කෙටි කථා

දූවිලි (කෙටිකතාව)

Off

වැස්ස එක සීරුවට උස් වීදුරු කවුළුවට පහර පිට පහර දෙයි. මංගල ආරාධනා පත් සැකසීම ආරම්භයේදී හිත අරාගත් උද්‍යෝගය වැස්සට හේදී ගියා වැන්න. ගැඹුරු අළු පැහැ වැහි බීරුම මගේ හදවත කොටසින් කොටස ශීතනය කරනු මට දැනේ.

ලියමින් සිටි ඇරයුම් පත එහෙමම මේසය මත දිගහැර දැමූ මම වීදුරුවට මෙපිටින් වම් කම්මුල වැහි හීතලට තද කරගෙන බේරේ වැවේ ලා කොල පැහැති දිය සේලය මත වැස්ස අඳින බින්දු රටාව දෙස අනිමිසලෝචනයෙන් බලා හිඳිමි. දැවි දැවී හුන් ගතත් සිතත් ඇසිල්ලකින් නිවී යයි. ඒ සැනින් වැහි දියෙන් පණ ලද අකීකරු හිත තෙමී දියබත් වූ පුරාණ මතක පොදියක් කොණහමින් දඟ කරයි.

වැසි දියෙන් තෙතබරිත වූ කෙහෙරැලි අතින් පිස හරිමින් ඔහේ ඇවිද යන කෙසඟ සිරුරැති ගැටවරයෙක් කවුළුව මත විසිරුණ මීදුම් පටලයට එපිටින් පෙනී නොපෙනී යයි. ඔහු නූස්ය, සුදුමැලිය. කොහෙත්ම කඩවසම්යැයි කීමට නොහැකි වුවද ඉතා හුරුබුහුටිය.

“සනූ….” ඔහු ඉදිටියට නැමී මගේ දකුණු කන් පෙත්තට කොඳුරයි.

“හ්ම්ම්ම්…?”

“මම එන්නද ඔතනට?”

“ම්හු.” මම හිස සලමි. මගේ විරෝධය තුට්ටුවකටවත් මායිම් නොකරන ඔහු ඉදිරි අසුනට පැන මා කවුළුව අසලට තවද තල්ලු කර හරී. මම බස් රියේ කවුළුවට කොපුල තදකරගෙන ඉවත බලමි. වීදුරුව දිගේ පහළ ඇදෙන වැහි බිඳු සුලං පහරට ඒමේ අත විසිරී අමුතුම රටාවක් මවයි.

“බලාගෙන හොස්ස බිම වදියි.” ඔහු යළිත් මුමුණයි. දකුණු කන්පෙත්තේ දැවටෙන ඔහුගේ හුස්ම රැලි උණුහුම්ය. මම තිගැස්මෙන් අවට බලමි. බසය සිසාරා බැලුවද සියල්ලම නාඳුනන මුහුණුය. මම සැනසුම් සුසුමක් හෙලමි.

“හෝම් වර්ක් කලාද?” ඔහුට මගෙන් පිළිතුරු වුවමනා නැත. මගේ ඇකයේ වූ පොත් කිහිපය අතට ගත් ඔහු කඩිනමින් පිටු පෙරළයි.

“ඔයා ඩිස්කෂන් එක ලිවුවෙ නැද්ද? සර් බනීවි.”

පසුපිටේ ලියා ඇති යමක් වෙත ඔහු දුරකතන කැමරාව මානයි. පෙරදිනක සර් පද්‍ය පන්තියක් ඇගැයීමේදී උදාහරණයට ගත් Christina Rossetti ගේ පදවැලකි ඒ.

ලස්සනයි නේද?” මම අසමි.

“හ්ම්ම්…. ඔයාගෙ අකුරෙන් ලියපු නිසා.”

****************************
මම ගෙලට සිර කරගත් ලා දම් පැහැ කුඩය ලතාවකට කරකවමින් මග බලා හිඳිමි. ඔහු පුරුදු පරිදි හිතත් හිසත් වැහි වතුරෙන් පොඟවමින් මා අසලට දිව අවුත් අනුමාන ප්‍රශ්ණ පත්‍ර එකතුව ම’අත තබයි.

“අද ස්කූල් කට් කලාද?” මම විමසුම් දෙනෙතින් ඔහු විනිවිදින සැර බැල්මක් හෙලමි.

“ඔව්.”

“ඇයි?”

ඔහු නිහඬවම පාර කෙළවර වූ ගල් කැටයකට පා පහරක් එල්ල කරයි. පෙරැලී යන ගල් කැටය වතුර වලකට වැටෙන්නාහාම මගේ සුදු සපත්තු යුගලයේ අලුතින් මඩ පැල්ලම් රටාවක් ඉහෙයි. මම ඔහු දෙස ඔරවා බලමි. කළු පැහැ බාටා යුගලය තුලරැඳි ඔහුගේ දෙපා ඉතා පිවිතුරු ය. සීතලෙන් නියපොතු ලා නිල් පැහැ ගැන්විලා ය.

“එක්සෑම් ෆේල් වෙයි. එතකොට?”

“එතකොටත් මෙහෙමම තමයි සනූ…. කිසි දෙයක් වෙනස් වෙන්නෙ නෑ.”

ඔහු කී දේ හරියටම හරිය. වෙනස් වී ඇතැයි සිතා හුන් බොහෝ දේ දශමයකින්වත් වෙනස් වී නැති බැව් මෙතැන, මේ මොහොතේ ඇස් වලින් වැහි මීදුම උරා ගන්නා කල්හි මට පසක් වෙයි. කිසිම දෙයක් වෙනස් වී නැත. කොපමණ උත්සාහගත්තත් වෙනස් කිරීමටද නොහැක.

“රෝස මල් නැහැ. චොකලටුත් නැහැ. ඒ කියන්නෙ වැලන්ටයිනුත් නැහැ. මේ එකක්වත් නෑ කියන්නෙ ඉතින් ආදරෙත් නැහැ.”

මම නොපුරුදු කලකිරීමකින් හිස දෙපසට පද්දමින් නෝක්කාඩු කියමි. ඔහු මහා වරදක් කර හසුවුන පොඩි එකෙකු සේහිස බිමට බර කරගෙන සිතිවිල්ලේ හිඳී.

“අදවත් ඩෙනිම හෝදලත් නැහැ.” ඔහු තවම බිම බලාගත්වනමය. මම තරහින් ගවොම් සාය ගසා දමමින් නැගී සිටිමි.

“ඉගෙන ගන්නෙත් නැහැ. රස්සාවක් කරන්නෙත් නැහැ. තාත්තගෙ බිස්නස් වලට ජොයින් වෙන්නෙත් නැහැ.” කවදාවත් නැතුව මම උස් හඬින් කියවාගෙන යමි.

“මට ලැජ්ජයි. යුනි එකේ යාලුවො අහනකොට මම ඔයා මොකෙක් කියලද කියන්නෙ? කියන්න. මොනවද මම එයාලට කියන්නෙ?”

“සනූ…. මේ අහන්න. මම….” ඔහු අතේ ගුලි කරගෙන සිටි යමක් ම’වෙත පායි. ඒ පොතක හැඩයේ කුඩා යතුරු රඳවනයකි. එය විසි කර දමන්නට හිතුනත් මමත් නොදන්නා මොනවාදෝ හේතුවකට මම එය උදුරාගෙන ගවොම් සාක්කුවෙහි රුවා ගනිමි.

“මං යනව.”

“තව පොඩ්ඩක් ඉන්න සනූ. ලෙක්චර්ස් පටන් ගන්න තව පැය දෙකක්ම තියෙනව නේද?”

“හිතුවද මමත් ඔයා වගේ නිකමෙක් කියල? මට වැඩ තියෙනව.”

මගේ වදන් වලින් ඔහු හුන් තැනින් ඉවතට විසි වුනා වැන්න. ඔහු තවත් මොන මොනවාදෝ කීවත් මම වහ වහා දේශන ශාලාව වෙත යන කලුගල් පඩි එකක් හැර එකක් ගානේ පා තැබුවේ ඉක්මනින්ම ඔහු කෙරෙන් ඈත් වීමට ය.

තවමත් එක සීරුවට වැස්ස ය. අතීත මතකයන්හි උණුහුම මගේ ගෙල දෙපසින් ඉහළ නැගී කොපුල් රත් පැහැ ගන්වනු මට දැනේ.

ඒ උණුහුම කාන්දු වීමෙන් කුහුල් වූ වීදුරු කවුළුව එක්වරම මා ඉවතට තල්ලු කර හරියි. පිටත වැහි බීරුමේ සීතලත්,ඇතුලත එක්වනම පැන නැගි උණුහුමත් දරාගත නොහී වීදුරුව සට සට නදින් කම්පනය වන්නේ ජනෙල් පඩිය මත වූ පරණ ආභරණ පෙට්ටියක් බිම පතිත විය. මම තිගැස්මෙන් කවුලුව අසලින් මෑත් වී බිම විසිරුණු කොණ්ඩා කටු, අමුතු හැඩයේ බොත්තම්, මාල පෙති එකින් එක අහුලන්නට වීමි.

එක්වනම මගේ ඇස ගැටුනේ ලියන මේසය යටට පෙරැලී ගිය දුහුවිලි වැකුණු මාල පෙත්තකි.

නැත,

ඒ යතුරු රඳවනයකි.

වහා එය ඇහිඳගත් මම ගැහෙන ඇඟිලි තුඩු වලින් එය මේසය මතට අත හරිමි. බිම පතිත වීමෙන් එහි කෙලවරක් කැඩී ගොස්ය. මම සෙමෙන් ඒ පොත් හැඩැති යතුරු රඳවනය අත්ලට මත ඒ මේ අත පෙරළා බලමි.

එක්වනම එහි පියනක හැඩැති ඉදිරි කොටස ගැලැවී වැටුනි අතර එතුලින් එලියට පෙරැලී ආවේ නිල් පැහැ කරදාසි ගුලියකි. වෙවුලන දෑතින් කරදාසිය විවර කරද්දී එය දෙතුන් පලකින්ම ඉරී ගියේ මගේ නොයිවසිල්ල නිසාමය.

එහි වූයේ හදවත් හැඩැති රිදී තෝඩු දෙකකි.

මම යතුරු රඳවනය අත්ලට තදකරගෙන කවුළුව අසලට ඇවිද ගියේ සිහිනයෙන් මෙනි. ඇතුලත්, පිටතත් එකවාගේම වැස්සය. කැඩුනු යතුරු රඳවනය ආභරණ පෙට්ටිය තුල තැන්පත් කල මම වහ වහා තෝඩු යුගල කන් පෙත්තේ රුවා ගෙන කවුළුවෙන් පෙනෙන ඡායාවෙහි හැඩ බලමි.

මගේ වත බොඳවී ගොස් එතැන ඔහු මැවී පෙනෙයි. ඔව්, සුදුමැලි මුහුණ, දිගටි දෙතොල්, කිසිදා නොපීරූ හිසකෙස් ඒ වාගේමය.

නැහැ! වෙනස්ය.

මේ ඉන්නේ ඔහු නොවේ. ඒ පරණ නව යොවුන් කෙල්ලද නොවේ. සියල්ලම හොඳටෝම, ආපසු හරවන්නට හිතන්නවත් නොහැකි ලෙසම වෙනස් වී ඇත.

තෝඩු දෙක ගලවා ආභරණ පෙට්ටියේ පතුලටම විසි කර දැමූ මම දිලිසෙන තීන්ත පිරවූ පෑන අතට ගෙන අඩක් ලියා අහවර කල මංගල ඇරයුම්පත ලං කර ගනිමි.

යතුරු රඳවනයේ වූ දුහුවිලි වලින් මංගල ඇරයුම්පත පැල්ලම් ගැසී තිබුනි.

~~~~0~~~~

– http://bassigenawathana.blogspot.co.uk/ –

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල