා එම කාර්යය පිළිබඳව කුල්මත් සිතින් පසු වූහ.

“මේ කොල්ලෝ නං යක්කු.. අපි එළිවෙන කං ගැහුවත් ඔය ටික මේ වගේ අගේට අලවගන්න බෑ..“

“ඒක නං ඇත්ත. මතුගම ගියපු අර බස් එකේ සුදා කිව්වෙත් එක දිගටම මේ පෝස්ටර් එක ගහලලු. “

“මුන්ට එළිවෙන කොට ලංකාවෙම උනත් අලවන්න පුළුවන් නෙව.. ඒක නං පුදුම සංවිධානයක්.. කෝම කරනවද මන්දා මේ වැඩ“

“මං හිතන්නේ එක එක ගමට එකා දෙන්න වෙන්න ඇති. ටික ටික දුන්නම ඔක්කෝම ඒවා අලවනවා ඇති“

“ඉතිං ඕවා ඔක්කෝම එක දවසින් හැම අහටම යවන්නේ කොහොමද?“

“ඒකටත් උන්ට ක්‍රමයක් ඇති.. මොකද උන්ගේ වැඩත් හරියට ග්‍රාමසේවක වගේ නේ.. මේ කොට්ටාසෙන් එහා කොට්ටාසෙට දෙනවා. ඒකෙන් අනිත් එකට දෙනවා. අන්තිමට බැලුවම පොඩි කාරණයක්..“

“ඒකටත් එක්ක අපි රත්තරංට පෝස්ටර් ගැහුව විදිය.. හැක් හැක්.. පෝස්ටර් දහ දාහක් වෑන් එකේ.. ඒ මදිවට මහා පාප්ප බාල්දිය. අර හොදට බීපු ප්‍රනාන්දුවා ඔය පාප්ප හැලියටත් බෝතලයක් හැලුව නෙව.. “

“ඉතිං ඒ පෝස්ටර් ඔක්කෝම ගැහුවද??“

“පිස්සුද… රෑ වෙන කොට අඩි ගහල කට්ටියට කෙලින් ඉන්නවත් බෑ.. කොහේ ගහන්නද, අපි අළුත්ගම ගිහිල්ලා, ඊට පස්සේ දර්ග ටවුන් ගියා. කොහේ ගහන්නද,, අපේ අදුරන කෙනෙක් හිටියා ඔය අඹගහ හන්දියේ ඉස්කෝලේ ගාව. පෝස්ටර් ටික එහාට දීල පාප්ප බාල්දියත් ඔය කාණුවට හලල අපි නිදාගත්තා.. හයියෝ. ඊට පස්සේ උදේ ලොක්කලැයි ගෙදර ගියා උදේ කෑම කන්න..“

“ඒ හාදයා දිනුව එකයි පුදුමේ…“

“ඔය මල විකාර පෝස්ටර් ටිකක් වැදුනත් ඇති. මිනිස්සු මෝඩයි නෙ.. නිකම්ම ඒ අංකෙට දානවා. ඒකනේ දිනන්නේ“

*********************************
කුඩා පොල් වත්තකින් වට වූ සුදු වරිච්චි බිත්ති ඇති සිංහල උළු හෙවිලි කල කුඩා නිවෙසක බිම් කණ්ඩියේ වාඩි වී සිටින තරුණයන් කිහිප දෙනෙකි. ඔවුන් සියළු දෙනාම ජලය ඇති තරම් පානය කළ බවට හිස් ජොග්ගු සාක්ෂි දරයි. ඇතැමෙක් අඩනින්දේ බිම් කණ්ඩිය මතම දිගා වී සිටිද්දී. ඉතිරි කිිහිප දෙනා යම් බර සාකච්ඡාවකට නිරතව සිටී.

“සහෝදරයා.. උඹල කියන ඔක්කෝම හරි. ඒ උනත් අපේ රට යන්නේ අපිට ඕන පාරේ නෙමෛයි. ඒකයි විජේවීර සහෝදරයා හැමදාම කිව්වේ.“

“ඒවා දැං වැඩක් නෑ සහෝදරයා. අපි මේ ක්‍රමය වෙනස් කරන්න ඕන. දුර්දාන්ත පාලකයන් ඡන්දෙන් පරද්දන්න ඕන. නැතිව අපිට ජනතාවට සෙතක් කරන්න බෑ“

“මාක්ස්වාදය කියන එක මිනිස්සුන්ගේ හිතට ඇතුල් කරන්න ඕන. නැත්නං කව්රුවත් ඕවා අහන්නෙ නෑ. ප්‍රාග්ධනය බංග කරපු රටක මොන නැගී හිටීමක්ද සහෝදරයා.. අපි ඒ වෙනස ඇති කරන්නයි මහන්සි වෙන්න ඕන“

තරුණයන් ඉතා උනන්දුවෙන් කියවන මේ විකාර වචන වල සමහර බරසාර වචනද ඇත. ඒවා වචනයේ කියවීමෙන් බර වූවද, කටින් පිටවූවට පසු එහි බර ඔහුට දැනේනේ නැත. මන්ද ඒ බර වචන කියෙව්වාට, ඔවුන් එම වචනයන් හි තේරුමවත් හරි හැටි නොදන්නා ගිරා පෝතකයන් පිරිසක් බැවිනි.

**************************

මුහුදු වෙරළට ඉතා සමීපව පිිහිටි කුඩා නිවෙසක කාමරයේ ඇති අපිරිසිදු ඇඳක් මත ජංගම දුරකතනයක් වේව්ලමින් හඩ තලද්දී ඒ කුමක් නිසා ඇති වූ දෙයක් දැයි සැක හැර දැන ගැනීමට ඇද මත පතබාවා සිටි තරුණයා සුදානම් විය.

“හලෝ…“

“හලෝ… රුවන්.. මම ශෙනුල්…“

“අප්පට බොල. තොපිට දැං සහෝදරයා කෑල්ලත් අමතක වෙලා..“

“උඹ මොකද කරන්නේ“

“අඩේ ඊයේ පොඩි ගමණක් ගියා. රෑ බියර් දෙකක්ම ගැහුවා. මං ඉතිං ටිකක් ඇලවෙලා හිටියා බං“

“ඒක නෙමෙයි බං.. අපේ කෙමිස්‍රට්‍රි සර් මතකනේ“

“ඔව් ඔව්.. අපෝ අර අපේ විරුද්ධවාදියා නේ“

“පොර මට වැඩක් බාර දුන්නා බං“

“මොකක්ද බං“

“මිනිහගේ ක්ලාස් එකේ පෝස්ටර් ටික ගහන්න“

“කොච්චරද?“

“තුන්දාහක්“

“ලයින් එක මොකක්ද?“

“අළුත්ගම, කළුතර ටවුන්… බේරුවල… දර්ග ටවුන්.. ඊට පස්සේ මතුගම, අගලවත්ත“

“ඔය ටිකේ තුන්දාහක් වැඩියි නේ බං. ඕන නං දෙදාහක් යයි. ඔක්කෝම පොයින්ට් වල අත දිගෑරල ගැහුවොත්“

“හරි බං.. මිනිහා ඒක දන්න එකක්යැ. අපි ලයින් ටික කවර් කරාම මිනිහට ඒක නෝට් වෙන්නෑනේ“

“උම කීයද ගාන කිව්වේ..“

“එකකට දොළහයි බං“

“එළ එළ. එහෙම හොදා.. කවද්ද ඕන කියන්නේ“

“දවස් තුනකින්“

“හරි මෙහෙම කරමු. පක්ෂෙ බඩු වගයකුත් හෙට එනවා. එ් ගමන්ම ඕකත් කරමු.. එතකොට හරිනේ“

“හරි මචං. එහෙනං මං උඹට දාහේ මිටියයි.. සල්ලියි එවන්නං. ඉතුරු දාහ මම කරන්නං. විසී කරන දාහෙන් අපි අනිද්දට සෙට් වෙමු.. හරිනේ“

“ඕකේ මචං.. මං තිබ්බා එහෙනං“

*************************

“සර්. මේ පාර අපි පෝස්ටර් ගහන්නේ නැද්ද ක්ලාස් එකට.. අනිත් අයනං වැඩේ කරගෙන යනවා“

“මේ පාර තමුසෙල නෙමෙයි මමයි ගහන්නේ“

“ඇයි සර්.. ඒ“

“ගියපාර මතකද.. තමුසෙලා පෝස්ටර් පන්දාහක් ගහන්න ගිහිල්ලා හැත්තෑවක් විතර තට්ටු උනා. ඒ මදිවට තමුසෙල වාහනේ හප්පලා ඒක හදන්නත් මට පනහක් විතර ගියා.. නිකං පාඩු විතරයි“

“අවුලක් නෑ. සර් ඉතිං කොහොමද පෝස්ටර් සීන් එකෙන් ගොඩ යන්නේ“

“තමුසෙට කියන්න. මගේ ඉස්කොලේ ඒ ලෙවල් ක්ලාස් එකේ හිටියා ඒ කාලේ ජේවීපී කොල්ලෙක්. මම ඌට බාර දුන්නා වැඩේ“

“හප්පට සිරි. උන් මේ වගේ පෝස්ටරුත් ගහනවද?“

“කව්ද ඕයි සල්ලි වලට වැඩ නොකරන්නේ.. එක පොස්ටරේට පහළොවයි.. එතකොට තුන්දාහට හතලිස් පහයි.. වැඩේ ගොඩ. අනික තමුසෙල අර මෝඩ බාබර් කොණ්ඩේ කැපුව වගේ නෙමෙයි උන්.. රියල් විදියටම ඒරියා එක කවර් කරල ලස්සනට වැඩේ කරනවා..“

“ඉතිං සර්. ඔය ජේවීපී කාරයෝ සල්ලි වලට වැඩ කරනවාද“

“මොකද නැත්තෙ.. උන් දැන් බොනවත් එක්ක.. මම බෝතලයකුත් දුන්නා. උන් මාත් එක්ක ඒ දවස් වල තරහයි. මොකද මම ඔය විප්ලව කාරයොන්ට විරුද්ධ නිසා.. දැං ඉතිං මොකක්ද.. උනුත් එකයි අපිත් එකයි.. හහ් හහ් හා“

ස්තුතිය – ශානුක සහ මහේෂ් ට..
උපුටා ගැනීම – http://deshakaya.blogspot.co.uk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල