සාහිත්‍ය කළා විචාර

ජනාධිපතිවරණයේ නැකත් බැලිල්ල නොහොත් රටට එදිරිව මම – Country Vs I

Off

ඉහත ඡායාරූපය මා දුටුවේ අද උදයේ අන්තර්ජාලයේ සැරිසරද්දී ය.

එයින් දැක්වෙන්නේ ලංකාවේ ජනාධිපතිවරණය (නියමිත කාලයට කලින්) කැඳවීම සඳහා වූ ගැසට් නිවේදනයට අත්සන් තැබීම සඳහා සුභ මොහොත හෙවත් නැකත එලැබෙන තුරු සිය අත් ඔරලෝසුවලින් වේලාව බලමින් සිටින ජනාධිපති සහ ජනාධිපති ලේකම් ය.

මේ දර්ශනය දුටු විට මගේ හිතට නැගුණේ දැඩි දුකකි, කණගාටුවකි, අපුලකි.

එයට හේතුව නම්, ලංකාවේ සිදුවෙන දේ තීරණය වෙන්නේ කොහේවත් ඉන්නා නක්‍ෂත්‍රකරුවන් ගේ කැමැත්ත අනුව නොවේද කියා සිතට නැගුණු සිතුවිල්ලයි.

මේ ගැන මා මගේ ෆේස්බුක් පිටුවේ මෙසේ සටහන් කළෙමි.
ලංකාව දියුණු රටක් වීමට නම් (රාජ්‍යය සහ ආගම් පමණක් නොව) රාජ්‍යය සහ නක්ෂත්‍රය (ද) වෙන් විය යුතුය.
A country where the State is separated from (religion and) astrology is a developed country…!
මේ පුද්ගලික කටයුත්තක් නොවේ. රටටම බලපාන රාජකාරී කටයුත්තකි. ඔය ආකාරයට නැකතක් බැලිය යුතු යැයි කියා ව්‍යවස්ථාවේ කිසිසේත්ම සඳහන් නොවෙන බව අමුතුවෙන් කිව යුතුද?

මම නක්‍ෂත්‍රය විශ්වාස නොකරමි. බිරිඳ ද එසේම ය. අප තීරණ ගන්නා මගේ හෝ අපේ පවුලේ වෙනත් අයගේ කටයුතුවලට නැකැත් කිසිසේත්ම අදාල නොවේ.

මගේ අදහස අනුව නැකත එළැඹෙන තුරු ජනාධිපතිවරයා සහ ලේකම්වරයා කරන මේ විනාඩි කීපයක් හෝ කාලය මැරීම යනු මහා නාස්තියකි. මේ අයගේ සහ පිරිවර සේනාවේ පඩි නඩි සලකා බලන විට ඒ නාස්තිය රුපියල් ලක්‍ෂ ගණනක් වෙනු ඇත.

එසේ නැතුව නක්‍ෂත්‍රය නිවැරදි විද්‍යාවක් යැයි මොහොතකට සිතමු.

එසේ නම් මේ ජනාධිපතිවරයා කරන්නේ තමා ද අපේක්‍ෂකයෙක් ලෙස ඉදිරිපත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නීති උල්ලංඝනය කෙරෙන තමන්ට වාසිදායක පාක්‍ෂික ක්‍රියාවක් නොවේද? ඒ මේ නැකත සාදා ඇත්තේ අනිවාර්යෙන්ම ජනාධිපතිවරයා ගේ පුද්ගලික කේන්දරයට අනුව ඔහුට වාසිදායක වෙන පරිදි නිසාය.

සමහරවිට විරුද්ධ පක්‍ෂයෙන් ඉදිරිපත්වීමට නියමිත අයෙක් නිවරදිව දන්නේ නම් ඒ පුද්ගලායා ගේ කේන්දරයට අපල කාලයක්ම තෝරා ගන්නටද ඉඩ ඇත.

මා මිතුරෙකු සමග අද දවල් කාලයේ දී කතා බහ කරද්දී මේ ගැන සඳහන් කළෙමි.

“නැකත් කියන ඒවා නිවරදි විද්‍යාවක් නම්, ඔය අත්සන ගහන්න තිබුණේ ලංකාවේ කේන්දරය බලා, ඒ කේන්දරයට සුභ නැකතක් හොයා, ඒ අනුව නොවේද?” මම ඔහුට කීවෙමි.

“මෝඩ කතා කියන්න කියවන්න එපා රසික!” මිතුරා කීවේය. “රටට සුභ නැකතකින් අත්සන් කරන්න තරම් මෝඩ මොන ජනාධිපතිද? එහෙම ලංකාවට සුභ නැකතකින් අත්සන් කළොත් රට දිනනවා කියන්නේ මිනිහා පැරදෙනවා කියන එකනේ!”

මට කට උත්තර නැතිවිය.

-රසිකොලොජිස්ට්

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල