කාලීන සංවාද

රැකියාවකට ලැයිසොමක්! An apartment for sale!

Off

මේ දිනවල අපේ ගෙදර පොඩි නඩත්තු වැඩ ටිකක් කෙරුවා. වෙන කෙනෙකු කළේ. ඔහු ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා තියෙන්නේ ක්‍රෝඑශියාවෙන්. ඇත්තටම ඒ දවස්වල යුගොස්ලාවියාවෙන්. තවත් ඇත්තටම කියුවොත් ඕස්ට්‍රියාවට ගිහින් එහෙන් තමා ඕස්ට්‍රේලියානු විසා හදාගෙන මෙහෙට ඇවිත් තියෙන්නේ.
කොමියුනිස්ට් යුගෝස්ලාවියාවේ අධ්‍යාපනය නිම කර වැඩ කරන්න පටන් ගත්තු ඔහුට, ඒ දවස් වල එක ආසාවක් තිබිල තියනවා. එනම් සර්පිනාවක් මිලදී ගැනීම. සංගීතය අධ්‍යයනය කර තිබෙන ඔහුට, වෘත්තියට අමතරව විනෝදාංශයක් විදිහට තමා සංගීතය කරන්නට අවශ්‍ය වෙලා තියෙන්නේ. දැන් ප්‍රශ්නය නම් සර්පිනාවක් මිලදී ගන්න අවුරුදු දහයක් පමණ වැඩ කර, ගන්න පඩියෙන් වෙන කිසිම දෙයක් නොකර සියලු මුදල් ඉතිරි කරන්නට වෙනවා.

මේක හරියන ජිවිතයක් නොවේ කියා, ඔහු ඕස්ට්‍රියාවට ගිහින්, එතනින් මෙහාට ඇවිත්. අවුරුද්දක් වැඩ කරලා, සර්පිනාවක් විතරක් නොවේ, ගිටාරයක්, වයිලිනයක් ඈතුලු ඔහුට අවශ්‍ය සියලු සංගීත භාණ්ඩ ටික අරගෙන.
මෙයාට අවුරුදු 70 ක් පමණ වෙනවා. නමුත් ශරීරය දිහා බැලුවහම හෝ වැඩකරන හැටි බැලුවහම එහෙම වයසක් පේන්නේ නැහැ. ඔහු වැනි වෘත්තිකයන් අපට දකින්නට ලැබෙන්නේ කලාතුරකින්. අපටත් රෙකමදාරු කළේ මිතුරෙක්. කරපු වැඩේ “ප්‍රොෆෙෂනල්” අයුරින් කළා විතරක් නොවේ, බාර ගත්ත වැඩේ වගකීමේ සීමාවෙන් එහාට ගිහිං කර දුන්නා. ඒ අමතරව යමක් බලාගෙන නොවේ.

තරුණ කාලයේ ඔහු තවත් යහළුවන් සමග එකතුවී සංගීත කණ්ඩායමක් පිහිටුවාගෙන, අමතර රැකියාවක් හා විනෝදාංශයේ කොටසක් හැටියට එයත් කරගෙන ගිහින්. නමුත් එක යහළුවෙක් අකාලයේ ජිවිතයෙන් සමුගැනීම නිසාත්, අනෙක් කට්ටිය වෙන නගර වලට විසිරි ගිය නිසාත් එය අද නැහැ. හැබැයි ඔහු අදත් තමන්ගේ නෑදෑයන් හා මිතුරන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට සමහර වෙලාවට යන වගයි කියුවේ.

වෙහෙස මහන්සි වී වැඩ කරන මෙවැනි උන්නතිකාමී මිනිසුන් හැම සමාජයකටම ආශීර්වාදයක්. මෙවැනි මිනිසුන් හා උපතින්ම කම්මැලි මිනිසුන් එකම මට්ටමකට ගෙනෙන්න කිසිදා බැහැ. පුළුවන්, එනම් මෙවැනි මිනිසුන්ද කම්මැලි කිරීමෙන්. හැබැයි පුතේ, මෙවැනි මිනිසුන් තලා පෙලා රටේ ආර්ථිකය ගොඩ නගන්න හෝ අසමානත්වය අඩු සමාජයක් ගොඩ නගන්න කිසිදා නොහැකියි. ඒ වගේම සර්පිනාවක් මිලදී ගැනීම වැනි දෙයක් පාරිභෝගික ලෝකය හඹා යාමක් නොවේ.

අප සමහර වෙලාවට දකිනවා අපතකම ප්‍රවර්ධනය කිරීම්. කෙනෙකු අපතකම තම ජිවන විලාසිතාව ලෙස තෝරා ගැනීම ගැන මගේ නම් කිසි විරුද්ධත්වයක් නැහැ. තමන්ගේ කැමැත්තෙන් හා අනුනට කරදරයක් නොවී අපත ජිවිතයක් ගත කිරීම ගැන අප කරදර විය යුත්තේ මොකටද? හැබැයි මෙවැනි අපතකම් “පරමාදර්ශී” ජිවන විලාසිතා ලෙස ප්‍රවර්ධනය කිරීම ගැන නම් කවුරුත් දෙවරක් සිතන්නට ඕනේ.

රැවුල් කොණ්ඩා පවා කපා නොගෙන, ගෙවල් දොරවල් හා මිදුලවල් ජරාවාස කර ගනිමින් ජිවත් වීමත් සමහර විට පාරිභෝගික ලෝකය හඹා නොයන සරල ජිවිත ලෙසත් අර්ථ දක්වා ගන්නට උත්සහ ගන්නවා. අපේ දරුවන් නම්, එවැනි “සරල ජිවන විලාසිතාවකට” කිසිදා යොමු නොවනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.
අද මා දෙවන වරටත් නරඹපු “කියුබා විත් සයිමන් රීව්” කියන වාර්තා වැඩසටහන අපතකම ප්‍රවර්ධනය වුන සමාජයක් එයින් ගොඩ එන්න හදන හැටි කියවෙන එකක්. අධ්‍යාපනික, සෞඛ්‍යයේ, ක්‍රීඩා හා කළා වන් වල ඉහල ප්‍රතිඵල අත්කර ගත්තා යයි කියන මේ සමාජයේ, ඇත්තටම වැඩ කරන්න කැමති මිනිසුන්ව බැඳ දමා තිබුන හැටිත් ගැන යම් අවබෝධයක් පැයක පමණ මේ වැඩ සටහන ලබා දෙනවා. මෙය ඒ සමාජයට ආවේනික කරුණක් නොවේ.

රජයේ ෆාමසියක වැඩ කරන එක කාන්තාවගේ නිවසේ වහලය කඩා වැටීමට ආසන්න නිසා මුක්කු ගසා තිබුණා. ඇයගේ දරුවනුත් ඒ මුක්කු අතරින් තැබූ ඇඳන් තුල නිදියනවා. මේ නිවස අලුත් වැඩියාව ගැන බලාපොරොත්තුවෙන් ඇය වසර 17 ක් තිස්සේ ඉන්නවා. කරන රැකියාවෙන් ඒ සඳහා මුදල් ඉතිරි කර ගන්න බැරි කමට අමතරව, මුදල් තිබුනත් ඒ සඳහා ඇයට අවසරයක් තිබී නැහැ. දැන් ඔබ තර්ක කරාවි ලෝකයේ ලක්ෂ ගණන්, මුඩුක්කු වල ජිවත් වෙනවා කියා. ගෙවල් වල ජිවත් වන අයත් මුඩුක්කු වලට දැක්කිමෙන් සමාජය යහපත් කරන්නට නොහැකියි.

නව ප්‍රතිසංස්කරණ යටතේ නිවාස විකිනීමට මිනිසුනට දැන් අවසරය තියනවා. ඒ වගේම හාර්ඩ්වෙයාර් කඩ නැගලා යමින් පවතිනවා. සයිමන් හමුවුන උන්නතිකාමී හා හැඩිදැඩි සිරුරකට හිමිකම් කියන එවැනි වෙළඳාමක් කරන අයෙක් වෘත්තියෙන් “ට්‍රෝම ඩොක්ටර්” කෙනෙක්. ඔහු, අනාගත කියුබාවේ “බනින්ස්” වැනි හාර්ඩ්වෙයාර් කඩ සමූහයක අයිතිකාරයා වනු ඇති වග නිසැකයි. ඒ එක රටක කතාවක්.

රටගිය ඇත්තන්ගේ ජිවිත ගැන හෙවීමත්, ඔවුන් කරන රැකියා වල අඩුපාඩුකම් ගැන හෙවිමත්, රටින් නොගිය ඇත්තන්ගේත් එක කාර්යයක් නේ. තමන්ගේ කැමැත්තට ඉපදුන රටේ හෝ වෙනත් රටක, තම මහන්සියෙන් ජිවත් වීම මා අගය කරන දෙයක්. මිනිසුන් තමන්ගේ කැමැත්තෙන් මොන රැකියාව තෝරා ගත්තත් වෙන කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න ඕනේ කියල මා නම් සිතන්නේ නැහැ. ඒවා ගැන බ්ලොග් ලිවීමත් වැඩකට ඇති දෙයක් නොවේ.

නමුත් මෙවැනි සටහනක එක ප්‍රතිචාරයක් වුණේ, ඕස්ට්‍රේලියාව වැඩකරන කෙනෙකුට හරියන තැනක් නොවීම නිසාත්, අපරාධකාරයන් හා මංකොල්ල කාරයන් හා අනෙක් ප්‍රශ්න නිසා දරුවන්ට සුදුසු තැනක් නොවීම නිසා “ආපසු ලංකාවට” ගිය සූරයකු ගේ අනතුරු හැඟවීමක්.

මිනිසුන් විවිධ සමාජ තේරුම් ගන්නේ තමන්ට ආවේනික ආකාරයකට. ඉතිං ඒවා හරිගස්සන්නට යාම නිකම් කාලය විනාශ කර ගන්න දේවල්. නමුත් ඉහත කෙනා එක්කෝ මනස්කල්පිත ඕස්ට්‍රේලියාවක ජිවත් වී තියනවා. නැත්නම් ඇත්තටම වැඩක් පලක් කිරීමට දන්නා නැති අයෙක්. අපේ ගෙදර වැඩ ටික කරපු ක්‍රෝඑශියානුවා ඇතුළු, නං දෙසින් ආ ලක්ෂ සංඛ්‍යාත සංක්‍රමණික මිනිසුන්ගේ කතාව නම් හරි වෙනස්.

(පුළුවන් නම් මුළු වැඩසටහනම සොයා නරඹන්න)

http://www.bbc.co.uk/programmes/p0124f49

පසු වදන (20/04/15 1.00 pm)

ඔබට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ප්‍රතිචාර නිසාත්, මටම සිතුන නිසාත්, අද මට වෙලාව තියන නිසාත් (ලිඳ ගැඹුර බැවින්ද…..) මේ ටික එකතු කරනවා.

මේ සටහන විතරක් නොවේ සියලු සටහන් ලියා තියෙන්නේ මා සාමාන්‍ය මිනිසෙකු ලෙස ලෝකය දකින ආකාරයයි. සමාජයට මහා ඇකඩමික් හා දාර්ශනික ජිවිත පෙන්වාගෙන (ලංකාවේ) ඉන්නා සමහරුන්, මිනිසුන් වශයෙන් කොතරම් අතීතයේද ජිවත් වන්නේ කියන දෙය පසුගියදා හෙළි වුණා. මටත් මේවා කියවන්නට අවස්තාව ලැබුනේ අහම්බෙන් (වෙනත් වෙබ් අඩවි හා බ්ලොග් වල ලින්ක් ඔස්සේ ගිහින්). මා සෘණාත්මක කරුණුම ලියන්නට කැමති නැහැ. මොකද එය අපට වැඩකට ඇති දෙයක් නොවන නිසා. හැබැයි මේ දේ කියන්නට ඕනේ. එනම් අපතකම හා තමන්ගේ නරුමකම වසා ගන්න අනුන්ගේ මතවාද නමැති සළුපිලි දවටාගෙන අප ඉදිරියට එන සමහර මහත්වරුන්, කාන්තාවන්ගේ ගරුත්වය, සමාජවාදය, ශිෂ්ටත්වය වැනි කාරණා වලදී කොතරම් පසුගාමී ද කියල ඔවුන්ම අපුරුවට හෙළි කෙරුවා. තමන්ගේ කෙනෙකුගේ නිරුවත හෙළි වුන විට පවා එය පිළිගන්නේ නැතිව, රැලේ යන බල්ලන් රංචුවක් මෙන් අනික් අයද උදව්වට පැමිණ, ඔවුන් සියල්ලගේම සැබෑ නිරුවත හෙළි කරපු එක දුටුවේ කීයෙන් කී දෙනෙක් ද කියා මා දන්නේ නැහැ. නමුත් මොවුන් ඇකඩමික් පොරවල් හා දාර්ශනිකයන් ලෙස කියන දේවල්, ඔවුන්ටම ආගන්තුක වන බව නම් මට පෙනුනා. එය එක කතාවක්.

අනෙක තමා අපට සිතන්නට අනුබල දෙන සයිමන්ගේ වැඩ සටහන. අපේ ගෙදර වැඩ ටික කරපු ක්‍රෝඑශියානු-ඕස්ට්‍රේලියානුවා ගැන ලියන්නට ආපු වෙලාවේ රූපවාහිණියේ ගිය Cuba with Simon Reeve වැඩසටහන, එම කතාව වෙනතක හැරෙව්වා. මේ වැඩසටහන වසර 2012 එකක්. මා කලින් නරඹා තියනවා. නමුත් වයස 70 ක් පමණ මිනිසෙක් තරුණයෙක් වගේ වැඩ කිරීම පමණක් නොවේ, ඔහුගේ වෘත්තීය ගරුත්වය, දක්ෂතාවය හා මුදල් ම නොබලා වැඩේ බාරගත්තට වඩා හොඳට කරන්නට උත්සහ ගැනීම වැනි කාරණා නිසා, අර වැඩසටහන මට කලින් නොපැවසූ දෙයකුත් අලුතින් පෙන්වා දුන්නා.

මේක වැඩසටහන කරන්න කියුබා බලධාරීන් අනුමත කරපු විට දමපු කොන්දේසියක් තමා දේශපාලන විරුද්ධවාදීන් සමග කතා නොකිරීම. සාමාන්‍ය ජනයා හමුවන්නට අවකාශය තිබුණා. නමුත් ඔවුන්ට ස්වභාවයෙන්ම රජය විවේචනය කිරීමේ අවස්ථාව නැති වගත් අමතක කරන්න එපා. එම අවකාශය තුල කියුබාවේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතය යන්තමින් හෝ දැන ගන්නට ලැබීම, අපට අපේ ජිවිත ගැනත් යන්තමින් දැන ගන්නට අවස්ථාව සලසනවා.

මේ ඒ වැඩසටහන ගැන මා ඔබ වෙනුවෙන් මේ දැන් සොයා ගත්ත පොඩි විචාරයක කොටසක් //We also got fairly boilerplate stuff about the “world-class health system” and the splendour of the Ballet Nacional, before Reeve reminded us that dissent wasn’t permitted in Cuba and that he’d only been allowed in on condition that he didn’t meet known dissidents.

In the end, he didn’t really need to. No one said a word against the current government, but the ordinary details of daily life he filmed offered a steady, wordless rebuke to the dream of a centrally planned economy.//

(http://www.independent.co.uk/arts-entertainment/tv/reviews/television-review-cuba-with-simon-reeve-bbc2-last-tango-in-halifax-bbc1-8411406.html)

මා ලියුව අර දොස්තර ඇත්තටම හරිම ශක්තිමත් දේහයකට හිමිකම් කියන තරුණයෙක්. ඔහු මෙහෙම කතාවක් කියුවා. මා වෙන රටක හිටියා නම්, දොස්තරකම ඉගෙන ගන්න කිසිදා අවස්ථාව නොලැබේවිය කියල. ඔහුට ඒ අවස්ථාව සමාජය (රජය) අරන් දුන්න. මාසයකට පවුම් 15 ක පඩිය ඔහුටත් ලැබෙනවා, අර කියුව පාමසිස්ට්ටත් ලැබෙනවා සමහර විට වැඩක් නොකර නිකම් ඉන්න කෙනාටත් සලාකයට ඒ ගාණම ලැබෙනවා ඇති. එම මුදලෙන් ගත කරන්නට හැකි ජීවිතය අර පාමසිස්ට් ගේ ගරා වැටුන අපාර්ට්මන්ට් එකෙන් පෙනෙනවා. තරුණයා කියුවේ, මා දොස්තර කෙනෙකු වුණේ මිනිසුනට උදව් කරන්න, අද මේ හාර්ඩ්වෙයාර් කඩෙන් (කඩේ කියුවට මේක පේව්මන්ට් වෙළඳාමක්) කරන්නෙත් මිනිසුනට උදව් කරන එක තමා කියල. එතැන ඔහු කියන දාර්ශනික කරුණ හරිම වැදගත්.

මේ තරුණයා ගාවට කුස්සියේ සින්ක් එකක් ගන්න ආපු කෙනෙකුට, අල්ලපු “කඩෙන්” අරං ඇවිත් පෙන්නපු (ඔහු ගාව නොතිබුණ නිසා) මලනොබැඳෙන වානේ සින්ක් එකේ මිල ඩොලර් සියයයි. මෙන්න මාර්කට් මිල. දැන් දොස්තර කෙනෙක්, දොස්තර කෙනෙක් වන්නේ ඒ සඳහා අවස්ථාව තිබුන නිසාම නොවේ. ඔහුගේ දක්ෂතාවයත් නිසා. සමාජයේ සියලු දෙනාට සමාන අවස්ථා දුන්නා කියල, සියල්ලන්ම දොස්තරලා වෙන්නේ නැත්තේ (පේව්මන්ට් එකේ බඩු විකුනන්න හෝ) අන්න ඒ නිසා. දැන් එහෙම කෙනෙක්, සාමාන්‍ය කිචන් සින්කයක් ඩොලර් 100 වන රටේ, මාසයකට පවුම් 15 ක පඩියෙන් මුළු ජිවිත කාලයම ගත කරාවි යයි ඔබ සිතනවද? ඇත්තටම ඔබට එහෙම ජිවිතයක් ඕනෙද?

අර පාමසිස්ට් ගරා වැටුන ගෙයක ජිවත් වන්නේ කැමැත්තෙන් ද? සමාජයේ පාමසිස්ට් කෙනෙකුත්, කිසිම වැඩක් නොකරන කෙනෙකු සේ ගරා වැටුන ගෙදරක (කොයි වෙලාවේ කඩා වැටෙයිදෝ බයෙන්) දරුවන් සමග මුළු ජිවිතයම ගත කිරීම සමාජවාදයේ අග්‍රඵලය නම් ඇති වැඩේ මොකක් ද?

එම වැඩසටහනේ ගොවියෙකුත් සිටියා. සෝවියට් යුගයේ ට්‍රැක්ටරයක් සතු ඔහු, වැඩි පුර කාලයක් ගත කරන්නේ එය අලුත් වැඩියාවට. එහෙම කරලත්, ඔහු අලුත් ප්‍රතිසංස්කරණ යටතේ ආණ්ඩුවෙන් ඉඩම් අරන් වී වගා කරනවා. ඔහුගේ බිරියත් ස්වයං රැකියාවක් කරනවා. ලොකු පුතා රික්ෂෝ පදවනවා. ඔවුන්ගේ මහන්සිය ඔවුන් ජිවත් වන ගෙදරින් හා කන කෑම වලින්ම පෙනුණා.

ඉස්සර ඔවුන් හොරෙන් කැලේ වී වගා කෙරුවහම ආණ්ඩුවෙන් ඇවිත් ඒවා තලා දමනවා. මිනිසුන් අතර සමානත්වය ඇතිකර තියෙන්නේ අන්න ඒ වගේ. ඒ ක්‍රමයේ හැදී වැඩුන, මිනිසුන් මෙයා ගාව වැඩට එන්නේ දවල් දොළහට. පැය කීයද වැඩ කරන්න ඉතුරු. කැඩුණු ට්‍රැක්ටරයක් හා මෙවැනි මිනිසුන් සමග ඔට්ටු වෙමින් කරන ඔහුගේ පවුලේ ව්‍යවසායකත්වය ඔවුනගේ ගෙදර දොරකොඩින්ම පෙනෙනවා. සුලුධනේෂ්වර ද්‍රෝහීන් කියා මොවුන්ව වෙඩි තබා සමාජය යහපත් කරන්නට සිහින මවන සියල්ලන්ම මේ ජිවිත ගැන යලිත් ඉගෙන ගත යුතුයි.

ඔව් කස්ත්‍රෝලට මේවායේ වැරැද්ද ඇමෙරිකාවට දමලා දිගටම පාලනය ගෙන යන්න පුළුවන්. පිටින් ඉන්න අප උත්සහ කරන්න ඕනේ මේවයින් පාඩම් ඉගෙන ගන්න මිසක්, ලෝකයේ කරපු වැරදි සහගත දේවල් යලි යලිත් කරන්න නොවේ. අඩුම ගානේ මෙවැනි දේවල් තලු මැරීමෙන් වත් ඈත් විය යුතුයි. සමාජවාදය, සමානාත්මතාව වැනි සංකල්ප හරි හොඳයි. මා කියන්නේ මුලධර්මවාද නොවේ. සාමාන්‍ය සමාජයේ තිබෙන්න හැකි දේවල්. මේවායේ කොටස් මා ජිවත්වන සමාජයේත් තියනවා. ලංකාවෙත් තියනවා. වෙන රටවල් වලත් තියනවා. එයටත් වඩා එම්පතියක් සහිත සමාජය වඩාත් අවශ්‍ය දෙයක්.

මිනිසුන් සියල්ලම සමාන කරන්න නොහැකියි. අප එක හා සමානව උපදිනවා කියන එකත් වැරදිනේ. මිනිසුන්ගේ අසමානතා තේරුම් ගන්න ගන්න, අසමානකම් නිසා වෙනස්කම් කරන එකත් අපට අඩුකර ගන්න පුළුවන්. මිනිසුන්ගේ ආදායම් සමාන කරන්න උත්සහ කරන එකේ කිසි තේරුමක් නැහැ. ඒ වෙනුවට දක්ෂයන්ට ඔවුනගේ දක්ෂතා වලින් ජිවත් වෙන්නට හැකි පරිසරයක් හා තමන් ගැන විතරක් නොවේ, අවට සමාජය, පරිසරය හා සතුන් ගැනත් සිතන මිනිසෙක් හා මිනිස් සමාජයක් අපටම බිහි කර ගන්න පුළුවන්. එතනත් ඒකීය හා සාමූහික ප්‍රයන්තනයක් තියනවා.

https://raigamahandiya.wordpress.com/2015/04/19/%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7-%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%9C%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-an-apartment-for-sale/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල