හයිකු හා කෙටි කවි

ඔබ අහසේ දකින්නේ වර්තමානය නොවේ!

Off

විශ්වයේ උපත: මහා පිපිරුම් වාදය – දෙවන කොටස ලිපියේ අඩංගු සමහරක් කරුණු පැහැදිලි කරගැනීම සඳහා මෙම සංසිද්ධිය වටහා ගත යුතු වන බැවින් මෙම ලිපියට පසු දෙවන කොටස පළ වේ.

අහස දෙස බලන්න. දහවල් කාලයේදී නම් ඔබ සූර්යයා දකිනු ඇත. රාත්‍රී කාලයේ නම් චන්ද්‍රයා සහ තාරකා දකිනු ඇත. ඔබත්, මමත් එලෙස පියවි ඇසින් ආකාශ වස්තූන් නරඹන අතරතුරේ විද්‍යාඥයන් අති ප්‍රබල දුරේක්ෂ ආධාරයෙන් ඒවා නිරීක්‍ෂණය කරනු ඇත. එහෙත්… ඔවුනුත්, අපත් බලා සිටින්නේ ඒ ඒ ආකාශ වස්තූන්හි වර්තමානය දෙස නොව අතීතය දෙස බව ඔබට කෙදිනකවත් සිතුණාද?

වර්තමාන විද්‍යා දැනුම අනුව, ගමන් කිරීමේදී උපරිම වේගයක් අත්පත් කරගත හැක්කේ විද්‍යුත් චුම්බක තරංග වලටය. එය 3 x 10⁸ msˉ¹ හෙවත් තත්පරයට කිලෝමීටර ලක්ෂ 3ක වේගයකි. වෙනත් කිසිදු වස්තුවකට/ අංශුවකට/ තරංගයකට මෙම වේගය ඉක්මවා ගමන් කළ නොහැක. (99.9%කට පමණම එම වේගයට ආසන්න වීමටවත් නොහැක.) දෘශ්‍ය ආලෝකයද විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියට අයත් බැවිනුත්, විද්‍යුත් චුම්බක තරංග අතරින් මිනිසාට හුරුපුරුදුම තරංග වර්ගය දෘශ්‍ය ආලෝකය වන බැවිනුත් මෙම වේගය ‘ආලෝකයේ වේගය’ ලෙස හැඳින්වෙයි. අප විසින් අවට පරිසරය දකිනු ලබන්නේ ඒ ඒ වස්තූන්ගෙන් නික්මෙන හෝ පරාවර්තනය වන ආලෝක කිරණ මෙලෙස ආලෝකයේ වේගයෙන් ගමන් කොට ඇස මත පතිත වීමෙනි.

epod-cc-rf18284

විශ්වය තුළ ආකාශ වස්තු පැතිර පවතින්නේ අති විශාල පරතරයකින් යුක්තව බව අසිරිමත් විශ්වය ලිපියේදී සඳහන් කරන ලදී. උදාහරණ ගතහොත් පෘථිවියට ආසන්නතම ආකාශ වස්තුව වන චන්ද්‍රයා පිහිටා ඇත්තේ කිලෝමීටර 384,400ක දුරිනි. ආසන්නතම ග්‍රහලෝකය වන අඟහරු පිහිටා ඇත්තේ සාමාන්‍ය වශයෙන් කිලෝමීටර මිලියන 56ක දුරිනි (ග්‍රහලෝක 2හි කක්ෂ ගමන් මාර්ගයන් නිසා විටින්විට පරතරය වෙනස් වේ. උපරිම පරතරය – කිලෝමීටර මිලියන 401). සූර්යයා පිහිටා ඇත්තේ කිලෝමීටර මිලියන 150ක දුරිනි. සූර්යයා හැරුණු විට ආසන්නතම තාරකාව වන ප්‍රොක්සිමා සෙන්ටෝරි පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ 4.3ක දුරිනි. තාරකා හා අභ්‍යවකාශ විද්‍යාවේදී බොහෝවිට ආලෝක වර්ෂ, පාසෙක් වැනි විශේෂ ඒකක පද්ධතියකින් දුර මනිනු මිස කිලෝමීටර වලින් හෝ සැතපුම් වලින් දුර නොමනින්නේ මේ නිසා ය.

සූර්යයා දෙසට හැරෙමු. පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර ප්‍රමාණය වන කිලෝමීටර මිලියන 150 , ආලෝක මිනිත්තු 8යි තත්පර 20කට සමාන වේ. එනම් පෘථිවිය සහ සූර්යයා අතර ගමන් කිරීමට ආලෝක කිරණයකට ගත වන කාලය ආසන්නව මිනිත්තු 8කි. මේ මොහොතේ පොළොවට වැටෙන හිරු එළිය සැබැවින්ම සූර්යයාගෙන් නික්මී ඇත්තේ මීට මිනිත්තු 8කට පෙර ය. ලිපියේ මාතෘකාවෙහි අදහස දැන් ඔබට වැටහේ යයි සිතමි. දැන් ඔබ අහසේ සූර්යයා දකින්නේ නම් ඒ දකින්නේ මීට මිනිත්තු 8කට පෙර පැවති සූර්යයා මිස වර්තමාන සූර්යයා නොවේ. ඔබට වර්තමාන සූර්යයා දක්නට ලැබෙන්නේ තවත් මිනිත්තු 8කට පසු ය.

(වැදගත්: අඳුරු කණ්නාඩි හෝ එවැනි ආරක්ෂක උපක්‍රමයක් නොමැතිව නිරුවත් දෑසින් හිරු දෙස බැලීම අතිශය අනතුරුදායක වේ.)

ASKAP-Radio-Telescope

තවත් පැහැදිලි කිරීම් අවශ්‍ය නැත. රාත්‍රී අහස නරඹන ඔබ දකින්නේ පෘථිවියට ආසන්නයෙන්ම පිහිටි ප්‍රොක්සිමා සෙන්ටෝරි තාරකාව මීට වසර 4.3කට පමණ පෙර පැවති අයුරුයි. පෘථිවියට ආසන්නයෙන්ම පිහිටි ග්‍රහ නිහාරිකාව වන හේලීක්ස් මීට වසර 400කට පමණ පෙර පැවති අයුරුයි. පෘථිවියට ආලෝක වර්ෂ සිය ගණනක්, දහස් ගණනක් ඈතින් පිහිටි සමහර දීප්තිමත් ආකාශ වස්තූන්ද පියවි ඇසට දර්ශනය වේ. ආලෝක වර්ෂ මිලියන ගණනක්, බිලියන ගණනක් ඈතින් පිහිටි ආකාශ වස්තූන්ද අති ප්‍රබල දුරේක්ෂ වලට හසු වේ. අද අප මෙලෙස දකින සමහර ආකාශ වස්තු සැබැවින්ම මේ ආකාරයෙන් පැවති කාලයේ මිනිසා හෝ පෘථිවිය බිහි වී තිබීවත් නැත. එමෙන්ම අද අප දකින ආකාශ වස්තු වලින් සමහරක් වර්තමානයේ මේ අයුරින්ම දක්නටද නැත. සමහර ආකාශ වස්තූන් මිය ගොසිනි. යම් යම් හේතූන් නිසා විනාශ වී ගොසිනි. එහෙත් ඒ සියල්ල අපට දර්ශනය වනු ඇත්තේ ඉදිරි අනාගතයේදී ය.

අනෙක් අතට සලකා බැලුවහොත්, පෘථිවියෙන් ආලෝක වර්ෂ මිලියනයක් පමණ ඈතින් සිටින යම් ජීව කොට්ඨාශයකට යම් ආකාරයකින් පෘථිවිය හොඳින් දැකිය හැකි නම්, ඔවුන් මේ මොහොතේ හෝමෝ ඉරෙක්ටස් මානවයන් කණ්ඩායමක් ගිනිමැලයක් අසල වාඩි වී සිටින අයුරු දකිනු ඇත. ආලෝක වර්ෂ මිලියන 65ක් හෝ ඊටත් ඈතින් ඉන්නා අයෙකු ටයිරනෝසෝරස් රෙක්ස් ඩයිනෝසරයෙකු විශාල එඩ්මන්ටොසෝරසයෙකු දඩයම් කරමින් සිටින අයුරු දකිනු ඇත. ඒ ඒ යුගයන්හිදී පෘථිවියෙන් නික්මුණු ආලෝක කිරණයන් අදාළ ජීව කොට්ඨාශයන් පසු කර යමින් තිබෙනවා ඇත්තේ මේ මොහොතේදී ය.

මෙම සංසිද්ධියේ තවත් පැතිකඩක්ද තිබේ. එය තරමක් සංකීර්ණ ය. ලිපිය ලිවීමේදී හැකිතාක් සරල කිරීමට උත්සාහ කර ඇත.

“එහෙනම් අපි කොහොමද මේ ආලෝක වර්ෂ බිලියන 20ක් විතර ඈතින් තියෙන ආකාශ වස්තු දකින්නෙ? ඔය කියන විදිහට බැලුවොත් ඒ ආකාශ වස්තුවලින් නිකුත් වුණ ආලෝක කිරණ පෘථිවියට එන්න අවුරුදු බිලියන 20ක් ගතවෙලා තියෙන්න එපැයි. කොහොමද එහෙම වෙන්නෙ? විශ්වය බිහි වෙලා තියෙන්නෙත් අවුරුදු බිලියන 13.8කට කලින්නෙ.”

507px-Milky_Way_from_Flickr

ඔබෙන් බොහෝ දෙනෙකුට දැන් හෝ පසුව හෝ මෙම ගැටළුව ඇති වන බවට සැකයක් නැත. ඉහත ඡේදයන්හි බොහෝ ස්ථාන වලදී මා ‘පමණ’ යන වචනය භාවිතා කළ බව ඔබ දකින්නට ඇත. ස්ථිතික විශ්වයක් හෙවත් කිසිදු දිනක කිසිදු වෙනසක් සිදු නොවන විශ්වයක් නම් ‘පමණ’ යන අවිනිශ්චිත වදන අවශ්‍ය නොවේ. එනම් එවිට යම් ආකාශ වස්තුවකට පෘථිවියේ සිට ඇති දුර ආලෝක වර්ෂ බිලියන 10ක් නම්, අප අද දකිනු ඇත්තේ එම ආකාශ වස්තුවෙන් නියත වශයෙන්ම වසර බිලියන 10කට පෙර නිකුත් වූ ආලෝකය යි. එහෙත් තර්කය ගොඩනැගෙන්නේ එතැනදී ය. ස්ථිතික විශ්වයක් කියා දෙයක් නොමැත. මා මෙය ලියද්දීත්, ඔබ මෙය කියවද්දීත් විශ්වය ශීඝ්‍රයෙන් ප්‍රසාරණය වෙමින් පවතී. වෙනත් ආකාරයකින් පැවසුවහොත්, ඒ ඒ ආකාශ වස්තූන් හා පෘථිවිය අතර පරතරය ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතී. (විශ්වයේ උපත: මහා පිපිරුම් වාදය – පළමු කොටස බලන්න.) තාරකා විද්‍යාත්මක නියමයන්ට අනුව මෙම පරතරය වැඩි වීමේ නොහොත් විශ්වය ප්‍රසාරණය වීමේ වේගය මනිනු ලබන්නේ සාමාන්‍යයෙන් නිරපේක්‍ෂ හා සාපේක්‍ෂ වේගය මනින තත්පරයට මීටර (msˉ¹) ඒකකයෙන් නොව, පෘථිවියේ සිට විශ්වයේ ඒ ඒ ප්‍රදේශයන්ට ඇති දුර මත රඳා පවතින තත්පරයට මීටරයට මීටර (msˉ¹mˉ¹) යන ඒකකයෙනි. (ප්‍රායෝගිකව භාවිතයට ගැනෙන්නේ තත්පරයට මෙගාපාසෙක් එකකට මීටර/ msˉ¹Mpcˉ¹ වැනි විශාල අගයන් ය.) උදාහරණයක් ලෙස 100msˉ¹Mpcˉ¹ ගතහොත්, මින් අදහස් වන්නේ පෘථිවියේ සිට මෙගාපාසෙක් 1ක් ඈතින් ඇති ආකාශ වස්තුවක් 100msˉ¹ වේගයෙන් පෘථිවියෙන් ඈත් වන බවයි. එවිට මෙගාපාසෙක් 2ක් ඈතින් ඇති ආකාශ වස්තුවක් ඈත් වන්නේ 100 x 2 = 200msˉ¹ වේගයකිනි. පෘථිවියේ සිට යම් ආකාශ වස්තුවකට ඇති දුර වැඩි වන විට එම ආකාශ වස්තුව පෘථිවියෙන් ඈත් වන වේගයද වැඩි වන බව ඔබට දැන් වැටහෙනවා ඇත. මෙලෙසින් පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන ගණන් වැනි අතිවිශාල දුරකින් පිහිටි ආකාශ වස්තු සැලකුවහොත්, එක්තරා දුර සීමාවකින් එපිට තිබෙන වස්තූන් ආලෝකයේ වේගයටත් වඩා වැඩි වේගයකින් පෘථිවියෙන් ඈත් වෙමින් පවතී!

බොහෝදෙනෙකු මංමුළා වන්නේ මෙතැනදී ය.

අප දන්නා භෞතික විද්‍යාවට අනුව කිසිදු වස්තුවකට, අංශුවකට හෝ තරංගයකට ආලෝකයේ වේගය ඉක්මවා ගමන් කළ නොහැකි බව ඉහත සඳහන් කරන ලදී. එසේ නම් විශ්වය ප්‍රසාරණය වීමේ/ ආකාශ වස්තූන් එකිනෙකින් ඈත් වීමේ වේගය ආලෝකයේ වේගය ඉක්මවා යන්නේ කෙසේද? ගැටළුව ඇත්තේ භෞතික විද්‍යාවේ නොව ‘ගමන් කිරීම’ සහ ‘ඈත් වීම’ යන යෙදුම් දෙක අතර ය.

සරල උදාහරණයක් ගනිමු.
ඔබ සහ ඔබේ මිතුරෙක් පිම්බෙමින් හෙවත් ප්‍රසාරණය වෙමින් ඇති විශාල බැලුමක් ඇතුළත නිශ්චලව සිටගෙන සිටින්නේ යැයි සිතන්න. බැලුම පිම්බෙද්දී ඔබත්, මිතුරාත් අතර පරතරය වැඩි වන බව ඔබ දනී. මෙලෙස බැලුම පිම්බෙන විට මිතුරා 10msˉ¹ වේගයෙන් ඔබෙන් ඈතට ඇදී යන අයුරු ඔබට දර්ශනය වේ. එහෙත් ඉන් අදහස් වන්නේ මිතුරා 10msˉ¹ වේගයෙන් ඔබෙන් ඉවතට ගමන් කරන බවද? නැත. ඔබත්, මිතුරාත් දෙදෙනාම සිටින්නේ සිටගෙන ය. දෙදෙනා අතර පරතරය වැඩි වන්නේ ඇවිදීමක් හෝ දිවීමක් නිසා නොව බැලුම ප්‍රසාරණය වන නිසාවෙනි.

Expansion

කිසිදු වස්තුවකට ආලෝකයේ වේගය ඉක්මවා ගමන් කළ නොහැකි බව සත්‍යයකි (වර්තමාන විද්‍යා දැනුම අනුව). එහෙත් විශ්වය ප්‍රසාරණය වීම යනු ගමන් කිරීමක් නොවේ. ඊට දුර මතද රඳා පවතිමින් ආලෝකයේ වේගය ඉක්මවා යාමට බාධාවක් නැත.

ආලෝක වර්ෂ බිලියන 20ක් ඈතින් පිහිටි තාරකාවක් වුවද අප අද දකින්නේ මේ නිසා ය. අද අප වෙත ආ ආලෝක කිරණය තාරකාවෙන් නිකුත් වෙද්දී එය පිහිටන්නට ඇත්තේ පෘථිවියට මීට වඩා බොහෝ ආසන්නයෙනි.එනම් ආලෝක වර්ෂ බිලියන 13.8 සීමාවට ඇතුළිනි (ආලෝක වර්ෂ බිලියන 13.8 සීමාවට එපිටින් තිබුණා නම් එම ආලෝක කිරණ තවම පෘථිවියට පැමිණ නැත. අප තාරකාව දකින්නේ අනාගතයේදී ය.). එමනිසා ආලෝකය වසර බිලියන 20ක් තිස්සේ ගමන් කිරීමක් සිදු වී නැත.

අද වන විට ආලෝක වර්ෂ බිලියන 20ක් ඈතින් පිහිටි තාරකාවකින් ආලෝක කිරණයක් නිකුත් වෙද්දී තාරකාව පිහිටියේ ආලෝක වර්ෂ 10ක් ඈතින් යැයි සිතමු. ඉන් අදහස් වන්නේ ආලෝක කිරණය ගමන් කළ සැබෑ දුර ආලෝක වර්ෂ 10ක් බවද? එයද නිවැරදි නැත. ආලෝක කිරණය අප වෙත පැමිණියේද විශ්වය හරහා ය. එය පැමිණි මාර්ගයද ප්‍රසාරණය වන්නට ඇත. එනම් ආලෝක කිරණය ආලෝක වර්ෂ බිලියන 10කට වඩා දුරක් ගමන් කොට ඇත. එබැවින් එය ගමන් කළ සැබෑ දුර වන්නේ ආලෝක වර්ෂ බිලියන 20ත්, ආලෝක වර්ෂ බිලියන 10ත් අතර යම් දුර ප්‍රමාණයකි.

විශ්වයේ අරුමය මෙය යි…..

අමතර කරුණු: මෙගාපාසෙක් 1 = පාසෙක් 1 x 10⁶ = ආලෝක වර්ෂ 3.3 x 10⁶

ඔබට අවශ්‍ය නම්, මෙම සංසිද්ධියට අදාළ ප්‍රයෝජනවත් සබැඳි (Links) කිහිපයක් පහත දැක්වේ.

NASA Goddard Space Flight Center: Imagine The Universe Project
Science Line: How could the universe expand faster than the speed of light? That seems impossible!
Curious About Astronomy: Is the universe expanding faster than the speed of light?

උපුටා ගැනීම – http://beyond-the-galaxy.blogspot.co.uk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල