කාලීන සංවාද

අලුත් අවුරුද්ද අම්මා සහ රාත්‍රී භෝජන සංග්‍රහය.

Off

අලුත් අවුරුද්දට කොහා අඬන්න ගන්නත් කලින් අවුරුදු ළඟ එන බව අපට දැනෙන්නෙ අම්මා කුස්සිය අස් කරන්න පටන් ගත්තමයි.මැටිවලින් බැඳල තියෙන ලිප් සුද්ද කරල කැඩිච්ච බිදිච්ච තැන්වල සුන්බුන් අයින් කරල දාල එහෙම අලුතෙන්ම ලිප් බඳින්න ලෑස්ති වෙනවා.ඊට පස්සෙ තාත්තට කියල හුඹස් මැටි කූඩ දෙක තුනකුත් ගෙන්නගෙන මැටි ටික පදමට අනල ඉස්සෙල්ලම කැඩුන බිඳුන තැන් පිළියම් කරල වේලෙන්න තියනවා.හොඳින් වේලුනාට පස්සෙ හරක් මඩුවෙන් අමුගොම අරං ඇවිත් මැටිත් කලවං කරල සීරුවට කුස්සිය පුරහම ගොම පිරිමදිනවා.ගොම ගෑවට පස්සෙ හොඳට වේලෙනකල් අපට කුස්සියට යන්න තහනම්.

ඒ කුස්සිය තිබුනෙ අපේ පරණ මහගෙදර.ඒ කියන්නෙ දැන් තියන මහ ගෙට කලින් අපි හිටපු ගේ.එතකොට අපි ගොඩක් පුංචි නිසා මතකය අඩුයි.ගෙයි ඉස්සරහ පැත්ත නං හොඳට මතකයි.ඉස්තෝප්පුවෙ විසාල කණු තිබුණා.පැත්තක කොට බිත්ති කණ්ඩියක් අනික් පැත්තෙ ඉස්තෝප්පු කාමරේ.ඉස්තෝප්පුවෙන් ගෙට යන්න දොරවල් දෙකයි.මහහයිය කිතුල් පොලු දාපු ජනේල වහලෙට හිංගල උළු වහල තිබුණ ඒ ගේ හරි සනීපයි.

ඒ උනාට ඇමරිකන් පැටන් එකට ගෙවල් හැදිල්ල ඒ කාලෙ අලුත්ම විලාසිතාව වෙලා තිබුණ නිසා හොඳට තිබුණ මහ ගේ කඩල අලුත් ගෙයක් හදන්න තාත්තලට ඕනෑ උනා.ඉතිං අපුරුවට තිබුණ පරණ ගේ කඩල දාල අලුත් ගේ හදන්න පටන් ගද්දි අපි පවුල පිටින්ම අලවත්තෙ පාරෙ තිබ්බ කුලී ගේක පදිංචි උනා.පරණ ගේ තිබුණ නං මොනතරම් අපූරුද කියල මට දැනුත් වෙලාවකට කල්පනා වෙනවා.ඉතිං ඔන්න ඔය අලුත් ගේ හදද්දී බිමට සිමෙන්ති දානකොට කුස්සියට සිමෙන්ති නොදා ඉන්න අම්ම තාත්තව එකඟ කරවගත්තා.එහෙම කුස්සියට සිමෙන්ති නොදැම්මෙ අම්මට ගොම ගාන්න තැනක් අවශ්‍ය කරපු හින්දයි.ඒ ගෙයි ඉන්නකල්ම අම්මා කුස්සියෙ ගොම මැටි ගෑමේ කටයුත්ත දිගටම කරගෙන ගියා.

ඒ විදියට කුස්සිය ඉවර කරගත්තට පස්සෙ ඊළඟට තියෙන්නෙ කැවිලි පෙවිලි සැදීමයි.කැකුළු හාල් දියේ දාල පිටි වනක් දෙකක් කොටාගෙන අම්මා අවුරුද්දට කැවිලි හදන්න පටන් ගන්නවා.අතිරස නම් නොවැරදීම හැදුවට කොන්ඩ කැවුම් හැදුවෙ නෑ.මොකද කොන්ඩ කැවුම් හදද්දී එකතැන වාඩිවෙලා ඉරටු කරකවමින් තෙල් ඉහිමින් ගොඩක් වෙලා ගතකරන වැඩවලට ඒ අය කිව්වෙ සීග්ගර වැඩ කියලයි.ඉතිං කොන්ඩ කැවුම් ආස්මී වගේ කෑම හදන එකත් සීග්ගර වැඩ ගණයටම අයිති නිසා වෙන්න ඇති.අතිරස හදල තෙල් බහින්න මැටි මුට්ටිවල දාල කට බැඳල තිබ්බට පස්සෙ මුං කැවුම් කජු අලුවා ආදිය හදනවා.කජු අලුවා ලොකු පළඟානක අඩුක් කරල හංගල තියන්නෙ අවුරුදු දවස වෙනකල් අපෙන් බේරල තියාගන්නයි.ඒ උනාට කොහොම හරි හංගපු තැන හොයාගත්තම අවුරුදු වෙද්දි ඉතුරු වෙන්නෙ පලඟානෙන් බාගයයි.වැලිතලප හදන්නෙ අවුරුදු දවසට කලින් දවසෙ,නැත්නං නරක්වෙනවනේ.අම්මගෙ වැලිතලපත් හරිම රසයි.තව අම්මගෙ නංගි මැණිකෙ පුංචිඅම්මත් හරිම රස වැලිතලප හදනවා.අපේ නැන්දා ඒ කියන්නෙ තාත්තගෙ නංගි එයා දීල හිටියෙ අම්මගෙ අයියට ඒ කියන්නෙ බෝතලේට.නැන්ද හදන වැලිතලපවල ඇට ගල් වගෙ හයියයි.හපන්න බැරි නිසා අපි පැණි ටික සූප්පු කරල ඇට ප්රූස් ගාල පිඹල අරිනවා.

අලුත් අවුරුදු චාරිත්‍ර වලට කලින්ම අම්මා කෝඳුරු කැවුම කුස්සියෙ එල්ලනවා.එතකොට අවුරුද්දෙ ගණුදෙනු නැකතේදී ඉස්සෙල්ලම ළිඳත් එක්ක ගණුදෙනු කරනවා.අවුරුදු කෑම බිම ලොකු රෙද්දක් එලල කිරිබත් කැවුම් කෙසෙල්ගෙඩි ආදී ඔක්කොම කෑම වර්ගත් දවාලක රෑක නං බත් මාළු පිණිත් එතනම තියනවා.නැකත් වෙලාවට කට්ටියම එකතුවෙලා අනුභවය කරනවා.නැකත් වෙලාව කිව්වම මට කතාවක් මතක් උනා.

අපි බොහොම තරුණ කාලෙ එක අලුත් අවුරුද්දක උදේ වරුවෙ ආරියලගෙ ගෙදර ගියා.අපි කිව්වෙ වෙනුජයි මමයි.ඔය කාලෙ අපි නැකත්, චාරිත්‍ර වාරිත්‍ර එහෙම එච්චර ගණන් ගත්තෙ නෑ,හිතුන වෙලාවට කනවා බොනවා හිතුන තැනක යනවා කොල්ලො එහෙමනෙ.ඉතිං ආරිලගෙ ගෙදර යමු කියල දෙන්න කතාවුනා ගියා.හොඳද නරකද අරකද මේකද බැලුවෙ නෑ.යනකොටත් ආරිය හොඳට බීල හිටියෙ වෙරි මරගාතෙ ආරිය මරු කතා කියනව.ඌ කියන කතාවලට අපිට මැරෙන්න හිනා.මුගෙ කතා අහගෙන විනෝද සමය වගේ අපි ඉන්නකොට ඔන්න එහා පැත්තෙ බූරු පොළේ බූරු ගහල පැරදිලා ගෙදර යන සැන්ටින් මුදලාලි අපේ සද්දෙ ඇහිල එතෙන්ට ආවා.සැන්ටින් මුදලාලිත් බීල හිටියෙ, අපේ බෝතලෙනුත් බීපුවම මිනිහට හොඳටම වැඩිවුණා.ඔහොම කියෝ කියෝ ඉද්දි දන්නෙම නැතුව අවුරුදු නැකත් වෙලාවත් ලංවෙලා සැන්ටින් මුදලාලි හොයන්න මයුරපාල ආවා.මයුරපාල කිව්වෙ සැන්ටින් මුදලාලිගෙ බෑනා.මිනිහ ගමේ හැමතැනම සැන්ටින් මුදලාලිව හොයල හොයල යන්තං හොයාගත්ත කියල අපිත් එක්ක කිව්වෙ.පස්සෙ අපි සැන්ටින් මුදලාලිව මයුරයගේ තැපැල් නයින්ටියේ ලගේජ් එක උඩින් තිබ්බා.හරියන්නෙ නෑ දහ් ගාල බිම වැටෙනවා, මුදලාලි කොටයි මහතයිනෙ අන්තිමේ කරන්න දෙයක් නැති තැන මයුරපාල සයිකලේ කෙසෙල්කැන් බැඳගෙන එන නයිලෝන් ලණුවෙන් අපි මුදලාලිව ලගේජ් එකේ ගැටගැහුවා.ගැටගහල පිටත් කරල ඇරියම අගේට ගෙදර ගියා.

ආයෙ දවසක ආරි මට රෑ කෑමකට ගෙදරට ආරාධනා කළා.මට මතක හැටියට ඒ මම ඉන්දියාවෙ ඉඳල ආපු අලුත ආරි කසිප්පු බිස්නස් එක කරපු කාලෙ,මිනිහට අතමිට හොඳට තිබුණා.ඉතිං මාව දැක්කම ආරිට හරි සතුටුයි.ටිකක් බීලත් හිටියෙ මාව බදා ගත්තා.

මේ ඔයා ඔන්න හෙට රෑට කෑමට නොවැරදීම අපේ ගෙදර එන්න ඕනෑ හරිද…

ඔන්න ඔහොම එනවමයි කියල කීප සැරයක් පොරොන්දු කරගෙන ආරි යන්න ගියා.පහුවදා රෑ මම තනියෙන් යන්න බැරි හින්ද වෙනුජටත් අඬ ගහගෙන ආරිලගෙ ගෙදර යනකොට මගදී අපේ මස්සිනා හම්බුනා.මිනිහත් කන බොන මනුස්සයනෙ කියල ඌටත් එන්න කිව්වා.අපි තුන්දෙනා ආරිලගෙ ගෙදර යද්දි ගෙයි සෙනග පිරිල මීවදේ වගේ.කසිප්පු බොන්න කස්ටමර්ල එන්නෙ මීමැස්සෝ වගේ ආරියා හෙනට බිසී.කසිප්පු දාල දෙනවා සල්ලි ගන්නවා ණයට බොන්න එන උන්ට බනිනවා එක කම්බැල්ලෑවයි.ගෙයි පිටිපස්සෙ ආරිගෙ ගෝලය හපයා කසිප්පු කලවං කරනවා.අපි ගිහිං ආරිට කතාකළා.

ආ උඹල ආවද මචං පොඩ්ඩක් වාඩිවෙලා හිටපල්ලකො…

අපිත් සාලෙ පැත්තක තිබුණ පුටුවල වාඩිවෙලා පැය බාගයක් විතර බලාගෙන හිටියා.සෙනග යනවා එනවා බනිනවා ආරිය උගෙ වැඩ.දැන් අපට ඊට වඩා පණ බයයි බැරිවෙලාවත් පොලිසියෙන් පැන්නොත් එහෙම අපි තුන්දෙනාවත් අල්ලං ගිහිං කූඩුවෙ දානවනෙ,මොකෝ එපා කියන්ඩයැ.අපිත් ගැහි ගැහි ඉන්නව ඔහොම ඉන්නකොට එකපාරටම ආරිය දුවගෙන දුවගෙන ආවා.පොලීසියෙන් පැනලද දන්නෙ නෑ කියල බයටම අපටත් නැගිටවුනා.

අනේ මහත්තයො, මල්ලියෙ තරහ වෙන්න නං එපා.මට නං දැන් හෙල්ලෙන්න වත් විදිහක් නෑ පේනවනෙ සෙනග, ටවුමට ගිහිං උඹලට කැමති ඕනෑම ජාතියක් අරං වරෙල්ලා.මෙන්න සල්ලි තියෙනව…

දැන් මූට මොකුත් කියන්නත් බෑ බනින්නත් බෑ ඔය ඉතිං දන්න හරියනෙ,මොනා කරන්නද?පස්සෙ අපේ මස්සිනා ටවුමට යන්න කැමති උනා.පොර හෙල්මට් එකත් දාගෙන සයිකලේට නගින්න හැදුව විතරයි.

අනේ මේ පේමෙ කන්නත් මොනා හරි ගෙනෙන් මචං…

රෑට කන්නද?එහෙනං මම කොත්තුත් දාගෙන එන්නං,හැබැයි පරක්කුවෙයි…

නෑ නෑ රෑට කන්න පවුල බත් උයනවා.බයිට් එකක් හදාගන්න මස් ටිකක් ගෙනෙංකො…

ඒ වෙනකොටත් රෑ නමේට ලඟයි, පේමය පිටත්වෙලා ගියා.අපි දෙන්නට ගේ ඇතුලෙ ඉන්න බයයි.ඒ හින්ද එළියට බැහැල පාර පේන හරියෙන් ගහක් යටට වෙලා මදුරුවො තල තලා හිටියා.ආරිය ගේ ඇතුලෙ ගජරාමෙට බිස්නස් එක.පැයක් විතර යද්දි අරක්කු ගේන්න ගිය එකා ආපහු ආවා.වෙන එකෙක් ගියා නං විනාඩි දහයෙ ගමන ඒ උනාට මූ ගිය තැන පැලවෙනවනෙ, සයිකලේ නවත්තල මගදී දකින දකින යාලුවොත් එක්ක කයිය ගගහ ඉන්නව.ඌව ගමනක් යවන්න අපි කැමතිම නැත්තෙ ඔය ගිය තැන පැලවෙන සිරිත හින්දමයි.කොහොම හරි ආපු එක මදැයි කියල තුන්දෙනාම ගෙනාපු අඩුම කුඩුම අරගෙන ගෙට ගියා.ඒ ගමන ආරිය වීදුරු ටිකක් ගෙනල්ල අපට දුන්නා.අපි වාඩිඋනාම ආරිය බෝතලේ කඩල ටිකක් වක්කරගෙන බිව්වා.

මචං උඹල ඕනෑ හැටියකට බීපල්ලා මට මෙතන ඉන්න හැටියක් නෑනෙ බං ජොබ් එක කරන්න එපායැ තරහ වෙන්න එපා ඈ…

එහෙම කියල ආරිය ආපහු බිස්නස් පටන්ගත්තා.ගෙනාපු මස් ටික සැරට ඩෙවල් දාල දෙන්න කියල ආරිගෙ පවුලට දීල එහෙම අපි තුන්දෙනා ටික ටික වක්කරගෙන බිව්වා.ආරිගෙ ගෙදරට බොන්න එන උන් ඔක්කොම වගේ ගමේ අපි දන්නා අඳුනන උන්නොවැ.ඉතිං බොන්න එන අය අපි ලඟටත් ඇවිත් කතා කරනවා.සමහරු අපේ බෝතලෙන් වක්කරගෙනත් බොනවා.උං ඒක බොන්නෙත් කසිප්පු බොනවා වගේ. අසෝක වීදුරුවට කට කපල වක්කරගෙන උගුරු දෙකට ගුඩු ගුඩුස් ගාල ඇරල දානවා.අපි වීදුරුවට පොඩ්ඩක් වක්කරගෙන සෝඩා එහෙම දාගෙන හිමිහිට බොනකොට මුං දෙක තුනක් ගිල දාල ඉවරයි.වැඩි වෙලා යන්න කලින් බෝතලේ අඩිය පෙනෙන්න ගත්තා.මස් ඩෙවල් එක තාම නෑ.බොන්න දේකුත් නැතුව අපි තුන්දෙනා හෝහපුටුවො වගේ බලං ඉද්දි ආරිය ලොකු දීසියකුත් උස්සගෙන ප්‍රාදුර්භූත උනා.

මෙන්න මචං මස් ටික නං හැදුව,හුකා! ඔය ටිකට බෝතලේ ඉවරද?තොපි තියන්න වටින් නෑනෙ…

කාටද ඉතිං මේ අවනඩුව කියන්නෙ? කටේ තිත්ත යන්න මස් කෑල්ලක් වත් හපමු කියල බලනකොට දීසිය කට කපල පුරෝල හොදි එකයි,බසවක්කුලම වගේ.ආරිගෙ පවුල දන්න ඩෙවලක් ඇතැයි,ගෑනිට මස්ටික දුන්නම දන්න හොද්ද හැදුවා.

බොන්න දේකුත් නැතුව මෙතෙන්ට මස් ඕනැන්නෙ නෑ ආරි ඔන්න ඔය දීසියත් කෑම මේසෙන්ම තියපන්.නැත්නං උඹේ කස්ටමර්ල ටික මේකෙ කෑලි ටික කාල හොදි ටිකත් බීල දාවි…

එදා ආරිගෙ රාත්‍රී භෝජන සංග්‍රහය ඉවරවෙලා ගෙදර යද්දි මහ රෑ දෙගොඩහරියක් උනා.ආරිය කරපු වැඩේ ගැන අපි තුන්දෙනාගෙම හිත්වල කිසිම කහටක් තිබුනෙ නෑ.ඒ වෙනුවට ආපහු යන ගමන් අපි හොඳටම හිනාවුනා.ඔය වගේ අමතක නොවන සොමියක් දෙන කෙනෙකුට ගමේ ඉන්නෙ ආරිය විතරනෙ.හොඳයි ආරියත් වෙන අය වගේ අපිව පිළිඅරන් බොන්න බෝතලයක් තියල බොනකල් සතුටු සාමීචි කතා කර කර ලඟට වෙලා ඉඳල කෑමට ආරාධනා කරල කන්න දීල අපිව පිටත් කළා නං අද මම මොනව ලියන්නද?

ආරියගෙ කතා මෙහෙම ඉවරවෙන්නෙ නෑ තව මහගොඩක් තියෙනව.සැරෙන් සැරේ ලියන්න බැරියැ.අද ලියන්න ගත්තෙ අපේ අම්මගෙ අවුරුදු චාරිත්‍ර ගැන නොවැ.

ඉතිං පොඩි කාලෙ අපි අම්මල තාත්තල කියනවට අවුරුදු චාරිත්‍ර කළා.ඉලන්දාරි කාලෙ චාරිත්‍ර කිසි දෙයක් ගනිච්චියකට ගන්නෙ නැතුව අපට ඕනෑ ඕනෑ විදියට වැඩ කළා.ඊටත් පස්සෙ දැනුම් තේරුම් ඇති වයසට ඇවිත් රස්සාවල් කරද්දි රාජකාරිත් එක්ක කාර්යබහුල වුනා.ගොඩක් වෙලාවට විප්‍රවාසෙ ගතකරද්දී අවුරුදු ගණන් අම්මව මග ඇරුනා.ලංකාවෙ ඉන්නව නං අවුරුදු දවසෙ අම්මගෙ ආදරයත් එක්ක කවන කිරිබත් කට වරද්දන්නෙ නෑ.අම්ම අපිව දාල යන්න ගියා කියල තවමත් හිත පිළිගන්නෙ නෑ.දැනුත් ගෙදරට අඩිය තියපු ගමන් යැවෙන්නෙ අම්ම හිටිය කාමරේට.අම්මගෙ හිස් ඇඳ දකිද්දි ඔන්න අම්ම නෑනෙ කියල මතක් වෙනවා.මෙදා සැරේ ගතවෙන්නෙ එකදිගට ලංකාවෙ අවුරුදු කන්න නැතිවෙච්ච හතරවෙනි අවුරුද්ද සහ අම්මා නැතිව ගතවෙන දෙවෙනි අලුත් අවුරුද්දයි.මෙහෙ අපට කොහොමත් අවුරුදු නෑනෙ.ඉතිං ජයට අවුරුදු සමරන ඔබ සියලු දෙනාට ලැබුවාවූ අලුත් අවුරුද්ද බත බුලතින් මිළ මුදලින් අඩුවක් නැති කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නේ හැලපයා වන මම හා මගේ දරු පවුල වම්හ෴

 

http://helapakade.blogspot.co.uk/2015/04/blog-post_9.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල