විශේෂ

නෙළුම් යායෙන් ලද නෙළුම් මල

Off

ඉතිං යාළුවනේ, ඔයාලා හැමෝම දැන් දන්නවා. අපේ මිතුරු රවී මැතිතුමාට පසුගියදා සම්මානයක් හිමි වුණා. ඒක අපි හැමෝට ම ලොකු සතුටක් ගෙන ආ දෙයක්. ඔහු මේ වන විට ලංකාවේ ‍නැති නිසාත් චන්ද්‍රා අක්කා-රවීතුමාගේ සදාදරණීය බිරිඳ කොළඹින් දුරබැහැරව වාසය කරන නිසාත්, බ්ලොග් අඩවියේ සම හවුල්කාරිය වශයෙන් හා මිතුරියක වශයෙන්, ඔහු වෙනුවෙන් සම්මාන උළෙලට සහභාගි වෙලා, එම සම්මානය ලබා ගෙන, සම්මාන උළෙලට පැමිණ සිටි ආරාධිත දේශකයින්ගේ අර්ථවත් දේශන වලට සවන් දීමේ ඒ අමිල අවස්ථාව හිමි වුණේ මටයි. ඊට කලින් සතියේ ගත්ත දිග නිවාඩුව නිසා කල් වේලා ඇතිව කන්තෝරුවෙන් පිට වන්නට බැරි වන තරමට වැඩ ගොඩ ගැහිලා තිබුණත් කෙසේ හෝ හවස 4.50 වන විට කන්තෝරුවෙන් පිට වී 5.05 පමණ වනවිට එතනට යන්නට හැකි වුණා.

මා යනවිට නාට්‍යයක් වේදිකා ගත වෙමින් තිබුණු අතර මද වේලාවකින් ප්‍රධාන ආරාධිත අමුත්තා වූ කරු ජයසූරිය මැතිතුමාත් පැමිණුනා. ඒ අතරතුරේ අප හිතවත් සහෘද අජිත් ධර්මකීර්ති මහත්මයා සෑම සියලු කටයුත්තක්ම හරියාකාරව සිදු වන්නේ දැයි හොයා බලමින් සැරිසැරූ අයුරු දැකගන්න පුළුවන් වුණා.

අනතුරුව එළඹුණේ සම්මාන ප්‍රදානය කෙරෙන අවස්ථාවයි. එහිදී පහත දැක්වෙන අයුරින් සම්මාන ප්‍රදානය කෙරුණා.

2014 වසරේ හොඳම බ්ලොග් කරු – මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ
බ්ලොගය: http://maathalan.blogspot.co.uk/

2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස – ප්‍රථම ස්ථානය – බට්ටි
දමිත් ගුණවර්ධන – http://damgune.blogspot.co.uk/2014/10/blog-post.html

2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස – දෙවන ස්ථානය -මොඩෙලින් කිරිල්ලි
බස්සි (යසෝධා සම්මානි ප්‍රේමරත්න )-
http://bassigenawathana.blogspot.co.uk/2013/10/blog-post_15.html

2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස – තුන්වන ස්ථානය – ගිං ගඟත් අසරණයි – දිලාගේ ලෝකය
දිලිනි නිමන්තිකා – http://dilagelokaya.blogspot.co.uk/2014/09/blog-post_21.html

2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය – ප්‍රථම ස්ථානය –
ආඩම්බරකාර අපේ තාත්තා- දසයා – http://iamdasaya.blogspot.co.uk/2014/12/blog-post_5.html

2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය -දෙවන ස්ථානය – නිල් කට්රොල් මල් – රවී වීරසිංහ
http://ranrandil.blogspot.co.uk/2014/12/294.html

2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය -තුන්වන ස්ථානය – කරුමේ ඩබල් පින සිංගල් ඉවාන් පව්ලුශා – ප්‍රගීත් අනුරාධhttp://iwanpaulooshaa.blogspot.co.uk/2014/10/blog-post.html

(උපුටා ගැනීම : http://lankadaily.com/latestnews/photo-stories/item/5948-2015-03-27-06-20-55 )

මෙම උත්සවය සංවිධානය කළ නෙළුම් යාය, ශ්‍රී ලංකා බ්ලොග් කරුවන්ගේ සංගමයේ සියලුම සහෝදර සහෝදරියන් හට, නිදහස් සිතුවිලි බ්ලොග් අඩවිය වෙනුවෙන් මේ අවස්ථාවේදී මගේ ස්තුතිය පළ කරන්න කැමතියි. රවී වීරසිංහ නම් වූ අප සහෘද බ්ලොග් කරුවාට මෙවන් සම්මානයක් හිමිවීම, ඔහුගේ ලියැවිලි කියවන, ඒවාට ප්‍රිය කරන ඔබ මා අප සැමගේ නොමද සතුටට කාරණයක් නොවෙද? මට ඉතාමත් ලොකු සතුටක්. (වාං පතුල් කතාවක් තරම් දිග ලිපියකින් වුණත් කිව හැකි තරමේ සතුටක්!)

සභාවේ මුල් කටයුතු කිහිපයක් පමාවීම නිසාම මට මග හැරුණා. මට සවන් දෙන්නට ලැබුණු දේශන ගැන පවසනවා නම්, නාලක ගුණවර්ධන මහතා අන්තර්ජාලය සහ බ්ලොග් රචනය තුල ‘සිදුවිය යුතු දේ’ පිළිබඳ ව විස්තර කළ අතර අජිත් පැරකුම් මහතා ‘සිදුවන දේ’ පිළිබඳ ව විස්තර කළා. දෙදෙනාම ලෝකයේ අනෙකුත් රටවල් වල දත්ත උපයෝගී කරගෙන එම කාරණා කටයුතු පැහැදිලි කළ ආකාරය ප්‍රශංසනීයයි. ගුණවර්ධන මහතා රජයෙන් ලැබිය යුතු ඉඩ කඩ පිළිබඳ ව විස්තර කළ අතර පැරකුම් මහතා මෙතෙක් කාලයකට රජයයන් මගින් ලැබුණු සහ ලැබේ යැයි සිතිය හැකි, “ඉඩ කඩ” පිළිබඳ ව විස්තර කළේය. ගුණවර්ධන මහතා අප ‘කළ යුතු දේ’ විස්තර කළ අතර පැරකුම් මහතා අපට ‘කළ හැකි දේ’ විස්තර කළේය. එබැවින් එම දේශන දෙක මගින් අප යායුතු මග පිළිබඳ ව ප්‍රමාණවත් වූ දැක්මක් ඇති වූ බව මගේ හැඟීමයි. කොහොම නමුත් ගුණවර්ධන මහතා කතා කරන අතරේ එක නංගි කෙනෙක් ඇවිල්ලා මයික්‍රෆෝනය අත පත ගාද්දි මුලින්ම මට හිතුනේ මේ වටිනා කතාව හොඳින් පටිගත කරගන්න සකසන්න යනවා කියලා. ඒත් කියන්න කණගාටුයි එයා ඒ උපකරණය ගලවාගෙන ගියේ ඒ මහතා එතැන ඉන්නවද වගේ වගක් නැතුව. ඊට පස්සේ පෙළට ඇවිත් සේරම ටීවි චැනල් වලින් තම තමන්ගේ ආම්පන්න ගලවාගෙන ගියේ සමහර විට එයාලාගේ උවමනාවටත් වඩා රාජකාරි ස්ථානයේ උවමනාවට වෙන්න ඇති කියලා අවසානේ මම හිත හදා ගත්තා. කොහොම නමුත් සභාවකදී ඒ වගේ දෙයක් කරද්දි අඩුම තරමින් කථිකයාගෙන්වත් අවසර ගත්තා නම් හොඳ නේද කියලාත් ඒත් එක්කම මට හිතුණා.

හවස 6.30 පමණ වනවිට කලෙකින් අසා නුපුරුදු වූ ශබ්දයක් පිටතින් ඇහෙන්නට වුණාම, අසල සිටි සංවිධායක මණ්ඩලයේ නැගණියකගෙන් මම මෙහෙම ඇහැව්වා.

“වහිනවද?”

“ඔව් වහිනවා”

පාසල නිමා වූ පසු දුවයි තාත්තායි ගෙදර යා යුතු වූ නිසා එදා එම උත්සවයට සහභාගි වුයේ මා පමණයි. මං ගියේ මගේ ස්කූටරයේ. ගේට්ටුව කිට්ටුව තැනක නවතා ජැකට්ටුවත් හෙල්මටයත් ඒ මත තබා මද දුරක් පයින් ඇවිද ගොස් උත්සව ශාලාවට ගිය මට, මහා වර්ෂාවේ එ‍තනට ආපහු යා හැකි මගක් හිතා ගත නොහැකි වුණා. ‍කෝකටත් කියලා ශාලාවෙන් ඉවතට ඇවිත්, තේ කෝප්පයක් බොන අතරේ සම්මානලාභී කිවිඳු දමිත් ගුණවර්ධනත් ඔහුගේ ආදරණීය දරු පවුලත් සමග සාමිචි කතාවක් පවත්වා, වෙනි අයියා, ඕනයා අයියා, මනෝජ් මල්ලි ඇතුලු හිතවතුන් සමග වචනයක් දෙකක් හුවමාරු කරගෙන වහ වහා පහළ මහළට ආවේ යා හැකි මගක් සොයා ගන්න ඕනෑ වූ නිසායි. එහිදී සම්මානලාභී කිවිඳිය යසෝදා නැගනිය සමගත් වදනක් හුවමාරු කරගෙන වැස්ස වෙත නෙත් යොමාගෙන ඉන්නා අතරේ අජිත් ධර්මකීර්ති අයියා පැමිණ උත්සවයට සහභාගී වීමට පැමිණි අයට, මේ අනපේක්ෂිත අවස්ථාවේ නැවත පිටත්ව යා හැකි ආකාරය පිළිබඳව සොයා බැලුවා. ඒ අතරේ සුමිත් කළණසිරි මිතුරාත් හඳුනාගන්නට ඉඩ ලැබුණා.

‘බ්ලොග් කරණයේ අනාගත ගමන් මග’ වැනි මාතෘකාවක් දිය හැකි සංවාදයකට, වැස්සෙන් අවතැන් වූ අප දේශක දෙපලත්, අජිත් අයියාත් සුමිත් කළණසිරි මිතුරාත් හා සමග විනාඩි කිහිපයකට යොමු වන්නට හැකි වුණේ මේ අතරයි.

ඒ අතරේ පහළට පැමිණි දමිත් ගුණවර්ධන සොයුරා ඔහුගේ වාහනයෙන් මාත් අජිත් පැරකුම් මහතාත් තම තමන්ගේ වාහන වෙත ඇරලවන්නට ඉදිරිපත් වුණා. ඊට බ‍ොහෝ වෙලාවකට පෙර වැස්සේ වුව ස්කූටරය වෙත යන්නට ඉඩ තිබුණත් එසේ ගොස් මා අත වූ සහතිකයක් සම්මානයත් තෙමා ගැනීමේ කිසිඳු උවමනාවක් නොතිබූ නිසා දමිත් සොයුරාගේ උපකාරය ලැබෙන මොහොත දක්වාම මා සිටියේ තුෂ්නිම්භුතවයි.

ස්කූටරය වෙත එනවිට අනෝරා වැස්ස මදක්වත් තුරල් වෙලා තිබුණේ නැහැ. අත් බෑගය, සම්මානය සහ සහතික පත්‍රය අසල වූ කවුන්ටරයක තබා ගොස්, මේ දැන් වතුර බාල්දියක ‍ඔබා ගත්තා මෙන් වූ ජැකට්ටුව හැඳගෙන, මේ දැන් වතුර පුරවා හලා ගත්තා බඳු වූ හෙල්මටය පැළඳගෙන ස්කූටරය තුළ වූ පොලිතින් බෑගයක් ගෙනගොස් සහතිකය, දුරකථනය, පසුම්බිය ආදිය දමාගෙන අනෙකුත් දේ අත්බෑගය තුල දමාගෙන විත් සම්මානයත් පොලිතින් මල්ලත් ප්‍රවේශමෙන් ස්කූටරය තුල තැන්පත් කර ඒ අනෝරා වැස්සේම පරිශ්‍රයෙන් පිටව එන විට වේලාව රාත්‍රී 7.30 පමණ වන්නට ඇත.

කියන්න බොහොම සංතෝෂයි, මුළු කොළඹම එකම ගංගාවයි. වඩා නොගැඹුුරු අතු ගංගා සොයාගෙන, ඒවායින් පීනාගෙන යාංතම් 8.45 වනවිට නිවසට සේන්දු වන්නට හැකි වුණා. කොච්චර වැස්සත්, කොච්චර ගංගාවන් අතු ගංගාවන් හමු වුණත්, එදින ඇතුවුණු සතුට ඒ ජල කඳට සේදී ගියේවත් යට වුණේවත් නැහැ.

පොඩ්ඩක් තෙමුණට මොකද මේ වගේ ඇගයීමක් එකතු කරගන්නට ලැබුණට පස්සේ. නේද?
පසු ලිවීම

සම්මානය හිමි වූ බව දත් මොහොතේ චැට් මගින් මා ඇමතූ මගේ සහෘදයා මුලින් ම පවසා සිටියේ තෑගි වවුචරයේ සම්පූර්ණ හිමිකාරීත්වය මා සතු බවයි. හැරෙන චැට් එකෙන් මං පැවසුවේ ඒක ඉතිං කිව්වත් නැතත් එහෙමම තමයි කියායි. ගතයුතු පොත් ලැයිස්තුව එහෙම හදාගෙන දත කට මැදගෙන සිටි මට සිදු වුයේ නොසිතූ දෙයක්මයි මිතුරනි. ඔවුන් ලබා දුන් ලියුම් කවරයේ තිබුණේ තෑගි වව්චරයක් වෙනුවට අදාල මුදලයි. 🙂 ඒ බව දැනගත් මා මිතුරා පැවසුවේ, “ඔයාට කැමති දෙයක් කරගන්න ළමයා” යනුවෙනි. එබැවින් එම ලියුම් කවරය එලෙසින්ම මා මිතුරා මේ දේශයට පා තබනතුරු සුරැකිව තිබෙනු ඇත. අනතුරුව එය ඔහුගේ අතට පත් වනු ඇත.

********************************
රන්දිල් නෝනා පසුගිය දා තිබ්බ නෙළුම්යාය සම්මාන ප්‍රදානය ගැන පෝස්ට් එකක් ලියල මට කිව්ව මේ ඔහෙටත් මොකවත් කියන්ට තියේනං අන්න ඩ්‍රාෆ්ට් එකක් මම දාල ඇති. ඒකටම ලියල දාන්ට කියල….ඉතිං මම ලියපු ඌන පූර්ණය තමයි මේ..

නෙළුම්යාය සහෘද සැඳෑව පිලිබඳව මගේ දයාබර මිතුරිය / වියුණුවෙහි හවුල්කාරිනිය රන්දිල් නෝනා මහත්මිය විසින් ලියූ සටහනට මවිසින් ලියනු ලබන අටුවාවයි මේ.

වියුණුවක් යනු කුමක්දැයි හාංකවිසියක් නොදන්නා යුගයක වියුණු කලාවට මා යොමුකලේ ඇයයි. ” පිස්සුද හලෝ? මට ඔයහැටි ලියන්ට දෙයක් නෑ….ඔය හැටි මොනව ලියන්ටද? ” යනුවෙන් නොයෙක් වර ඇගේ නිදහස් සිතුවිලි වියුණුවට හවුල්වන්නැයි ලැබුණු ඉල්ලිම් මම ප්‍රතික්ෂේප කලේ සත්‍ය වශයෙන්ම වදන් හය හත්සීයක සටහනක් ලිවිමට තරම් යම් විශේෂිත සිද්ධීන් මගෙ ජීවිතය තුල සිදුවී ඇත්දැයි යන්න මටම ප්‍රශ්නාර්ථයක් වූ නිසාමය. එහෙත් ස්ත්‍රීහු වනාහී කිසිදු අයුරකින් ප්‍රතික්ෂේපයක් භාර නොගන්නෝය. කෙසේ හෝ තම සිතැඟි පරිදි තමන්ට රිසි කාර්‍යය ඉෂ්ඨ සිද්ධ කොට ගැනීමෙහිලා ඔවුහු ඉතා සමර්ථ වන්නෝය.

විසිවසරක් ඉතිරියක හා සමඟ වසන්නාවූ මම් ඒ බැව් නොදන්නෙම්ද? එසේ හෙයින් අවසන ” රාජා හෝ මා හෝ ගංගාහෝ” යනුවෙන් පැවසූ අරිට්ඨ කීවෙංඩු මෙන් මම ද ” අහෝ මේ මගේ ඉරණම වේ නම් ඊට එදිරිව මම කුමක් කරන්නෙම්ද? ” යනුවෙන් සිත් සනහාගෙන වියුණු ලිවීමට එක්වුනෙමි. සෙස්ස ඇත්තෙන්ම ඉතිහාසයයි. The Rest is History of Course.

දිගින් දිගට ලිවීමෙහි අවශ්‍යතාවයක් නැත. පඳුරු තැලීමට මේ කාලයක් නොවේ. කාලෝ නහී අයංතේ ගොමු මඩිතෙයිහ,

ඉදින් අවසානයට මෙසේ පවසම්හ, මා වියුණුකරනයට යොමුකල ඔබට, මා දයාබර මිතුරියට, රන්දිල්ට මාගේ ගෞරවාදර ස්තූතිය!

දෙවනුව සිව්වසරකට අධික කාලයක් තුල මා හා එක්ව හුන් මගේ දයාබර සහෘද / සහෘදිනියනි, ඔබට ද මාගේ ගෞරවාදර ස්තූතිය!!!!

මවිසින් ලියූ වියුණු සටහනක් සම්මාන ප්‍රදානය කිරීම සඳහා තෝරාගෙන ඒ අගැයීම වෙනුවෙන් නෙළුම්යාය සහෘද සමූහයට මාගේ ගෞරවාදර ස්තූතිය!!!!

අවසාන වශයෙන් මවිසින් ලියූ සටහන් නෙළුම්යාය වෙබ් අඩවියෙහි පළකොට මේ සියල්ල උදෙසා මඟ පෑදීම වෙනුවෙන් අජිත් ධර්ම සොයුරාට මාගේ ගෞරවාදර ස්තූතිය!!!

-බ්ලොග් අඩවිය – නිදහස් සිතුවිලි 

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල