කාලීන සංවාද

ආරස්සාවට බුද්ධ දර්ශනය… 2015 වෙසක් කළාපය

Off

බෞද්ධයන්ගේ ආරක්ෂාවට යැයි කියමින් උදේ හවස රේඩියෝ චැනල් කීපයක ප්‍රචාරය කරන සූත්‍ර කීපයක් අතරින්, ධජග්ග සූත්‍රය මේ පාර වෙසක් කළාපයේ පළවෙනි ලිපියෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සූත්‍රය අඩංගු වෙන්නේ, සූත්‍ර පිටකයේ, සංයුක්ත නිකායේ, සගාථා වර්ගයේ, සක්ක සංයුක්තයේ, සුවීර වර්ගයේ, තුන්වෙනි සූත්‍රය හැටියටයි. බුදුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුවරයා පූජා කළ ජේතවනාරාමයේ වැඩ සිටින කාලයක, භික්ෂූන් වහන්සේට මෙසේ දේශනා කළ සේක: සුරයන් සහ අසුරයන් අතර යුද්ධයක් පැවතුණු කාලයක දී, ශක්‍ර දෙවියන්, තව්තිසාවේ අනෙක් දෙවියන් අමතා, මෙසේ කීවා, “යුද්ධයේදී ඔබ කිසිවෙකුට බියක් ඇති වුනොත්, මාගේ (රථයේ ඇති) කොඩියේ අග බලන්න. (සමහර විට එයින් අදහස් කෙරුණේ, එතකොට, ශක්‍ර දෙවියනුත් අනෙක් දෙවියන් සමඟ යුධ පිටියේ ම සිටින බව දැකලා, දෙවියන් ධෛර්යවත් වීම වෙන්න පුළුවන්.) මාගේ කොඩියේ අග දුටු විට ඔබට ඇති වන බිය, තැති ගැන්ම හෝ ලොමුදැහැ ගැන්ම පහ වෙනු ඇති. මගේ කොඩියේ අග නෙපෙනේ නම්, ප්‍රජාපතී දෙව්රජගේ කොඩියේ අග දෙස බලන්න. එයත් නොපෙනේ නම්, වරුණ දෙව් රජගේ කොඩියේ අග බලන්න. එයත් නොපෙනේ නම් ඊසාන දෙව් රජගේ කොඩියේ අග දෙස බලන්න. එම කොඩි දකින විට ඔබගේ බිය පහ වී යනු ඇති.” නමුත්, ශක්‍ර දෙවියන්ගේ හෝ, ප්‍රජාපති දෙවියන්ගේ හෝ, වරුණ දෙවියන්ගේ හෝ ඊසාන දෙවියන්ගේ හෝ කොඩි දිහා බැලීමෙන් බියක්, තැතිගැනීමක් හෝ ලොමුදැහැගැනීමක් පහ වෙන්නේ නෑ. මක්නිසාද, ඒ දෙවි රජ වරු, රාගය, ද්වේෂය හෝ ‍මෝහය පහ කළ අය නොවේ. එසේම, ඒ දෙවි රජවරු පවා, බිය වනසුළුයි, තැති ගැනෙනසුළුයි, ත්‍රස්ත වනසුළුයි, පළා යනසුළුයි.

indra

මම ඔබට කියන්නේ, ඔබ ආරණ්‍යයකට (වනගත ප්‍රදේශයකට) හෝ ගසක් මුළකට හෝ ශූන්‍යාගාරයකට (සොහොන්පිටි සහ එවැනි ජනශූන්‍ය පාළු තැන්) වලට ගිය විට, බයක් තැති ගැනීමක්, ලොමුදැහැ ගැනීමක් ඇති වුනොත්, එවිට මා සිහිකරන්න. නැත්නම් මා දෙසා ඇති ධර්මය සිහිකරන්න, එසේත් නැත්නම්, මාගේ මාර්ගය අනුගමනය කරන සංඝයා වහන්සේ සිහිකරන්න. එවිට ඔබට ඇති වන බිය, තැතිගැනීම හෝ ලොමුදැහැගැන්ම පහ වී යාවි. මක්නිසාද, අර්හත් වූ, සම්මා සම්බුද්ධ වූ (මේ බුදු ගුණ වල තේරුම ඕනෙ නම් මෙතන තියෙනවා.) බුදුන් කියන්නේ, රාගය, ද්වේෂය, මෝහය පහ කළ තැනැත්තෙක් වගේම, බිය නොවන, තැති නොගන්නා, කිසි දෙයකින් ත්‍රස්ත නොවන, පළා නොයන තැනැත්තෙක් වන නිසා. මේ සූත්‍රයෙන් අපිට වටහා ගන්න පුළුවන් මොනවද: 1. අපට ඇතිවන බියට පිළියම වන්නේ බුදුන්, දහම්, සඟුන් සිහිපත් කිරීම පමණක් බව.  ධර්මය සිහිපත් කිරීමෙන් මිසක්, ධර්මය ඇතුළත් පාලි පාඨ (තේරුම නොදැන) උච්ඡාරණය කිරීමෙන් හෝ අසා සිටීමෙන් හෝ, ඇහුනොත් ඇහුනාවේ කියා ඔහේ රේඩියෝ එක දාගෙන සිටීමෙන් හෝ බෞද්ධයන්ට බිය දුරු කරගැනීමට හැකියාවක් ලැබෙන්නේ නෑ. 2. අපට ඇතිවන බිය ට පිහිටක්, කිසි දෙවිකෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්න බැරි බව.  ගොඩක් දෙවි වරු, ආභරණ පොරවාගෙන, අඹුවන් දරුවන් පිරිවරාගෙන, රාගයෙන් පිරුණු අය විදිහටයි නිරූපණය වෙන්නෙ. ඒ වගේම යුද්ධයට, නපුරු වැඩ වලට දක්ෂ නිසා ද්වේෂයෙනුත් අඩුවක් නෑ. ඒ වගේම මිනිස්සු පිහිට පතාගෙන යද්දි ඉල්ලන දේවලට ගාස්තු විදිහට අපි එක එක  දේවල් දෙන්න භාර වෙනවා. ඒ කියන්නෙ ඒ දෙවියන්ට තෘෂ්ණාවත් තියෙනවා. අපි භාර වෙන දේවල් ඔප්පු කරද්දි, දෙවියන්ව බොහොම පහත් විදිහට රවට්ටනවා. ඒ කියන්නෙ ‍ඒ දෙවි වරුන්ට මෝහයත් අඩු නැතිව තියෙනවා. ඒ වගේ දෙවියන්ගෙන් අපිට ලැබෙන පිහිට … ?

http://drackey.blogspot.co.uk/2015/04/2015.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල