සංගීතය

“චායාවකි මෙය මායාවකි එය – සසර පුරා ඔබ ඈතට ඇඳුණා”

Off

උපාලි ධනවලවිතාන ලියූ සරල හා චිත්‍රපට ගී සංඛ්‍යාව විශාලය. තෝරා බේරාගැනීමකින් තොරව ඔහු ඕනෑම ගායක ගායිකාවක් වෙනුවෙන් ගීත ලියූවෙකි. ඒ නිසා පණ්ඩිත් අමරදේව, ආචාර්ය වික්ටර් රත්නායක, විශාරද දයාරත්න රණතුංගගේ සිට නිහාල් නෙල්සන්, ක්ලැරන්ස් විජේවර්ධන, එච්.ආර්. ජෝතිපාල දක්වා බොහෝ දෙනා ගැයූ ගී අතර ඔහු ලියූ ගී එකක් දෙකක් හෝ තිබේ. දෝත පුරා මුතු මාල ලතා, රුවන් නෙළුම් කුමාරියේ, මංගල මධු සමය පතා, හත්වළල්ල කන්ද කපා, පහන් ටැඹ යට, දිසාපාමොක් ඇදුරුතුමනි, උදුම්බරා මනාලියේ, උපමා රූපක අලංකාර, රූස්ස ගහ ළඟ, පෙරමඟ සුබ නිමිත්ත වී, කදිරදේව සුරින්දු, සඳ තාරකා හඬාවී, පෙර එක දවසක, මම දෙවිඳුනි දෙවොලට ආවේ, හිරුද මුවාවී, මුව හසරැලි සාගරේ රසිකයන් ආදරයෙන් වැලඳගත් උපාලිගේ ගී අතර වේ.

37 වැනි වියේ ජීවිතයෙන් සමුගෙන යන විට උපාලි ධනවලවිතාන 100කට ආසන්න චිත්‍රපට සංඛ්‍යාවක ගීත රචනා කර තිබිණි. අරුණ වලා දුහුල ඉරා (රක්තා), කඳුළු පැතුම් (තණ ගිරවි) රෑන් අතරේ මළ හිරුගේ (කඩවුණු පොරොන්දුව) වළා ඉමෙන් එහා (පෙති ගෝමර), සමුදුරු හතකින් (මිහිඳුම් සිහින) රන් අකුරින් ලියවෙන්න පුතේ (රණ දෙරණ) නාඬන්න තරු පොකුරේ (රෝසි) දියකිඳුරිය සේ සාගරේ, සාගර ළවැල්ලේ (ඔබටයි ප්‍රිය ආදරේ) සක්වළ එතෙරට ඇසෙනා (ගෙදර බුදුන් අම්මා) සිහින අහසේ වසන්තේ (නැවැත හමුවෙමු) ඔහු ලියූ චිත්‍රපට ගී අතුරින් කිහිපයක් පමණි.

නැවැත හමුවෙමු චිත්‍රපටයේ ‘සිහින අහසේ වසන්තේ’ ගීතය ලියා ඇත්තේ දයාසේන ගුණසිංහයන් බවට වරෙක කියැවුණු අතර ඒ සම්බන්ධයෙන් දැඩි මතභේදයක් පැනනැඟිණි. ඒ වන විට අදාළ දෙදෙනාම ජීවතුන් අතර නොසිටීම නිසා ඇති වූයේ මහත් ව්‍යාකූල තත්ත්වයකි. එහෙත් 1992 ජනවාරියේ නිකුත් වූ ‘තිරතරු’ සිනමා පුවත්පතට “මේ ගීතය ලියුවේ මම නෙවෙයි උපාලි යැයි’ දයාසේන ගුණසිංහයන් කර තිබූ ප්‍රකාශයක් හමුවීම නිසා උපාලි ධනවලවිතානට සාධාරණය ඉටුවිය. ඔහු ජීවතුන් අතර සිටියදී ප්‍රකාශයට පත් කළ ඔහුගේ ගීත නිර්මාණ එකතුව වූ ‘උදුම්බරා’ කෘතියට මේ ගීතය ඇතුළත්ව තිබුණේ නැත. ‘උදුම්බරා’ පළ වූයේද අදාළ ගීතය නැවැත හමුවෙමු තිරගත වූයේද එකම වර්ෂයකදී වීම ඒ ප්‍රමාදයට හේතුවන්නට ඇතැයි සිතිය හැකිය.

විවිධ තේමා ඔස්සේ නෙක නෙක රස දනවන ආකාරයෙන් ගීත රචනයේ සමත්කම් පෑ උපාලි ඉන් නොනැවතී චිත්‍රපට දෙබස් රචනය හා තිර රචනයටද එක් විය. ‘ඔබටයි ප්‍රියේ ආදරේ’ චිත්‍රපටයේ තිර රචනය ඔහු ලියූවකි. ‘සිංහරාජයෝ’ චිත්‍රපටයේ තිර කතාව හා දෙබස් ඔහු රචනා කළද එය නිෂ්පාදනය වූයේ නැත.අඩුවෙන් කතා කළ නමුත් උපාලි වැඩියෙන් වැඩ කළේය. අවුරුදු 38ක් වැනි අඩු වයසකින් ජීවිතයෙන් සමුගෙන යනු ඇතැයි අන් කිසිවකු තබා ඔහුවත් නොසිතන්නට ඇත. උපාලිගේ වියොවින් බිරිය ශ්‍රී මතී, දූ දරුවන් වන නිරූපමා, තාරකා සහ දුල්ෂාන්, විශාරද සරත් දසනායක ඇතුළු සමීපතමයන් පමණක් නොව ඔහු ලියූ ගී රස විඳි රසික පර්ෂදයද කම්පාවන්නට ඇත.

ගීත සිය ගණනක් ලියූවද උපාලි ධනවලවිතානගේ කෙටි ජීවිත කාලයේදී ඔහු නිසි ඇගැයීමකට ලක්වූවාද යන්න ප්‍රශ්නයකි. චිත්‍රපට පසුබිම් ගීතයේදී සම්මානයට සුදුසු ගීත ඔහු අතින් ලියැවී තිබුණු බවට විචාරක මත පළ වුවද සම්මාන ලැබුණේ නැත. කිසිදු අවස්ථාවක මතභේදයට තුඩුදෙන කාරණා මාධ්‍ය හරහා කතා කිරීමට උපාලි ධනවලවිතාන ඉදිරිපත් වූයේ නැත. පන්හිඳට සිත්සේ කතා කිරීමට ඉඩදී ඔහු මුනිවත රැක්කේය. එහෙත් ඔහු පන්හිඳෙන් ලියූ ගී තවමත් සහෘද හදවත් සමඟ ‍ෙදාඩමලු වෙයි.

සුරවී විස්තරය උපුටා ගත්තේ මෙතැනින්

+++++++++++++++++++++++++++++++++++++++++++++++++

01.දෝත පුරා මුතු මාල ලතා

දෝත පුරා මුතු මාල ලතා
දෑස පුරා මනමාල කතා
ඈත හිමේ සුදු සේල ඔතා
නැලවෙන කුසුමේ නාරි ලතා

යෞවන මල් රතු කැකුළු
පුබුදින රන් මුව මුකුළු
දෙතොල් රුවින් මන රංගන
දෙතොල් රුවින් මන රංගන
සැඟවෙයි කිරි මුතු පබලු

දෝත පුරා මුතු මාල ලතා…

නිල් මුතුලැල් නළල් පටේ
නෙත් මිණි කැන් පහන් වැටේ
සුපුල් උපුල් රන් ඕවිලි
සුපුල් උපුල් රන් ඕවිලි
ඔබේ රුවින් හඬා වැටෙයි

දෝත පුරා මුතු මාල ලතා…
ගායනය, සංගීතය – බන්ධුල විජේවීර
ගී පද – උපාලි ධනවලවිතාන

02.දේදුණු රන් පැහැය එලා

දේදුණු රන් පැහැය එලා
මෝහන තොල් යහන සලා
හඳ සිද බිද ඉවත නොයන්
රුවන් නෙළුම් කුමාරියේ
නැවුම් ලොවක හඳ සඟවන්
රුවන් නෙළුම් කුමාරියේ

සීත හිමේ හිම සිසිලෙන්
ආල හැඟුම් මවා….
පාන නුරා නෙතු ඉඟියෙන්
කෝල පැතුම් නිවා…..
නැවුම් ලොවක හඳ සඟවන්
රුවන් නෙළුම් කුමාරියේ

දේදුණු රන් පැහැය එලා….

පෙමට පිදෙන සිතැඟි කළබ
මොණර ගමන් ලතා…..
පවනෙ ලෙලෙන ලපලු විලස
සිතක ගිමන් නිවා….
නැවුම් ලොවක හඳ සඟවන්
රුවන් නෙළුම් කුමාරියේ

දේදුණු රන් පැහැය එලා….

ගායනය -අබේවර්ධන බාලසූරිය
ගී පද – උපාලි ධනවලවිතාන
03.මංගල මධු සමය
මංගල මධු සමය පතා
කුලගෙට ආ රූපිකාව
පාළු ලොවක තනිකරදා
දියඹට යනවා කුස
ගින්දර නිවා ගන්න
දියඹට යනවා
හෝ… හෝ… හෝයියා හෝයියා ..

රැල්ල බිඳින අඳෝනාව
ජීවන මළපොත කියවයි
නිම් නැති නිම් වළලු පෙළේ
සම්පත ඇය සැනසුමයි
ඇය මට අත වනනු පෙනේ
ඉවුර කොණේ අතු පැලේ
හෝ… හෝ… හෝයියා හෝයියා ..

අඳුර දවන තාරකාව
කළු ලන්තෑරුම් එළියයි
ඔරු බඳ තුරුළේ දැණුනේ
ඊයෙ ලද උණුසුමයි
ඇය මට අත වනනු පෙනේ
ඉවුර කොණේ තොටුපලේ
හෝ… හෝ… හෝයියා හෝයියා

ගායනය – ආචාර්ය දයාරත්න රණතුංග
පද රචනය – උපාලි ධනවලවිතාන
තනුව හා සංගීතය – සරත් ද අල්විස්

04.හත්වළල්ල කන්ද කපා

හත්වළල්ල කන්ද කපා
ගංකරයෙන් පාවෙලා
දියකඩ පීරා…..
නගාකෙල්ල ඉන්න පැලට
තෑගි අරන් මං එනවා

දොලදෙනියේ වැව් බැම්මේ
හිඹුටු කැලෙන් නඟේ නුඹට
හිඹුටු කඩන් මං එනවා
ඉවසිලි නෑ නුඹ දකින්න
අනේ එපා ඔච්චම් කර
බක් මී මල් හිනාවෙන්න

තුරු වදුලේ කිරල රොදේ
යොදුන් ගණන් ඈතට යමු
ගං ඉවුරේ උණ පදුරේ
හීල් හෙවනෙ කතා කරමු
වාසනාව අග හිඟ නෑ
නගා කෙල්ල ඉන්න පැලට

පද රචනය – උපාලි ධනවනවිතාන
සංගීතය හා ගායනය – ආචාර්ය වික්ටර් රත්නායක

05.පහන් ටැඹ යට

පහන් ටැඹ යට – සොහොන් කොත ළඟ
කවුද කාටද අත වනන්නේ
දෑස නිදි නැති රෑක මැදියම
ඔබේ ඉකි හඬදෝ ඇසෙන්නේ

ඔබ වියෝවින් වේදනාවෙන්
මිහිරි පොද වැටුණු දවසක
නෑ සියන් කරවටින් මා
ගෙන ගියා ඔබ සොහොන් පිටියට

ඒ සොහොන් කොත පෙනෙන මායිමෙ
පුංචි කුටියක කවුළුවක් ළඟ
බලා ඉන්නෙමි සිතින් හමුවී
කියා ගන්නට සිතට බැඳි පෙම

පද රචනය – උපාලි ධනවනවිතාන
ගායනය -එච්.ආර්. ජෝතිපාල

06.දිය කිඳුරිය සේ සාගරේ

දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම්
රුවන් රූ පිළි රූ මැවේ
කිව මැන ඔබ කවුදෝ ළඳේ

දේහ ලතාවේ රූ සිරු වරුණේ
නොදැනී මේ ලෙස යාවෙලා
දිගු නිල් වරලේ නිලුපුල් නයනේ
සැඟවේවා හද පාවෙලා
ගිනි දැල් පරදා හස කැන් නැගුණා
පෙම් ඇරයුම් ගෙන ආ නියා
මනසේ ඇඳුනා දෙනෙතින් මිදුනා
සිහිනය සේ නොපෙනී ගියා
මේ දිවි ගමනේ රන් ටැඹ ඔබ වේ
උපදින සසරේ වාසනා

දෙදෙනා හමු වී පෙර දා සසරේ
උන්නා සේ මට ළං වෙලා
සුපුරුදු සුවඳයි ඔබ ළඟ දැණුනේ
කවුරුන්දෝ මේ රූපිකා
හිරු දැක මිදෙනා පිනි මල වාගේ
ඔබ ඇසුරින් වෙන්වී නොයා
රෑ තනි ඉවුරේ ඈත ඉසව්වේ
දෙදෙනා යමු පෙම් චාරිකා
තනිවෙමු ඔබ මා මේ සැණකෙළියේ
ඔබටයි මේ පෙම් ගීතිකා

ගායනය -එච්.ආර්. ජෝතිපාල
පදමාලාව – උපාලි ධනවල විතාන
සංගීතය – සරත් ද අල්විස්

07.උදුම්බරා මනාලියේ

උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ
උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ
අංජන මධු සුවඳ පැනින් රූසිරි වත දොවා
රංගන මනමාල බැලුම් දෑසකොනේ මවා
ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ
ප්‍රේමවිමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ

කෝකිල රජදහන් පවා හඬින් උමතුවෙලා
සීගිරි සුරදූත ළඳූන් හොරෙන් මුකුළු කළා
ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ
ප්‍රේමවිමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ
උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ
උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ

ගායනය: දයාරත්න රණතුංග
පදමාලාව – උපාලි ධනවල විතාන

08.රූස්ස ගහ ළඟ පාළු මාවතේ

රූස්ස ගහ ළඟ පාළු මාවතේ
කළුවර යාමේ කළු ගඟ අයිනේ
කවුරුද ඈතින් මා අමතන්නේ
ඔබේ සුවඳ දෝ සිත දැවටෙන්නේ

එහා තොටෙන් ඔබ පාරුව පැදගෙන
මෙහා තොටට එයි මා හමුවන්නට
දෙදෙනා පෙම් කළ මේ ගං තොටුපළ
සිහින නගරයකි ඔබ මා වෙන් කළ

පාරුව පෙර මෙන් ගඟ මැද පෙනුණා
පියවර හඬ මා අසලම ඇසුණා
චායාවකි මෙය මායාවකි එය
සසර පුරා ඔබ ඈතට ඇඳුණා

රූස්ස ගහ ළඟ පාළු මාවතේ
කළුවර යාමේ කළු ගඟ අයිනේ
කවුරුද ඈතින් මා අමතන්නේ
ඔබේ සුවඳ දෝ සිත දැවටෙන්නේ

පද රචනය – උපාලි ධනවලවිතාන
ගායනය – විජය කුමාරතුංග

09.සඳ තාරකා හඬාවී

සඳ තාරකා හඬාවී
කඳූ මීදුමෙන් එහා
ඔබ හා ගෙවූ අතීතේ
මතකේ ලියා තියා
මතකේ ලියා තියා

සිත පාවෙලා ගියාවේ
නටබුන් සොයා අනාතේ
අනුරාග මල් හිනාවන්
පෙරසේ මුවේ නොවේ

අඩ නීල රෑ වළාවේ
හෙට පායලා උදාවේ
කවදාක හෝ විඳීන්නේ
මතු ඒ අමා සුවේ …..

ගායනය: ප්‍රියා සූරියසේන
පද රචනය: උපාලි ධනවලවිතාන
තනුව හා සංගීතය: ස්ටැන්ලි පීරිස්

10.පෙර එක දවසක සඳ නැති සවසක

පෙර එක දවසක සඳ නැති සවසක
ඔබ මා සමුගත් ඉවුරු තලාවේ
යළි අප හමුවේවා
යළි අප හමුවේවා

ආල හැඟුම් දෙන කොමල සිනාවෙන්
මගේ පැතුම් ලොව සසල කලා සේ
නීල නුවන් ඇති දෑල වලින් ඔය
තවත් ලොවක්‌ ඔබ එළිය කලාවේ

පෙර එක දවසක සඳ නැති සවසක…

එකම වරක්‌ හෝ නෙත සනසන්නට
ආශාවෙන් මා ඔබ දෙස බලලා
එකම වරක්‌ නොව එක හෝරාවක
දහස්‌ වරක්‌ මා මනසින් හැඬුවා
පෙර එක දවසක සඳ නැති සවසක…

ගායනය – මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය – සරත් දසනායක
ගී පද – උපාලි ධනවලවිතාන

11.සිහින අහසේ වසන්තේ

සිහින අහසේ වසන්තේ
තාරකා මල් හිනැහුණා
රංචු ගැසිලා කුරුල්ලෝ
ඔහේ පියඹා ගියාවේ
තුරුලිය ගොමුවේ මත් බිඟු සේනා
රොන් රස ඉල්ලා මල් හැගුම්…..

මග එළි මවනා තරු කැන් ඔබවේ
තනිවු කතර බිමේ
ගීතිකා එවන් ලොවේ
මා නමින් අදත් ඇසේ
බිඟුනද පාවේ ඔය හඩ වාගේ
සවනේ රැවු දේ….

සිහින අහසේ වසන්තේ…

සිහිලැල් පවනේ ගී හඩ විසිරී
මතකය ඈත රෑඳේ
මා හදේ හිරුත් ඔබයි
මා හදේ සඳුත් ඔබයි
දෙවියන් ඔබවේ පුද දෙමි සැමදා
මහද ප්‍රණාමේ….

සිහින අහසේ වසන්තේ…

ගී පද – උපාලි ධනවලවිතාන
ගායනය -එච්.ආර්. ජෝතිපාල

12.සක්වළ එතෙරට ඇසෙනා

සක්වළ එතෙරට ඇසෙනා
අනන්ත ඈතට දැනෙනා
මුළු මිහිතලයම කම්පා
කරවන එකම හඬයි අම්මා
මෙතේ බුදුන් දැක නිවන් දකීවා
ගෙදර බුදුන් අම්මා….

කල්පකාල දිගු ගමන් තලාවේ
ගිමන් නිවාලන දිය කඳුළයි ඔබ
කර පිට හිඳුවා මෙගොඩට පීනා
සමුදුර තරණය කරලා
මවකගෙ මුවගින් විවරණ ලැබුවා
බුදු හිමි බුදුබව පතලා….

සුරංඟනාවන් පැල් බැඳ අහසේ
දෝත් මුදුන් දී වැඳ වැටෙනා සඳ
රතු ලේ කිරි කළ පින් මහිමයටයි
අම්මාවරු දුක් ගන්නේ
ඒ කිරි සුවඳට පරිභව කළ පුතු
නිරයේමයි උපදින්නේ….

පද රචනය – උපාලි ධනවලවිතාන.
සංගීතය – සරත් දසනායක.
ගායනය – නන්දා මාලනී

“සින්දු ඔක්කොම මෙතැනින් ගන්න”

බ්ලොග් අඩවිය සින්දු ඇනෝ 

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල