සාහිත්‍ය කළා විචාර

විසි පස් වසරකට පෙර ඇද වැටුණු බර්ලින් තාප්පය හා පූටින් හා ස්ටාසිලන්තය

Off

බර්ලින් තාප්පය ඇද වැටුන කාලේ අපි සෝවියට් දේශයේ ශිෂ්‍යයෝ. අපි බටහිර බර්ලිනයට හෝ එංගලන්තයට ආවේ දුම්රියේ. ඒක හරි රසවත් ගමනක්. දුම්රිය ලන්ඩනයට එන්නම දවස් තුනක් යනවා. රුසියාව, බෙලෝ රුසියාව හා පෝලන්තය පහු කරලා තමා එන්නේ. ඒ දවස්වල බර්ලිනය ලං වෙනකොට බර්ලින් තාප්පය පේන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලම දකින වෙනස තමා අති විශාල වෙළඳ දැන්වීම් පුවරු. සාමාන්‍යයෙන් සමාජවාදී රටවල වෙළඳ දැන්වීම ඒ වගේ තිබ්බේ නැහැ. ඉතින් අපි දුම්රියේ ඇවිත් ෆ්‍රෙඩ්රික්ස්ට්‍රාස (Friedrichstrasse) කියන දුම්රිය පොලෙන් බැහැල , චෙක්පොයින්ට් චාලි කියන බර්ලින් තාප්පය මැද හරියේ තියෙන ප්‍රසිද්ධ රැකවල් ගේට්ටුව පහු කරලා තමා බටහිර බර්ලිනයට එන්නේ. විදේශිකයන්ට ඒක යටින් තිබෙන උමගින් ගිහිල්ල ආගමන විගමන නිලධාරින් පහු කලාම වැටෙන්නේ බටහිර බර්ලිනයේ සූගාර්ඩ්න් (Zoo Garden) උමන් නැවතුම් පොලට. (පහත තියෙන්නේ එහි මුල් කාලයේ තාප්පය.)

la-fg-look-back-berlin-wall-pictures-20141105-001

දැන් ඊයේ මෙර්කල්, ගොර්බචෝව් හෙම ඇවිල්ල තාප්පය බිඳ හෙලා ජර්මනිය එක්සත් වුනු 25 වන අවුරුද්ද සැමරුවා. එහිදී ගොර්බචෝව්, තාප්පය බිඳ හෙලීමට උදව් දුන් සෝවියට් නායකයා පුටින්ගේ මතය තහවුරු කරමින් කතා කලා. බටහිර විසින් සෝවියට් දේශය රැවටු බව. ගොර්බ කියන කතාව ටිකක් ඇත්ත . සෝවියට් දේශය නය ඉල්ලලා තිබෙනවා බටහිර ජර්මනියෙන් තාප්පය අයින් කරනවට. ඒක ලැබුනෙත් නැහැ. අනික නැටෝ එකට රුසියාව ගන්න කියල ඉල්ලා තිබෙනවා. එය ලැබුනෙත් නැහැ. පහල මුල් පින්තුරයෙන් නැගෙනහිර ජර්මානුවන් බටහිර දෙස බලන අයුරුත් , දෙවැන්නෙන් තාප්පය බිඳින අවස්ථාවකුත් දැක්වෙනවා .

berlin-wall-1

 

berlin

දැන් එතකොට මේ සිද්ධිය වෙනකොට පුටින් හිටියේ කොහෙද? පුටින් හිටියේ ඩ්‍රෙස්ඩන් කියන නගරයේ. පුටින් සෝවියට් තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් කියල කියනවා (විකිපෙඩියා එකේ වෙන විධිහකට තිබෙන්නේ). තුන්වන ලේකම් හැටියට සාමාන්‍යයෙන් දාන්නේ කේජිබී නිලධාරියෙක්. පුටින් කේජිබී විදේශ සේවා අංශයේ කෝප්‍රල් කෙනෙක් හැටියට පටන් අරන් ලුතිනන් තත්වයේ සිටිද්දී තමා ඩ්‍රෙස්ඩන් හිටිය කියන්නේ. ඒ නගරයේ විදේශික ශිෂ්‍යයන් එහෙම හිටි නිසා සෝවියට් කඳවුර සඳහා විදේශිකයන්ගෙන් ප්‍රවෘත්ති එක් රැස් කරනවා වගේ මහා නීරස රස්සාවක් තමා කරලා තියෙන්නේ.

1989 නොවෙම්බර් 8 වෙනිදා මේ තත්වය වෙනස් වුනා. තාප්පය හරහා යන්න නැගෙනහිර ජර්මන් රජය අවසර දුන්න. ගොර්බාගේ නායකත්වයෙන් යුත් සෝවියට් රජය නිහඬ වුණා. මේක බුෂ් (ඇමෙරිකන් ජනාධිපති) හා හෙල්මුට් කෝල් (බටහිර ජර්මන් චාන්සලර්) සමග කලින් ඇතිකරගත් එකඟත්වයක ප්‍රතිපලයක්. ඩ්‍රෙස්ඩන් වල තිබ්බ නැගෙනහිර ජර්මන් රහස් ඔත්තු සේවය හෙවත් ස්ටාසි එකේ ගොඩනැගිල්ලක්. මේකේ ගොඩක් තිබුනේ ස්ටාසි එක විසින් නැගෙනහිර ජර්මන් වැසියන්ගේ පෞද්ගලික විස්තර හොයල ඔත්තු සේවා සඳහා තබා ගත්ත දත්ත. බර්ලින් තාප්පය කඩන රැල්ලේදී මිනිස්සු මේකටත් පහර දීල මේ ෆයිල් හා දත්ත විනාශ කලා. (හැබැයි මිනිස්සු එන්න කලින් ස්ටාසි ඔත්තු කරුවන් තමන්ව අපරාධකරුවන් හැටියට චෝදනා කල හැකි වන ගොඩක් ෆයිල් තමන්ම විනාශ කරලා තිබුන.) පස්සේදී මිනිස්සු මේවා ආරක්ෂා කලා නඩු සඳහා. නමුත් මේ ඇතිවුන ජනතා නැගිටිමේදී ඒ ගැන කවුරුත් කල්පනා කලේ නැහැ.

අද පරණ නැගෙනහිර ජර්මනියේ ඩ්‍රෙස්ඩන්, ලිප්සිග් වැනි නගර වල හා තුරින්ගියා ප්‍රදේශයේ තත්වය බර්ලිනයට වඩා වෙනස්. බර්ලිනයේ මේ තාප්පය වැටීම සමරද්දී නැගෙනහිර කට්ටිය පරණ සමාජවාදී පක්ෂයට චන්දය දීල. ඔවුන්ට ඕනේ මුලින් තිබ්බ වගේ මාපියන් වැඩට යනවා නම් ළමයි බලන්න හදල තිබ්බ නිකේතන (මේවා අතිශයින් කාර්යක්ෂම හා හොඳ ඒවා. වැඩ කරන අයත් ළමයි ගැන, ළමා මනෝ විද්‍යාව ගැන උපාධි පවා අරගත් අය) නැවත ඇති කරන්න . සමහර ඒවා දැනටමත් තිබෙනවා. ඒවගේම මුලින් තිබ්බ ජිවිත කාලයටම බලපාන රැකියා, ආදියත් ඔවුන්ට ඕන වෙලා.

මෙතනින් පස්සේ ලියන මේ ටිකට මට කිසිම සාක්ෂියක් නැහැ. අහපු කතාවක් විතරයි.

අර උද්ඝෝෂණ කරපු නැගෙනහිර ජර්මන් වැසියන් ඊළඟට ඇවිල්ල තිබෙන්නේ පුටින් හිටපු ගොඩනැගිල්ලට. එකට පහර දීල විනාශ කරන්න ඒ අයට ඕන වෙලා තිබුන. මොකද ඔවුන් දැන සිටිය මෙතනත් intelligence gathering හෙවත් මිනිසුන්ගේ රහස් දත්ත ගබඩා කරල තිබෙනවා කියල. හැබැයි මේක රුසියානු තානාපති කාර්යාලයට අයිති ගොඩ නැගිල්ලක්. ඒ කියන්න තානාපති නීති හා ආචාර පද්ධති වලට අනුව සංග්‍රාහක (host ) රටේ පොලිසියට වුනත් ඒවා ඇතුලට යන්න බැහැ රජයේ විශේෂ අධිකරණ බලයකින් තොරව. ලංකාවෙත් එහෙමයි. තානාපති කාර්යාල හා ගොඩ නැගිලි භුමිය අයත් ඒ රටට. මේ ගොඩ නැගිල්ල ආරක්ෂා කල භටයන් ඔවුන්ට එන්න ඉඩ දුන්නේ නැහැ. නමුත් මිනිස්සු තල්ලු කරගෙනම එනවා. නවත්වන්න විධිහක් නැහැ. වෙඩි තිබ්බොත් යුධ අපරාධ චෝදනා එන්නත් පුළුවන්. කවුරුත් දන්නේ නැහැ මොනවා වෙනවද කියල. පුටින් හා ඔහුගේ ඊළඟ උසස් නිලධාරියා හමුදා සහය ඉල්ලුව. මේ කාලේ රතු හමුදාවේ කොටස් නැගෙනහිර ජර්මනියේ තැන් තැන් වල රැදී හිටිය. ඕනේ වේලාවක බටහිර ආක්‍රමණයකට මුහුණ දෙන්න. නමුත් මේක සුවිශේෂ අවස්ථාවක් නිසා ඔවුන් ආවේ නැහැ. පුටින් ගේ කට්ටිය කීව හමුදා නිලධාරීන්ට මොස්කව් වලින් අහන්න කියල. ඔවුන් කියල තියනවා “moscow silent ” කියල. මොස්කව් ඒ කියන්නේ සෝවියට් දේශයේ ඉහල පාලනාධිකාරය නිහඬයි කියල. කවුරුත් තීරණයක් ගන්නේ නැහැ.

දැන් මේ ගොඩනැගිල්ලේ හිටපු අධිකාරි බලය ඇති ඉහල නිලධාරියා (rank) පුටින්. පුටින් තමන්ගේ පිස්තෝලය අරගෙන අනිත් සොල්දාදුවෝ අට දෙනාට කියල ඉදිරියට එන්න කියල තමන්ගේ ආයුධ load කරගෙන. ඇවිත් ගොඩනැගිල්ලට කඩා පනින්න තැත් කරන ජර්මන් වැසියන්ට කියල තිබෙනවා “ඔහු ළඟ හා අනිත් සොල්දාදුවන් ළඟ මුනිස්සම් 120-130 පමණ තිබෙනවා. ඔහු හමුදා නිලයක් දරන්නෙක්. ඔහුට තිබෙන නියෝගය තමා, තම රටට අයිති දේපල හා භුමිය ආරක්ෂා කිරීම. ඒ නිසා ගොඩනැගිල්ලට බලෙන් ඇතුළු වුනොත් වෙඩි තබන බව. ජර්මානුවන් කියා තිබෙනවා ඔවුන්ගේ පිරිස වැඩි බව හා පුටින්ලා ගේ සංඛ්‍යාව අඩු බව. නමුත් පුටින් තදින් කියා තිබෙනවා ඔහු වෙඩි තබන්නට නියෝග කරන බව. ” ටික වෙලාවකට පසු පැමිණි ජර්මන් වැසියන් විසිර ගොස් තිබෙනවා. ඔවුන් විශ්වාස කලා පුටින් වෙඩි තබන බව. මන් හිතන්නේ නිදහස ලැබෙමින් තිබියදී අනිවාරතේ මැරෙන්න කාටවත් ඕනේ නැතිව ඇති. අනික කිසිම මරණයක් මේ තාප්පය වැටෙද්දී සිදුවුනේ නැහැ. නැගෙනහිර ජර්මන් කොමියුනිස්ට් පක්ෂ නිලධාරින් බලය පාවිච්චි කලෙත් නැහැ තම වැසියන්ට විරුද්ධව.

මින් දවස් කීපයකට පස්සේ කේජිබී එකෙන් පුටින් නැවත ලෙනින්ග්‍රාද් (ශාන්ත පිතර්බුර්ගයට ) නගරයට කැඳවා තිබෙනවා.

සමහරවිට පුටින් තම රටේ බලය තිබු අය මෙහිදී නිහඬව සිටිමින් තමන් පාවාදීම පිළිබඳව කෝපයක් ඇති කර ගන්න ඇති. ඉන්පසු ඔහු කේජිබියෙන් ඉවත්වී ශාන්ත පිතර්බුර්ග නගරාධිපති සොබ්චාක් ළඟට වැඩට යනවා. එතන සිට දිගටම උඩට ආ ගමන නතර වුනේ ජනාධිපති වීමෙන්.

පුටින් මහා රුසියන් ජාතිවාදයට අනුග්‍රහ දක්වමින් රුසියානු ඔර්තොදොක්ස් පල්ලියේ අනුග්‍රහයද ලබමින් එක්තරා අන්දමක ඒක පාක්ෂික පාලනයක් ගෙන යන්නෙක්. ගොර්බචෝව් කල වැරැද්ද හැටියට ඔහු දකින්නේ මිනිසුන්ට දේශපාලන නිදහස දීම. ඔහුට අනුව මිනිසුන්ට දෙන්නට තිබුනේ චීනයේ වැනි ආර්ථික නිදහසක් ධනවාදය නැවත ස්ථාපිත කරන්න. දැනට පෙනෙන්නේ ඔහු ඒ අනුව කටයුතු කරන බවයි. ඔහු යටතේදී රුසියාව නැවතත් ධනවත් රටක් බව පත් වෙලා තිබෙනවා. රුසියානු රන් සංචිතය ඉහලයි. ඔහු වැඩිමහල් උදවියට දුන් විශ්‍රාම වැටුප වැඩි කරලා සමජ සුභ සාධක දීමනාත් තරමක්‌ වැඩි කරලා තිබෙනවා. වැටී තිබුන ආරක්ෂක දෙපාර්තමේන්තුව හා හමුදාව නැවත ගොඩ නංවා තිබෙන අතර , අභ්‍යවකාශ විද්‍යාව හා අභ්‍යවකාශ යානා සැදීම සඳහා යොදන මුදල් හා සම්පත් වැඩිකර විද්‍යාත්මක ගවේෂණ සඳහාද මුදල් වැඩි කර තිබෙනවා. මේ නිසා බටහිර අකමැති වුනත් වැඩි මිනිසුන් ප්‍රමාණයක් ඔහුට කැමතියි රුසියාව තුල.

පුටින් ගේ ක්‍රියාවලින් පෙනෙන්නේ ඔහු ස්ටාලින්වාදියෙක් බව. නමුත් ඔහු ලෙනින්වාදියෙක් වත් මාක්ස්වාදියෙක් වත් නොවේ.

මුල්ම පින්තුරය: ඇනා ෆුන්ඩර් ගේ නවකතාව ස්ටසිලන්තය (මේ දවස් වල පරිවර්තනය කරගෙන යනවා. ළඟදීම බ්ලොගයකින් කියවන්නට ලැබේවි.)

උපුටා ගැනීම – http://kolambagamaya.blogspot.co.uk

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල