කෙටි කථා

ප්‍රසංගය!!

Off

අවලම්භිත සියුම් විදිලි එළි දීලීමෙන් රංග ශාලාව තුල මිහිරි අදුරක් මවා පා ඇත. ආසන පේලි සියල්ලම පාහේ පිරි ඇති අතර, පිරෙමින් පවත්නා පේලි අතර මුණුමුණුවක් නැගෙන්නේ පුටු වල යකඩ පා, බිම ඇතිල්ලීම හේතුවෙනි. උත්සවය අවසන් වීමෙන් පසුව එය මොන තරං කන්දොස්කිරියාවක් වේදැයි යන්න දන්නේ දන්නෝම පමණි. ශාලාවේ එළිය ගලන සියලු තැන් අඳුරු කොට ඇත. විටින් විට දැල්වෙන දැඩි දීප්ත පහනක් දෙකක් වේදිකාව මතම පරවී යයි. තවත් විටෙක පාට පාට විදුලි එළි බමන මතින් වේදිකාව පුරාම දුවන්නට පටන් ගනී. ප්‍රසංගය ආරම්භයට, තවත් වේලාව විනාඩි පහළොවක් පමණ ඉතුරු වී ඇතත් දැනටම ශාලාව සම්පුර්ණයෙන්ම හිස් ගොඩක් බවට පත්ව ඇත.

*****************************************

වේදිකාව කෙළවර වන්නට තිර රෙද්ද මෑත් නොවන ස්ථානයකින් පිහිටුවා ඇති වීදුරු දොරෙන් ඇතුලු වී පඩිපෙළ බැස ගියපසු තවත් කුඩා ශාලාවකට ඇතුල් විය හැක. ඒ තුල සුවපහසු පුටු රාශියක් පවතින අතර, ඊටත් එහායින් විශාල මේසයක් වටා තවත් කුෂන් පුටු විස්සක් පමණ තබා ඇත. මේසයේ කෙළවරකට වන්නට සංගීත ආම්පන්න කිහිපයක් රැගත් ශිල්පීහු යම් කාර්යයක නිරත වී සිටිති. ඒ අතරතුර අනෙක් අය, වාඩී වී සිටින කිහිප දෙනා දෙස කුකුසෙන් යුක්තව බලා සිටින අයුරක් දිස් වේ.

“අයියේ.. මම තමුසෙට කිව්ව නේ.. ඔය මලදානේ නැතිව වෙන එකක් ගේන්න කියලා“

“මේකනේ මාස්ටර්.. මට මේක තමා හරියන එක“

“බලනවා ඕයි.. තමුසේ මාව කනවා. තව විනාඩි දහයයි තියෙන්නෙ.. දිව්‍ය ලෝකෙන් හරි කමක් නෑ වයලීන් එකක් ගෙනෙං. මාව මිනීමරුවෙක් කරන්න එපා ඕයි“

“හරි හරි මාස්ටර්. තව පොඩ්ඩයි. චින් ගාඩ් එක නැතිව හරි මං ඒක ප්ලේ කරන්නං“

“තමුසෙලා යනවා. මේ මිනිහා ඕක හදාගෙන ඒවි. තමුසෙලගේ ඉන්ස්ට්‍රමන්ට් ටික ළගට යනවලා.. දැං අනවනුන්සින්… යනවා ඕයි ඉක්මනට. මම කැමති නෑ තත්පරයක් වත් ලේට් වෙන්න“

සියළු දෙනාම වේදිකාවට ගොඩ වෙද්දී වයලීනය අත රැදී ශිල්පියා තම ඇස්, ඉස්, මස්, ලේ නියමාකාරව අනුගත කරමින් වයලීනයට මුවා වී සිටියේය. ඔහු ළගට පැමිණි, මෙතෙක් වේලා වහසි බස් දෙඩු තෙමේ යමක් ඔහුගේ කනට කෙදීරීමත් සමගම විසල් වූ ඇස් ඇතිව වයලීනය දෙකට කඩන තරම් කෝපාග්නියකින් යුක්තව වයලීන් වාදන ශිල්පියා, ඔහු දෙස බලා සිටියේය.

“හු*ගන්නෙ නැතිව ඕක අරන් වරෙන්“

*****************************************

“ස්තුතියි. මේ සියළු අත්පොළසන් අපගේ අද්විතීය කළාකරු, ජනතාවගේ දුක හදුනන, ජනතාව සමගම වෙසෙන යුගයේ නිදහසේ ප්‍රකම්පිත හඩ පෞරුෂය වන් ජනතාවාදී කළාකරුවා වෙනුවෙන් උපන් හෘදයාංගම ආමන්ත්‍රණය බව මා දනිමි. අප තවත් ප්‍රමාද නොවෙමු. ඔහු අපව අවදි කරන්නට, අපව අමතන්නට සැදී පැහැදි සිටින බව මා ඔබට නොකියමනාය. අපි ඔහුට අඩගසමු.. සහෘද හදවත් එකලු කරන්නට. මේ ගායන ශිල්පී, විශාරද චන්ද්‍රරත්න වන්නිනායක“

නැවතත් ශාලාව පුරා බිත්ති පුුපුරා හැලෙන අයුරින් අත්පොළසන් නාදය පැතිරී යන්නට විය. වේදිකාවේ පසෙකින් වම් පසට ඉලක්ක කොට දැල්වුනු විදිලි ආලෝකය, සුදු පැහැති ඇදුම් හැදි ගායන ශිල්පියාගේ ඍජු වූත්, අවංක වුත් රූපකාය අනුගමනය කරමින් දැල්වෙද්දී ඔහු විදුලි ආලෝකයට පිටුපා වේදිකාව ඉදිරියට පැමිණ, ප්‍රේක්ෂකාගාරය හට හිස පාත් කොට තම ගෞරවය හා ස්තුතිය පිරිනෑමීය. එක්වරම වේදිකාවේ විදුලි පහන් සියල්ලම දැල්වීමෙන් ගායකයාගේ මුහුණ නැගී ඇති මන්ස්තමිය හා ඔහුගේ තෙත් ඇස් ඔහු කෙතරම් අවිහිංසක ජනතාවාදී කලාකරුවෙක්ද යන්න මොනවට පෙන්වූ කැඩපතක් ම විය.

*****************************************

පළමු හා දෙැවැනි ගීත එක දිගටම ගායනා කළ ඔහුගේ මධුර කටහඩින් වශීකෘත වූ ප්‍රේක්ෂකාගාරය සිහිසුන්ව සිටි රෝගියෙකු මෙන් සිටියේය. යමක් දැනුනද ප්‍රේක්ෂකාගාරයේ කිසිවෙකුගේ ඇගිලි තුඩකුදු නොසෙල්වෙන මනාය. ප්‍රේමයට අත වැනූ පළමු ගී දෙකෙන් අනතුරුව ඔහු එළබෙන්නේ තම ජනතාවාදී හඩ අවදි කිරීමටය. මේ අවස්ථාවේදී ඔහු යම් දැහැනකට සම වැදුනාක් මෙන් ගීතයට යොමු වේ. ගීතයේ මුල්ම සංගීත කොටස වාදනය කරනු ලබන්නේ වයලීනයේ දැඩි ඉක්මන් වාදනයකිනි. එයින් ප්‍රේක්ෂකාගාරයේ පපු කැනිති හාරා අවුස්සා හැගීම් එළියට ගනු ලබන බව ඔහු දැඩි ලෙස විශ්වාස කළේය.

නිකට තම දිලිසෙන වයලීනයේ බඳ මත තැබූ ශිල්පියා තම උච්චතම අවස්ථාව දැන් එළඹ ඇති බව සිහිවී යම් ආතතියකට පත්ව සිටියේය. දැඩි වාදනයකදි වයලීන් බඳ එහා මෙහා නොයන පරිදි රඳවා තබා ගැනීම තරමක් අපහසු වන්නේ, තමාට මෙතෙක් උදව් දුන් එම රඳවනය වයලීනයෙන් ගැලවී, වේදිකාවෙන් පහළ ශාලාවේ නැවතී සිටින නිසාය. ඒ අතරම ගැස්මෙන් ආතුර වූ ඔහුගේ හදවත පළමු වරට ප්‍රේක්ෂකාගරයක් ඉදිරිපිට සිටින්නෙකුගේ තරමටම ඔහුව නවකයෙකු කොට ඇත. ඒ සියළු අපහසුකම් මැඩගෙන තම රාජකාරිය සදහා වයලීනය දැඩි ලෙස අල්ලා ගත් ඔහුට අවසන් මොහොතේ තම කන මත වේව්ලුම් කෑ වචන මතක් විය.

//“හු**ගන්නෙ නැතිව ඕක අරන් වරෙන්“//

තම හදවත කෝපයට පත්ව දගලන අයුරක් ඔහුට දැනිනි. තමාට ඉදිරියෙන් සිටින නොසරුප් බස් දොඩන්නා හට මහා වේදිකාවක්, විශාල ප්‍රේක්ෂකාගාරයක් ඉදිරිපිටදී බැන වැදිය යුතුයැයි ඔහුගේ දරදඩු හදවත ඔහුව පොළඹාලීය. එහෙත්, මේ නොසරුප් බස් දොඩන්නා තමා මෙන් කිහිප ගුණයක් සැම අතින්ම විශාල බව දැනී ශිල්පීයාගේ ශරීරය වක ගැහෙන්නට විය. තවත් තත්පර තුනකින් මුළු ලෝකයම නිහඩව සිටියදී තමා ශබ්දය උත්පානදය කළ යුතු බව ඔහු දනියි. නිහඩ ලෝකයේ පියාසලන එකම සමනලයා තමා බව දැනී ඔහු නැවත ප්‍රකෘතිමත් විය.

විනාඩියක් පමණ පවතින මිහිරි වයලීන් වාදනය ක්‍රමක්‍රමයෙන් මුහුදු රළ නැගී වෙරලේ හැපෙන්නාක් මෙන් දොංකාර දෙන්නට පටන් ගති. ටිකින් ටික වර්ධනය වී නැගෙන වයලීන් නාදය සටන් භූමියක තුර්යවාදනයක් සේ මිනිසුන්ගේ හිත් තුල දෝංකාර දෙන විට සමහරෙකුගේ රෝම කූප කෙලින් වන්නට විය. එය ඒ තරම්ම හැගීම් දනවන සුළු ජයග්‍රාහි වාදනයකි. එයින් ඇලලුනු බෝහෝ අයගේ භාවයන් සතුරු හමුදාවට මේ දැන් පහර දීමට තමන්ට අණ ලැබෙතැයි යන ඒකායන බලාපොරොත්තුවෙන් උන් නිර්භීත සෝල්දාදාවන් හා සමය.

එහෙත් වයලීන් වාදනය අවසන් වීමට තත්පර දෙක තුනක් තිබියදී එක් වරම ශාලාව භයානක ලෙස නිහඩ විය. වයලීන් වාදන ශිල්පියා ඉලක්ක කොට දැල්වුනු සියළු විදිලි පහන් තුෂ්නීම්භූතව ඔහු දෙසම බලා සිටියහ. ඒවයේ රස්නය වැදීමෙන්දෝ වාදන ශිල්පියාගේ පටු නළල මත දාහය තැන්පත් වී අයුරකි. ඔහු නිසොල්මන්ව සිටියේ තම වයලීනය උරපත්තෙන් පැන අවට වාතලයට පියාඹා යාම නිසාය. සිදු වූයේ කුමක් දැයි ඔහු නොදන්නේ ඔහුගේ මුළු ආත්මයම වාදනයෙන් නික්මුණ හඩ තුල රැදී තිබු නිසාය. කලබලය පටන් ගත්තේ දැන්ය. ගායන ශිල්පියාගේ හස්ත සංඥාවක් හේතුවෙන් මුළු වේදිකාවම කළු ගුලියක් විය.

සැනෙකින් තම අත දැඩිව රැදුන වයලීනය, කිසිවෙකු විසින් ග්‍රහණය කොට ඉවතට තල්ලු කළ බව දැනෙන මොහොතේම වාදන ශිල්පියා සිහි එලවා ගත්තේය. දකුණතේ රැදි අලුව තම අතින් ගිලිහී වේදකාවේ පිටුපස බිත්තියේ නිහඩවම ගැටෙද්දි, තම උර මත තද වූ යකඩ අත් දෙකින් වේදනාබරිතව සිටි ඔහුගේ වම් කන මත නැවත සුපුරුදු මුණුමුණුව ඇසෙන්නට විය.

“තෝ. පර බල්ලා. මාව කෑවා.. තොගේ අම්මට.. බැහැපං එළියට බල්ලා“

*****************************************

විනාඩි දෙක තුනක පමාවෙන් නැවතත් වේදිකාව ආලෝකමත් විය. වරදක් සිදු වූ කලෙක මෙන් ‍ශෝකබරිත දෙනෙතින් බිම බලා හුන් අසරණ ජනතාවාදී ගායන ශිල්පියාගේ රතු වූ මුහුණ සෙමින් එසවී මයික්‍රෙපා්නය වෙත සේන්දු විය.

“ප්‍රිය මිතුරනි, මට සමාව දෙන්න. අපගේ හිතවත් වයලීන් වාදන ශිල්පියා හදිසියේම රෝගාතුර වීම නිසයි මෙම තත්වය ඇති වූයේ. එයට මා ඔබගෙන් නැවත නැවතත් සමාව ඉල්ලනවා. ඔහුගේ රෝගී තත්වය නිසා මට කෙලෙසවත් නැවත වාදනය කරන ලෙස ඔහුට ආයාචනා කළ නොහැකියි. මා කෙදිනවත් මිනිස්කම් අභිබවා යන්නේ නැහැ. ඔහුගේ හදිසි රෝගී තත්වය මාද දැඩි ලෙස කම්පාවට පත් කලා. එහෙයින් අප ඔහුව හැකි ඉක්මනින් අදාළ පරික්ෂාවන් සදහා රෝහල් ගත කළා. මටද මේ අවස්ථාවේ ඔහු සමග යන්නට අවැසි උනා. ඒත් මා කෙසේද ඔබ තනිකර යන්නේ. ඔහුට ඉක්මන් සුවය පතා අප මේ ප්‍රසංගය දිගටම කරගෙන යමු. වයලීන් වාදනය සදහා මා අාධුනිකයෙකු වන ගීත් මහතාව යොදා ගන්නවාට ඔබ අකැමැති නොවේයැයි සිතනවා. කුමන බාධා ආවත් මාගේ ජනතාවාදී කාර්යභාරය මා නොපිරිහෙලා ඉටු කරන බවට ඔබට තවත් සාක්ෂි ඉදිරිපත් කළ යුතු නැතියි මා සිතනවා“

කිසිම දිනෙක ඇසී නොමැති මහා ඝෙෘ්ෂාකාරි තාලමය ශබ්දය රංගන ශාලාව පසු කොට පාරේ ගමන් ගත් සිය ගණනක් වූ මිනිසුන්ගේ පුදුමයට හේතු විය.

උපුටා ගැනීම – http://deshakaya.blogspot.co.uk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල