කාලීන සංවාද

ආදිවාසී සෙල්ලමේ කෙළවර කොතනද?…………… Who are the Aborigines of Sri Lanka?

Off

ආදිවාසී යන වර්ගීකරණයට වැටෙන ජන කොට්ටාශ, සෑම මහාද්වීපයකම දක්නට ලැබෙනවා. ලෝකයේ බොහෝ රටවල, ආදීවාසීන් ලෙස හඳුන්වන ජන ගෝත්‍ර ජීවත්වෙනවා. ලංකාවේ ආදිවාසීන් ලෙස සැළකෙන්නේ, ‘වැදි’ නමැති ජන ගෝත්‍රයයි. මේ ලිපිය ලියන්නට හේතුවුනේ, පසුගිය දිනක, මා මහියංගනය ප්‍රදේශයේ කළ සංචාරයකදී, දඹානේ ජීවත්වන, ආදිවාසී ජනතාව බලන්නටද ගිය නිසයි. සාමාන්‍යයෙන් වන්දනා සහ/හෝ විනෝද චාරිකා වල යෙදෙන බොහෝදෙනා, දඹානේ ආදිවාසීන් බලන්නට යාම සිරිතක්.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ මට, ආදි පාද හමුවකට, (මතකනේ මීට කළින් ආදි පාද හමුව) රන්ටැඹේ ප්‍රදේශයේ පිහිටි ජාතික ශිෂ්‍යභට බලකායේ පුහුණු මධ්‍යස්ථානයට යන්නට සිදුවුණා. මගේ හමුදා සේවා කාලය තුළ මා කවදාවත් මේ ස්ථානයට ගිහින් නැහැ. හේතුව, මෙය ඉඳුරාම යුද හමුදාවට සම්බන්ධ ස්ථානයක් නොවන නිසා. මට ලැබුණු විශේෂ ආරාධනයක් නිසයි ගියේ. ආදි පාද හමුව ගැන වෙනම ලිපියක් ලියන්නම්. මේ කඳවුරේ දින දෙකක් ඉතා විනෝද ජනක ලෙස ගෙවීගියා. ඒ හමුවේ එක් ඉසව්වක් වුයේ, මහියංගනය සහ දඹාන යන ප්‍රදේශවල චාරිකාවක යෙදීමයි. ඒ අවස්ථාවේදී මා ලද අද්දැකීම් කීපයක් තමා, මේ සටහන තැබීමට නිමිති කරගත්තේ.

අපේ කණ්ඩායමේ, විශ්‍රාමික හමුදා නිළධාරීන් 30 ක් පමණ සිටියා. අපි රැගත් බස් රථය, මහියංගනය – පදියතලාව ප්‍රධාන මාර්ගයෙන්, දඹානට යන අතුරු මාර්ගයට හරවනවිටම, උඩුකය නිරුවත්, සරමක් දෙකට නවා ඇඳගත්, (වළාපොට ගහලා) වයස අවුරුදු 14 – 15 පමණ, කොලුගැටයෙක්, බස් රථය නවත්වන ලෙස සංඥා කළා. බසය පැදවුවේ, ඒ ප්‍රදේශය හුරු හමුදා රියදුරෙක්. ඔහු නිළ ඇඳුමෙන් හිටියේ. නිළ ඇඳුමෙන් සිටි තවත් හමුදා සොල්දාදුවකු, අපේ ආරක්ෂාවට ගමන් කළා. ඔහුත් මේ ප්‍රදේශය දන්නවා. ඒ සොල්දාදුවා එකවරම රියදුරාට කිව්වා,

‘අපෙනුත් ගරන්න තමා හදන්නේ. නවත්තන්න එපා කෝප්‍රල්’ කියලා.

මම ඒ සොල්දාදුවාගෙන් ඇහුවා,

‘ඇයි එහෙම කිව්වේ’ කියා.

‘සර්, මේ ගොල්ලෝ ඕනෙම වාහනයක් ආවම, පාර පෙන්නන්න කියලා ඒකට නගිනවා. ඒකට ගාස්තුවක් අයකරනවා. එතන ඉඳලා එක එක දේවල් පෙන්නලා, විකුණලා, කීයක් හරි ඉල්ලන එක තමා වැඩේ’ කියා, ඔහු උත්තර දුන්නා.

ඒ සමගම ඔහු මට පෙන්නුවා, ඒ කොලුගැටයා, වේගයෙන් දුවගොස්, ඒ අසළ කුඩා කඩයකට මුවාවී, තම සරමට යටින් ඇඳ සිටි කොට කලිසමේ සාක්කුවකින් ගත් ජංගම දුරකථනයකින්, ඇමතුමක් ගන්නා හැටි.

‘ඔය කරන්නේ සර්, අර්ලි වෝනිං දෙන එක’ අර සොල්දාදුවා කිව්වා.

(හමුදා භාෂාවෙන් අර්ලි වෝනිං Early Warning දෙනවා කියන්නේ, ඉතා නුදුරේදී යම් සිදුවීමක්/සතුරු ප්‍රහාරයක්/සතුරාගේ යම් ක්‍රියාකාරකමක්/වැදගත් පුද්ගලයකුගේ පැමිණීමක්/අනපේක්ෂිත කරදරයක්/ හෝ එවැනි යමක් සිදුවියහැකි බවට, කල්තබා දැනුම්දීම හෝ අනතුරු ඇඟවීමයි)

‘ඉතින් මෙයා කාටද අර්ලි වෝනිං දෙන්නේ’ කියා මම ඇහුවා.

‘දඹානේ ඉන්න මෙයාගේ කට්ටියට තමා කියන්නේ, ඔන්න බස් එකක් එනවා ලෑස්තිවෙලා හිටපල්ලා කියලා’ යනුවෙන් පිළිතුරු ලැබුණා.

අපි දඹාන මහා විද්‍යාලය අසළට යනවාත් සමගම, උඩුකය නිරුවත්, පිරිමි කීපදෙනෙක්ම උත්සාහ ගත්තා, බස්රථයට නගින්න, නමුත් අපේ ආරක්ෂාවට හිටිය සොල්දාදුවා, ඔවුන්ව වැළැක්වුවා.

‘පාර පෙන්නන්න හැදුවේ, අපිවත් අරන් යන්න’ ආදී වශයෙන්, ඔවූන් කෑ ගහනවා ඇහුණා.

ඔන්න ඉතිං අපි දඹානට ගියා කියමුකෝ. එතනදී මුලින්ම හමුවන්නේ කුඩා වෙළඳපොළක්. පරිසරය රැකීම ගැන, මේ වැදි ජනතාව කොපමණ දේ අපට කිව්වත්, මේ වෙළඳපොළ කාලීනව අලුත්වැඩියා කරන්නට, සෑහෙන ගස් ප්‍රමාණයක් කපන්න වෙන බව, පැහැදිළිවම පෙනුණි. මෙහි තිබෙනවා, වැදි ජනතාවගේ අත්කම් නිර්මාණ, මී පැණි, ආදී මෙකී නොකී දෑ.

මේ මීපැණි ගැන කියනවානම්, මගේ දැනීමේ හැටියට, ඒවා පිරිසිදු මී පැණි නොවේ. අපද්‍රව්‍ය බහුලය, අසුරා තැබීම දුර්වල නිසා, තවත් අපද්‍රව්‍ය මිශ්‍රවීමට ඉඩතිබේ. මී පැණි දමා තිබෙන විශාල භාජනවල, මී වද කැබලි බලෙන් ඔබා ඇත්තේ, ඒවා නියම මී පැණි බව පාරිභෝගිකයාට ඒත්තු ගැන්වීමට විය හැකිය. බෝතල්වල තිබෙන මී පැණි පරීක්ෂා කිරීමට ක්‍රමයක් නැත. බොහෝදෙනා, ඒවා හොඳ මී පැණි කියා රැවටීම වැළැක්විය නොහැකිය. එතනදී ඒවා කියන්න ගොස්, ගුටිකන්න බැරිය. නමුත් මම එක දෙයක් කළෙමි. ඒ මී පැණි ගන්න උත්සාහ කළ, අපේ නඩයේ කීපදෙනෙකුටම, අකමැත්තෙන් වුවද, අර මිනිස්සුන්ට තේරෙයිදෝ යන සැකයද සහිතව, සුද්දාගේ බාසාවෙන් කරුණු කියා, ඒ මිනිසුන්ගේ බඩට ගහන්නට මට සිදුවිය.

(මී පැණි බහුළ ප්‍රදේශයක ඉපදුණු, එක්තරා සොල්දාදුවෙක්, නියම මී පැණි හඳුනාගන්නා හැටි, යුද්දෙට ගිය කාලෙදි මට කියාදී තිබුණා. ඒ අනුව මම වරක්, ආණමඩුව ප්‍රදේශයෙන් මිළදීගත් මී පැණි, නියම මී පැණි බව, ඔහු පරීක්ෂාකර සනාථ කළා)

එමෙන්ම, කළුවර ලීයෙන් සෑදු බව කියමින් පෙන්වන විවිධ නිර්මාණ, කළුමැදිරිය හෝ වෙනත් ලීයකින් නිමවා, සාර්ථකව කළු කළ ඒවා බව, ඉතා පැහැදිළිය. ඒවා කළුවර ලී නොවන බවත්, නිර්මාණයේ මිළ මා ගෙවන අතර, ඉන්පසු එය දෙකට කඩා, හරස්කඩ පෙන්විය හැකිදැයි මා ඇසු පැණයට, එක් පුද්ගලයකු කෝපයට පත්ව, මොනවාදෝ මුමුණමින්, (මගේ දෙමව්පියන් මතක් කරන්න ඇති) එතනින් ඉවත්ව ගියා.

කී කිරිඳි ඇට, කම්බි යොදා අමුණා, කර ඇති නිර්මාණ, ශක්තිමත් නොවන අතර, කියන මිළ ගණන් අසාධාරණ බව එකවරම පෙනීයයි.

stuff

-ඉතිරිය කියවන්න යන්න http://wicharaka.blogspot.co.uk/2015/04/who-are-aborigines-of-sri-lanka.html

 

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල