කෙටි කථා

කඟවේණ්නුන් සහ ප්‍රීතියේ පරම කෝටිය (The joy of Unicorns)

Off

මේක බොහෝම වැදගත් රහසක්. බොහෝම දෙනෙක් දන්න, ඒත් නොදන්නවා වගේ ඉන්න රහසක්. අහගන්න ඕනෙ කෙලිත්තියො ඉන්නවනම් ඔය කනේ ගහගෙන ඉන්න අයිපෑඩ් වයර් පැත්තකට විසි කරලා හත් අට පොලකින් ඈඳි ගන්න.
මධ්‍යතන යුගයේ, ඒ කියන්නෙ ඉස්සරම ඉස්සර කාලෙටත් ටිකක් ඉස්සරකාලෙ කඟවේන්නු දඩයම බොහොම ජයට සිද්ද උනා. ඒක නිකම් බෝවෙන ලෙඩක් වගේ හැමතැනම පැතිරිලා තිබුනේ. ඒ තරමටම මදි නොකියන්න කඟවේන්නුත් උන්නා. හැබැයි ඒකෙදි වැදගත් වුනේ කඟවේන්නුන්ට පාවිච්චි කරන ඇම.
ඇමට චීස් කෑලි? හෙහ්!

කඟවේන්නු ගැන දන්නවයැ දැන් හැදෙන එවුන්!
ඇමට යොදාගන්නේ කන්‍යාවියක්. කඟවේනා මතුවෙනකම් ඈ ඉඳගෙන ඉන්නවා කැලෑව අද්දර. ඔන්න එකපාරම ඇහෙනවා කොළ අතු හෙලවෙන සද්දෙ. ඉන් පස්සෙ මතුවෙන්නෙ රෝස පාට අඟක්. කඟවේනා හෙමින් හෙමින් කිට්ටු වෙලා කන්‍යාවිගෙ උකුළ උඩින් ඔළුව තියාගෙන ඇස් පියා ගන්නව. ආං එතකොටයි හැංගිලා උන්නු දඩයක්කාරයො එකා දෙන්නා මතුවෙන්න පටන් ගන්නෙ.
දැන් කාලෙ ඇම හොයන එකත් ලේසි නෑ. ඉතින් ඔය සුපර් මාකට්වල තියෙන කඟවේන මස් එන්නේ කඟවේන් ෆාම් වලින්. නවසීලන්තෙ තියෙන හෙක්ටයාර ගණනාවක් විසාල ගොවිබිම්වල වැඩෙන මේ කඟවේන්නු මිතුරු කන්‍යාවියො නැතුව පුදුමාකාර පාලුවකින් ඉන්නෙ. ඉතින් දවසෙ වැඩි වෙලාවක් උන් මිතුරු කන්‍යාවියන්ට වැදගත් සැම්පලේට මස්කාරා ගාන හැටි උගන්වන විදිය ගැන මනමැවි හීනවල සැරිසරමින් ඉන්නවා. පව්!
ඇත්තටම ඔය බිස්නස්කාරයො තමයි කාන්තා සංවිධානවල ඇත්තියන්ට තර්ජනය කරලා මේ රහස දැන් හැදෙන කෙලිත්තියන්ගෙන් වසං කරල තියෙන්නෙ. ඇයි? අර පාළු ගොවිබිම්වල හිරවුනු කඟවේන්නුන්ගෙ එකම ගැලවුම්කාරයො තමයි කන්‍යාවියො.
බඩවැල් ඇබරිලා, හදවත කුඩුවෙලා, උණ්ඩුකපුච්ඡය කිලිපොලා යන ඛේදාන්තය තමයි බොහොමයක් කෙලිත්තියන්ට ජීවිත කාලයටම කඟවේණුන්ගේ පුරුපුරුවක් අහන්න නොලැබෙන එක. (කඟවේන්නුන්ගේ පුරුපුරුව ඇහෙන්නේ සබන් පෙණ පුරවාපු නාන තටාකයක් ඇතුලෙ ඉඳන් පොමනේරියන් බලු පැටව් දාහත් දෙනෙක් හිනාවෙන සද්දෙ වගේමයි.)
ඒ විතරක්යැ, කඟවේන්නු කවදාවත්ම මොලේ කරවෙච්ච ආදරවන්තයෙක් වගේ ඔයාව “පාවිච්චි” කරන්නෙ නෑ. හැබැයි කඟවේන්නු කැමතියි චිත්‍රපටි බලන්න, ඒ විතරක් නෙමෙයි, පොප්කෝන් සහ ලෙමන් සෝඩා වලටත්!
චිත්‍රපටිය ඉවර වුන වහාම කඟවේන්නුනම් කරන්නෙ සුබරැයක් පතලා ඉක්මනටම පිටත්වෙන එක. පාළු දැනුනට ඒ නික්මයෑම වටිනවා. මොකද එයා යන්නෙ රෑට ඔයාගෙ කාමරේට ඇතුල්වෙන්න බලාගෙන ඉන්න දුස්-ස්වප්න හප කරල දාන්න.
ඔව්. මම මේ දේවල් දන්නෙ අත්දැකීමෙන්, මොකද දැනට හරියටම අවුරුදු තුන්සිය පනස් දෙකකට කලින් මටත් උන්නා මිතුරු කඟවේණෙක්. අපි තවමත් මුණගැහෙනව දෙසැම්බර් නිවාඩුවටයි, පාස්කු දවසටයි. ඒත් මම දැන් බැඳපු ගෑනියෙක්. කඟවේන්නු කොහොමත් බැඳපු ගෑණු එක්ක වැඩි ඇඟෑලුම්කමක් නෑ.
මම දන්නවා දැන් ඔය කෙලිත්ති කල්පනා කරන්නෙ; “ඔය කියන්නෙ ඇත්තනම් මම මීට කලින් කඟවේනෙක් නොදැක්කෙ කොහොමද?” කියන එක. හොඳ ප්‍රශ්ණයක්! බොහෝම තියුණු නුවණක් තියන ගෑණු ළමයෙක්. මම ප්‍රාර්ථනා කරනව දෙවියො ඔයා වෙනුවෙන් මොළේ තියෙන ස්වාමිපුරුෂයෙක් මවල දේවි කියල!
මිනිස්සුන්ගෙ මොළ හේදිලා ගිහින්. ඒක තමයි හේතුව. ඉතින් කඟවේණ්නු උනත් හිතනවා සුරංගනා කථා ඇතුලට වෙලාම ජීවිතේ ගෙවන එක දාහෙන් සම්පතක් කියලා. අන්න ඒකයි ලේඩි ගාගා කඟවේනෙක්ගෙ පිටේ නැගලා වේදිකාවට පනින හැටි අපිට දැකගන්න බැරි උනේ. හෙහ්! උන්දැට දළ-තල්මහෙක් එක්ක ස්ට්‍රෝබෙරි මිල්ක්ෂේක් එකක් බොන්නවත් වාසනාව තිබුනොත් පුදුමයක්!
අසීමාන්තික ආසාවක් නිසා දැනටමත් කඟවේන්නු දැකගන්න බැරිවෙන තත්වෙට පත්වෙච්ච නිසා වෙන්න ඕනෙ ඔය මූණු නාලු වෙලා තියෙන්නෙ. දුක් වෙන්න කාරි නෑ. කඟවේන්නු කියන්නෙ සමාව දෙන හොඳ සත්තු – මං කියන්නේ, යම් තාක් දුරට.
ආදරවන්තයො හතරදෙනෙක්ට අඩුවෙන් ආශ්‍රය කරපු ඕනෙම ගෑල්ලමයෙක්, තමන්ව ආයෙමත් කන්‍යාවියක් කරන්නෙයි කියලා උනන්දුවෙන් දෙවියන්ට යාඥා කරලා පිවිතුරු බවේ ප්‍රතිඥාවක් දුන්නොත්, කඟවේනෙක්ව හුරතල් කරන්න හැකියාවක් නොලැබුනත්, ඔයාට කඟවේනෙක්ගෙන් ෆේස්බුක් රික්වෙස්ට් එකක් එන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ආදරවන්තයෝ ගණන හතරකට වැඩිනම්, බොහොම අවංකව පිවිතුරු බවේ ප්‍රතිඥාව පිළිපැද්දොත් ඔයාට යාන්තම් කඟවේනෙක්ට ඈත ඉඳන් අතවනන්න පුලුවන් වෙයි. සමහරවිට තියුණු කඟවේන අඟ පහත් කිරීමෙන් ආචාර කරනවත් දැකගන්න ලැබෙයි.
අසාධාරණයි!? ඒඩ්ස් හරි සිපිලිස් හරි හදාගන්නවට වඩා කඟවේනෙක් අතවනලාවත් යන එක දාහෙන් සම්පතක් නෙමේද???
කඟවේන්නුන්ගෙන් සමාවක් ලැබුනේම නැතත් දුක් වෙන්න එපා. සමහරවිට වෘෂභමිනිහා ඔයාගෙ තනියට එන්න පුලුවන්. ඔළුව දෙපැත්තෙ විසාල අං දෙකක් තිබුනට එයා බොහොම හොඳ සවන් දෙන්නෙක්. එකම දේ එයා ගව ඔළුවෙන් තණකොළ අඹරන සද්දෙට වඩා හයියෙන් කෑගහමින් කතාකරන්න සිද්දවෙන එකයි. ඒත් මට හොඳටම විශ්වාසයි ඔයා ටික කාලෙකින් ඒකට පුරුදු වෙන බව.

වෘෂභමිනිහා (Minotaur)
ඉතින් කෙල්ලනේ, ඊළඟ වතාවෙ කෑදර ආදරවන්තයෙක්ගෙන් “ප්‍රීතියේ පරම කෝටිය ස්පර්ශ කරන්න” ආරාධනාවක් ලැබෙනකොට, කෙලින්ම කියන්න, තමන්ට ‘හාන්සි’ වෙන්න උවමනාවක් නැති වග. ඒ වගේම ‘කාන්සි’ය මකන කඟවේණෙක් කෑදර ආදරවන්තයෙක්ට වඩා බොහොම වටින බව.
අමතක කරන්න එපා ආදරවන්තය එක්ක ඇතිවෙච්ච කතාබහ කඟවේනත් එක්ක කියන්න. කඟවේණ්නු බොහොම කැමතියි විහිළු කතා අහන්න. දන්නවද? කඟවේනෙක් හිනාවෙන හැම වතාවකම සුරංගනාවියක් තමන්ගෙ මංගල රාත්‍රියෙදි ප්‍රීතියේ පරම කෝටිය ස්පර්ශ කරනවා. ඉතින් විය යුතු පරිද්දෙන්ම මාස නමයකින් පුංචි දේදුන්නක් ඉපදෙනවා.
ප.ලි.
මේක මගේ නිර්මාණයක් නෙමෙයි. Frank Lesser ලියාපු Sad Monsters කියන පොතේ එන The joy of unicorns පරිච්ඡේදය සිංහලට අනුවාදය කල එක තමයි මම කලේ. මුල් ලිපිය හොයා දුන්නු ප්‍රා-ජේ ට බොහොම ස්තූතියි.

http://bassigenawathana.blogspot.co.uk/2015/04/joy-of-unicorns.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල