සාහිත්‍ය කළා විචාර

හා කියපන් මචන්… ( say YES machan)!!

Off

මේ දවස්වල ඔෆිස් එකේ හුස්ම ගන්න බැරි වෙන තරම් වැඩ. ඒ කියන්නේ ඔලුව උඩ දුං කබලක් තියාගෙන ඉන්න හනුමන්තා වගේ මගේ වැඩේම ඒ කොනේ ඉඳන් මේ කොනට දුවනවා. වෙලාවට ඔෆිස් එක එතරම් ලොකු නැත්තේ. නැත්තම් එක කොනක ඉඳන් අනිත් කොනට එනකොටම ඉන්ටවල් බෙල් එක වදී. ඒ කොනේ ඉඳන් මේ කොනට දුවන්නේ මොකද දන්නවද… පුටුවේ උන්නොත් සමහරුන්ට ඇහේ කටු අනිනවා වගේ

“උපේක්ෂා… මේ වැඩක් තියෙනවා පොඩ්ඩක් බලනවද?”

“මේ හලෝ… ඔතන සිංහල කොට කොට ඉන්නේ ඇවිත් මේ ප්‍රොජෙක්ට් ප්ලෑන් එක ගොඩදාල දෙනවකො”

“මේ… අර මේල් එක යැව්වද?”

“….. හදල ඉවරද?”

“.. මේක කරලා දෙනවද?”

“… මිටීම කෝ?”

ඔන්න පුටුවේ හිටියොත් වෙන ජාති. ඉතින් මම කරන්නේ පුරුවෙන් බිමට පැනලා දුවන එක. ඔය දුවන අතරෙත් මට බාල්දි වැටෙනවා. චෙක් විතරක් හිතෙනවා! මොකට විස්ස විජ්ජාලෙකින් උපාධියක් ගත්තද කියල හිතෙනවා.

කොහොමත් මට ඔය කලකිරිල්ල තියෙන්න අදක ඊයෙක ඉඳන් නෙවෙයි. අර සුදු බණ්ඩා දිසානායකට ඔව්වගේ අයිතිය පැවරුවට පස්සේ. (දැන් ඉතින් ඒ ජෝලියත් නැහැ අනේ. මේකද අනේ යහපාලනේ ? දවසකට ජෝක් තුන හතරක්ම අහගෙන දෙය්යනේ කියල අපේ සුදු බණ්ඩාට ලවක් දෙවක් නැතුව බැන බැන ඉන්න තරම් ජොලියක් දැන් ඉන්න අජ්ජාපන ඇමතිලා දෙනවද? මෙලෝ රහක් නැහැ. ඇත්තටම දවසක අපිටම අමතක වෙනවා අපි විස්ස විජ්ජාලෙ ගියා කියල… කෝ දැන් මෙලෝ නිවුස් එකක් නැහැනේ…)

මේ අලකලංචි හින්ද මම ගෙදර දුවන් එන්නේ පොලිසියෙන් පස්සෙන් එලවනකොට දුවන කුඩු කාරයෙක් වගේ. නෑ .. නෑ .. ආයුධ පෙන්නන්න යන එකෙක් නෙවෙයි…
මේ අතරේ මට මතක් වෙනවා මගේ ඉස්සර ඔෆිස් වලදී කරපු සහ වෙච්ච , පිස්සු සහ විකාර වැඩ… හරියටම එස්කිමෝවරයෙක් කියපු ගමන් පොල්ගස් මතක් වෙනවා වගේ නේද? ඒ තරම් එකට එක ගැලපෙනවා! හා නැද්ද?

මම කාලයක් හිටියා පිස්සුත් නැති, නමුත් පිස්සු හැරෙන්නට වෙන දෙයක් හරි අඩුවෙන් කරපු ඔෆිස් එකක. එකේදී තමයි මම අර මගේ යාළුවො සෙට් එකක් ගැන කතාවකුත්, ඒ සෙට් එකේ එක යාලුවෙක්ගෙ ‘සාමාන්‍ය’ කතාවකුත් කිව්වේ. මේ සිද්දිය උනෙත් ඒ ඔෆිස් එකේදී. හැබෙයි මගේ චිප්මුන්ක්ස් යාළුවො නෙවෙයි මේ කතාවේ කතා නායිකාව…

එයා ගැන කිව්වොත්…. ම්ම්….. මම මෙහෙම කියන්නම්. පෙනුම බෝනික්කෙක් වගේ. ලස්සනම ලස්සනයි. උසට ගැලපෙන මහත. ඒ වගේම කොකා කොලා බෝතලේ වගේ ෆිගර් එක. දිග ඇස්පිහාටු නිසා හැමෝම එයාගේ ඇස් වල ලස්සනට ආසා කළා. නම අපි කියමු ‘නිලුක්ෂි’ කියලා. නිලුක්ෂි තමයි අපේ ඔෆිස් එකේ හිටපු ලස්සනම කෙල්ල. නිලුක්ෂි තමයි අපේ ඔෆිස් ක්වින් උනෙත් කීප පාරක්ම. ඒකෙන්ම හිතාගන්නකෝ එයාගේ රූප සෝභාව ( මම වගේ වැඳිරියන් අතුරින් ඇයට ගේමක් දෙන්න කිසි කෙනෙක් නොහිටිය ගානයි.. හි.. හි..)

බාහිරින් විතරක් නෙවෙයි ඈ ඇතුලතිනුත් ලස්සන හොඳ ගතිගුණ තියෙන කෙල්ලෙක්. හැමොත් එක්කම සුහදයි. ඒ හින්ද ස්ත්‍රී , පුරුෂ කවුරුත් එයාට ගරු කරනවා වගේම ආසයි.

දන්නවනේ…

ඔක්කොම හොඳයි, ඒ උනත් කියල එකකුත් තියෙනවා නේ… ඒ අනුව… ඔක්කොම හොඳයි නිලුක්ෂිට නම් ඒ උනත් කියල දෙක තුනක්ම කියන්න තියෙනවා… ඒ කියන්නේ

ඒ උනත්…
1. පිස්සු ගතියක් තියෙනවා. ඒ කියන්නේ හිනා වෙලා පනයන වැඩ කරනවා.
2. කතා කරන්න ගියහම කටට බ්‍රේක් නැහැ… නරක දේවල් නෙවෙයි, කියන්න ඕනේ දේ නිකන්ම එයාගේ කටෙන් එලියට පනිනවා.
3. පිස්සු කොයිල් වෙන ඕනෙම වැඩක් කරලා ‘ඇයි ?’ කියල අහනවා.

නිලුක්ෂි ඉතින් අලුතෙන් මොකක් හරි ඇඳගෙන ආවත් ඔෆිස් එකේ උන්ට නිවුස් එකක් තමයි. ඒ වගේම එක එක ලස්සන විකුරුත්තම් වැඩත් මිනිහා ඉඳල හිටලා කරනවා. ඒ කිසි දෙයක් එයාට කැතත් නැහැ,එයා අනික නොගැලපෙන දේවල් කරන්නෙත් නැහැ. මොනවා උනත් මොකක් කලත් එයාට ලස්සන නිසා වෙන්නත් ඇති. අපි ඉතින් ඉඳල හිටලා මාලයක් දාගෙන ගියත් ඕක විසුළු පෙනුමක් ගෙනදෙනවා.

වැඩිය ඕනේ නැහැ, කොණ්ඩේ වවල ගියොත් කියනවා වැද්දියක් වගේ කියල, කපාගෙන ගියොත් ‘අඩේ මෙන්න වල් ඩයනා වගේ’ කියනවා. ඔය වගේ විසුළු කොමෙන්ටු වලට වැඩිපුරම ඒ දවස්වල ලක්වුණේ අපේ වත්සලා ගොය්යා. මම එකපාරක් කියලත් ඇති එයා ගැන නම්.

ඌ රිටක් වගේ උසයි, ඒ මදිවට එස්ලෝන් බටේ වගේ කෙට්ටුයි. එක ගමනක් අර හපන් පැදුර වැඩසටහනේ වගේ ඇඳුමක් ඇඳගෙන ආපිනේ මේ කෙල්ල වැඩට! ඒ කියන්නේ පොඩි ළමයෙක් වගේ බේබි කොලර් දාපු, චිත්ත පෙනුමක් තියෙන සරල ගවුමක්. අනේද කියන්නේ අපේ ඔෆිස් එකේ කොල්ලන්ගේ කට තිබ්බේ කන් දෙකේ වැදෙන ගමන්මයි වත්සලාව දකිනකොට. අන්තිමට අපේම ටීම් එකක හිටපු කොල්ලෙක් ඉන්නම බැරි තැනකි කියාපි

“මොකද වත්සලා අද නිකන් ලා තණකොළ පෙත්තාස් වගේ?” කියල…

මෙතෙක් වෙලා ඌ මාර හුරුබුහුටියි කියල හිතාගෙන අං තට්ටුවක් එක්ක හිටපු වත්සලා නෝනාගේ මුණ චෝර වෙලා ගියා… ඒත් ඌ නෙවෙයි ඒකෙන් සැලුනේ!! ඌ ඊළඟ දවසේ ඇඳන් ආවේ අර කුන්ෆු කතාවේ උන්නු හාදයා ඇඳගෙන හිටපු ඇඳුම! ඔන්න පොරගේ තරම…
කැලෑ පැන්නනේ බොලේ! දැන් ඉතින් නිලුක්ෂි ගැන ආපහු කියමු.
ඔන්න එක්තරා දවසක කසුකුසුවක් ඇහුනා නිලුක්ෂි හදිස්සියේ බැඳලා, මුද්දක් දාගෙන ඇවිල්ල කියල. එතරම් ලස්සන කෙල්ලෙක් ඔහොම එකපාරටම බැන්ද කිව්වහම කසාද බැඳපු, නොබැඳපු , ළමයින්ද කසාද බැඳපු කොල්ලෝ සහ ඉස්සර කොල්ලෝ ඔක්කොම කුලප්පු වෙනවා…. අනේ ඔව්…

නිලුක්ෂි හිටියේ උදේ ඉඳන්ම බිසී වෙලා. අපිත් එදා උදේ වරුවේ බිසී නිසා මේකේ අලගිය මුලගිය විස්තරේ අහගන්න බැරි උනා. නිලුක්ෂි හිටියේ මගේ කියුබිකල් එකට අල්ලපු එකේ. මම ඉතින් පොඩ්ඩක් විවේකයක් ලැබුන ගමන්, මට පිටුපස්ස හරවලා වාඩිවෙලා හිටපු රෙජි ( රෙජිනෝල්ඩ්) මගෙන් ඇහුව ‘ඇත්තද නිලුක්ෂි බැඳලා කියන්නේ?’ කියල. මම කිව්වා මම දන්නේ නැහැ කියල. එතකොට ලන්ච් වලට ළඟ නිසා අපේ ටීම් ලොක්කෝ හිටියෙත් නැහැ. ඉතින් රෙජි හිටපු තැන ඉඳන්ම එහා කියුබිකල් එකට එබිලා

“අනේ අනේ නිලුක්ෂි අපිටත් නොකියාම බැන්ද නේද?”

කිව්වා. සද්දේ ඇහිලා වටේ පිටේ කියුබිකල් වල හිටපු අයත් වැඩ පැත්තක තියෙද්දී ඔන්න කන්, ඇස් ඔක්කොම කතාව පැත්තට හැරෙව්වේ හුළඟට හැරෙන රුවල් වගේ. නිලුක්ෂිට ඔන්න දැන් තමයි කිව්ව දේ ඇහුනේ. ( පොඩි පිස්සු ගතියක් තියෙනවා කියල මම කිව්වේ නැද්ද !)

“ආ….? මොනවා……”

නිලුක්ෂි කතා කරන්නේ පොඩ්ඩක් ඇදල පැදලා වගේ…

“… කවුද අනේ මම බැන්දා කියල ඔයාලට කිව්වේ ආ…?”

සමහරු සැනසුම් සුසුම් හෙලන්නටත් ඇති. සමහරු සතුටු කඳුළු වගුරවන්නටත් ඇති. දැන් ඔක්කොම සීරුවෙන් අහන් ඉන්නවා මොකද වෙන්නේ කියල. මමත් පුටුව කරකවලා ආපහු හැරුන.

“ඇයි අනේ ඔයා අද රින්ග් එකක් දාගෙන ඉන්නවා මමත් දැක්කනේ”

ඒ කතා කලේ අපේ වත්සලා නෝනා. ඔය කියන්නේ කොතනින්ද ගින්න ඇවිලුනේ කියල! ගිනිකුර වගේ ඉඳන් රට ගිනි තියන්නේ මේ බඩ්ඩද කොහේදෝ.

“ඔයා අපේ හිත ඔහොම තුවාල කරන්න එපා නිලූ…”

ඒ හදවත කීං ගානවා කියල මැරෙන්න හදන්නේ රිෂාඩ්.

“අපෝ… මම මේ නිකන් මුද්දක් ගත්ත. ඩයමන්ඩ් එකක්. ආසාවට”

ඔන්න එකතකොට එකියක් නැගිටලා ආව නිලුක්ෂි ළඟට.

“අන්නේ… හරි ලස්සනයි නිලූ…. කොහෙන්ද? ”

ඔන්න ඉතින් පටන් ගත්තා කෙල්ලන්ගේ රත්තරන් වරුනාව !

“කෝ කෝ බලන්න.. අපිටත් පෙන්නන්න…”

ඈත ඉඳන් උනත් නිලුගේ ලස්සන ඇඟිලි ටික බලාගන්න හිතාගෙන රෙජි ඔන්න බෙරිහන් දුන්නා.

“අනේ.. එහෙම අමුත්තක් නැහැ අනේ.. නිකම්ම නිකන් මුද්දක්”

නිලූ කොහොමත් ෂෝ එකට වැඩි කැමැත්තක් නැහැ.

“මොකද්ද කෝ.. කෝ.. අපිට පෙන්නනකො”

තවත් එකෙක් ඔන්න කෑගැහුව.

“මෙන්න මේ…”

කියපු නිලුක්ෂි එයාගේ දකුණු අතේ තිබ්බ මුද්ද පෙන්නුවේ ඉහලට උස්සලා. මුද්ද තිබ්බේ දකුණු අතේ මැද ඇඟිල්ලේ…. ඉතින් එයා කලේ අනිත් ඇඟිලි ටික නමලා, මැද ඇඟිල්ල උස්සලා පෙන්නුවා….

ඔන්න එතකොට තමයි මීයට පිම්බා වගේ සභාව තුෂ්නිම්භූත උනේ!! කොල්ලෝ සහ ඉස්සර කොල්ලෝ ටික ඔක්කොම දෙනා ගල්වෙලා කටේ කෙල හිඳිලා පුටුවල පාෂනභුත උනා කිව්වොත් නිවැරදියි…

විනාඩියකට ආසන්න කාලයක් ගල්වෙලා හිටපු හැමෝම අතරින් ඔන්න රිෂාඩ් කතා කරා..

“හා කියපන් මචන්… හා කියපන්”

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල