කෙටි කථා

බිඳුණු පෙම සහ තවත් කතා

Off

aurudu

අලුත් අවුරුද්දත් ගෙවිල ගියා.ඒ ගැන මම කලින් ලියපු සටහනේ අවුරුද්දෙ වැඩිහිටියන්ට වැඳීම ගැන යම් තරමක සංවාදයක් ඇතිවුණත් ඒ සංවාදය ප්‍රමාණවත් පරිදි දිගින් දිගට ඇදිල ගියෙ නෑ.සමහරු වඳිනවට කැමතියි සමහරු අකමැතියි.මේ ගැන යමක් කතා කළ යුතුයි කියල මට හිතුනෙ දින කීපෙකට උඩදියි.ඒ වෙලාවෙ ඉඳන් මම පෝස්ටුවට කරුණු හෙව්වා.හදිස්සියෙම අද මේක පලකරන්න හිතුනෙ ඉරිදට තියෙන සයිබර් බක්මහ උළෙල නිසයි.මේ පෝස්ටුව සඳුදට දැම්මොත් අපි මොනතරම් මහන්සි වෙලා කොච්චර වැදගත් දෙයක් ලිව්වත් බක්මහ උළෙල ගැන පෝස්ටු ගංවතුරක් සඳුදට ඇවිත් අපි ලියපු දේ ඒ වතුරෙ ගහගෙන යනවා.අන්න ඒ නිසා හදිස්සියෙන්ම ඉවර කරල පළකරන්න හිතුනා.බක්මහ උළෙල ගැන මට හිතෙන දේ ලියවුනු පෝස්ටු ඔක්කොම බලල කියන්නං.අද අවුරුදු චාරිත්‍ර ගැන පොඩ්ඩක් කතා කරමු.

අලුත් අවුරුද්දට දෙමාපිය ආදී වැඩිහිටියන්ට බුලත් දීල වඳින එක චාරිත්‍රයක් වශයෙන් අපිත් පිළිපදිනවා.අපි වැඩිහිටියන්ට බුලත් දීල වඳිද්දී දරුවො අපට බුලත් දීල වඳිනවා.එහෙම මිසක රටේ ඉන්න තරං වැඩිහිටියන්ට වඳින්නට අපි දරුවො උනන්දු කරවන්නෙ නෑ.නමුත් මෙන්න මෙහෙම දෙයක් මම අත්දැක තිබෙනවා.විශේෂයෙන්ම තෑගි පිරිනැමීමක් වගේ අවස්ථාවකදී දරුවන් තෑග්ග පිරිනමන වැඩිහිටියන්ට පසඟ පිහිටුවා වැඳීම දැන් බහුලව දැකගන්නට පුළුවනි.මෙන්න මේ සිරිත මටනං දකිද්දිත් අප්‍රසන්නයි සහ හරිම ගෝත්‍රික ගතියක් හිතට දැනෙනවා.ඒ නිසාම මම ඒ වගේ අවස්ථාවකට සහභාගී වෙද්දි දරුවන්ව කලින්ම ඒ ගැන දැනුවත් කරනවා.සහන සේවා සමිතිය කියල අපි පිහිටුවාගත්ත සමිතියක් අපේ ගමේ තියෙනවා.සමහරු ඔරොප්පුවට අසහන සේවා සමිතිය කියලත් බනිනවා.ඔය සමිතියෙන් ගමේ ළමයි ශිෂ්‍යත්වෙ පාස් උනාම සාමාන්‍ය පෙළ පාස් උනාම එහෙම ළමයින්ව උනන්දු කරවන්න තෑගි දීම සිරිතක් වශයෙන් කරනවා.ඔන්න ඔය අවස්ථාවෙදීත් ස්ටේජ් ඒකට එන ළමයි මේ ගෝත්‍රික සිරිත අනුගමනය කිරීම මට හරිම අපහසුතාවක් ඇතිකරන ක්‍රියාවක් වෙලා තිබුනා.පස්සෙ මම කලේ තෑගි දෙන්න පටන් ගන්න කලින්ම වඳින්න අවශ්‍ය නෑ හිස නවල දෝතින් තෑග්ග බාර ගත්තම හොඳටම ඇති කියල නිවේදනය කිරීමයි.

මේ සිරිත වසංගතයක් වගේ පැතිරෙන්නට අරං වැඩිකලක් නෑ.ඕන්නං අවුරුදු හතර පහක් ඇති.නමුත් අපි ඉස්කෝලෙ යන කාලෙ මේ වගේ දේවල් පැතිරිලා තිබ්බෙ නෑ.ඉස්කෝලෙ ගුරුතුමාටත් වැන්දේ අවුරුද්දට එක දවසයි.මම කණිෂ්ට ඉස්කෝලෙට ගිය කාලෙ වාර විභාගවලින් පළවෙනි තැන ගත්ත ළමයින්ට උදේ රැස්වීමෙදී විදුහල්පති වරයා අතින් රිපෝට් කාඩ් එක දෙන සිරිතක් තිබුනා.ඒ වෙලාවෙදිවත් ඉස්සරහට ගිහිං හිස නමල දෑතින්ම රිපෝට් කාඩ් එක අරං ආව මිසක විදුහල්පතිට වඳින්න ගියෙ නෑ.ඒක අපේ ඉස්කෝල පොතකත් තිබ්බනෙ.ඒ කාලෙ හෝඩියට තිබුණ පොත කුමාරොදය.ඒ පොතේ කියල තිබුනෙ ඒ තෑගි දෝතින් ගන්න කියලයි.වඳින කතාවක් තිබුනෙ නෑ.ආයෙ තිබ්බෙ මේ ඊරී බිම සීරී කුමුදුමතී හිස පීරී කියල.ඉඟුරු දෝසි බඩේ ගායට හොඳයි කියලත් තිබ්බා.තව ගොඩක් දේ තිබුනා දැන් මතක නෑ.අන්තිම පිටේ කවියක් තිබුනා.

දිලී දිලී දිලී -වලා පෙළින් එහා
සිටී අහස් කුසේ-කුඩා රුවක් අනේ

ඔන්න ඔය වගේ කවියක් මට ඔක්කොම කවිය මතක නෑ.ඒ කවිය ට්වින්කල් ට්වින්කල් ලිට්ල්ස්ටාර් කියන ඉංගිරිසි කවිය පරිවර්තනය කරන්නට ගත්ත වෑයමක් කියල දැන් මට හිතෙනවා.සාමා අමර පොත ආවෙ ඊට පස්සෙනෙ.ඒ පොතේ නං කවි තොග ගණන් තිබුනා.ඉස්කෝලෙදි අපට ඒ පොත කියවන්න ලැබුනෙ නෑ එතකොට අපි ඊට උඩ ගිහිං.

කවි ගැන මතක් වෙද්දි මේ ඊයෙ පෙරේදා කියවන්නට ලැබුන අපූරු කවියක් ගැන මට මතක්වෙනවා.මේ කවිය කොතරම් අපූරුද කිව්වොත් අපූර්වත්වය නිසාම මට මතක හිටියා.කවියක් හැටියට ගත්තොත් මේ කවියෙ කිසිම කාව්‍යමය ගුණයක් පෙනෙන්නට නෑ.නමුත් බොහොම හිත සසල කරවන බවක් හද කම්පා කරවන ගතියක් නිසගයෙන්ම අවංක ආත්ම භාෂණයක් ලෙස පෙනෙන්නට ඇති මේ කවියේ තිබෙනවා.ඒ නිසාම දින ගණනාවක් මා මේ කවිය රස වින්දා සහ තවමත් රස විඳිමින් සිටිනවා.කවියෙන් මා ලද වින්දනය හා කම්පනය ඔබත් සමග බෙදා හදා ගන්නට මට හිතුනා.තවත් අටුවා ටීකා කියන්නෙ නැතිව අපි ඉස්සෙල්ල කවිය කියවල ඉම්මු.

විඩෙන් විඩේ මා බලන්ඩ ආ ආරෝ
උඹ නැතුව මට ඉන්ඩ බැරෝ                                                                                                                නිමාඩුවක් නැත්නං නිමාඩුවක් හොයාගන හරි මාව බලන්ඩ වරෝ
නැත්නං මා මැරෝ

කවිය ඔන්න ඔහොමයි,දැන් අපි මේ කවියෙ අග මුල හොයමු.කවිය ලියා තිබෙන්නෙ කාන්තාවක්ය කියල බැලු බැල්මටම පේනවනෙ.ඉස්සෙල්ලම අපි මේ කවිය සරල ගද්‍යයට හරවමු.ඒ කියන්නෙ කවියෙන් කියා තියෙන දේ වාක්‍යවලින් ලිව්වොත් ඒ ලිපිය කොහොම තියේවිද කියල බලමු.

මගේම ආදරණීය ආරොං වෙත,

වෙනදා නිතරම මාව බලන්නට එන ඔයා කාලෙකින් මාව හමුවෙන්නට නොපැමිණීම මගේ හිතට හරිම දුකක් .ඔයා නැතිව ගෙවන මේ ජීවිතේ මොනවටද කියල මට නිතරම හිතෙනවා.සමහර විට ඔයාට වැඩ වැඩි ඇති එන්න නිවාඩුවක් නැතිව ඇති, මට එහෙමත් හිතෙනවා.නිවාඩුවක් හම්බුන ගමන්ම ඔයා මාව බලන්න එනව නේද?ඔයා නැති ලෝකයක් ගැන මට හිතාගන්නවත් බෑ ඊට වඩා මැරෙනව හොඳයි කියල මට නිතරම හිතෙනවා.මේ පණිවිඩය ලැබුන ගමන්ම මාව බලන්න එන්න. ඔයා එනතුරු මම මග බලාගෙන ඉන්නවා.

මීට ආදර
………

පෙනෙන හැටියට ආරොං නමැති තරුණයෙක් සමග ප්‍රේම සම්බන්ධයකින් බැඳී සිටින මේ තරුණිය ඇයගේ සිතේ තෙරපෙන දුක්ඛ දෝමනස්සයන් කවියට නැගුවේ ඇයි?ඇය අකුරු ලියන්නට දන්නා නිසා ලියමනක් ලියාගන්නට හැකියි නේද?මෙන්න මෙතනදී ඇය ජීවත්වූ කාලය ගැන අදහසක් අපට ලබාගන්නට පුළුවනි.විසිවැනි ශතවර්ෂයේ මුල් භාගයේ කවිය ගැන විශාල ප්‍රබෝධයක් අප රටේ ඇතිවුනා කියා ඔබ දන්නවා ඇති.පොදුවේ එකල ජීවත්වූ උගත් නුගත් සියලුම දෙනා තම අදහස් ප්‍රකාශ කරන්නට කවිය උපයෝගී කරගත්තා.දිග ලියමනක් පමණක් නොවැ කෙටි පණිවිඩයක්ද කවියෙන් ලියා යැවීම ආඩම්බරයක් නම්බුකාරකමක් ලෙස එකල සැලකුනා.කවි පබඳින්නට නොහැකි අය කවි තනන්නට දන්නා අයගේ උදව් ලබාගත්තා.එකල මෙලෙස තැනූ වැඩකට ඇති සහ වැඩකට නැති කවිද විශාල සංඛ්‍යාවක් අදත් ලිඛිතව පවතිනවා.

ඉතිං අපේ කතානායක තරුණියත් ඇයගේ සිත පැහැර ගත් පෙම්බරයාණන්ට කවියෙන් ලියුමක් ලියා යැවීම පුදුමයක්ද?ප්‍රශ්නය වන්නේ ඇය කවි තැනීමෙහි ලා ප්‍රශස්ත නොවීමයි.ඒ වගේම ඇයට මේ කාරණය සම්බන්ධයෙන් කවියෙකුගේ අධාරය ලබාගන්නටද බැහැ.ඒ නිසා ඇය දන්නා ආකාරයට කවිය පද බැන්දා.කවි සම්බන්ධයෙන් ඇය දැනගෙන හිටියේ පදයක අගට එළිවැට අවශ්‍ය බව පමණක් නිසාදෝ ඇය මේ ආකාරයට අග එළිවැට පමණක් යොදා තම පෙම්බරයාට කවිය ලීවා.ඇයගේ සිත්ගත් සුහදයා බොහෝවිට කරත්ත රස්සාව කළ තරුණයෙකු වන්නට පුළුවනි.මාස කීපයකට වතාවක් කරත්ත නඩය සමග ඉහළ පහළ යනවිටදී මුණගැහුන තරුණිය සමග ඔහු ආලවන්ත කමක් ඇතිකර ගන්නට ඇති.මෙවැනි පෙම් බැඳුම් එකල ඉතාම සාමාන්‍ය දේවල් වුනා.නමුත් තරුණියට මෙය තවත් එක් සම්බන්ධයක් පමණක් නොවුන බව ඇයගේ හද පෙළන දැඩි ශෝකය අපට කියාපානවා. තරුණයන්ට ආදරය තම ජීවිතයේ තවත් එක අංගයක් පමණක් වනවිට තරුණියන්ට ආදරය යනු තම ජීවිතයයි.එය මේ තරුණිය ලියුව කවියෙන් මොනවට පැහැදිලි වෙනවා.අවාසනාව වන්නේ මේ යුවළ ගැන කිසිම තොරතුරක් ඉන්පසු අපට දැනගන්නට නොලැබීමයි.

එපමණක් නොවෙයි කරත්ත නඩය නවාතැන් ගන්නා ගාල් කියා හැඳින්වුන ස්ථානවල පවත්වාගෙන ගෙන ගිය කෝපි කඩ සහ ඒ කඩ අයත් කාන්තාවන් ගැනද බොහෝ කතා එකල කියැවුනා.කරත්ත කරුවන්ට අවශ්‍ය කෑම බීම පමණක් නොවැ අවශ්‍ය නම් මත්පැන් සහ ස්ත්‍රීන්ද සැපයීමට ඒ කඩ අයත් කාන්තාවන් නොපැකිළ කටයුතු කළා.කඩෙන් කාබී අයිතිකාර කාන්තාවට මුදල් බේරන විට තම අවශ්‍යතාව වචනයෙන් හෝ ඉඟියකින්

පැවසුවත් එයට ප්‍රතිචාර දක්වන කාන්තාව කඩය ඇතුලේ පොරොත්තුව ඉන්නා තරුණියක් කැඳවා…
නොන්නො මෙහෙ වරෙන්, මෙන්න මේ උන්නැහේ එක්ක අර පැත්තට ගිහිං වරෙංකො …

කියද්දී තරුණියත් අවනතව කරත්තකරු සමග අඳුරට මුසුවෙනවා.කරත්ත කරුවෙක් ගැන කියැවෙන රසවත් කතාවක් සිරිබෝ අයියා නමින් පළවුනා. පියදාස පලන්සුරිය මහතා ලියා පළකළ සහ සුනිල් ආරියරත්නයන් එනමින්ම චිත්‍රපටයට නැගු කතාව1980 දී තිරගත වුනා. ඒ චිත්‍රපටයේ එන කවි ගායනා කළ පණ්ඩිත් අමරදේවයන්ට සහ නන්දා මාලිනියට 1980 ජනාධිපති සම්මාන උළෙලේ හොඳම ගායකයා සහ ගායිකාවට හිමිවන සම්මාන ලැබුනා.මේ ඉමිහිරි කවි ගායනයට ඇසුදා සිට පෙම්බැන්ද මට ඒ කවි ටික අයිති කරගන්නට ක්‍රමයක් එදා තිබුනේ නෑ.පසුකාලීනව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදෙද්දී රජයේ චිත්‍රපට අංශයේ මේ චිත්‍රපටය තිබුන නිසා එහි සේවය කළ ප්‍රදර්ශක මිතුරෙකුට පින්සෙන්ඩු වී කවි ගායනාව කැසට් පටයකට කොපි කරගන්නට හැකිවුනා.මේ පෝස්ටුව ලියද්දි සහෘදයෙක් විසින් යූ බටයට ඇතුළත් කර තිබු ඒ කවි පෙලේ මුල් ගායනය හමුවීම මගේ භාග්‍යයක්.කවි පෙළ රස විඳිමින් කියවමු.

පාට වරුණ ඇති කුකුළනි මං තොපට
රනින් වළලු තනවාලා දෙමි පයට
මෙඅප දෙන්න එක්වුනි රෑ තුං යමට
ඉර දුටුමුත් නාඩන් කුකුළනේ හෙට

සඳට හොරෙන් සඳ මුදුනෙන් රාහු ගියා
ඉරට හොරෙන් ඉර මුදුනින් ගිරව් ගියා
මලට හොරෙන් මල මුදුනෙන් බමරු ගියා
අපට හොරෙන් නුඹ දෑසට නොපෙනි ගියා

ගිරවුන් හැර ගියත් ඉර තනි නොවේවා
සාවුන් හැර ගියත් සඳ තනි නොවේවා
බමරුන් හැර ගියත් මල තනි නොවේවා
මා හැර ගියද නැගණිය තනි නොවේවා

පිං ඇති ලඳක් කරකාරෙට ලැබීයන්
රුවැති ගුණැති දූ දරුවන් ලැබීයන්
මේ ජාතියේ මං කළ පව් ගෙවීයන්
මතු ජාතියේ හිමිසඳ ලෙස ලැබීයන්

සවි ඇති කලට උක් දන්ඩේ පැණි සේමා
සවි නැති කලට වැටකෙයියා රොටු සේමා
වෙර නැතිදා කෙතකට බැඳී වැට සේමා

අසරණදා මල් යායේ කටු සේමා
වැල්ලේ පිපෙන බිම්මල වාසනාවන්
ගොල්ලේ පිපෙන පන්මල වාසනාවන්
දෙපෝදාට පුන්සඳ වාසනාවන්
මතු ජාතියෙත් ඔබ මට වාසනාවන්෴

http://helapakade.blogspot.co.uk/2015/04/blog-post_16.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල