කෙටි කථා

කොස්ලන්දද නාය ගියේය…

Off

පොඩි උන් දෙන්නාත් බිරිඳත් උගසට තබා පැමිණ කොළඹ සිට ලියමි…

කොස්ලන්දත් නාය ගියේය.. මහ වැසි මැදම හිමිදිරියේ කොස්ලන්ද දෙමළ විදුහලට ජීවිතයට නව අකුරක් සොයා ගිය පොඩි එවුන් හැත්තෑපස් දෙනෙකු මහ වැසි මැදම ආපසු පැමිණ පොලොවේ පස් කකා වැලපෙනු දුටිමි. උන්ගේ දෙමව්පියෝ ඒ පස් යට පනපිටින් වැලලී උන්හ.

අයෙක් දෑත් හිස මත බැඳගෙන පස්යට වැළලී තම ඥාතියා හෝ ඥාතී සමූහයා ගැන විලාප දෙති.
අයෙක් කම්ම්මුලේ අත්ගසා ගෙන සිදුවූ අහස පොළොව නුහුල්ලන අපරාධය විශ්වාසකොට ගත නොහී ලතවෙති.

මාධ්‍ය අතවැසියෝ එකා පරයා එකා ‘බ්‍රේකින් නිව්ස්’ අප්ඩේට් කිරීම සඳහා ෆොටෝ අල්ලමින් හා බාගෙට මැරී ගොඩ ආවුන් ගෙන් ප්‍රශ්ණ විචාලමින් දුව යති.

මේ අතර ෆෝ වීල් ඩ්‍රයිව් වාහන වලින් අමාරුවෙන් කන්ද තරණය කර මෙහි ආ සමහර මහත්වරු ‘ටැලිෆෝන්’ මගින් තම තමන්ගේ ලොක්කන් සමග සිදුවී ඇති සිදුවීම හා ආකාරය ඇනලයිස් කරති..

1815 කන්ද උඩරට පාවාදීමත් සමග ලාංකිකයන්ගේ ශිෂ්ඨාචාරය හා සභ්‍යත්වය නාය ගියේය..

ඉන් අනතුරුව 1948 සිට අද දක්වාම ශ්‍රී ලංකාවේ දේශපාලනයද, 57 සිට ජාතීන් අතර සහයෝගීතාවයද නාය යමින් පවතී..

1977 සිට සදාචාරය බරපතල නාය යෑමකට ගොදුරු වූ අතර අද වන විට එය විළිලැජ්ජා නැති උපරිමයකට පැමිණ ඒ හා සමගාමීව ආර්ථික නාය යාමකටද හසුව ඇත.

මේ සියල්ල මැද මධ්‍යම කඳුකරයේ ඊසාන බෑවුමට වැසි රැගෙන ඊසානදිග මෝසම් සුළඟ හා වර්ශා කාල නොකඩවා එළඹියේය.. සෑම වසරකම ජූනි අගෝස්තු මාසවල දැඩි නියඟින් පීඩා විදින ලංකාවේ අඩුම සංවර්ධිත මේ කලාපය ඉන් මනත එළඹෙන දරුණු මෝසම් වර්ශාවෙන් සිය ජීවිතාශාව මද කලකට අත් හැර ගනිති. ‘ ‘හත් දුරුත්ත’ ලෙස ව්‍යවහාරික භාශාවෙන් හැඳින්වෙන ජනේරුවේ ඇද හැලන දින ගනනාවක නොනවතින වැස්සෙන් පසු යන්තම් වසන්තයට අරුනළු වැටුනද ඒ හා සමගම ලඟ එන දැඩි නියගයට යලි සූදානම් විය යුතුය.

මේ ‘කපුගේ’ද නොගැයූ ඌව වෙල්ලස්සේ ගීතයයි.

ඌණ සංවර්ධිත මෙම කලාපයේ වෙසෙන බහුතර ජන කොට්ඨාශයකට ඉහත සඳහන් කල අනේක විධ නාය යෑම් ගැන අඩු වැටහීමක් තිබුණද (මොණරාගල දිස්ත්‍රීක්කයේ ආසන්නතම මැතිවරණ ප්‍රථිඵල වලින් මා කියූ මෙම කරුණ සනාථ වේ) කලින් කල එළඹෙන වර්ශා කාලයත් සමග කඳු බෑවුම් නාය යාම ගැන නම් අති බිහිසුණු වැටහීමක් ඇත.

2011 වර්ශයේ මුල බදුල්ල දිස්ත්‍රීක්කයේ ස්ථාන බොහෝ ගණනක මෙවැනි නාය යාම් බහුල විය. වෙනදා සාපේක්ශව අඩු තර්ජනයකට ලක්වූ බදුල්ල නගර ආශ්‍රිත ප්‍රදේශයද එවර නාය යාම් වලට ගොදුරු විය. ඌව වි.වි ආශ්‍රිත පස්සර මාර්ගයේ 2 සැතපුම් කණුව අසලත්, බදුල්ල ස්ප්‍රින්වැලි මාර්ගයේ වලකඩදෝව හංදිය අසලත්, බදුල්ල බදුලුසිරිගම, සුවිනීතගම, වීර්යපුර, ඉඹුල්ගොඩ, කටුපැලැල්ලගම, එළදලුව වැනි තදාසන්න ප්‍රදේශත් දැඩිව නාය යාම් වලට ලක්විය.

එක්වරම නින්දෙන් අවදි වූ දේශපාලකයින් හා නිළධාරීන් තම නින්දාව වසා ගැනීමට නොයෙකුත් පිළියම් ගෙන ආහ. ඔවුන් පළමුවෙන්ම කලේ යන්තම් හෝ නිවසක ඉරිතැලීමක් හෝ සිදුවී ඇත්නම් ඒ නිවස අයිති කලාපයම නාය යාමට ලක්විය හැකි ‘අනාරක්ශිත’ කලාපයක් බවට නිවේදනය කිරීමයි. එසේ කිරීමෙන් අනතුරුව එවැනි ග්‍රාම සේවා වසම් වල ලැයිස්තුවක් නගර සභාවට හා දිස්තීක් ලේකම් කාර්යාල වල ප්‍රදර්ශනය කලේය.

ඉන්පසු සහන දීම ඇරඹිනි.

ගෙවල් සම්පූර්ණයෙන්ම කඩා වැටුනු තැන් පූර්ණ හානි ලෙසත් ඉරි තැලීම් පමනක් සිදුවූ ස්ථාන අර්ධ හානි ලෙසත් වෙන් කරනු ලැබීය.
කඳු උඩ තාවකාලික නිවාස හා පැල්පත් සාදාගෙන හිටි ජනයාගේ නිවෙස් වැස්ස ඇරඹීමත් සමගම ඔවුන් විසින් හැරදා යන ලදී. මෙසේ හැරදා ගිය සමහරුන් නිවසෙහි සෙවිලි තහඩු පවා ගලවා ගෙන ගිය නිසා ඒවා වැස්සට හේදී ගරා වැටුණි. මේ අතර සැබෑවටම බරපතල විනාශයන්ට ලක්වූ නිවෙස් කිහිපයක්ද විය. ස්ප්‍රින්වැලි මාර්ගයේ වලකඩදෝව හන්දිය අසල පිහිටි විශාල නවීන නිවස ඉහලින් කඩාවැටුනු දැවැන්ත පස්තට්ටුවකින් සම්පූර්ණයෙන්ම යටවී විනාශ වී ගියේය.

නිලධාරීන්ගේ ගණන් ගැනීමට අනුව මේ දෙවර්ගයම පූර්ණ හානි විය.

ඉහතින් සඳහන් කල ප්‍රදේශවල තම තම හැකි පමණින් ශක්තිමත්ව ගොඩ නගා ගෙන සිටි පහල මධ්‍යම පාන්තික නිවාස බොහෝමයක ඉරි තලා බිත්ති අතර අඟල් තුන හතර විවර මතුවී තිබුනත් අතරින් පතර හෝ යොදා තිබූ කොන්ක්‍රීට් ලින්ටල් නිසා කඩා වැටී තිබුනේ නැත. මේ අතර නාය යාමේ කිසිම තර්ජනයක් නොතිබූ නමුත් ඉදිකිරීමේ අඩුපාඩු නිසා සෑහෙන කලක පටන් සියුම් ලෙස ඉරිතලා තිබූ නිවෙස්ද තිබුණි.

නිළධාරීන්ට මේවා සියල්ල අර්ධ හානි විය.

ලැයිස්තු දේශපාලක අමනයන් අතට පත් වීමෙන් පසු ඒවාට තවත් ඇඩිශන්ස් ඇන්ඩ් ඕල්ටරේශන්ස් එන්නට විය.

ඉන්පසු එළඹියේ ලාබ, සමාවන්න හානිවූවන්ට සහන ලබා දෙන කාලයයි. පෙරමුණ ගත්තේ ගමේ සංධානයේ සංවිධායකවරයායි. ග්‍රාම සංවර්ධන සමිතිවල නිළධාරීන් පොරවල් විය.

පූර්ණ හානි වූ හා අර්ධ හානි වූ ‘සමහරුන්ට’ ඉඩම් බෙදාදෙන ලදී.. බදුල්ල නගරයේ සිට කිමි 12ක පමණ දුරින් තෙල්බැද්ද ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවට අයත්ව තිබූ ඉඩමක් කැබලි කර පර්චස් 7-8 කොටස් විසිපහක් තිහක් බෙදාදීමට නියමිතව තිබූ අතර එසේ බෙදා දෙනවයි කී දින වනවිටත් සමහරු එහි ඉදිකිරීම් ආරම්භ කර තිබිණි. ඒ අතර සංධානයේ ප්‍රබල අධාර කරුවනුත් ග්‍රාම සංවර්ධන සමිති වල ඉහළ නිළධාරීන් කිහිප දෙනෙකුත් හැර නිවාස අහිමි වූවන් සිටියේ නැත.

වලකඩදෝව හංදියේ නිවස හිමිව තිබූ මහත්මියටත් ගරා වැටුණු නිවාස වල පදින්චිව සිට ඉවත්ව ගොස් සිටි එදිනෙදා වේල බදුල්ල නගරය තුල කුලියක් මලියක් කර හම්භ කරගත් කම්කරු පිරිසෙන් කොටසකටත් වැලිඔය ජානකපුර සිට මුලතිවු දක්වා දිවෙන පාරෙන් හැරී කිමි 5ක් පමණ ඇතුලට ගිය තැන්හී පිහිටි අක්කරයක් බැගින් වූ ඉඩම් කොටස් බෙදාදෙන ලදී. අදාල ලියකියවිලි ලබා ගැනීමට නම් ලැබුණු ඉඩම් කොටසේ නිවසක් තාවකාලිකව හෝ ඉදිකර පදිංචි විය යුතුය. නිවස ඉදිකර ගැනීම සඳහා ටකරං තහඩු 10ක් රජයෙන් ලබා දීමටව නියමිතව ඇති නමුත් ටකරං ලබා ගන්නා උන් ඒව විකුණා දමා යාවි යැයි සැකය නිසා ටකරං ලබා දෙන්නේද මිට නැති උදලු තලය හා කැති තලය (වගා කිරීමට පෙළඹවීමට) දෙන අවස්ථාවෙදීමය. ඒ සඳහා ඉළුක් හෝ මානා වලින් හෙවිල්ලූ නිවසක පදිංචි වී ‘පෙන්විය’ යුතුය. පෙන්වීමට නැතහොත් කීමට කාරණා බොහෝය. නමුත් ඒ ගැන ඔය ඇතියැයි සිතේ.

අර්ධ හානී වූවන්ටද අපූරු වන්දි ලැබිණි. සමහරුන්ට ටකරන් තුනකි. ඔවුන් නිවෙස් හෙවිල්ලා තිබුනේ ඇස්බැස්ටෝස් වලින් නමුත් හානි වී තිබුනේ බිත්ති වලටය.

සමහරුන්ට වැසිකිලි පෝච්චියකි. ඔවුන්ගේ ටයිල් අල්ලා සකස් කර තිබුණු ඉස්තරම් වැසිකිලිවලට කිසිදු හානියක් වී නොතිබිණි.

සමහරුන්ට සිමෙන්ති කොට්ට පහකි. තමන්ගේ නිවාස වලට වූ හානි සම්භන්දයෙන් රජයෙන් ලැබුණු මේ වන්දි බොහෝ දෙනෙකු අත්සන් කොට බාර ගෙන තිබුණි. සමහරු පැත්ත පලාතකවත් පැමිණ තිබුනේ නැත. සමහරුන්ටනම් රජ මගුල් ය. අයියා..අයියා කියමින් සංවිධායකතුමා පස්සෙන් ගිය සමහර ගැහැණු නම් බොහෝ ප්‍රථිලාභ ලැබූ බව ගම් වැසියෝ අදටත් කියති.

අපේ මහ ගෙදර නිවසේ බිත්ති ස්ථාන 16කින් පුපුරා ගොස් තිබුණි. මුල් කාලයේ ඉද්කර තිබූ සමහර ඉදිකිරීම් වලටම අල්ලා පසු කාලයේ වෙනත් ඉදිකිරීම් කර තිබූ නිසා ඉදිකිරීම් වල ප්‍රමිතියක් තිබුණේ නැත. සමහර තැන්වල අඟල් හතර පහ තරමේ පැලුම් විවර විය. වැස්සත් සමග කඩා නොවැටුනද වහලය සමග එක කොටසක් ඇදී ගොස් තිබූ නිසා එම කොටස කඩ ඉවත් කර අනෙක් ටික බේරා ගන්නට සිදුවිය.

පවුලේ බාලයා ලෙස මහ ගෙයි නිවසේ ‘සාඩම්බර භාරකාරයා’ වූ මට ඒ වනවිට එහි පදිංචි වී නොසිටියත් මහ ගෙයි බර ප්‍රථම වරට දැනෙන්නට විය. අම්මාගේ අණින් මා එහි කැඳවූ මුල් අවස්තාවේ මා විසින් ලබා ගත් ෆොටෝ කිහිපයක් පමණක් මෙහි දක්වනුයේ එහි තරම ඔබට යම් තරමකින් හෝ දැනෙන්නටයි.

haldhumulla1

කිසිදු පැහැදීමක් නැතත් මෙවන් පොදු ස්ථාන මග හැරීමෙන් එය ඔවුන්ගේ වාසියට හරවා ගන්නා බව හොඳින්ම දන්නා අම්මා එන්න කියා තිබූ දවසේ ආධාර බෙදා දෙන තැනට නොවරදවාම ගොස් තිබිණ. අප නිවසට වූ හානිය වෙනුවෙන් සංවිධායක තුමාගේ තක්සේරුව වී තිබුණේ සිමෙන්ති කොට්ට හතරකි. පෙර දිනයකදී ගමේ සංවිධාන කටයුතු සම්භන්දයෙන් ‘නිමල් ඇමතිතුමාගේ’ මූණටම දොස් කීම නිසා ‘හරිනම් ඕකවත් දෙන්න වටින්නේ නැති’ ගනයට අපේ නිවස නැත්නම් අපේ අම්මා ගොනු කර තිබිණි. සියලු ලෞකික අසාවන්ගෙන් කෙමෙන් ඈත්වී පන්සලටම සීමාවෙමින් සිටින අම්මා කෙසේ හෝ ‘උපේක්ශාවෙන්ම’ කිවයුතු සියල්ල කියා දී තිබුණි. අවසන සිමෙන්ති කොට්ට හතර එපා කියා එන්නට ගොස් ආපසු හැර්‍රි ගිහින් එය භාරගෙන කුඩා ලොරි රථයකට එම ස්ථානයේදීම මුදල් බැඳ පන්සලට ගෙනගොස් දමන ලෙස පවසා ඇය එන්නට ආවාය.

කවදත් ඔය වැනි දේ සම්භන්දයෙන් කිසි විශ්වාසයක් නැති මම බිරිඳත් සම්ග කතිකා කර බැංකු ලෝන් එකක් හෝ ලබාගෙන නිවස කඩා අලුත් වැඩියා කිරීමට ඉටා ගත්තෙමි. මිතුරෙකුගේ මාර්ගයෙන් සරල නිවාස සැලසුමක් ඇඳගත් මා එය අනුමත කර ගැනීමට නගර සභාවේ ටීඕ මහත්තයෙකු වූ මගේම තවත් හිතවතෙකුට ඇමතුමක් දුන්නෙමි..
“මචං උඹල ගෙවල් හරිය අවධානම් කලාපයක් කරලනේ තියෙන්නේ. දැන් ඒ පැත්තෙ ප්ලෑන් ඇපෲ කරන්න බෑනෙ.”
ලද ආරංචියෙන් විස්සෝප වී ගිය මම වහාම මගේ හිතවත් බැංකු මිත්‍රයෙකු ඇමතූවෙමි.
“ඔව් බං.. දැන් ඔය පැත්තෙ ඔප්පු වලට ණය දෙන්නෙ නෑ.. අවධානම් කලාපයේනෙ..”
මෙය හරියන්නේ නැත. වහාම දින දෙකක් නිවාඩු ගෙන ගම රට ගියේ දෙකෙන් එකක් විසඳා ගෙන ඒමටයි. දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ හතර මායිම් නොදන්නා මා අම්මාවත් එකතු කොටගෙන එහි ගොස් කුඩා කල සිට හොඳින් දන්නා හඳුනනා ප්‍රාදේශීය ලේකම් වරයා මුණ ගැසුනෙමි.
“ඇන්ටි ඔය කේස් එක තියෙනවා.. ගොඩාක් දෙනෙකුට..තවම මේකට ස්ථීර තීරණයක් නෑ. ඇන්ටිලාට ඉඩමක් හම්භ උන නැති එක ගැන මට ලියුමක් දෙන්නකෝ. මං හොයල බලන්නම්.. එතකං ටිකක් ඉන්න වෙනවා.”
ඔහුද අසරණය.. ඊට එහා යමක් කියා වැඩක් නැත. අපි හැරී ආවෙමු.

අතින් වියදම් කර මහා ලොකුවට රෙපෙයාර් කරද වැඩක් නැති නිසා දැන් වසර තුනකට අධික කාලයක් මේ ‘හිල්’ තාවකාලිකව වසාගෙන අපි එහි ජීවත් වෙමු. අහ්! කියන්නට අමතක වූ දෙයක් නම් අපේ ලංකාවේ සුපිරි අධ්‍යාපන ප්‍රථිපත්තියට පිං සිද්ද වෙන්නට මා කොළඹ සිටියදී මගේ දරු පැටවුන් සහ බිරිඳද 2012 සිට මේ මර උගුලේ සිර කර තැබීමට සිදු වූ වගයි..

දැන් කොස්ලන්ද ද නාය ගොස් ඇත!!!

අපි තවමත් අවධානම් කලාපයේ වෙමු. ඌව පළාත් සභා මැතිවරණයද පැමිණ ගියේය. හිඟමනේ පැමිණ චන්ද ලබාගත් දේශපාලක අලුගුත්තේරුවෝද උන්ට කත් අදින පරිපාලන බලු ගැත්තෝද ඊලඟ නාය යන බූමියට ගොස් ලොක්කන්ට සිටුවේශන් ඇනලයිස් කරන තුරු සුවසේ නිදි වදිති.

උපුටා ගැනීම – http://kalahitha.blogspot.co.uk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල