කෙටි කථා

මංමුලා සෙවනැලි -3 කොටස

Off

“මේඛලා මිස් ගමෙන් ඇවිත්“නාකි තාරාවියක් සේ ගුරු විවේකාගාරයට කඩා වැදුනු සීලවතී මිස් හති දමමින්ම ඔසරි පටින් පවන් ගසන්නට වූවාය.

“ගෙදරින්….. මම බිය වීමි.අම්මාගේ හදිසි මරණයේදී පවා හිත්පිත් නැතිව විදුලි පණිවිඩයක් එවු අයියාගේ හදිසි සත්ත්ව කරුණාව කුමක්දැයි මම කල්පනා කළෙමි.

“ගෙදරින් කිව්වට ඉතින් වෙන්ඩ ගෙදරින්ද කොහෙද.හැන්ඩි කොල්ලෙක්“

“අප්පද බොල හිමිකාරයා අදම කැන්දන් යයිද දන්නෑ……. මංගලම් ජය මංගලමි…“නිශානී සිනාසෙන්නට වූයෙන් ඒ කෝලම් වලට මටද ඉබේම සිනා යන්නට විය.නමුත් සිනාව පලා ගිය කැළුම්ගේ මුහුණ දුටු මට දැනුනේ වේදනාවකි.ඔහු සිය හැඟීම් හෙලි කරන තුරු අප දෙදෙනාම මෙසේ වේදනා විඳිනු ඇත.

“මට කොහෙද කොල්ලෝ…මාව හොයාගෙන එන්න ඇත්තේ මාරයා තමයි…“මම එය කීවේ කැළුම්ගේ සිත හැදෙනු සඳහාම වුවත් මා දෙස හෙලූ අවිශ්වාසය හා වේදනාව මුසු බැල්ම දිගින් දිගටම මට පීඩා කළේය.

“මාරයා වුනත් මොකෝ හැන්ඩියා නම්“ යලිත් සිනා සාගරයකි.

සැබවින්ම මා සොයා ආ තරුණයා කවරෙක්ද?මට වඩා බොහෝ වැඩිමහල් මගේ අයියලා මේ වන විට තරුණයෝ නොවෙති.
මිදුලේ වූ නවීන පන්නයේ රථය ඔහු සාමාන්‍ය යෙකු නොවන බව කියා පායි.ඈත කඳු දෙස නිසලව බලා සිටින ඔහු කවුද?
පිළිවෙලට හැඳ පැළඳ සිටින මේ තරුණයා දුටු මම ගෙදර දමා ආ පුහු ආටෝප සාටෝප සියල්ල ආපසු කැඳවා ගතිමි.

“මිස් මේඛලා කරුණාරත්න…?මම හිස වැනීමි.මවිතය මගේ කතා කිරීමේ හැකියාව උදූරාගෙන තිබීණි.

“මම නදීක ගොඩමාන්න…හේ අත දිගු කලෙන් මම එය අල්ලා සෙලවීමි.නමුත් ඒ නමින් කිසිවක් අදහස් නොවේ.ඒ නම මට ආගන්තුකය.

“මම ………………… මැඩම්ගේ පණිවිඩයකට ආවේ.

“කාගේ……….?“මට එක්වරම නොසිතා කියවුනත් ඊලඟ නිමේෂයේදී ඒ මුහුන මා ඉදිරියේ මැවී පෙනිනි.ඈ මගේ මතකයේ ගැඹුරුම පත්ලේ නිධන් ගතව ඉන්නට ඇත.නමුත් මවිතයට පත් තරුණයා මා වෙත දිගු කළේ හතරට නැමූ සුදු පැහැ කඩදාසියකි.ඒ මරණ දැන්වීමකි.මියගොස් සිටින්නී ඈය.

මා මෙතෙක් කල්ම ඈ අමතක කලේ ඇයි?මා මෙතරම් නොසැලකිලිමත් වූයේ කෙසේද?මා මේ ජීවිතය පිළිබඳ ස්තුති කල යුත්තේ ඇයටයි.නමුත් මට ඒ යුතුකම මඟ හැරුනේ කෙසේද?එකල ඇය මට කෙතරම් වැදගත් වූවාද?එතෙක් මා නොදුටු ජීවතයේ ගැඹුරුතම හා සංවේදීතම ඉසවු ගවේශනය කරමින් මනුශ්‍යත්වය යනු කුමක්දැයි මට අවබෝධකර දුන්නේ ඈ නොවේද?මගේම මවගෙන් නොලද ආදරයක් රැකවරණයක් ලබා දෙමින් මට සැබෑම මව වූයේ ඈ නොවේද?ඈ වෙතින් ලද පන්නරය මානව දයාව නොවෙන්නට මේ සා දුෂ්කර පලාතක මේ සා අපිරිසිදු දරුවන් රොත්තකට ආදරය දීමට මට නොහැකි වනු ඇත.ඇගේ ජීවන දර්ශනය දිනෙන් දින සත්‍ය වෙමින් පවතින යුගයක මට ඈ අහිමි වී ගොස් ඇත.

මගේ පුහු මානය සහ නොසැලකිල්ල නොවූවා නම් ඈ වෙත සිව ගොස් මා ඈට කෙතරම් ආදරේදැයි,ඇය මට කෙතරම් වැදගත් දැයි කීමට හැකි වනු ඇත.එසේ නම් ඇගේ මරණය මට මෙතරම් කම්පනයක් නොවනු ඇත.එය මුසාවක් බව විහිළුවක් බව දැන් දැන් ඔහු කියනු ඇසීමට මට විය.නමුත් නාඳුනන තරුණයා බැරෑරුම් මුහුනින් මදෙස බලා හිඳී.සියල්ල සත්‍යකි.සියල්ල සත්‍යකි.ඈ සදාකාලයටම මට අහිමි වී ගොස්ය.මට මගේ කටහඬ අහිමි වී ගොස් ඇති සේය.උගුරේ හිරවී ඇති බව දැනුනු ගුලිය ගිල දැමීමට දෙතුන් වරක් වැරෙන් කෙල ගිල්ලද සිදුවූ යහපතක් නම් නැත.සහාසික අතක් මගේ හදවත අන්තිම ලේ බිඳුව දක්වා මිරිකනු දැනෙයි. අදෘශ්‍යමාන කක්ෂයක් වටා භ්‍රමණය වී සුදු පැහැය පමණක් ලෝකයේ ඉතිරිවනු මට පෙනිනි.ඒ අහු අස්සේ කැළුම්ගේ මුහුණ මා දුටුවේ සිහිනයෙන්ද?ඔහු තවමත් කථාව නොනවත්තයි.බිම බලාගෙන සිටින ඔහුට මගේ වෙනස නොදැනේ.

……තියනවා.නමුත් ඔයාට එයාගේ ආභරණ සේරම පවරලා.මෙතන තියනවා මුතු මාල…….“

මම අත ඔසවා ඔහු නැවැත්වීමි.අවසානයේ මම මගේ කටහඬ සොයා ගතිමි.

“එයා නැතුව ඕවා මොකටද..එයයි මගේ ඇත්ත අම්මා….“ මගේ යැයි හදුනාගත නොහැකි හඬකින් ඒ ඇසුවේ මාමද“

ඔහුගේ හඬද මුදු විය.වෘත්තීය කබොල්ල ඉවත දමා හැබෑ මිනිසෙකු සේ මුල් වරට කථා කලේය.

“මටත් එහෙමමයි නංගී“….

මට ඇගේ දේපල ඇවැසි නොවීය.මා උවමනාවටත් වඩා ධනවත් බව ඈ දැන සිටියාය.මවු පිය ඇවෑමෙන් මා නිකන්ම කෝටිපතිනියක් වනු ඇත.

ඇගේ මරණය තෙක්ම මම ඈ අමතක කළෙමි.නමුත් ඇය මරණ මංචකය තෙක්ම මගේ මතකය රැගෙන ගොස් ඇත.මට මා ගැනම ඇති වූයේ තරහකි.ඔහු දිගු කල ආභරණ පෙට්ටියෙන්ම ඔහුට දමා ගැසීමට ම උවමනා විය.මගේ හදවත රිදවූයේ මගේම ආත්මාර්ථකාමී බවයි.එය සිහිපත් වූයේ ඔහුගේ පැමිණීම නිසාය.ඔහු පීළිබඳ මට තරහවක් ඇති වූයේ එබැවිනි.

අකපට සිනාවක් සමඟ පංති කාමරයට කඩා වැදුනු කාර්යයාල සේවකයා ඔහු දෙසට තැඹිලි ගෙඩියක් දිගු කලේය.ආගන්තුකයා ස්තූතිපූර්වකව එය ඩැහැ ගත්තේය.කොළඹ සිට ආ දුර ගමන ඔහුට විඩාවක් වන්නට ඇත.නමුත් ඔහුට සත්කාර කිරීමට පවා මට අමතක විය.

“කොහෙන්ද සරණපාල මේ හදිස්සියේ තැඹිලි“…?

“කැළුම් මහත්තයා ගෙන්න ගත්තේ…..“ ඔහුගේ සංවේදීත්වය මා සනසන්නක් විය.මා කලයුතු දේ මට නොහැකි අවස්ථාවල මා වෙනුවෙන් ඉටු කරන කෙනෙකු ජීවිතයට සවිමත් අත්වැලක් වනු ඇත.

“විස්තර ඕන නෑ මහත්තයා ..බොහොම ස්තූතියි මෙච්චර දුරට මාව හොයාගෙන ආවාට..ඒත් මට මේ දේවල් ඕන නෑ..මට ඇති තරම් ආභරණ මුදල් තියනවා..“

“මැඩම් කිව්වා ඔයා එහෙම කියයි කියලා.ඒත් ඔයාගේ අනාගතේදී ඕන වෙයි කියලා කොහොම හරි බාර දෙන්න කීවා…“එය නියත විවරණයක් බඳු විය.මගේ සදාදරණීය කැළුම්ගේ ජීවිතය දෑවුරුද්දකින් දිගු කිරීමට ඒ ආභරණ හේතු විය.

“මේ ටික බාර ගත්තා කියලා මෙතනින් අත්සනක් දාන්නකෝ…“

“ස්තූතියි .. කරදර වුනාට..“මම පෑන අතට ගනිමින් කීමි.

“මම මැඩම්ට පොරොන්දු වුනා නංගී…මට මැඩම් අම්මාකෙනෙක් වගේ“

ඔහු පැමිණියා සේම නික්ම ගියේය.මෙය බොරුවක් බව සිහිනයක් බව සිතන්නට මට උවමනා විය.නමුත් ඒ හැම වරකම මා ඉදිරියේ දිස් වූ පාර්සලය එය සත්‍යක් බව මතක් කර දුන්නේය.තාමත් නැගිටිමට දෙපා වාරු නැත.මට තව එක වරක් තවත් එකම වරක් මට ඈ දැකීමට හැකි නම්….උගුරේ හිර වූ ගුලිය දැන් දැන් පපුවටද බරකි.කඳුල හිස් කබල වටා රොක් වුනු මුත් දෑස පරිසරය පීලිබඳ සලකා ඒවා වැගිරුවේ නැති බැවින් හිස පුපුරන්නාසේ වේදනා දුන්නේය.මම හිස ඩෙස්කුව මත තබා ගතිමි.

යමෙකු මගේ උරහිසින් අල්ලා සොලවන්නට විය.“මේනු මේනු………මේනු“

මම හිස ඔසවා බලන කල කැළුම් ආපසු දුවමින් විය.මගේ පියවි සිහිය මා කරා ගෙන ඒමට කැළුම්ගේ කලබලය සමත් විය.“ඔබට ස්තූතියි කැළුම්“ කීමට මට උවමනා විය.කලබල වීමට තරම් ප්‍රශ්ණයක් නැති බව කීමට මට උවමනා විය.ඒත් හඬ උගුර තුලම ගොළුවී ගියේය.මම යලි හිසට ඩෙස්කුව වාරු කළෙමි.යමෙකු පිටුපසින් සිට මා එසවූයේය.ඒ සමඟම සීතල වතුර පොදක් මුහු‍නේ තැවරිනි.ඒ සීතල මට දරා ගැනීමේ ශක්තිය ලබා දුන්නෙන් මම සිටියහ.

“ඔයාට දැන් කොහොමද මේනු“

“ඔයාට මොකද වුනේ මේනු“

මම දම්මිගේ දෑත මිරිකා ගතිමි.තවමත් පාර්සලය ඩෙස්කුව මතය.එය සිහිනයක් නොවේ.එය සිහිනයක් නොවේ.

“අනේ මේ ඇයි බබා… මට ඔයාට උදව්වක් ‍ වෙන්න මොනවද කරන්න පුළුවන්“කැළුම්ගේ හඬ වේදනාවෙන් පිරී තිබිනි.

“බබා“ ඇයත් සමහර විට මට අමතා ඇත.“අනේ බබෝ“යි කියමින් ඈ ම‍ගේ සියළු නොදැනුවත් කම් ඉවසුවාය.

සුපුරුදු ඇමතුම උගුරේ ගුලිය දිය කරන්නට ඇත.අවසානයේ අවසානයේ අවසානයේ කඳුළු ආවේය.දම්මි මගේ මුහුණ සිය සිරුරට තද කර ගත්තාය.

“බය වෙන්න එපා මේනු..ඔයාගේ ඕන දේකට අපි ඉන්නවනේ“.ඈ මගේ කඳුළු පිසිමින් කීවාය.

ඒ වන විට මම සම්පූර්ණයෙන්ම පියවි සිහියට පත්ව සිටියෙමි.මරණ දැන්වීම කැළුම්ගේ අතේ විය.එහෙත් ඔහු කිසිඳු ප්‍රශ්ණයක් නෑසුවේය.ඊට හේතුව ඔහු මට පැහැදිලි කලේ ඊට වසර ගනනාවකට පසුවය.“ඔයා මට ඒක කියන්න සුදුසු නම් කියාවි කියලා හිතුනා.ඔයාගේ දේවල් බලෙන් හාර අවුස්සන්න මට හිත දෙන්නෑ.“ ඒ වන විටත් ඔහු එසේම වී සිටියේය.ඔවු මිය යන තුරුම ඔහු එසේම වී සිටියේය.

“අපි ඔයාව ගෙදරට කරන්නම්“…“මට යන්න පුළුවන්.දැන් ඔය දෙන්නටම පන්තිත් තියවනේ““පිස්සුද ළමයෝ අපි එනවමයි…“

ඒ වන විටත් තෝන්තු ගතියෙන් සිටි මට ඔවුන්ගේ අවධානය ශක්තියක්ම විය.ඔවුහු මාව ගෙදරටම කළහ.සිරියා අක්කත් බණ්ඩා අයියත් හේනට යන්නට ඇත.එහෙයින් කෙළවරක් නැති සැලකිලි හා ප්‍රශ්න වලින් මිදීමට මට හැකි විය.

මම ඇඳේ දිග ඇදුනේ හිතේ වෙහෙස ගතටද දැනුන නිසාය.අනවසරයෙන්ම ඇඳ මත වාඩි වූ කැළුම් මගේ හිස මුදුව පිරිමදින්නට විය.

“මේනු … ඔයා දුකින් නේද?ඔයා දන්නවද දුකට තියන හොඳම බේත් තමයි කාළයයි,කඳුළයි…ඇති තරම් අඬන්න.කඳුළුත් එක්ක දුකත් පිටවේවි…“ඔහු මගේ පිට අත ගාමින් මට දිරි දුන්නේය.එ සා ආදරණීයව මගේ සිරුරට අත තැබූ අනෙක් එකම තැනැත්තිය දැන් මියගොස්ය.සදාචාරයේ සීමා මායිම් හැඟීම් විසින් අමතක කරන ලදුව මම හඬාගෙනම ඔහුගේ උකුලට බර වීමි.

“ඇති තරම් අඬන්න මේනු..අද ඇස් වලින් අඬලා දුක තුනී කරගෙන හෙට හිනාවෙලා ඉස්කෝලෙට එන්න.මේ දරුවන්ට ඇති වෙන්න කඳුළු තියනවා.අපියි එයාලට හිනාව දෙන්න ඕන.“

“අනේ කැළුම් ….. අනේ…“

“අඬන්න මීනු කමක් නෑ…..ඔහුගේ ග්‍රහණය දැඩි විය.ඔයාට මාව විශ්වාස නම් ඔයාගේ දුක සැප දෙකම බෙදා ගන්න සංසාරෙ පුරාවටම මම ඔයා ළඟින් ඉන්නවා…දැන් නිදාගන්න.

ඒ වදන් මගේ සිතට ගැඹුරින් දැනිනි.“මම ඔයාට ආදරෙයි..මම ඔයාට කැමතියි…අපි බඳිමුද?යන සුළභ වදන් වලින් ඔබ්බෙන් වූ හෘදයාංගම බවක් ඒවායේ විය.මා තනිවී නැතැයි යන හැඟීම මා සැහැල්ලු කළේය.

“හැම ජීවිතයක්ම තාවකාලිකයි…මැරුණු කෙනා ගැන දුක් වෙන්න හේතුවක් නෑ.එයා කරපු කියපු දේවල් එක්ක බලද්දී එයා දුගතියට යන්න කිසිම හේතුවක් නෑ…ඔයාට ඒ ගැන හිතලා හරි සතුටු වෙන්න පුළුවන්….“මගේ හිස පැළඳි කොණ්ඩ කටුව ගලවා කොන්ඩය ලිහිල් කළේය.අනතුරුව හිස මුදුව පිරිමදින්නට විය.

මම දෑස් පියාගතිමි…අවදිව බලන කල කිසිවෙකු මා අසල නොවීය.පිළිකන්න දෙසින් නැගෙන සද්ද බද්ද ගේනට ගිය අයගේ නැවත පැමිනීම කියා පෑවේය.මම වහා නැගී සිටියෙමි.එතරම්ම රෑ වෙලාද?අඳුර යන්තමින් ගෙට එබිකම් කරමින් සිටියි.වහා නා ගත යුතුය.දැනටමත් ප්‍රමාද වැඩිය.තවත් ප්‍රමාද වුවහොත් වල් අලි පැමිනෙනු ඇත.

නින්ද මගේ දුක අඩු කළේය.නෑම මගේ සිත සැහැල්ලු කළේය.සිරියා අක්කගේ කහට කෝප්පය මා තැන්පත් කළේය.

මට නින්ද ගිය පසු මට සටහනක් තබා නිම්මිත් කැළුමුත් යන්නට ඇත.

“මේනු මගේ රත්තරං මම දන්නවා ඔයාගේ හිත.මට ඔයාව දැනෙනවා…ඔයාගේ දුක මටත් දුකක්..නොකා නොබී අඬ අඬ ඉන්න එපා….මම ඔයා නිදි අතරේ ඔයාගේ නලලට චූටි උම්මා එකක් දුන්නා… තරහා නෑ නේද?හැමදාටම ඔයාගේ දුක කඳුල සතුට හිනාව සේරම මගෙත් බව මතක තියා ගන්න.බුදු සරණයි….ී

යටින් නිම්මි තම ලොකු අකුරින් මෙසේ ලියා තිබිනි.

“ඇති යන්තම් ….. ගුඩ් ලක්….“

ඇගේ මරණය විසින් මට වඩාත් සුන්දර වඩා අර්ථවත් ජීවිතයක් ඉතිරි කර තබා තිබිණි.

ගෙදරින් ගෙනා ඉටි පන්දමක් දල්වා ගත් මම පාර්සලය විවෘත කළෙමි.ඇගෙන් කිසිවක් බලාපොරොත්තු නොවූ මට ඈ එවා තිබුනු ලක්ෂ ගනන් වටිනා ආභරණ වදයක් විය.එය යලිත් නොදකිනු වස් එය ඇඳුම් පෙට්ටිය පතුලේම නිධන් කළෙමි.යලිත් මා ඒවා දැක්කේ එක් වරක් පමණි.ඒ වන විට මගේ සදාදරණියයා ජීවිතයත් මරණයත් අතර සිටි බැවින් මට වැදගත් වූයේ එහි මූල්‍ය වටිනාකම පමණි.ඉන් පසු යලි කවරදාකවත් මා ඒවා දුටුවේ නැත.

නමක් නොකියා භාර දුන් පාර්සලය දිග හැරියේ කුතුහලය මැඩගතනොහැකිවමය.එය රෝල් කරන ලද කඩදාසි පොදියක් විය.එය මගේ පවුල හැර මා ජීවිතයෙන් ලද වටිනාම දෙය විය.කැළුම් හැර මා ජීවිතයේ ලද එකම ශක්තිය විය.ජීවිතයේ අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්

මැද කැළුම්ගේ මතකයත් මේ පොතත් මා ජීවිත් කළේය.

මම මහත් බැතියෙන් ඒ අකුරු සිප ගත්නෙමි.

“ආදරණීය බබෝ“

ආමන්ත්‍රණය එසේ විය.අතිශය සංවේදී විමට මානුෂික වීමට මට මගපෙන්වූයේ ඇගේ ඇසුරයි.නමුත් තව ඉදිරියට මට මඟ පෙන්වීමක් නැත.දයාව දැක්වීමට ,සෙනෙහස දීමට සමාව දී ,සමාව ඉල්ලා ඉදිරියට යාමට යලිත් මඟ පෙන්වීමක් නැත.නමුත් මා වැරදි බව පසුවදාම මම වටහා ගතිමි.

මංමුලා සෙවනැලි 2 කොටස

මංමුලා සෙවනැලි 1 කොටස 

http://wkwijeratna.blogspot.com/2015/04/3_29.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල