කාලීන සංවාද

බෝතලේ ජීවිතය හීන්දෙනිය-පට්ටිගොඩ, ලියුකේමියා සහ චාල්ස් ඩිගෝල්

Off

අපි කියමින් හිටපු බෝතලේ ගතකළ මගේ ජීවිතේ කතාව බාගෙට නැවතුනා නේද ? ඒ නිසා අද එතැනින් පටන් ගම්මු. බෝතලේ සෑහෙන විසාල ගමක්, විසාලත්වය නිසාම බෝතලේ ඉහළගම සහ බෝතලේ පහළගම කියල කොටස් දෙකකට වෙන්කරල තියෙනවා. ඔය සුප්‍රසිද්ධ සේනානායක මහ වලව්ව හෙවත් බෝතලේ වලව්ව අයිති වෙන්නෙ බෝතලේ පහළගමටයි. වලව්වට පොඩ්ඩක් එහයින් තියෙන බෝතලේ හංදියෙන් හැරිල දංඕවිට පාර දිගේ හැතැප්ම තුන හතරක් ඇතුළට ගියාම බෝතලේ ඉහළගම හෙවත් අපේ අම්මගෙ උපන්ගම හම්බවෙනවා. ඉස්සර නං අපි කෝච්චියෙ ගිහිං අඹේපුස්ස හෙවත් කීනදෙනියෙන් බැහැගෙන බෝතලේ ඉහළගම දක්වා හැතැප්ම හයක හතක දුර පයින්ම යනවා. ඒ සීයත් එක්ක ගමේ ගිය කාලෙ, පස්සෙ පස්සෙ කෝච්චියෙ ගිහිං මීරිගම බැහැල මඩම පාරෙ වරකපොළ යන බස් එකේ ගිහිං අන්නාසිවත්තෙ කඩේ ළඟ බැහැල කෙටි පාරකින් ගිහිං දංඕවිට පාරට ගොඩවෙනවා.

පාර පුරා කළුගල් මතුවෙලා තියෙන ඒ වැලි පාරෙ ඒක පැත්තක් එහෙම්පිටින්ම කැලේ, තද කැලේ නිසා පාර අඳුරුයි. කැලේ අස්සෙන් දොළ පාරක් ගලාගෙන යන සද්දෙ සිලි සිලි ගාල ඇහුනට දොළක් පෙනෙන්නෙ නෑ.පාරෙ දිගටම රැහැයියන්ගේ සද්ද ගිරවුන්ගේ බට්ටිච්චන්ගේ දෙමලිච්චන්ගේ සද්ද ඒක දිගට දෝංකාර දෙනවා.වැරදිලාවත් මනුස්සයෙක් පාරෙ යනව හම්බවෙන්නෙ නෑ.අපි දිගටම ඇවිත් වම් පැත්තට පහළට බැස්සම ඔන්න ඉස්සරහට දොළ පාර හම්බවෙනවා.දොළට උඩින් ගල් ඒදන්ඩක් දාල තියෙන්නෙ පන්සලට යන්නටයි.පන්සල කිව්වෙ බෝතලේ ශ්‍රී ගෝඨාභය රජමහා විහාරෙ.අපි එතනින් යන්නෙ නැතුව දිගටම ගිහිං වෙලේ නියරට ගොඩවෙලා දොළ හරහට දාල තියෙන තවත් විසාල ගල් ඒදන්ඩකින් එගොඩ වෙලා පාරට ගොඩවෙනවා.ඒ අති විසාල ගල් ලෑල්ල දොළ හරහට කොහොම දැම්මද කියල අදටත් හිතාගන්න අමාරුයි.ගෝඨාභය කුමාරයගෙ අයම ගෙනැත් දැම්ම කියල හිතාගන්නව ඇරෙන්න වෙන දෙයක් හිතාගන්න බැහැ.දැන් නං ඒ අලංකාර ගල් ඒදන්ඩ තියෙනවද ඒක අයින් කරල කොන්ක්‍රීට් ලෑල්ලක් දාලද දන්නෙ නෑ මොකද මම අවුරුදු විසිපහකින් මෙහා ඔය පාරෙ ගිහිං නැති නිසා කියන්න අමාරුයි.

අපි පාරට ගොඩවෙන තැනින්ම කුඹුරු යාය ඉවරවෙලා රබර්වත්ත පටන් ගන්නවා.ඒ රබර් වත්තයි පාරෙ ඉස්සරහටම කන්ද උඩ තියෙන පරණ වලව්වයි දෙකමත් සේනානායක වරුන්ගෙ පවුලට අයිතියි.මට කලින් කියන්න අමතක උනා අපි පාරට ගොඩඋන තැන ඒ කියන්නෙ රබර්වත්ත කෙලවරේ පුරාණ සොහොන් ගෙයක් තියෙනවා.ඒ කියන්නෙ වලව්වෙ මැරුණ කීප දෙනෙකුගෙ භෂ්මාවශේෂ හෙවත් අළු දාපු කල කුඩා ගෙයක තියල දොර වහල තියනවා.ඔය සොහොන් ගෙට නිතරම අකුණු වදින නිසා පාරෙ යද්දි වැස්සටවත් වැරදිලාවත් සොහොන් ගෙට ගොඩවෙන්න එපා කියල අපේ තාත්ත කියල තියෙනවා කියල අම්ම අපිත් එක්ක කියනවා.ඒ නිසා අපි එතනින් යද්දි ඒ පැත්තවත් බලන්නෙ නැතිව වේගෙන් වේගෙන් එතනින් පියමං කරනවා.ඒ උනාට වෙල්යායේ වැඩකරන ගොයියො නං සොහොන් ගෙයි කොට බිත්ති උඩ ඉඳගෙන විට හප හපා කයිය ගහනව අපි ඕනෑ තරං දැකල තියෙනවා.ඕං දැන් අපි බෝතලේ පහළගම පහුකරල ඉහළගමට ළඟාවූනා.වල්බෝතලේ කියලත් තව ගමක් තියෙනවා.හැබැයි ඒ ගම බෝතලේට ගොඩක් දුරයි.ඉතිං බෝතලේ පිහිටීම ඔන්න ඔය ආකාරයටයි.

මම බෝතලේ ගැන කියද්දි බෝතලේ කෝච්චි ඉස්ටේසම හරියෙ කුඹුරුවල තියෙන සුන්දරත්වය ගැන නාඩියා ලියල තිබ්බා.හැබැයි මට කියන්න තියෙන්නෙ බෝතලේ ඉස්ටේසම තියෙන්නෙ බෝතලේ ගමට ගව් ගාණක් දුරින් කියලයි.ඒ කියන්නෙ බෝතලේ ඉස්ටේසමට බෝතලේ ගමේ ඉඳල ගම් හත අටක් පහු කරගෙන එන්න වෙනවා.අඹේපුස්ස ඉස්ටේසමත් ඔයවගෙනෙ.නියම අඹේපුස්ස තියෙන්නෙ නුවර පාරෙ.ඉස්ටේසම තියෙන්නෙ කීනදෙනියෙ.ඇයි ඔය වගේ වේයන්ගොඩයි මගලෙගොඩයි අතර අලුත් ඉස්ටේසමක් මීට අවුරුදු විසිපහකට තිහකට විතර ඉස්සර හැදුවා.ඒ හරිය පාරමුල්ල.එහෙම උනාට ඉස්ටේසමට නම දානකොට හීන්දෙනිය නම දාන්න කියල හීන්දෙනියෙ අය කියද්දි පට්ටිගොඩ නම දාන්න කියල පට්ටිගොඩ අය කිව්වා.ගම් දෙකේ ගෝරිය සරුවටම යනකොට හීන්දෙනිය-පට්ටිගොඩ කියල ඉස්ටේසමට නම යොදන්න දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කළා. පාරමුල්ල නම යටගියා.අදටත් ලංකාවෙ ඉස්ටේසමකට තියෙන දිගම නම ඒකද කියල මට හිතෙනවා.
හීන්දෙනිය පට්ටිගොඩ රේල්වේ ක්‍රොසින් එක ළඟම තියෙන ගෙදර ඉන්නෙ දිනපාල කියල අපේ යාලුවෙක්. දිනපාලගෙ ගෙදරට හීන්දෙනිය පට්ටිගොඩ ඉස්ටේසමේ ඉඳල යාර සීයක්වත් ඇති නැති තරමයි.දිනපාල මහතයි කලුයි කොටයි ලොකු බඩකුත් තිබුණා.උදේට හීන්දෙනිය පට්ටිගොඩින් කෝච්චියට නැගල රාගමින් බැහැල පෙරලි පෙරලි ඉස්පිරිතාලෙ වැඩට ගියා.රේල්පාරෙන් එහාපැත්තෙ දිනපාලට කුඹුරු කෑලි දෙක තුනකුත් තිබුණා.ඉස්පිරිතාලෙ නයිට් ඩියුටි දවස්වල උදේ දිනපාල තොප්පියකුත් දාගෙන බෝලෙ වගේ කුඹුරෙ නියරවල් මඩ තියනව කෝච්චියෙ යන අපට පේනවා.පවුල් වෙලා අවුරුදු කීපයක් ගියත් දරුවෙක් නැතිකම ගැන දිනපාල විසාල කණස්සල්ලකින් කාලය ගතකලා.ඒ ගැන සමහර වෙලාවට පවුලටත් සද්දෙ දැම්මා.යාළුවො අහපුවම දිනපාල කිව්වෙ මෙහෙමයි.

ඇයි යකෝ හවසට ගෙදර යන්ඩ හිතෙන්නෙ නෑ දරුවෙකුගෙ සද්දක් නැති ගේ මළ පාළුයි.ඉතිං තද වෙන්නෙ නැද්ද?

ඉතිං ඕකට පවුලට කෑ ගහල හරියනවද මිනිහො.උඹ ඔච්චර දොස්තරල දන්න අඳුනන කෙනා ගිහිං කියල මොකක් හරි උපදේසයක් ගනිංකො…

ඒ කතාවත් ඇත්ත තමයි කියල හිතපු දිනපාල පවුලත් එක්ක ගිහිං රාගම ඉස්පිරිතාලෙ අඳුනන වීඕජී කෙනෙක් හම්බවෙලා ප්‍රතිකාර ගත්තා.ඊළඟ අවුරුදු හතර පහ ඇතුළත දිනපාලගෙ පවුල දරු තුන්දෙනෙක්ම දිනපාලට තෑගි කළා.දුවයි පුත්තු දෙන්නයි.දැන් දිනපාල හරි සතුටින් කාලය ගත කරනවා.ඔන්න ඔහොම කාලෙ ගතවෙද්දි අපේ ඉස්පිරිතාලෙ වැඩ කරපු කෙනෙක් සර්පයෙක් කාල මළා.එයත් දිනපාලලගෙ ගමේමයි.අපි කට්ටිය මළගෙදර ගිහිං අවසාන කටයුතු ඉවර උනාට පස්සෙ හවස් වරුවෙ කට්ටියම දිනපාලලගේ ගෙදරට එකතු උනා.දිනපාල අපට තේ පැන් සංග්‍රහයකුත් පැවැත්තුවා.තේ බීල ඉවර උනාට කට්ටිය පිටත්වෙලා යන පාටක් නෑ.මම නං ළඟ පාත මිනිහා එහා ඉස්ටේසමට ගිහිං ගෙදර යන එකනෙ.ඒත් අනික් උන්ට සෑහෙන දුර යන්න තිබ්බට මුන් යන්නෙ නැතුව දිනපාලගෙන් අරක්කු ඉල්ලනවා.

රෑ වෙනව දිනපාල ඉක්මනට මොනා හරි කරපංකො…

මේ වෙලාවෙ මොන අරක්කුද බං රෑ වෙන්ඩ කලින් ගෙවල්වලට පලයල්ලා…

දිනපාල කිව්වට මුන් ටික උණ ලෙඩ්ඩු වතුර ඉල්ලන්නා වගේ අරක්කුම ඉල්ලනවා.අන්තිමේ දිනපාලට හොඳටම තද උනා.

කියන දේ අහන්නෙ නැති කාලකණ්නි ඉඳපියව් තොපිට අහවල් එක කරන්න කියල තිත්ත කුණුහරුප දෙකක් කියාපු දිනපාල සරමත් කැහැපොට ගහගෙන ගේ පිටිපස්සෙන් එළියට බැහැල ගිහිං ටික වෙලාවකින් ආපහු ආවෙ සුදුව කෑන් එකකුත් කිහිළි ගන්නගෙනයි. දිනපාලගෙ පවුල හොඳ බිරිඳක් වගේ කරෝල බැදල බයිට් එකකුත් හදල දුන්නා.කොහොම උනත් මම එතන වැඩි වෙලා රැඳුනේ නෑ ඉක්මනට ගෙදර ගියා.අනික් උන් ටික කොයිවෙලාවෙ ගියාද දන්නෙ නෑ.

කාලය වේගයෙන් ගෙවිල යද්දි මම ඉස්පිරිතාලෙන් මාරුවෙලා ගියා.දිනපාලත් වතුපිටිවල ඉස්පිරිතාලෙට මාරුවුනා කියල දැනගන්න ලැබුනා.කොහොම උනත් අපේ තිබුන සම්බන්ධකම් ටික ටික අඩුවෙලා ගියා.ඒ උනාට කලාතුරකින් දවසක දිනපාල අපේ ගෙදර එන සිරිතකුත් තිබුනා.සැරයක් දුවගෙ ඉස්කෝලෙ වැඩකදී මගෙන් උදව්වක් ගන්න, එතකොට වපුරන්න බිත්තර වී ටිකක් හොයාගන්න වගේ වැඩවලට දිනපාල ඇවිත් ගියා.ඒ ඇරෙන්න මම දිනපාල දැක්කෙ කෝච්චියෙ යන වෙලාවට පාරෙ ඉන්නව හරි වෙලේ ඉන්නව හරි තමා.දවසක්දා කෝච්චියෙ එද්දී දිනපාලලගේ ගෙදරඉස්සරහ තහඩු මඩුවක් ගහල පුටු තියල එහෙම තියෙනවා දැක්කම දුවගෙ වැඩිවිය පැමිණීමේ උත්සවේ වෙන්න ඇති කියල මම හිතාගත්තා.ආයෙම දවසක කෝච්චියෙ එද්දි තහඩු මඩු පුටු වගේම ගේ ඉස්සරහ සුදු කොඩිත් දැක්ක මම එක පාරටම තිගැස්සුනා.ඉක්මනට කෝච්චියෙන් බැහැල දිනපාලලගෙ ගෙදරට දුවගෙන ගියා.බලපුවම දිනපාලගෙ පොඩි පුතා සයිකල් පදිද්දි රේල්වේ ක්‍රොසින් එකේදි කෝච්චියෙ හැප්පිලා මැරිල.

එළියෙ පුටුවක ඉඳගෙන දිනපාල මට අනතුරේ විස්තරය කිව්වා.දරුවෙක් මැරුණ තාත්තා කෙනෙක්ගෙන් දකින්නට නොලැබෙන ශාන්ත ස්වභාවයක් දිනපාලගෙන් දකින්නට ලැබුනා.දරුවාගේ මරණය ගැන දිනපාලට දුකක් නැත්දැයි දකින කෙනෙකුට හිතෙන්නට පුළුවන් වුනත් එය මට නම් අරුමයක් වුනේ නෑ.කාලයක් තිස්සෙ රෝහල්වල වැඩ කරන අයට මරණය කියන්නෙ එදිනෙදා නොව දිනකට කීපවරක් අත්දකින සාමාන්‍ය දෙයක්.ඒ නිසාම මරණය ගැන වෙනත් අයට තිබෙන අධි සංවේදී ස්වභාවය ඔවුන්ගෙ හිත්වලින් ඉවත්ව යනවා.දුකක් නෑ කියන එක එයින් අදහස් වෙන්නෙ නෑ.ඒ නිසාම දිනපාලගෙ ස්වභාවය මට අමුත්තක් උනේ නෑ.රෝහලේ වැඩකරන කාලෙ මමත් එවැනි මනෝභාවයක හිටියා.මම එක උදාහරණයක් කියන්නං.

කාලය මට මතක හැටියට 1982 වර්ෂය විය යුතුයි.උසස් පෙළ විභාගයට මුහුණ දීල ප්‍රතිපල එනතුරු හිටපු අපේ පුංචිඅම්මගෙ බාල පුතා එක පාරටම ලෙඩින් වැටුනා.වතුපිටිවල රෝහලේ නතරකරල හිටිය ඔහු කොළඹ මහ රෝහලට මාරු කළා.පසුව ඔහු ලියුකේමියා රෝගයෙන් පෙලෙන බව නිශ්චය කරගෙන මහරගම පිළිකා රෝහලට යැවුවා.දවසක රාත්‍රියේ මම වැඩ ඇරිල ගෙදර ඇවිත් රෑ කෑම කන තැනට අපේ අම්මා ආවා.ඒ ආවෙ රෝහලේ ඉන්න මල්ලිගෙ තත්ත්වය ගැන මගෙන් අහන්නට කියල අම්ම එනකොටම මම දැනගත්තා.
රෝගියා ලේ පිළිකාවකින් පෙළෙන බවත් තත්ත්වය අසාධ්‍ය බව හා සුවපත්වීම ගැන විශ්වාසයක් තැබිය නොහැකි බවත් බෝධි පූජා තැබීම හොඳ නමුත් බෝධි පූජාව නිසා තත්වයේ වෙනසක් ඇතිවේයැයි මා නොසිතන බවත් එක පිට එක එල්ලවුණු අම්මාගේ ප්‍රශ්න වැලකට පිළිතුරු වශයෙන් මා කියා සිටියේ ඇත්තම තත්වය එය නිසායි.නමුත් මා එම විස්තරය කියු සන්සුන් විලාසය අම්මාගේ සිත වියරු වට්ටන්නක් උනා.මා හිතක් පපුවක් නැති එකෙක් යැයි ඇය මට දිගින් දිගටම බැන වදින විට මා එයද සන්සුන්ව අසා සිටියා.ඇත්තටම ඒ වන විට මරණය ගැන අධි සංවේදී ස්වභාවය මගේ සිතින්ද තුරන්ව ගොස් තිබුන බව මට වැටහුනේ කාලෙකට පසුවයි.රෝහලේ සිටි සහෝදරයා බේරාගන්නට කරන්න තියෙන හැම දේම කළත් ඔහුට පණපිටින් රෝහලෙන් ගෙදර එන්නට ලැබුනේ නෑ.ඊට පසුවත් මෙවැනි අත්දැකීම් කීපයක්ම මගේ හිතේ තැන්පත්ව තිබෙනවා.
රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් හෙළිකරගන්නට ලියුකේමියා රෝගය යොදාගත් අවස්ථාවක් මා පොතක කියෙව්වා.ඒ ෆ්‍රෙඩ්රික් ෆෝසයිත් ලියු ද ඩේ ඔෆ් ද ජැකෝල් පොතයි.මෙය වෘකයාගේ දවස නමින් සිංහලට පරිවර්තනය වී තිබෙනවා.ඇල්ජීරියාව පිලිබඳ ප්‍රංශ ජනාධිපති ඩිගෝල් (1890-1970)ගේ ප්‍රතිපත්තිය ගැන විවේචනය කරන ප්‍රංශ හමුදා නිලධාරීන් පිරිසක් ජෙනරාල් ඩිගෝල් කෙරෙහි වෛර බැඳගෙන රහස් සංවිධානයක් පිහිටුවා ගන්නේ ඩිගෝල්ගෙන් ප්‍රංශය මුදවා ගන්නටයි.ජනාධිපති ඩිගෝල් ඝාතනයට ඔවුන් දරණ ලද පළවෙනි ප්‍රයත්නය ව්‍යවර්ථ වූ විට හමුදා නිලධාරීන්ගේ සංවිධානයේ නායකයන් ප්‍රංශයෙන් පලායනවා.එතැන් සිට ඔවුන් ක්‍රියාත්මක වන්නේ ඔස්ට්‍රියාවේ වියනාවල හෝටලයක සිටයි.එහිදී ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන ප්‍රංශ රහස් පොලිසියට කිසිම තොරතුරක් ලැබෙන්නේ නැහැ.නමුත් හමුදා නිලධාරීන්ගේ රහස් සංවිධානය නැවතත් කිසියම් කුමන්ත්‍රණයක යෙදෙන බව හොඳින් දත් ප්‍රංශ රහස් පොලිසිය කුමන්ත්‍රණය හෙළිකර ගැනීමට උගුලක් අටවනවා.

සැඟවී සිටින හමුදා නිලධාරීන්ගේ රහස් සංවිධානයේ නායකයන්ගේ ආරක්ෂකයා ලෙස සිටින යෝධයෙක් වන් රහස් සංවිධානයේ විශ්වාසී පැරණි සොල්දාදුවෙක් වන වික්ටර් නමැති පෝලන්ත ජාතිකයාගේ ලිපිගොනුව පරීක්ෂා කර ඔහුට දාව ඉපදුන දැරියක් ජෝ ජෝ නමැති ප්‍රංශ ජාතිකයෙක් විසින් ඇති දැඩි කරන බවත් වෙනත් කිසිම ඥාතියෙක් නැති වික්ටර් මේ දැරියට දැඩිසේ ආදරය කරන බවත් දැනගන්නා ප්‍රංශ රහස් පොලිසිය ජෝ ජෝ ලියන පරිදි ලියා වික්ටර්ට අහම්බෙන් ලැබෙනසේ හෝටලයට ලිපියක් යවනවා.ලිපියේ සඳහන් වන්නේ දැරිය ලියුකේ ද මොකක්ද රෝගයකින් පෙළෙන බවයි. ලියුකේ යන්නෙහි අගක් මුලක් නොදන්නා වික්ටර් එය තෝරාගන්නටද කිසිවෙක් නැති තැන දැරිය බලා ඉක්මනින් ආපසු එන්නට අදහස් කර හමුදා නිලධාරීන්ගේ රහස් සංවිධානයේ අයටද නොදන්වා මාර්සෙල්ස් බලා ගුවන්ගත වෙනවා.වියානාවේ සිටම වික්ටර් ගැන ඔත්තු බලන ප්‍රංශ රහස් පොලිසිය ඔහුගෙ පිටත්වීම ගැන විස්තර ප්‍රංශයට ලබාදෙනවා.මාර්සෙල්ස් හි ජෝ ජෝ ගේ නිවසට යන වික්ටර් පිළිගන්නට ඒ නිවසේ ඉන්නේ ප්‍රංශ රහස් පොලිසියයි. එතනදී පොලිස් නිලධාරීන් ගණනාවකට බරපතල තුවාල සිදුකරමින් අත්අඩංගුවට පත්වෙන වික්ටර්ගෙන් හමුදා නිලධාරීන්ගේ රහස් සංවිධානය ජනාධිපති ඩිගෝල් මරන්නට යොදවා ඇති වෘකයා නමැති කුලී මිනීමරුවා ගැන හෝඩුවාව දැනගන්නවා. වෘකයා සොයන්නට ප්‍රංශය මෙන්ම ලෝකය පුරා මෙහෙයුමක් දියත් වන්නේ ඉන් පසුවයි.

http://helapakade.blogspot.co.uk/2015/04/blog-post_26.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල