ඉතිහාසය

සර්ක්සෙස් I | පර්සියාව (ක්‍රි. පූ. 519 – 465)

Off

 
සර්ක්සෙස් I
ක්‍රි. පූ. 6 වන සියවසේදී මහා සයිරස් රජු පර්සියන් අධිරාජ්‍යය ගොඩ නැංවූ අතර ක්‍රි. පූ. 521 දී සිහසුනට පත් ඔහු ගේ මුණුබුරු ඩේරියස් (ක්‍රි. පූ. 558-486) පර්සියන් බලය ඊජිප්තුව පුරා විහිදුවමින් ෆිනීෂියානු බළ ඇණි ද තම සේනාවට එක්කර ගත්තේ ය. ඔහු ගේ ඊ ළඟ ඉලක්කය වූයේ ග්‍රීසියේ නගර-රාජ්‍යයන් අතර පැවති භේද භින්නතාවය ප්‍රයෝජනයට ගෙන එ රට ජය ගැන්ම යි. එහෙත් ඩේරියස් ගේ ප්‍රහාරයන්ට එරෙහි ව සියලු වාද භේදයන් අමතක කර එක්සත් වූ එම රාජ්‍යයන් විසින් ඔහු ගේ හමුදාව පලවා හරින ලදි. පර්සියානු හමුදාවන්ට වඩා සංඛ්‍යාවෙන් අඩු වුවත් මනා පුහුණුවක් ලබා තිබූ ග්‍රීක හමුදාව ක්‍රි. පූ. 490 දී ‘මැරතන් හි මහ සටනින්’ පර්සියන් හමුදාව පරාජය කෙළේ ය.

ඊට දස වසකට පසු එ නම් ක්‍රි. පූ. 480 දී ඩේරියස් ගේ වැඩි මහල් පුත් සර්ක්සෙස් I, වඩා විශාල හමුදාවක් සංවිධානය කොට නාවික හමුදා ඒකකයන් ද සහාය කරගෙන මිලියන 2.5 ක බල සේනා සහිත ව ග්‍රීසිය බලා ගමන් කළේ ය. ඔහු ස්පාටා හි රජු වන ලෙනිඩාස්, තර්මොපයිලෙ යන ස්ථානයේ දී සම්පුර්ණයෙන් යටත් කර ගෙන ග්‍රීක හද බිම බලා පිටත් විය. එහෙත් ක්‍රි. පූ. 480 සැප්තැම්බර් 23 වන දා උපායශීලී ව පර්සියන් හමුදා සලාමිස් නම් දූපත අසළ පටු සමුද්‍ර සන්ධියකට කොටු කරගත් ග්‍රීකයෝ ඔවුන් පරදවා විනාශ කර දැමූ හ. ශීත සෘතුව තුළ නැවතත් හමුදාව රැස් කළ සර්ක්සෙස් ආපසු පැමිණ ප්ලාටේ මිටියාවතේ දී ග්‍රීකයන් හා සටන් වැදුණේ ය. මැරතන් හා සලාමිස් හිදී සිදු වූවාක් මෙන් නැවත වරක් සංඛ්‍යාවෙන් අඩු වුවත් ග්‍රීක හමුදාව විසින් විශාල හා බල සම්පන්න පර්සියන් හමුදාව පරාජය කරන ලදි. සර්ක්සෙස් ක්‍රි. පූ. 465 දී මරා දමන ලද අතර ඔහු ගේ පුත් ආටසර්ක්සෙස් ඉන් පසු ව රාජ්‍යයට පත් වුවත් ඔහු ගේ පියා ගේ රාජ්‍ය සමයේ පැවති ශ්‍රී විභූතිය ළඟා කර ගැනීමට ඔහුට නොහැකි විය.

සර්ක්සෙස් ප්ලාටේ වල දී ලබා ගත් පරාජය, පර්සියානු අධිරාජ්‍යයේ බිඳ වැටීමේ ආරම්භය සනිටුහන් කෙළේ ය. තව දුරටත් ව්‍යාප්ත නො වූ එය අභ්‍යන්තර වශයෙන් බිඳ වැටීමට පටන් ගත් අතර ඊ ළඟ ශත වර්ෂය වන විට මහා ඇලෙක්සැන්ඩර් ප්‍රමුඛ ග්‍රීක හමුදාවට පහසුවෙන් යටත් කර ගත හැකි බවට පත් ව තිබුණේ ය.

එවකට කිසිවකු විසින් අනුමාන නො කළ ද, ප්ලාටේහි සටනින් උච්ච අවස්ථාවට පත් එම සංග්‍රාම ව්‍යාපාරය ලෝක ඉතිහාසයේ අතිශය වැදගත් සන්ධි ස්ථානයක් විය. යම් හෙයකින් සර්ක්සෙස් ජයග්‍රහණය කෙළේ නම්, ග්‍රීසිය පර්සියානු බලපෑමට ලක් විය හැකි ව තිබූ අතර නූතන බටහිර චින්තනයේ මූලික පදනම බවට ග්‍රීක නොව පර්සියන් සාහිත්‍යය පත් විය හැකි ව තිබුණි.
– See more at: http://madhawagreatmen.blogspot.co.uk/#sthash.ImAl2KEt.dpuf

–මාධව වෛද්‍යරත්න

madhawaBlog

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල