සංචාරක හා ඡායාරුප

බුන්දල පාක් එක සහ ලුනු ලේවාය – Bundala National Park & Saltern 2007 – දෙවැනි කොටස

Off

පළවෙනි කොටස මෙතනින් බලන්න…

අපි දවල් කෑම වේල කොටා බාලා ආපහු එන බව ගේට්ටුවේ නිලධාරීන්ට දැනුම දීල එහෙම අපි සර්කිට් එක දිහාට එන්න පිටත් වුනා. බුන්දල යාල වගේ නෙමෙයි. උන් එක්ක ඒ වගේ දෙයක් කතාබහ කරලා කරගන්න ඇහැකි. ඉස්සර යාල යද්දී එහෙම කෑමට එළියට ඇවිත් ආපහු යද්දී දෙවෙනි වතාවටත් ටිකට් ගන්න ඕනි. පස්සේ උන් ඒකට වෙනම ක්‍රමයක් හදල තිබ්බා. Multiple Entrance කියල ටිකට් ක්‍රමේ අනුව ටිකට් වල ගාන පොඩ්ඩක් වැඩියි. ඒ උනාට ටිකට් දෙකක ගාන එක ටිකට් එකකට යන්නේ නැහැ. ඒ මොන ක්‍රමේ බැලුවත් බුන්දල ක්‍රමේ සෑහෙන හොඳයි කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. “අපි දවල්ට කාල ආපහු එනවා” කියන වචන ටික විතරයි ගිය වියදම.

අපිව බංගලාවෙන් බස්සපු ජීප් එකේ අයියා ගෙදර ගිහින් බත් කාල සයිලන්සර් එකත් හදාගෙන එන්නම් කියල පිටත්වෙලා ගියා. බංගලාවට ගියපු අපි මුලින්ම කලේ මුණ කට සෝදගෙන අජිත් හදල දීපු කෑම වේලෙ රස විඳපු එක. අජිත් කෑම හදනවා කියල කිව්වට ඇත්තටම එතන කෑම උයන්නේ අජිත්ගේ හාමිනේ. හරි රසට වැව් මාළු හදන්න උන්දැට පුළුවන්.

මේ පැතිවල වතුර තමයි ගොඩක් වෙලාවට අපිට පත්තියම් වෙන්නේ නැත්තේ. ඒකටත් තියෙනවා පොඩි කෙම් ක්‍රමයක්. බොන්න තියෙන වතුර පුරව ගන්නවා බෝතල් වලට. ඊට පස්සේ බෝතලේට දෙහි ගෙඩිය ගානේ මිරික ගන්නවා. කිවුල ගොඩක් වැඩිනම් දෙහි පොඩ්ඩක් වැඩි කළත් කමක් නැහැ. ඊට පස්සේ කිවුල කැපිලා යන නිසා අවුලක් නැතුව වතුර ටික බොන්න ඇහැකි.

බත් කාල ටික වෙලාවක් එතන එතන ලැගලා ඉන්නකොට ඈතින් අපේ ජීප්පුව එන සද්දේ ඇහෙන්න ගත්තා. කාල එන ගමන් දුම් බටේ හදාගෙන එනවා කියල කිව්වට මිනිහට ඒක හදාගන්න බැරිවෙලා. දැන් මොකදැයි කරන්නේ. මොනා කරන්නද කියල කප්පනා කරකර ඉන්නේ නැතුව ජීප්පුවට නැග ගත්තු අපි ආපහු පාක් එක බලා යන ගමන පටන් ගත්තා.

පාක් එක ඇතුළට වාහනේ දාල ටික වෙලාවකින් අපිට තේරුණා දැන් ඉතින් දකිනවනම් දකින්න පුළුවන් වෙන්නේ බීරි සත්තුන්ව විතරයි කියලා. හරියට චෙන්සෝ එකකින් ගස් කපනවා වගේ හරි මිහිරි සද්දයක් තමයි ජීප්පුවෙන් පිටවුනේ.

 

සත්තු බැලිල්ල පැත්තකින් දාපු අපි එතනින් පස්සේ ආපහු ගියා තවත් ලස්සන තැනකට. වැලි පරයක් වගේ එකක් දිගේ ගොහින් මාළු අල්ලන ඔරු තියෙන ඉසව්වකට. එතැන වැල්ලේ ඉඳගෙන ෆොටෝ ටිකකුත් ඇල්ලුවා. එතනට යන්න නම් රෝද හතරම බලගැන්වෙන වාහනයක් අනිවාර්යයි. අපි ගිය ජීප් එක පරණ වුනාට ඒවා වැඩ.

ඊට පස්සේ පාක් එකේ තව ටිකක් ඇවිද්දත් අපිට ලොකු දෙයක් බලා ගන්න ලැබුනේ නැහැ. වතුරෙන් යටවෙලා තිබ්බ පාරක් හරහා එද්දී අපිට ලස්සන ෆොටෝ එකක් ගහ ගන්න නම් චෑන්ස් එකක් ලැබුනා. මේ ෆොටෝ එක ගත්තේ ගයිඩ් අයියා වගේ තමයි මතක.

එතනින් පස්සේ අපි කෙළින්ම නවාතැනට එන්න පිටත්වුනා. එදා දවසේ ඒ අවට ගම්මාන වල මිනිස්සුන්ට අලියලා, මුවාලා, ගෝනලාව එහෙම එලවන්න වෙනම පැල්රකින්න ඕනේ වෙන්න නැතුව ඇති. ජීප් එකේ සද්දෙට කිසිම සතෙක් ඒ පැත්ත පළාතක ඉන්න විදිහක් නැහැ. අපේ ගමනෙන් එක දවසකට හරි ඒ වගේ සේවයක් ඒ ගම්මානේ මිනිස්සුන්ට සිද්ධ වෙච්ච එකම මදෑ…

හෙරිටේජ් එකේ වගේ නෙමෙයි මෙතන කරන්ට් එක ඒ කිව්වේ විදුලි බලය තියෙනවා. හැබැයි ජල විදුලිය නෙමෙයි. ජෙනි විදුලිය තමයි තියෙන්නේ. ලුනු ලේවායට කරන්ට් එක ගන්න එකට පොඩි ගැටළුවක් තියෙනවලු. වනෝද්‍යානය හරහා විදුලිය ගන්න එකට වනෝද්‍යාන පරිපාලනයෙන් අවසර දෙන්නේ නැතිලු. අවසර නොදෙන්නේ ඒ හරහා යම් ගැටළුවක් මතුවෙන්න ඇහැකි නිසා වෙන්නත් ඇති. ඒක වැඩක් නෑ… කොහොමහරි මේ සෝල්ට් එකේ බංගලාවේ තියෙන්නේ ජෙනි විදුලිය පමණයි, ඒකත් රෑ 10:00 ට නවත්වනවා. ඊට වඩා ඕනෙනම් වෙනම ගෙවන්න ඕනේ.

මේ බංගලාව ටිකක් පරණ පහේ එකක්, ඒ වගේම අපි වගේ එව්වන්ට කුළියට දුන්නට මේවා හදල තියෙන්නේ ඒ අදාළ ආයතනයේ සේවක මහත්වරුන්ගේ පහසුව තකා. මෙව්වයේ පරණ උනත් අර “ඇටෑක් බාත්රුම්” කියන්නේ අන්න එව්වා තියෙනවා. කාමරෙන් ඒකට යන්න පුළුවන් වගේම, ඒ බාත්රූම් එකෙන් එළියට යන්නත් වෙනම දොරක් තියෙනවා. මේ ගැන පසුකාලීනව මම දැනගත්තේ මෙන්න මේ වගේ කතාවක්.

මට ඔය එක එක ෆීල්ඩ් වල නාකි පහේ යාළු මිත්තරයෝ ඉන්නවා. ආන් එයින් එකෙක් තමයි මට මෙන්න මේ වැදගත් හෙළිදරව්ව කලේ… යකෝ… මේවා ගොඩක් පරණ බිල්ඩින්. අද කාලේ වගේ නෙමෙයි, ඉස්සර. ඔය බාත්රුම් එකෙන් එළියට දොරක් දාල තිබිල තියෙන්නේ නානකාමරේ ඉන්න එකාට එළියට යන්න නෙමෙයි බොලව්. ඇතුළට ගන්න ඕනේ එවුන්ව (ඒ කිව්වේ එකියන්ව) ඇතුළට ගන්නයි කියලා. ඔව්වා රට්ටුන්ට පෙනී පෙනී ඉස්සරහ දොරෙන් කරන්න පුළුවන් වැඩද කියලත් කිව්වා. අන්න එහෙම සරළ සුගම භාෂාවෙන් කිව්වට පස්සේ මට ඉතින් බල්ලට පොල්ලෙන් ගැහුවා වගේ ඒ කතාව තේරුණා.

අපි ඔය සර්කිට් එක බුක් කලේ දවසට රුපියල් 2,500 ක් දීලා. පස්සේ කාලෙක මම රට ඉඳල ආවට පස්සේ බැලුවම ඒකෙ ගැන රුපියල් 7,500 ක් කරලා. බාත් රුම් වල තිබ්බ පරණ ටයිල් අහක් කරලා අළුත් ඒවා දැම්මලු, ජෙනි විදුලිය වෙනුවට දැන් ජල විදුලිය තියෙනවලු. ඒත් අජිත් මට කියපු විදිහට දැන් වැඩිය සෙනග එන්නෙ නැතිලු ගාණ වැඩියි කියල. එයාල ඉහල නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කලාලු ගාණ 5,000 ට අඩු කරන්න කියල. හැබැයි තවම ඒ ඉල්ලීම ඉටුවෙලා නැහැ කියල තමයි ආරංචිය.

ඔන්න ඉතින් දැන් මේ අජිත්ල හදල තිබ්බ කෑම එහෙම කාරිය කාල රෑ දහය වෙන්න කලින් අපි නිදා ගන්න සෙට් වුනා. එළියේ බුරු ඇඳන් කීපයක් තිබ්බත් ඒවායේ නිදා ගන්න කවුරුවත් ට්‍රයි කලේ නැහැ. නිකං මොකටද අලින්ට කියල බර කිරා ගන්නේ. අපිට එහෙම හිතෙන්න ඇති.

පහුවෙනිදා උදෙන්ම නැගිටලා අජිත් හදල තිබ්බ කිරිබත් ලුණු මිරිසක් එක්ක කොටා බාලා තේ එකක් කාරිය බිව්වා. මොනවා තිබ්බත් වැඩක් නැහැ, මේ පැතිවල තියෙන වතුරෙන් හදන තේ නම් බලු වටින්නේ නැහැ. තේ එකක් බිව්වම එන ගැම්ම ඒකෙන් එන්නේ නැහැ.

සර්කිට් එක ගාව ඉඳලා කලපුව සහ ලේවාය දෙකම තියෙන්නේ තරමක් දුරින්. අපි හිමි හිමීට ඒ අහට ඇවිදින්න ගියේ කුරුල්ලෝ බලන්න හිතාගෙන. මේ පැත්තෙන් ලේවායයි මුහුදයි හා වෙන තැන දක්වාම අපහසුවක් නැතිව යන්න ඇහැකි. කලපුව පටන් ගන්න තැනදිම මම දැක්කේ ලේවායේ එහා පැත්තේ මොකුන්දෝ නළියන ගතියක්. කිට්ටුවට යද්දී තමයි දැක්කේ ඒ කුරුල්ලෝ රොත්තක් කියලා. මම ජීවිතේට ඒ තරම් කුරුල්ලෝ රොත්තක් ඊට කළින් දැකල තිබුනේ නැහැ. ඒ වගේම තමයි ඒ වර්ගයේ කුරුල්ලෝ ඊට කළින් මම දැකල තිබ්බෙත් නැහැ. සමහර විට කෙලින් කොහේදී හරි දැක්කත් ඔළුවට වැටෙන්නෙ නැතුව හරි ඇති.

ඒ වගේම එදා හිටපු තරම් කුරුල්ලෝ ප්‍රමාණයක් ආපහු කවදාවත් බුන්දලදී මම දැකල නැහැ. නමුත් අපිට ඉස්සර යන්න බැරි පැත්තවල් වෙලා තිබ්බ උතුරුකරේ ගියාම කුරුල්ලෝ සෑහෙන ඉන්නවා. සමහරවිට යුද්ධේ කාලේ ඒ පැතිවල නතර නොවී දකුණට ආපු කුරුල්ලෝ දැන් පර්යටනය කළපු භුමි බහුල උතුරුකරයේ දිම නතර කරනවා වෙන්නත් ඇහැකි.

අපි කළපුවේ එහා කෙළවරට යන්න තියෙන පුංචි අඩි පාර දිගේ ඉස්සරහටම ගියා. ඒ යද්දී අපි කිට්ටුවට එද්දී කුරුළු රංචු පොඩ්ඩක් ඉස්සරහට පියඹලා ගියත් ඒ ඉසව්වෙන් වැඩි ඈතකට ගියේ නැහැ. ඒ තරම් ලස්සන දසුනක් මීට කළින් මගේ ජීවිත කාලෙටම දැකල තිබ්බේ නැහැ. මොන තරම් ලස්සනක් දැක්කත් මට ඒ ලස්සන මගේ කැමරාවේ සටහන් කරගන්න බැරිවුනා නේද කියන සිතුවිල්ල අදටත් මට දැනෙනවා. එතනින් පස්සේ අපි කෙළින්ම ගියේ කළපුවයි මුහුදයි යාවෙන තැන කිට්ටුවට. ඒ කාලේ වෙද්දී ඒ දෙක වැලි වැටියකින් වෙන්වෙලා උන්නේ. අපිට යන්න තිබ්බ පටු වැලි තීරුවේ යද්දී අපි එක පාරටම දැක්කේ කිඹුලෙක් කාල ඉතුරු වෙච්ච මී හරකෙක්ගේ බාගයක්. සමහර තැන්වලදී අපිට වතුරට බැහැල යන්නත් සිද්ධ වුනා. ලංකාවේ කළපුවල වැඩිපුරම කිඹුල්ලු ඉන්නවා කියන්නේ බුන්දල කළපුවේ. ඒක දැක්කට පස්සේ පොඩි චකිතයක් වගේ ගතියක් ඇති උනත් අපි එහෙම්මම මුහුදු වෙරළටම වෙනකල් ගියා.

 

ඒ මුහුදු වෙරළත් සෑහෙන ලස්සන සහ නිස්කලංක මුහුදු වෙරළක්. කිසිම දේකින් අපවිත්‍ර වෙලා තිබ්බේ නැහැ. මිනිස්සුන්ට ගිහින් එතන අපවිත්‍ර කරන්න බැරි හේතුව නිසාද කොහෙද එතන ලස්සන. ඒ මදිවට වෙරළේ හතර අතේ සිප්පි කටු, පොඩි පොඩි බෙලි කටු, දිලිසෙන වීදුරු වගේ බෝල ගල් විසිරිලා තිබුනා. අපි පුංචි ඈයෝ වගේ ලස්සන සිප්පි කටු, බෙල්ලෝ ඇහිඳින්න පටන් ගත්තා. මේ ළඟකදී ගමේ ගියපු වෙලාවක මම එදා ඇහින්ද සිප්පි කටු කවරෙක දාලා තියෙනවා දැකල බලල ආවත් එක්ක.

ටික වෙලාවකට පස්සේ අපේ උන් කීප දෙනෙකුට එතන මුහදේ නාන්න ආසාවක් ඇතිවෙලා මුහුදේ පනින්න පටන් ගත්තා. අඩුගානේ මුන් වෙනම ඇඳුමක්වත් අරගෙන ගිහින් තිබ්බේ නැහැ. ඇඳන් ඉන්න ඒවා පිටින් නෑවා, ඊට පස්සේ අවුවටම වේලෙන්න අව්වේ ලැගලා ඉන්නවා. ඒ ක්‍රමෙත් හැබැයි නරකම නැහැ.

මම මුහුදේ නාන්න ඒ තරම් මනාපයක් නැති නිසා මම මුහුදේ පැන්නේ නැහැ. මම මුහුදක නාන්න යනවනම් නාන්නේ ඒකට වෙනම අඳින්න ඇඳුමක් තියෙනවනම් සහ මුහුදු නෑමෙන් පස්සේ නාන්න හොඳ වතුර තියෙනවනම් විතරයි. ඔය දෙක ඒකට සෙට් වෙන්නේ කලාතුරකින් නිසා මම මුහුදේ නාන්නේ නැතිම තරම්. ඔන්න වැඩේ…

 
මේ තියෙන්නේ ඒ පතොක් මල සහ ගෙඩියක්…
ඒවා ඉදුනම දම් පාට වෙනවා

බුන්දල හරියේ තව අපුරු දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ අහල ඇති නේද Dragon Fruit කියන පළතුර ගැන. ඒකත් ඔය පතොක් කුළයේ ගහක්ලුනේ. ඒ වගේම ඊට වඩා පොඩි කැලෑ වර්ෂන් එකක් තියෙනවා ඔය පැතිවල. ඒ ගෙඩි කඩා ගන්න ඕනේ බොහොම පරිස්සමට. කටු පොකුරක් තියෙනවා කොහොම කළත් හතර පහක් ඇනෙන එක නවත්තන්න බැහැ.  ඒ එක්කම ලොකු තරුවක් වගේ කටුවක් තියෙනවා ගෙඩිය ඇතුළේ. ඒක අහක් කරන්නේ නැතුව කෑවා කියන්නේ බඩු බනිස්. මොනවා වෙලා නතර වෙයිද දන්නේ නැහැ. ඔය සියළුම කටු කාගෙන මේ ගෙඩි කන්න හිතෙන පොඩි රසයක් ඒවායේ තියෙනවා. මෙන්න මේක තමයි අවසාන ප්‍රතිඵලය… පේනවා නේද කටේ හැටි.

 

අපි මෙතන වෙරළේ සෑහෙන වෙලාවක් හිටියා. දවල් වෙලා ආපහු සර්කිට් එකට ඇවිත් ලක ලැස්ති වෙලා බත් එහෙම කාලා ආපහු කොළඹ බලා පිටත්වෙන ගමන ආරම්භ කලා. ඒ එන අතරමගදී බස් එකේ වහලට නැගලා ගහක හිටපු කුරුල්ලෙක්ගේ ෆොටෝ වගයකුත් ගත්තා.

මේ ගමනෙන් පස්සේ මට බුන්දල පරිසරය ගැන ලොකු බැඳීමක් ඇති වුනා. DSLR කැමරා එකක් ගත්තට පස්සේ මම, හාමිනේ එක්ක රෑ 12:30 බස් එකේ නැගලා බුන්දල ගියපු දවස් සෑහෙන තිබ්බා. ගොඩ වෙලාවට අජිත් මට කෝල් කරලා කියනවා මේ දවස්වල කුරුල්ලෝ සෑහෙන ඉන්නවා, ඇවිත් යන්න එන්න කියලා. මොකෙක්හරි විශේෂ කුරුල්ලෙක් ඇවිත් ඉන්නවනම් ඒකත් හැකි ඉක්මණින් මට කියනවා.

දවසක් අජිත් කෝල් කරලා කිව්වා රජ සියක්කාරයෝ (Greater Flemingo) රංචුවක් ඇවිත් ඉන්නවා ෆොටෝ ගහන්න එන්න කියලා. ඊට කළින් මම උන්ව දැකල තිබ්බේ එක වතාවයි. ඒත් යාල හිටපු වෙලාවක සෑහෙන උඩින් පියාඹපු කුරුල්ලෝ දෙන්නෙක් විතරයි.

ඒ ආරංචිය ලැබිච්ච ගමන්ම අපි දෙන්නා එදා රෑ 12:30 බස් එකේ නැගල බුන්දල යන්න පිටත් වුනා. අපි එහාට ගොඩ බැස්සේ 2009 මාර්තු 21, උදේ 07:30 වගේ ඉඳලා දවල් වෙනකල්ම උන්ව හෙව්වත් හම්බ වුනේ නැහැ. දවල් කෑම කන්න ඇවිත් ආපහු ගියත් ඒ වැඩක් උනෙත් නැහැ. මුළු ලේවාය පුරා ඇවිදලා උන්ව හම්බ වෙනකොට වෙලාව හවස 05:30 යි. ෆොටෝ ටිකක් ගැහුවට ඒ තරම් වැඩක් නැහැ. සතුටයි දුකයි දෙකම මිශ්‍ර වෙච්ච හැඟීමක් එක්ක හවස සර්කිට් එකට ඇවිත් දවසේ ඉතුරු ටික ගතකලා.

පහුවෙනිදා උදේ 05:40 වෙද්දී අපි දෙන්න ආපහු ගියා ලේවාය දිහාට. උදේට කෑවෙත් නැහැ. මුකුත් බිව්වෙත් නැහැ. හරියටම උදේ 07:15 වගේ වෙද්දී අපිට ආපහු උන් රංචුව දැකගන්න පුළුවන් වුනා. ගහන්න පුළුවන් උපරිම ෆොටෝ තොගයක් ඒ වෙලාවේ මම ගහ ගත්තා. සමහර ඒවා මම අදටත් හරියට බලල නැහැ. හොඳ ෆොටෝ එකක් ගහගන්න උන්ට කිට්ටු වෙන්න කියල මම ලුනු වතුර එක්කාසු කරලා තියෙන මහ විශාල ලියැද්දකට බැහැල උන්ට කිට්ටු කලා. ටික වෙලාවකින් උන් අපිව මග අරින්න කළපුවේ එහා කොණකට ගියා. දැන් ඔන්න අපි දෙන්න ආපහු උන් පස්සේ. ඒ වෙද්දී හාමිනේ හොඳට හැක් වෙලා. මටනම් සතුටු නිසා බඩගිනිත් නැහැ.

මේ ඉන්නේ මම එනකල් හැක්වෙලා බිම ලැගගෙන ඉන්න මගේ හාමිනේ… හෙහ්

අර කිඹුල්ලු අම්බානෙක ඉන්නවයි කියපු කළපුවේ බැහැල මම ආපහු කුරුළු රංචුවට කිට්ටු කලා. ඒ වතාවේ මම සෑහෙන හොඳ ෆොටෝ තොගයක්ම ගහ ගත්තා. මම ඒ කළපුවේ බැහැපු එක මෝඩ වැඩක්, ජීවිතේ අවධානමේ දා ගැනීමක් බව මම දන්නවා. ඒත් ඒ කිසි දෙයක් ඒ වෙලාවේ මට හිතුනේ නැහැ. හරියටම උදේ 08:45 වෙද්දී අපි අපේ මිෂන් එක කම්ප්ලීට් කරලා සර්කිට් එකට ඇවිත් උදේට කාල කොළඹ බලා යන ගමන පටන් ගත්තා.

 

කොහොම හරි එහෙම ගහපු ෆොටෝ එකක් ඒ අවුරුද්දේ එක්තරා ප්‍රදර්ශණයක පළවෙනි තැන දිනා ගන්න සමත් වුනා. මේ තියෙන්නේ ඒක…

මේ තියෙන්නේ ඊට පස්සේ වතාවල් වල මම බුන්දලදී ගත්තු ෆොටෝ ටිකක්…

 
බෙල්ල පුරා කිනිතුල්ලෝ පිරිච්ච මොණර නාම්බෙක්…

 
මේ හිම නෙමෙයි ලුනු…
 
රජ සියක්කාරයින් …

බ්ලොග් අඩවිය  http://widiyabandara.blogspot.co.uk/2015/04/bundala-national-park-saltern-2007_8.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල