කෙටි කථා

සුන්දරී (කෙටි කතාව )

Off

අවන්ත කිනම් මොහොතක හෝ පැමිණෙන තුරු මා සිටියේ නොඉවසිල්ලෙනි. ඔහුට නොදන්වා මෙතනින් පිටව ගොස් ගැටුමක් ඇති කරගැනීමට වඩා රැදී සිටීමට අපහසුවෙන් හෝ හිත හදාගත යුතුය.

“මේ මගේ හිතේ තිබුන දෙවෙනි හීනෙ”දෙසතියකට පෙර දිනක සිය ඒක පුද්ගල ජායාරූප ප්‍රදර්ශණයේ ඇරයුම් පතක් මා අත තබමින් ඔහු පැවසුයේ ජයග්‍රාහී හඩකිනි. ඊට පෙර හිතේ රජකල හීනය කුමක්දැයි අසන්නට ආ සිතුවිල්ල මැඩගෙන මම ඔහුට සුබ පැතීමි.

“කාටද ඉන්වයිට් කලේ”
“ඔයාට..අම්මට ..අක්කලට… ”
“මං අහන්නෙ විශේෂ අමුත්තෙක් නැද්ද කියලා”
“ඔයාලා හැමෝම මට විශේෂයි”
“ඒක මං දන්නවා…මං අහන්නෙ වෙන කාටවත් ඉන්වයිට් කලේ නැද්ද කියලා”
“ඔයා හිතන විදිහෙ විශේෂ අමුත්තො කවුරුත් නෑ… මගේ බංග්ලාදේශ් යාළුවෙකුට ඉන්වයිට් කලා…බොහෝ දුරට එයා එයි එයාගෙ ෆැමිලි එකත් එක්ක. ඒ ඇරෙන්න තව ඉන්නෙ මෙහෙ යාළුවෝ”

සරල ඇවතුම් පැවතුම් බොහොමයකට හිමිකම් කී නිහඩ චරිතයක් වු අවන්තත් මමත් අතර දීර්ග සංවාද ගොඩනැගුනේ ඉදහිටකය. මා අසන යමකට පිළිතුරු දීම හෝ මට යමක් පැහැදිලි කරදීමට මිස සුහද කතා බහකට මුල පුරන්නට ඔහුට ඉඩකඩ තිබුනේ සීමිතවය.

වසර ගනනාවක පටන් මට සහකරුවෙකු සොයන්නට වෙහෙසුන අම්මා වරින් වර නිවසට කැදවූ මනාලයන් අතරින් පුදුමයකට මෙන් මහිත නතර වුයේ මේ නිහඩ ආගන්තුකයා අසලය. ඔහු මට කිසිසේත්ම ගැලපෙන්නේ නැති බව කියමින් මල්ලී ගෙනහැර දැක්වු අඩුපාඩු කිසිවක් මා ගත් තීරණය වෙනස් කරවන්නට ප්‍රමාණවත් නොවීය. අවන්ත තුල වු තරුණයෙකුට නොගැලපෙන තරමේ නිහඩ බවට යටින් ඇති ගුප්ත බව මා හදුනා නොගත්තා නොවේ. එහෙත් සසර පුරුද්දට හෝ වෙනත් අර්ථකතනයක් දිය නොහැකි කුමක්දෝ බලවේගයකට නතුව ඔහු හා ජීවිතය බෙදාගත යුතුයැයි එක්වරම සිතට ආ සිතුවිල්ල වෙනස් කරවන්නට ඒ කිසිවකට නොහැකි විය.

“මොකක්ද තමුසෙ මේ එක්ෂිබිසන් එකට දාලා තියෙන නම” සිය ජායාරූප ප්‍රදර්ශණය ගැන දැනුම් දීමට මා සමගම පොඩි අක්කා මුණ ගැසීමට ගිය ඔහුට ආරාධනා පත්‍රය දුටු විගස ඇගෙන් එල්ල වුයේ චෝදනාවකි.

“සුන්දරී…..සුන්දරී කියන්නෙ මට ඔය එක්ෂිබිසන් එකට දෙන්න පුළුවන් සුන්දරම නම” අවන්තගේ හඩ තුල කිසිදු කලබලයක් නොවුවද පොඩි අක්කාගේ පැණය මගේ හිතටද වද දුන්නාය.

“වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කියලා තමුසෙ කෙල්ලන්ගෙ ෆොටෝ ටිකක්ද ප්‍රදර්ශණේට තියන්න හදන්නෙ” පහව නොගිය අමනාපය පොඩි අක්කාගේ හඩ තුලා ඕනෑවටත් වඩා තිබුනද අවන්තට ඒ ගැන වගක් නොවීය. ඔහු මහ හඩින් සිනාසී මා දෙස බැලීය.

“ඔයා මොකද හිතන්නෙ…සුන්දරී කියන නම එක්ෂිබිසන් එකකට ගැලපෙන්නෑ වගේද”
“මං දන්නෑ…මට තේරෙන්නෑ” මගේ කෙටි පිළිතුරින් සෑහීමකට පත් වු ඔහු දෑස් පියාගෙන කුමක්දෝ කල්පනා කරමින් සිටි අක්කා දෙස බැලීය.
“මොනාද හලෝ ඇස් පියාගෙන කල්පනා කරන්නෙ”
“තමුසෙගෙ සුන්දරී කවුද කියලා” කෝපයෙන් අවන්ත දෙස බැලූ ඈ ඒ බැල්මෙන්ම මා දෙසද බලා හිස බිමට නැඹුරු කරගත්තාය.
“අක්කෙ මේ…බොරුවට වචනයක් අල්ලගෙන නැති ප්‍රශ්ණ ඇති කරන්න එපා”
“සුන්දරී කියන්නෙ අපිට වචනයක් වගේ පෙනුනට ඒක ඇතුලෙ තමුසෙ අපිට නොකියපු ගොඩක් දේවල් තියෙනවා…හිතන්න එපා මං කිසි දෙයක් දන්නෑ කියලා”
“හරි දන්නවනම් කියන්නකො බලන්න දන්නෙ මොනවද කියලා” කිසිදු අපහසුවකින් තොරව මා දෙස බලා සිහින් සිනාවක් පෑ ඔහු පුටුවේ හරි බරි ගැසී වාඩි විය.
“දැන් මේ ළමයත් ඇවිස්සුව එකේ දන්න දේවල් ඔක්කෝම කියන්න පොඩි අක්කා”

“තමුසෙ පහුගිය කාලෙ බංග්ලාදේශ් ගියෙ ඔය කෙල්ල බලන්න” ඈ බරපතල චෝදනාවක් එල්ල කලද එය ගනනකට නොගත් ඔහු යලිත් මහ හඩින් සිනාසෙන්නට විය. ප්‍රදර්ශණය සදහා බංග්ලාදේශයේ වෙසෙන මිත්‍රයෙකු පවුලේ උදවිය සමගම පැමිණෙන බව ඔහු මට කියා සිටියේ පැය කිහිපයකට පෙරය. අපේ විවාහ ගිවිස ගැනීමේ උත්සවයට ටික දිනකට පෙරද ඔහු දෙසතියක්ම ගත කලේ බංග්ලාදේශයේය.

ස්වභාව සෞන්දර්යට ආදරය කරන පුද්ගලයන් බොහෝ සංවේදී අය බව මා සිතා සිටියෙමි. පියාගෙන් උරුම වු ව්‍යාපාර කරගෙන යන අතර තුර ගහ කොළ සතා සිව්පාවුන් ජායාරූපගත කිරීම විනෝදාංශය ලෙස කරන බව ඔහු මට පැවසුයේ අපේ මුල්ම හමුවීමේදීය. ව්‍යාපාරිකයෙකු හා විවාහ වන්නට කිසිදු කැමැත්තක් නොතිබුන මහිත ඔහු අසලින් නතර වන්නට එයද එක හේතුවක් විය. එහෙත් ඔහු මා මුලාකොට ඇත්තේ සිතාගත නොහැකි අයුරකිනි.

“මොකද මෝඩයෙක් වගේ හිනාවෙන්නෙ…තමුසෙ කියන්නෙ තමුසෙ එහෙ ගියෙ ඒ කෙල්ල බලන්න නෙවෙයි කියලද?”
“කෙල්ල”
“කෙල්ල හරි කවුරු හරි…මං කියන්නෙ තමුසෙගෙ සුන්දරී ගැන”
“කෙල්ල කියන එකනම් වැරදියි… මං එහෙ ගියෙ එයා බලන්න බව ඇත්ත …හැබැ‍යි තමුසෙ ඒ ගැන හිතාගෙන ඉන්නෙ වැරදියට”
“හරි මං වැරදියි නම් හරි මොකක්ද කියලා කියනවකො මේ නංගිත් ඉන්න තැනම”

“පොඩි අක්කෙ මේ මගෙ යකා අවුස්සන්න එපා…කවුරු නැතත් තමුසෙ හොදටම දන්නවා මගෙ ජීවිතේට කෙල්ලො ළං කරගත්තෙ නැති බව…වෙන දෙයක් නිසා නෙවෙයි උපන් දා ඉදලම තමුසෙලා දෙන්නගෙ කන්දොස්කිරියාව අහලම මට ගෑනු එපා වෙලා හිටියෙ..පුළුවන්නම් ඔය මොනාහරි විකාර ටිකක් සමාධිගෙත් ඔළුවට දාලා ඉතිරි ටික කාලෙත් ගෑනු එපා කරවනවා”

බොහෝ වේලාවකට පසු මට සිනසෙන්නට මතක් වුයේ එවෙලෙහිය.

“එක්ෂිබිසන් එක දවසට මං ඔයාට සුන්දරීව පෙන්නන්නම්…එතකල් මෙයා ඔය කියන ඒවා මේ කණෙන් අහලා අර කණෙන් පිටකරන්න” මගේ සිනහව ආයුධයක් කරගත් අවන්ත මා දෙසට නැවී පැවසීය. ඔහුගේ කතාවෙන් හෝ ක්‍රියාවෙන් හිත රිදවාගත් පොඩි අක්කා නැගිට ගෙතුලට ගිය පසු අසා දැනගත යුතු දේ බොහොමයක් තිබුනද මගේ මුව ගොළු විය.

“ඔයත් හිතනවද මට වෙන රටක ගෑණියෙක් ඉන්නවා කියලා” ඔව් කියන්නට උවමනා වු තරමටම නෑ කියන්නටද උවමනා වුයෙන් පිළිතුරක් දීමට කල්ගත විය.

“පොඩි කාලෙ ඉදලම මට ගෑණු අයව පෙනුනෙ කන්කරච්චලයක් විදිහට. ඒකට ලොකුම හේතුව අපෙ අම්මා. ඒ දවස්වල අම්මා හැමතිස්සෙම කරන්නෙ කාටහරි කෑ ගහන එක…එක්කො තාත්තට නැත්නම් කඩේ වැඩ කරන කෙනෙකුට.. නැත්නම් අපිට…ඊට පස්සෙ අක්කලා දෙන්නා…ඉස්සරම ඒ දෙන්නට දෙන්නා රණ්ඩු උනා…ඊට පස්සෙ මාත් එක්ක රණ්ඩු වෙන්න ගත්තා”

“කවුද ඉතින් පොඩි කාලෙ රණ්ඩු නොකරන්නෙ”

“ඒක ඇත්ත…ඒත් මං කියන්නෙ පොඩි කාලෙ මගෙ හිතට වැටුන දේ…අක්කලා මාත් එක්ක රණ්ඩු කරන්න කරන්න මං කලේ එයාලත් එක්ක කතා නොකර මග අරින එක…ඒ වෙනුවට මං කතා කරන්න පුරුදු උනේ ගස් වැල් එක්ක. වත්තට එන ලේන්නු එක්ක…පස්සෙ පස්සෙ මං ඒකට ඇබ්බැහි වෙලා අන්තිමට ඒක මගෙ විනෝදාංශෙ උනා. කාත් එක්කවත් කතා නොකර දවස් ගානක් උනත් මට දැන් කැළේකට වෙලා ඉන්න පුළුවන් කිසිම කම්මැලිකමක් නැතුව” මහිතට දැනුන බර වචනයට පෙරලිය නොහැකි වුවත් ඔහු එක බැල්මකින් ඒ සියල්ල වටහා ගත්තේය.

“බය වෙන්න එපා…කරන්න පුළුවන් උනාට මං ඔයාව දාලා කැළේකට ගිහින් දවස් ගනන් ඉන්නෑ..අනෙක අක්කලා එක්ක කතා කරන්න අකමැති එයාලා හැමවෙලේම මගේ මොකක් හරි වැරැද්දක් හොයාගෙන කෑ ගහන නිසා…ඔයා එහෙම නැති නිසා ඒ ගැන හිතන්නත් එපා”

“මොනවද ළඟට වෙලා කුටු කුටු ගාන්නෙ” කුඩා දිනපොතක්ද රැගෙන අප අසලට ආ පොඩි අක්කාගේ මුවේ සුන්දර සිනහවක් විය.
“යන්තම් ඇති හිනාවෙලා ඉන්නවා” අවන්ත මගෙන් තරමක් ඈත්වුයේ මට පමණක් ඇසෙන්නට එසේ කියමිනි.
“නංගිට මෙයා කියලා තියෙනවද ඩෙංගු හැදිලා හොස්පිටල් හිටියා කියලා” ඈ මා දෙස බැලුවද මට බැලුනේ අවන්තගේ මුහුණය.
“මට පිස්සු කියලා හිතුවද උණ හෙම්බිරිසාව හැදුන දවස් මතක තියාගෙන ඉදලා මෙයාට කියන්නෙ”
“හරි ඔයා කියලා නැත්නම් මං කියන්නම්කො….මෙයා කාලයක් රට හිටියා කියලා දන්නවනෙ. රට යන්න මාස දෙක තුනකට කලින් ඩෙංගු හැදිලා හොදටම අමාරු උනා. තාත්තත් ඉන්න කාලෙ”
“ඒ කොයි කාලෙ කතාවක්ද අවුරුදු හයකටත් වැඩියිද කොහෙද”
“අවුරුදු හයක් හිතේ තියන් හිටිය රහසක් මං දැන් නංගිට කියන්න හදන්නෙ” කියමින් ඈ මා අසලට එනවිට අවන්තද මා දෙසට හැරුනි. පුදුමයත් කැළඹීමත් තරමටම නොඉවසිල්ලක් ඒ දෑස් වල විය.
“නංගි මෙයාගෙ අකුරු අදුරනවනෙ” ඈ දිනපොත තුලින් එලියට ගත් හතරට නවන ලද සුදු කොලයක් මා අත තබමින් පැවසීය. ඒ වසර ගනනාවකට පෙර අවන්ත කිසියම් යුවතියකට ලියන ලද ලිපියක් බව සිතාගත හැකි වුවත් මට එය දිග හරින්නට නොසිතුනි.
“ලියුමක් නෙවෙයි බලන්න” ඈ මට බල කලාය. මා අත වු කොලය උදුරාගත් අවන්ත එය දිග හැරියේ මටද බලාගත හැකි වන පරිදිය.

කල්නා උඩින් නැගඑන විට පෝය හඳ
තුරුපත් අගින් පිබිදෙන මද නලේ විද
ගංඟා නදී විහිදන අතු රටා මැද
මියෙනට පතමි “සුන්දරි” නුඹෙ ඇකේ හිද

කිසිවක් හරිහැටි තේරුම්ගත නොහැකි වු පදවැල දුටු සැනින් අවන්ත දෙස බැලූ මට ඔහුගේ මුහුණේ වු සුන්දර සිනහව කවිය තරමටවත් තේරුම්ගත නොහැකි විය.
“මේක කොහෙන්ද ඔයාට…මං ඕක කොච්චර හෙව්වද”
“ඔයා ඒ ඩෙංගු හැදිලා ඉන්න දවස්වල හොස්පිටල් එකේ ඔයාගෙ ඇද ලග වැටිලා තිබිලා මං ඕක ගෙනාවෙ. හැබැයි අද වෙනකල් කාටවත් පෙන්නලා නෑ…අඩුගානෙ මහේෂ්ටවත්”
“ඇයි ඉතින් මෙච්චර කල් කාටවත් පෙන්නුවෙ නැති එකක් සමාධිට පෙන්නුවෙ…මාත් එක්ක රණ්ඩු වෙයිද බලන්නද” සමච්චලයෙන් පිරුණු අවන්තගේ වදන් මායිම් නොකල ඇය ඔහු අසලින් අසුන්ගත්තේ උරහිස මත අත තබාගෙනය.

“මොකක් හරි හේතුවකට ඔයාට අක්කයි මායි තරහා කාරයෝ වගේ පෙනුනට අපි ඔයාට ආදරෙයි මල්ලී.එදා මං නැතුව අම්මා හරි අක්කා හරි ඔයා මෙහෙම කෙල්ලෙක්ගෙ උකුලෙ මැරෙන්න හිතනවා කියලා දැනගත්තනම් අසනීපයි කියලවත් බලන එකක් නෑ…පහුගිය කාලෙ අම්මා ඔයාට ප්‍රපෝසල් ගේනකොට මං ඔයාගෙන් කීප සැරයක්ම ඇහුවා හිතේ කවුරුහරි ඉන්නවනම් කියන්න කියලා…මං කිව්වා නොගැලපෙන කෙනෙක් හරි කමක් නෑ ඉන්නවනම් මට කියන්න කියලා…ඔයා නෑම කිව්වා. අන්තිමට රට වටේ ඇවිදලා මේ කෙල්ලට කැමති උනාට පස්සෙ මං ඇත්තටම හිත හදාගත්තා ඔයා ඔය ඕකෙ ලියලා තියෙන කෙල්ල ගැන අදහසක් නෑ කියලා”
“ඔයාට පිස්සු පොඩි අක්කෙ…ඔයා හදන්නෙ සමාධිගෙ ඔළුවත් අවුල් කරලා මටත් පිස්සු හදවන්න” දෑසින් පිටපනින්නට පොරකන කඳුළු වලකාලන්නට අසාර්ථක උත්සහයක යෙදෙන මා දෙස බලා පැවසූ අවන්ත පුටු ඇන්ද මතින් අත දැමීය.

“නෑ මට ඕනි කාටවත් පිස්සු හැදෙන් නැති විදිහට මේ ප්‍රශ්ණෙ විසදාගන්න. මේක දන්නෙ අපි තුන්දෙනා විතරයි. ඔයාලා එන්ගේජ් වෙලා හිටියෙ නැත්නම් මං මේක නංගි ඉන්න තැන කියන්නෑ… ඔයා බංග්ලාදේශ් ගිහින් ආව දවස්වලම කවුරුහරි යාළුවෙක් කෝල් කරපු වෙලාවක කිව්වා සුන්දරී බලන්න ගියා කියලා… මගෙ ලග මේ කවිය තියෙනවා කියලා දන්නැති නිසා ඒ වෙලාවෙ මං ළඟ හිටියට ඔයාට ගානක් වෙන්න නැතුව ඇති මට ඔයා කියන එක තේරෙයි කියලා”

“මං මේ කවියත් කවදාවත් ඔයාලට පෙන්නන එකක් නෑ ඔයා මේ විකාර නමම එක්ෂිබිසන් එකට නොදැම්මනම්…ඉන්විටේසන් එකේ සුන්දරී කියල තියෙනවා දැක්කම මට නංගි ඉන්නවා කියලත් අමතක උනා”
“ඔයා වැරදියට තේරුම් ගත්තට සුන්දරී කියන්නෙ කෙල්ලෙකුට නෙවෙයි”
“එහෙනම් කොල්ලෙකුටද”
“නෑ ගහකට” මොහොතක් කෝපයෙන් බලාසිටි පොඩි අක්කා ගෙතුලට ගිය පසු එතෙක් පුටු ඇන්ද මත වු අවන්තගේ අත මගේ උර මත නතර විය.
“ඔයාට මේ කවිය තේරෙනවද” බිදුන සිත සුවපත් කරවන්නට මෙන් ටික වේලාවක් උරහිස පිරිමදිමින් සිටි අවන්ත යලිත් වරක් එය මට පෙනෙන්නට සැලැස්විය.
“නෑ”
“කල්නා කොහෙද තියෙන්නෙ දන්නවද”
“ඉන්දියාවෙද”
“එතකොට ගංඟා ගඟ”
“ඒක නම් ඉන්දියාවෙ කියලා ෂුවර්”
“ඉන්දියාවෙන් පටන් ගත්තට ඒක මුහුදට වැටෙන්නෙ බංග්ලාදේශ් හරහා ගිහින්….කල්නා කියන්නෙත් බංග්ලාදේශ් වල පල්ලෙහා කොටසක්…ගංඟා ගැන ඔයා මොනවද තව දන්නෙ”
“මං දන්නෑ අවන්ත. මට මතක තියෙන්නෙ ඒක ලෝකෙ තියෙන අපිරිසිදුම ගඟවල් වලින් එකක් කියලා විතරයි” කට කොණකට සිනහවක් නගාගෙනම ඔහු මගේ උරහිස මත වු අත ඉවත් කරගත්තේය.

“ගොඩක් වෙලාවට මිනිස්සුන්ට මතක තියෙන්නෙ මිනිස්සු කතා කරන්නෙ තව කෙනෙක්ගෙ වැරදි අඩුපාඩු විතරයි…සමහර වෙලාවට අපි ගොඩක් නරකයි කියලා හිතන මිනිස්සු ලග හොදයි කියලා හිතන මිනිස්සු ලග නැති තරම් හොද ගතිගුණ තියෙන්න පුළුවන් ”
“ඔව් ඒක ඇත්ත”
“ ගංගා ගැනත් ඔයා අහලා තියෙන්නෙ නරක විතරයි. ඒක හිමාලෙන් පටන්ගෙන බෙංගාල බොක්කෙන් මුහුදට වැටෙනකල් මේ ලෝකෙට දෙන දේවල් එලිවෙනකල් උනත් කතා කරන්න පුළුවන්”
” මොනාද එච්චර ”
“ගඟ දෙපැත්තෙ ඉන්න දුප්පත් මිනිස්සු මිලියන ගානක් ජිවත් වෙන්නෙ මේ ගඟ නිසා. ඒ මිනිස්සු හැමෝගෙම කුණු කන්දල් පොදි බැදගෙන ඇවිත් මුහුදට වැටෙන්න කලින් මේක චුටි චුටි අතු ගංඟා ගොඩකට බෙදෙනවා. මං මේ කවියෙ තුන්වෙනි පේලියේ ලියලා තියෙන්නෙ ඒක”
“එතකොට අන්තිම පේලිය”
“තුන්වෙනි පේලිය ගැන නොකියා හතරවෙනි පේලිය ගැන කියන්න බෑනෙ…ගංගා, බ්‍රහ්මපුත්ත, මෙග්නා පද්මා කියන ගඟවල් ඔක්කොම මුහුදට වැටෙන්නෙ මං ඔය කියපු විදිහට අතු බෙදිලා එකම හරියකින්. ඔය අතු ගංගා අතර ලොකු කඩොල් කැලයක් තියෙනවා…අහලා තියෙනවද සුන්දරබාන් කියලා”
“සුන්දරබාන්” ?
“ඔව්..බෙංගාලි භාෂාවෙන් සුන්දරබාන් කියන්නෙ ලස්සන වනය කියන එකට…අහලා නැද්ද එහෙම කැලයක් ගැන”
“නෑ”

“එහෙනම අද ගිහින් නෙට් එකේ සර්ච් කරලා බලන්නකො… ලොකු කඩොල් කැලයක්…ඒ කැලේට ඔය නම ලැබිලා තියෙන්නෙ ලස්සන මලක් පිපෙන ගහක් නිසා….ඒ ගහට බෙංගාලි භාෂාවෙන් කියන්නෙ සුන්දරී කියලා”
“එතකොට ඔයා කියන්නෙ අන්තිම පේළියෙ තියෙන්නෙ ඒක ගැන කියලද”

“ඔව්…ඔයාට මං කියලා තියෙනවනෙ ඉස්සර අපේ තාත්තා ආර්.එෆ්.ඕ කෙනෙක් කියලා. අම්මගෙ බල කිරීමටයි අක්කලා ලොකු වෙන්න වෙන්න ගෙදරින් පිට ගිහින් ඉන්න අමාරු නිසයි තමයි තාත්තා පස්සෙ රස්සාවෙන් අස් වෙලා බිස්නස් වලට බැස්සෙ. තාත්තගෙන් තමයි මං ඉගෙන ගත්තේ ගහ කොළත් එක්ක ජීවත් වෙන එක කොච්චර සනීපද කියලා. තාත්තා තමයි මට ඉස්සෙල්ලම ඔය සුන්දරබාන් ගැන කියලා දුන්නෙ. ඒ ලෙවෙල් ඉවර උනාට පස්සෙ මාව එහෙ එක්ක යන්න තාත්තා පොරොන්දු වෙලා හිටියා. ඒත් ඒ දවස්වල තිබුන කරදරත් එක්ක තාත්තට ඒක අමතක උනා. ඒත් මගෙ හිතින් ඒක අමතක උනේ නෑ….ඒ කාලෙ මට තිබුන ලොකුම හීනෙ සුන්දරබාන් බලන්න යන එක. ඩෙංගු හැදිලා හොදටම අමාරු වෙනකොට මට හිතුනෙම මං මැරෙයි කියලා. මැරෙන්න කලින් සුන්දරබාන් බලන්න බැරි වෙයි කියලා මට බය හිතුනා. එහෙම වෙලාවක ලියපු එකක් තමයි පොඩි අක්කා ඔය හොයාගෙන තියෙන්නෙ”

අවිශ්වාස කරන්නට තරම් හේතුවක් නොතිබුනද ඉන්පසු එලැඹි දින දෙක තුන තුලම සුන්දරබාන් ගැන තොරතුරු සොයන්නට යටි සිත මා මෙහෙයවීය. හෙක්ටයාර මිලියනකට අධික වපසරියක පැතිර ඇති ඉන්දියාව හා බංග්ලාදේශය යන දෙරටම හිමිකම් කියන එය ලොව විශලතම වෙරලාශ්‍රිත තෙත් බිම බවත් නමවත් අසා නොතිබුන ජීවීන් සමූහයකට වාසස්ථාන සපයන ඒ සුන්දර බිම්කඩ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති බවත් මා සොයාගත්තේ ඒ අනුවය.

හෝරා කිහිපයකට පෙර නන්නාදුනන බෙංගාලි යුවතියකගේ සුරතින් විවෘත වු අවන්තගේ ප්‍රදර්ශණ කුටිය තුල වැඩිපුරම තිබුනේ ඔහුගේ කැමරා කාචයේ සටහන් වු ඒ වනාන්තරයේ සහ වන සතුන්ගේ ජායාරූපය. ස්වභාව සුන්දරත්වය තේමාව කරගත් ප්‍රදර්ශණය සදහා “සුන්දරී” නම වඩාත් හොදින් ගැලපුනද ඔහු මා රැවටීමකට ලක් කල බව මට සිතෙන්නට ගත්තේ විශේෂ ආරාධිතයෙකු නැතැයි කියමින් බෙංගාලි යුවතියට ප්‍රදර්ශණය විවෘත කිරීමට ආරාධනා කිරීමත් සමගය. ඒ මොහොතේ ඔහු ඉංග්‍රීසි භාෂාව භාවිතා නොකරමින් බෙංගාලි භාෂාව භාවිතා කිරීම ගැන මටත් වඩා කෝපයට පත් වුයේ අක්කලා දෙදෙනාය.

උදෑසන මට පෙර ප්‍රදර්ශණ භූමියට පැමිණ තිබු බෙංගාල යුවතිය හා ඇගේ මව්පියන් මට හදුන්වා දෙනු ලැබුවේ අවන්ත විසිනි. ප්‍රදර්ශණය බැලීමටත් වඩා අවන්තගේ අතගත් මනාලිය දකින්නට ලැබීම සතුටක් බව පවසමින් ඔවුන් මා උණුසුම්ව පිළිගත්තද සැකයේ විෂබීජය හිත තුල රෝපණය වීම ඇරඹුනේ එවෙලෙහිය. රෝස පැහැ සාරියකින් සැරසී නළලත කුඩා රතු තිලකයක් තබා, සිටි “අපූ මොනී” ලෙසින් අවන්ත මට හදුන්වාදුන් යුවතිය කෙනෙකුට ඉරිසියා හිතෙන තරමේ සුන්දර රූ සපුවකට හිමිකම් කීවාය. ඈ පැළද සිටි රන් පැහැ රාමුවක් සහිත උපැස් යුවල ඒ වටකුරු මුහුණට එකතු කර තිබුනේද අපූර්ව සුන්දරත්වයකි. අවන්ත විසින් බලහත්කාරයෙන් අල්ලා මගේ අත මත තැබූ ඇගේ අතැඟිලිද මල් පෙත්තක් තරම් සුසිනිදු වුවද රූපයට සරිලන සුන්දර සිනහවක් දෙතොලතර රදවාගන්නට එවෙලෙහි ඇය අපොහොසත් වීම මහිතේ සැකයක් ඇතිවීමට මූලිකම හේතුව විය.
ඇයත් මාත් අතරේ සුහදතාවක් ගොඩ නංවන්නට අවන්තට අවැසි වුවද මා මෙන්ම ඇයද ඒ සදහා කැමැත්තක් නොදැක්වීය. ඇයට සිනාසෙන්නට මතක් වුයේද අවන්ත ඈ අසල සිටියදී පමණි. ප්‍රදර්ශණය විවෘත කල පසු සිය මෑණියන්ගේ අතේ එල්ලී තැනින් තැනට ඇවිද ගිය ඇය ඉන්පසු හුදෙකලා ස්ථානයක අසුන්ගෙන සිටියේ අවන්ත ඈ සොයා එන බවට අනුමානයෙන් විය යුතුය. උදෑසන සිටම අවන්තගේ ක්‍රියා කලාපය ගැන අපැහැදීමෙන් සිටි අම්මා සහ අක්කලා දෙදෙනා ප්‍රදර්ශණය ඇරඹී පැයක් යන්නට පෙර එතනින් නික්ම ගියෝය. මටද ඉක්මනින් එතනින් ඉවත්ව යමේ උවමනාවක් තිබුනත් අවන්ත ඒ සදහා ඉඩක් නොතැබීය. විවිධ කාර්යන් පවරමින් මා ඔහු අසලින් තබාගන්නට උනන්දු වු ඔහුට බෙංගාල මිතුරිය හුදෙකලාව සිටිනවා දුටු පසු සියල්ල අමතක විය. “අපු මොනී ” කියමින් ඈ අසලට ගිය ඔහු ඇය සමග ප්‍රදර්ශණ භූමිය පුරා ඇවිද ගියේ ඇතැම් ජායාරූප අසල බොහෝ වේලාවක් රැදෙමින් ඒවා විස්තර කරමිනි. ඔහු ඒ කිසිවක් මට හෝ වෙනත් අයෙකුට විස්තර කරන්නට එතරම් උනන්දුවක් නොදැක්වීය.

ඔහු ඒ හුරුබුහුටි යුවතිය හා එකට දකින්නට ඇති අකමැත්ත නිසාම ප්‍රදර්ශණ භූමියේ පසෙක වු කුඩා කාමරයට පැමිණි මට අවන්ත කෙරෙහි දැනුනේ පිළිකුලකි. ඔහු ඉතා සූක්ෂ්ම ලෙස මා මෙන්ම ඇයද රවටා ඇත. පුරා හෝරාවකටත් වැඩි කාලයක් මා හුදෙකලා කුටියකට වි සිටියද ඔහු මා සොයා ආවේ නැත.

එක්වරම නාදවන්නට පටන්ගත් ජංගම දුරකතනයේ පුදුමයකට මෙන් සටහන්ව තිබුනේ අවන්තගේ අංකයය. “ඇයි කියන්නැතුව ගියෙ” ඇමතුමට සම්බන්ධ වු සැනින් ඔහුගේ නොඉවසිලිමත් හඩ ඒ දිගේ ගලා එන්නට විය. “මං ගියෙ නෑ”
“එහෙනම් කොහෙද ඉන්නෙ”
“උදේ ඔයා පෙන්නපු රූම් එකේ”
“ඔළුව හොද නැද්ද” කියමින් ඇමතුම විසන්දි කල ඔහු මා උන් කුටියට එබුනේ ඊට ටික වේලාවකට පසුය.
“මෙතනට වෙලා මොනාද කරන්නෙ…මං හැමතැනම හොයලා නැතිපාර කියන්නෙම නැතුව ගිහින් කියලා හිතලා කෝල් කරේ”
“මොකටද මාව හෙව්වෙ”
“හෙව්වෙ පේන්න නැති නිසා…නැතත් මමොනිට යන්න කලින් ඔයාව තව පාරක් බලන්න ඕනි කිව්වා”
“කවුද මමොනි කියන්නෙ”
“බෙංගාලි වලින් මමොනි කියන්නෙ අම්මට…සමහරු නම් අම්මා කියලමත් කියනවා” කියමින් ඔහු මා අසලින් අසුන්ගත්තෙය.
” සමාධි…මං දෙයක් අහන්න ඇත්තම කියනවද”
“මොකක්ද”
“ඔයාට ඇත්තටම මොනාද අපූ ගැන හිතුනෙ”
“ඉරිසියා හිතුනා” ඔහු ඇත්ත දැනගැනීමට කැමැත්තෙන් සිටියදී බොරු කියන්නට මට උවමනාවක් නොවීය.
“මොකටද අර පොඩි කෙල්ලෙකුට ඉරිසියා කරන්නෙ”
“පොඩි කොහෙද”
“සාරියක් ඇදලා හිටිය නිසා ලොකුයි වගේ පෙනුනට ඒ කෙල්ලට තාම දහ අටයි..ඔයාට අවුරුදු දහයකටත් වඩා බාලයි ”

“ඔයා දැන් මොන දේ කියලා මගේ හිත හදන්න හැදුවත් මට ගොඩක් දේවල් තේරෙනවා අවන්ත. ඔයාලා අතරේ ගොඩක් කාලෙක ඉදලා සම්බන්දයක් තියෙන්න ඇති. මුස්ලිම් කෙල්ලෙක් බදිනවට ගෙදරින් අකමැති වෙන නිසා ඔයා මේ ගැන කාටවත් නොකියා ඉන්න ඇති. ඒත් ඔයාලා අතරෙ මොකක්දෝ බිදින්න බැරි සම්බන්දයක් තියෙනවා කියලා මට දැනෙනවා. මේ එක්සිබිෂන් එකට සුන්දරී කියලා නම දැම්මා කියලා දැනගත්තු වෙලාවෙ පොඩි අක්කා කියපු හැමදෙයක්ම දැන් මට ආපහු මතක් වෙනවා. ඒත් උදේ මෙතනට එනකොට මට ඒ කිසි දෙයක් මතක තිබුනෙ නෑ”

“ඒ ඔක්කොම මතක් උනේ අපූව දැක්කට පස්සෙද”
“නෑ…ඔයා අපිට තේරෙන්නැති වෙන්න වෙන භාෂාවකින් මොකක්ද කියලා ඒ ළමයගෙ අතට රිබන් එක කපන්න කතුර දුන්නට පස්සෙ”
“මං කිව්වෙ මොකක්ද කියලා කියන්නම් තේරෙනවද බලන්න”
“මං බෙංගාලි දන්නෑ”
“බෙංගාලි කියන්නෙ මහ අමුතු භාෂාවක් නෙවෙයි. ගොඩක් තියෙන්නෙ සැන්ස්ක්‍රිට් වලින් කැඩිලා ආව වචන…ඔයාට නොතේරුනාට මං ඒ වෙලාවෙ අපූට කිව්වෙ ….අපූ මොනී…සුවෝ ජොන්මදින් කියලා”
“ඉතින්”
“අපූ මොනි කියන්නෙ නංගි….සුවෝ කියන්නෙ සුබ, ජොන්මදින් කියන්නෙ ජන්මදිනයක් කියන එක…සිංහලෙන් කිව්වොත් සුබ උපන්දිනයක් නංගි ” කෙතරම් තදින් හිත රිදවාගෙන සිටියත් ඔහු සියල්ල තේරුම් කරත්දී මට සිනහ නැගුනි.
“යන්තම් ඇති දවසටම හිනා උනා”
“ඔයා කරන වැඩ වලට හිනා වෙන්න නෙවෙයි හුස්ම ගන්නත් අමතක වෙනවා”
“අපෙ අම්මත් යන්න කලින් ඕකම කියලා ගියා”

“ඇත්තටම ඒ ඔයාගෙ කවුද අවන්ත…ඔයා කියන දේ කොයි තරම් බරපතල උනත් මං ඒක අහන්න වගේම ඇත්තට මූණ දෙන්න ලෑස්තියි…එයා යාළුවෙක් විතරයි කියලා බොරුනම් කියන්න හදන්න එපා…ඒ මිනිස්සු සල්ලි වියදම් කරගෙන මෙච්චර දුර එන්නෑ ඔයාලා අතරෙ ලොකු සම්බන්දයක් නැත්නම්… අනෙක ඔයා එයාට දුන්නෙ කවදාවත් අමතක වෙන්නැති උපන්දින තෑග්ගක්…එහෙම කරන්නෑ නිකන්ම නිකන් යාළුවෙකුටනම්”
“සමාධි…මට ගොඩක් වෙලා මෙතන ඉන්න බෑ. ඒක නිසා ඔයාගෙ හිතේ තියෙන ඔක්කොම ප්‍රශ්ණ වලට දැන් උත්තර දෙන්න බැරි වෙයි…අපු ගැන මං පුළුවන් තරම් කෙටියෙන් කියන්නම්. මං කියන දේ හොදට අහගෙන ඉදලා ඔයාම මට කියන්න මං කරේ වැරද්දක්ද නැද්ද කියලා” මට තවත් කිසිවක් කීමට ඉඩ නොතබමින් ඔහු කතාවට මුල පිරීය.

“රට ඉන්න කාලෙ අපි හිටියෙ එක ලග එපාර්ට්මන්ට් දෙකක. අහල පහල රටවල් වල මිනිස්සු හන්දද කොහෙද අපි හරි ඉක්මනින් හිතවත් උනා. එතකොට අපූට අවුරුදු එකොලහක් දොළහක් විතර. ඒ වයසෙ වෙන ළමයි වගේ කිසි දඟයක් නෑ අම්මගෙ අතේ එල්ලිලාම තමයි ඉන්නෙ. එයාලගෙ ගෙවල් තියෙන්නෙ කල්නා වල කියලා දැනගත්තට පස්සෙ මට පුදුම සන්තෝසයක් දැනුනෙ.දවසක් මම අපූගෙ තාත්තා එක්ක සුන්දරබාන් බලන්න යන්න මම ආසාවෙන් ඉන්නවා කිව්වම ඒ මනුස්සයාට හිතා ගන්න බැරි උනා. පස්සෙ පස්සෙ අපි නිතරම ඒ ගැන කතා කරා. ඔහොම ඉන්නකොට තමයි මං එහෙදි ආපහු අසනීප උනේ. අපේ ගෙදර කවුරුත් දන්නෑ මං සති දෙකක් හොස්පිටලුත් හිටියා. හොස්පිටල් හිටිය කාලෙ වගේම සනීප වෙලා ආවට පස්සෙත් අම්මා කෙනෙක් වගේ මාව බලාගත්තෙ මමොනි. එතනින් පස්සෙ මං එහෙන් එනකල්ම මගේ දුකට සැපට දෙකටම ලගින් හිටියෙ එයාලා.ඒ මිනිස්සු ලග තිබුන මනුස්සකමට වටිනාකමක් දෙන්න මට හැමදාම ඕනිකම තිබුනට ඒකට ක්‍රමයක් තිබුනෙ නෑ. මං එන්ගේජ්මන්ට් එකට කලින් බංග්ලාදේශ් ගියෙ සුන්දරබාන් බලන්නම විතරක් නෙවෙයි…මට ඕනි උනා එයාලව බලලා එන්න. බැන්දට පස්සෙ ඒ වගේ ගමනක් යන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා මට හිතාගන්න බැරි උනේ ඔයා කොයි වගේ කෙනෙක්ද කියලවත් හරියට දන්නෙ නැති නිසා”

“ඇති අවන්ත”
“ඉන්න මං කියලා ඉවර වෙනකල්”
“එපා..මට හැමදේම හිතාගන්න පුළුවන්”
“ඔයා හිතන්නෙ මං අපූට ආදරේ කරනවා කියලද”
“ඔව්”
“මං ඒ කෙල්ලට ආදරේ බව ඇත්ත…ඒත් ඒ ඔයා හිතන විදිහට නෙවෙයි..අපූ මට චූටිම චූටි නංගියෙක්…ඔව් අවුරුදු විසිගානකට පස්සෙ හම්බුන චූටි නංගියෙක්”
“එතකොට සහෝදරකමට අර වගේ තෑග්ගක් දුන්නා කියලද මට හිතන්න කියන්නෙ” සියල්ල ඇස් පනාපිට ඔප්පු වී තිබියදී තවදුරත් ඔහු මා රැවටීමට උත්සහ කිරීම ගැන ඇති වි පිළිකුල මගේ හඩ තුලද තිබෙන්නට ඇත. මා උන් තැනින් නැගිට්ටේ යලි කිසිදු දිනයක ඔහුගේ මුහුණ නොබලන බව සිතමිනි. ඔහු මා වැලකීමට උත්සහ නොකරන්නට ඇත්තේද මින් මතු මා රැවටිය නොහැකි බව වටහාගෙන විය යුතුය.
“නෑ …… ඇස් දෙකම පේන්නැති කෙල්ලෙකුට දෙන්න ඊට වඩා හොද තෑග්ගක් මට හිතාගන්න බැරි නිසා”
නිමි…
සඳමාලී සකුන්තලා හේරත් – 2015 03.13

http://sandamalisakunthala.blogspot.co.uk/2015/03/blog-post_13.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල