කාලීන සංවාද

අවුල් වන්නට පෙර ….අරූලා සහ අමරෙලා

Off

මෙතැන් සිට මා නැවතත් මගේ කතාවට අවතීර්ණ විය යුතුය. පසුගිය සටහනක මා ලියා තැබු පරිදි හැන්දෑවට හමුවෙන්නම් යැයි මේ අමුත්තාට පවසා පිටත්වූ මම, නැවත පැමිණියේ බෝතලයක්ද, ගෝදම්බ රොටි සහ තවත් අඩුම කුඩුමද අතැතිවය. විජේරාමේ නිවසට අලුතින් ආ නේවාසිකයා සුදු සරමක් සහ සුදු බැනියමකින්ද සැරසී ,ඉතා ප්‍රසන්න ලෙස සිනහමුසුව කුඩා පුටුවකටවී සිගරට්ටුවක්ද උරමින් වාඩිවී සිටී. අපේ කාමරය හැර මුළු නිවසම ශුද්ධ පවිත්‍ර කර අවසන්ය. සියලුම ජනෙල් දොරවල් හැර දමා තිබු නිසා මුළු ගෙදරම නැවුම් වාතාශ්‍රයෙන් පිරී අමුතු ප්‍රබෝධයකින් පණ ගැසී ඇති හැඩකි. ජානකත්, මමත් එකිනෙකා දෙස බැලුවේ අපි කිසිදිනෙක අර පාළු ගෙයි අස්සටවී සිටියා මිස, පිළිවෙළකට ජීවත් නොවූ නිසා විය යුතුය. අප වයසේ මිතුරන් කොතරම් කල්ලි ගැසුණු නිවසක් වූවත් කිසිදා මැද සාලයවත් පිරිසිඳු කරගෙන ජීවත් වූයේ නැත.

මේ මිනිසා වැඩිහිටියෙක් බැවිනුත්, අප හමුවූයේ පළමුවරට බැවිනුත් පොඩි අඩියක් ගන්නවාද..හැබැයි ගල් තමයි තියෙන්නේ යැයි කියා ගෞරවපූර්වකව ආරාධනා කළේ ජානක අයියාය. ඉද්ද ගැසුවා සේ පුටුවෙන් නැගිටගත් මොහු, ගහමු..ගහමු..ඔය කොයි එකටත් මම ඔට්ටුයි කියා වැඩේට සෙට් වුණේය. කවුද කින්ද මන්දැයි තියා නමවත් නොදන්නා බැවින් මම ඔහුගෙන් නම ඇසුවෙමි. මම අමරබන්දු යැයි කියා පැවසූ ඔහු වීදුරුව කටට හලා ගනිමින් සිගරට් එකක්ද දල්වා, අපටද සිගරට් දිගුකල විට, ජානක කිව්වේ එකක් ඇති, අපි දෙන්නා බාගේ බාගේ ගහන්නම් කියාය. “ආ ඒක හොඳයි. මටත් මේ දවස්වල සල්ලි හිඟයි. නැත්නම් මමත් බෝතලයක් ගේනවා” යැයි කීවේය. මොහු අඩිපුඩි ගසන්නෙක් බව මට වැටහුණි. මේ මිනිසා ගැන මට කැමැත්තක් සහ උනන්දුවක් ඇතිවුණේ මේ විවෘතභාවය නිසා විය යුතු යැයි සිතමි. ඔබ අමරබන්දු කවුදැයි කියා ඇසූවිට ,මම අමරබන්දු රූපසිංහ යැයි ඔහු පැවසීය. මට උන් හැටි තැන් අමතක විය. අප කුඩා කාලයේ ගුවන් විදුලියේ ඇසුණු ඒ ගාම්භීර හඬ පෞරුෂය මා ඉදිරියේය. මා ප්‍රිය කල කටහඬකි. ඒ අමතක නොවන කටහඬකි. ඒ කාලයේ රූපවාහිනි නොතිබුණු නිසාත්, මොහු 1977න් පසු මාධ්‍ය හා සමග සම්බන්ධයක් නොතිබූ බැවිනුත්, අද මෙන් නොව එදා ජනතාව මේ ප්‍රසිද්ධ මාධ්‍යවේදින් හඳුනන්නේ නමින් සහ කටහඬින් පමණි. රූප මාධ්‍යය ශ්‍රීලංකාවට අළුත් අත්දැකීමක් විය.

අමරබන්දු මහත්මයා කියා අමතන්නද, වෙනයම් අයුරකින් අමතන්නද සිතාගත නොහැකිවිය. අමරෙ අයියා යැයි කියා කතා කරපල්ලා යැයි පැවසූ නිසා එයද පහසුය. සිගරට් කොටේ ගහන්නට ඔට්ටු නිසා එයත් පහසුය. අප නිතරම අමරෙ අයියාට පත්තුකරන්න දී පසුව බාගේ ඉල්ලාගන්නෙමු. මොහු ඇසුරට පහසු වැඩිමහල් මිනිසෙක් විය. සෑම වැඩිමහල් මිනිසෙක්ම මිතුරන්සේ ඇසුරු කිරීම අපහසුය. ඒ ඔවුන්ගේ මතයන් බලහත්කාරයෙන් අපගේ හිස මත පටවනවා පමණක් නොව, ඔවුන්ට රිසි පරිදි අපද ජීවත්විය යුතු නිසාය. ඒ කෙසේ වෙතත් එදා පටන් අද ඔහු ජීවතුන් අතර නොසිටියත් මට ඔහු අමරෙ අයියාම විය.

බෝතලයද අහවර කර සියල්ල නිමාවු පසු ගෙදරින් එවා තිබු කෑමත්, ගෝදම්බ රොටි කලවමත් ගිල දමා සුබ රාත්‍රියක්ද පතා නින්දට වැටුණෙමි. මට හරි ජොලි දවසක්ය. මගේ උවමනාව වූයේ මේ මිනිසා සමග ළඟින් ඇසුරු කිරීමටය. කුඩාකල සිටම මාධ්‍යකරුවන්, කලාකරුවන් පිළිබඳ මසිතේ දැඩි උනන්දුවක් විය. හෝටල් රැකියාවට පිවිසීමට පෙර මාධ්‍යකරුවෙක් වීමේ දැඩි ආශාවක් විය. එය ආශාවකට පමණක්ම සීමාවූයේ හෝටලයක රැකියාවකට ගිය පසු සියල්ලක්ම අමතකව ගොස් ඒ රැකියාවට ලොල්වූ නිසා යැයි මට දැන් සිතේ. ඒ රැකියාවටත් වඩා ඒ හා බැඳුණු උප සංස්කෘතියට ලොල්වීම යැයි කීම වඩා නිවැරදිය. එක යුගයක ගුවන් විදුලියේ පතාක යෝධයෙකු මා වැනි කුඩා මිනිසෙකු සමග එකට සිගරට් කොටය ගැසීම නම් අදහාගත නොහැකිවිය.

ඒ කෙසේ වෙතත් පසුදින පාන්දර සේවයට ගොස් හැන්දෑවේ ගෙදර පැමිණියත් හැන්දෑවට සප්පායම් වීමට යහමින් මුදලක් අතේ නොතිබුණි. අරක්කු නැතිනම් ලාබෙට වින්දනය ගංජා මිටියක් ගැසීමය. ජානකත්, මමත්, ලකීත් ඉඳහිට ගංජා ගැසීමටත් පුරුදුවී සිටියෝය. එදා අමරේ අයියා පෙනෙන්නට නොසිටී නිසා, අපි දෙදෙනා කුස්සියටවී ගංජා සුරුට්ටුවකුත් ඔතාගෙන කතාබහේ යෙදෙමින් සිටිනා විට, එකවරම ඉදිරිපස දොර හැරගෙන කුස්සිය දෙසට පැමිණියේ අමරේ අයියාය. එසැනින් අත තිබු සුරුට්ටුව කලබලයෙන් ජනේලයෙන් ඉවතට විසිකර දැමුවේ ජාණකය. “ඇයි බං විසිකරේ…මමත් මේ සුවඳ දැනිලා ආවේ. ගිහින් ඇහිඳගෙන වරෙන්” යැයි කියූ අමරේ අයියා, එහි ආදීනවද කියා දුන් මුත්, ඉඳහිට කලාතුරකින් අප සමග ගංජා වඩියකටද සෙට් වීමට පසුබට නොවීය.එවැනි දවසකට නම් මුළු නිවසම සිනහ සාගරයක් වේ. ඒ කතා ඇසීමට අවශ්‍ය නිසා අපි ඔහුට ඉඳහිට හෝ සුරුට්ටු කොටයක් ගස්සවන්නෙමු. ඔහු තරුණයා සහ තරුණ මනස හොඳින් අවබෝධ කරගත් මිනිසෙක් විය. මා මේ ලියන්නේ ගංජා ප්‍රවර්ධනය කිරීමටවත්, අමරෙ අයියාට අගෞවරයක් පිණිසවත් නොවේ. ඒ මා පසුකර ආ කාලය නිසා බැවින්ය.

එදින රාත්‍රියේ අමරෙ අයියාවද කැටුව මා අප නිවසට ගියේ රාත්‍රී ආහාරය රැගෙන ඒම පිණිසය. අම්මා සමගද දොඩමලුවූ මොහු අප ජීවත්වූ දුෂ්කර තත්වයද මැනවින් වටහාගත් නිසාදෝ, යමින් ගමන් පැවසූයේ , අලි මදිවට හරක් සේ තුන් දෙනෙකුට අම්මාගෙන් නොමිලයේ කෑම සපයා ගැනීම නොකළයුතු බවත්, නිතරම එය එසේ වෙනවානම් ඔහු ඒ සඳහා විරුද්ධ බවත්, අපි තුන්දෙනා එකතුවී රාත්‍රී අහාරය නවාතැනේදී සකසා ගත යුතු බවට යෝජනා කළේය. අපි තුන්දෙනා එකඟතාවයකට පැමිණ සාර්ථක ආරම්භයකට මුල පිරුවා මතකය. ජානක ඒ වනවිට තම දෙමව්පියන්ගෙන්ද යම් මුදලක් ලබාගෙන, දෙල්කඳ හංදියේ පොඩි සමූපකාරය ඉදිරිපිට ටේලර් සාප්පුවක් අරඹා තිබුණි. එහි සරූක් සහ ෆාරුක් නම් දෙල්කඳම විසූ අයියා මලෝ දෙදෙනෙක් ඇඳුම් මැහීමේ නිරත විය. ඒ කාලයේ කලිසම්, කමිස කඩෙන් ගන්නවාට වඩා ටේලර් සාප්පුවකින් තමන්ට අවශ්‍ය ලෙස මසා ගැනීම සිරිත විය. ජානක යම් ආදායමක් ලැබුවද වියදමට කැමැත්තක් දැක්වූයේ අඩුවෙනි. ඔහු ව්‍යාපාරයන් ගැන තදබල උනන්දුවක් දැක්විය. පසු කාලයක මෝටර් රථ අමතර කොටස් ව්‍යාපාරයකටද උරදී පසුව ඒ සියල්ලක්ගෙන්ම ඉවත්විය. නමුත් ඔහු අද ජපානයේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයෙක් බව සැබෑය. ඒ බොහොමයක් සිදුවූයේ පසු කාලයකදි බැවින් ඒ ගැන පසුව ලියමි.

අමරබන්දු රූපසිංහ කොතරම් සිනහ මුසුව ජීවත්වූවත් ඔහු අභ්‍යන්තරයේ ඉතා තදබල කණස්සලක් හා කලකිරීමක් විය. ඒ රැකියාවක් නොමැතිවීමත්, ලැබෙන්නට තිබු යම් වන්දියක් හෝ ගෙවීමක් ඒ වනවිටත් නොලැබී තිබීමත් රාජකාරි මට්ටමේ කලකිරීම්ය. පෞද්ගලිකව ඔහු තම බිරිඳ සහ දරුවන්ගෙන් වෙන්ව අයාලේ යන ජීවිතයක් ගතකිරීමත් ඒ කනස්සල්ලට හේතුවූවා විය යුතුය. එක් යුගයක රටේ අගමැතිනිය සමග ප්‍රවෘත්ති සම්පාදකයෙක් ලෙස රට රාජ්‍යන්හී කරක් ගසා තිබූ මොහු අද කිසිවෙක් නොමැතිව විජේරාම හංදියේ වැදගම්මකට නැති අප වැනි එවුන් සමගය. වියදමට මුදල් නොතිබීම අන් අයට මෙන්ම මොහුටත් මහා හිසරදයක් වන්නට ඇත. මම කිසිවිටෙකත් අඩුපාඩුවක් වන්නට නොදී මොහුව රැක බලා ගත්තෙමි. අමරේ අයියාගේ ජීවිතය ඒ කාලයේ එතරම් කටුක විය. එහි යම් යම් දුක්බර අවස්ථා මෙන්ම රසවත් අවස්ථාද ඉදිරියේ හැකි අයුරින් ලියන්නෙමි. මොහු තදබල ලෙස බීමට ඇබ්බැහිවී සිටියේ මේ යුගයේ යැයි මම සිතමි. කිසිවෙකුටත් ඇහුම්කන් නොදෙන අති දඩබ්බර ජීවිතයක් ගත කළේය. බංඩාරනායක පවුලේ ළඟම හිතවතෙක්වූ අමරේ අයියා කිසිවිටකවත් උදව් පතා ඔවුන් වෙත නොගිය බව මම සහසුදක්සේ දන්නෙමි. ඔවුන්ගේ වැඩකට උදව් වීමට ගියා මිස, අමරබන්දු උදව් ඉල්ලුවේ නැත. මම කිහිප විටක් මේ පිළිබඳව කතාකර ඇතත් ඔහු ඒ පිළිබඳ සිනහවකින් පිළිතුරු බැන්දා මිස මුවින් කිසිවක් පිට කළේ නැත. අද සමහරක් මාධ්‍යවේදීන්ගේ හැසිරීම ගැන බැලුවිට අදහාගන්නට බැරිය. අමරබන්දුලා මොන වැරදි තිබුණත් ප්‍රතිපත්ති ගරුක මිනිසුන් විය.

කාලය මෙසේ ගෙවී යද්දි, තවත් නවාතැන් කරුවෙක් අනිත් කාමරයට පැමිණියේය. ඔහු නමින් අරුණ ගුණරත්නවිය. ඔහු කොළඹ ඉන්ටකොන්ටිනෙන්ටල් හෝටලයේ වේටර්වරයෙක් ලෙස පත්වීමක් ලබා පැමිණියේ මාතර කඩවැද්දුව ප්‍රදේශයේ සිට වුවත් කොළඹ නගරයේ වෙනත් රැකියාවලත් නිරතව සිට ඇත්තෙකි. මොහුට මෝටර් සයිකලයක්ද විය. ඒ මදිවාට පෙම්වතියක්ද විය. මට ඔයින් කිසිවක් තිබුණේ නැත. මමද හිත හදා ගත්තෙමි. ඒ පෙම්වතියක් ගැන මිස මෝටර් සයිකලයක් ගැන නොවේ. අරුණ කාමරය බැලීමට පැමිණියේ ඇය සමගය. ඇය නැවතී සිටියේ කැලණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක බැව් මතකය. ඇය උපාධියක් සඳහා ඉගෙනගනිමින් සිටියාය. වයසින් මට වඩා ටිකක් වැඩිමහල්වූ මොවුන් පසු කාලයකදි විවාහ විය. මොහුද ඉතා ප්‍රියමනාප තරුණයෙක් විය. ජොලි පොරකි. ටික දිනකින්ම ඔහුද අප කංඩායමේ නිත්‍ය සාමාජිකයෙක් විය. අද අරුණ ගුණරත්න දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකි. ඔහු දිගුකාලයක සිට දේශපාලනයේ යෙදෙන්නෙකි. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කිට්ටුම ඥාති සොහොයුරෙකි. හිටපු ධීවර ඇමතිවරයෙක්වූ ජෝර්ජ් රාජපක්ෂ මහතාගේ නැගණියගේ පුත්‍ර රත්නය බව මතකය. ඉඳහිට හෝ රූපවාහිනියෙන් හෝ මාධ්‍යවලින් අරුණ ගැන අසන්නට ලැබෙන්නේ සතුටුදායක ආරංචි නොවේ. නමුත් මාතර ජනතාව සමග ඔහුගේ ළබැඳි ඇසුරක් ඇතිබව මාතර නගරයේ මිනිසුන් පවසති.

වැඩිහිටියෙක්, සම වයසේ කෙනෙක්, තරුණයෙක් හෝ කුඩා දරුවෙක් වුවත් මා හා ඉතා ඉක්මනින් කුළුපග වේ. එදත් එහෙමය. අදත් එලෙසමය. අමරේ අයියාත්, අරුණත් තව බොහෝ කාලයක් මා හා සමග අත්වැල් බැඳගෙන යම් දුරක් ඉදිරියට පැමිණි මිතුරන්ය. තුන්වැනි කාමරයට පැමිණියේ ජානකගේ දෙමව්පියන්ගේ හැඳුනුම්කම මත බදුල්ල ප්‍රදේශයේ සිට කොළඹට පැමිණි මහාමර්ග දෙපාර්තමේන්තුවේ ඉන්ජිනේරුවරයෙක්ය. ඔහු නමින් අමරසේකර විය. මට වඩා වැඩිමහල්ය. කොයි වේලේ බැලුවත් සිනහා මුසු මුහුණින්ය. අප මුලින් හිතුවේ නැන්දලාගේ හිතවතෙක් නිසා, අපේ විනෝදකාමී ජීවිතයට බාධාවක් වේ යැයි කියාය. සත්තකින්ම එය එසේ නොවීය. ඔහුද තවත් අප වැන්නෙක්ම විය. පසු කාලයකදි ජානකගේ නැගණිය විවාහ කරගැනීම නිසා අපගේ ඥාතියෙක්ද වූ මොහු මාර්ග සංවර්ධන අධිකාරියේ ඉතා ඉහළ නිලයක් දැරීය.

අමරබන්දු අයියාගේ ආගමනය නිසා අපේ නවාතැනට විටින් විට ගෙන්වා ගත් සමහර උදවියගේ තාවකාලික රාත්‍රී නැවතුම් සඳහා සදාකාලික තිතක් වැටුණි. ඒ ඔහුගේ බලකිරීමක් නිසා නොව ජානකත්, මමත් වැඩිහිටි ගෞරවය නිසා ගත් තීන්දුවකි. එය තම තමන්ගේ පෙම්වතියන්ට පමණක් දහවල් වරුවේ ගොඩවී යාමට හැකිවනසේ සීමා කෙරුණි. ජානකගේ පෙම්වතියන් නම් මාසයකට දෙවතාවක් වත් මාරුවීම කිසිසේත් පුදුමයට කරුණක් නොවීය. ඔහු එතරම කඩවසම් මනමාල කුරුල්ලෙක් වූ නිසා පමණක් නොව ගැහැණු ළමයින් සමග ඉක්මනින් කුළුපග වීමට තිබූ දක්ෂතාවයත් නිසාය. අපි මොහුට ඊරිසියා කෙරුවෙමි. අමරේ අයියාට නම් ඒ විෂය ගැන තඹ දොයිතුවක උනන්දුවක් තිබුණේත් නැත. ඕවා ගැන හොට දමන්නට ආවේත් නැත.

දැන් මේ නවාතැනේ අරූලා දෙදෙනෙකි. මම පොඩි අරූ විය. අරුණ ගුණරත්න ලොකු අරූ විය. අමරෙ අයියලාද දෙදෙනෙකි. අමරබන්දු රූපසිංහ ලොකු අමරෙ අයියා විය. අමරසේකර පොඩි අමරේ අයියා විය.

මෙම වීඩියෝ පටයේ 38 වැනි විනාඩියේ සිට 39 වෙනි විනාඩිය දක්වා සවන් දීමෙන් මා මිත්‍ර අරුණ ගුණරත්න කෙරූ වීර ක්‍රියාවකට සවන් දිය හැක.


උපුටා ගැනීම – http://arugeadaviya.wordpress.com/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල