විද්‍යා හා තාක්ෂණ

නොයනු මැනවිදා තනිකර එළියේ!

Off

නොයනු මැනවි දා, තනිකර එළියේ කියන කොට විවිධ තේරුම් දෙන්න පුළුවන්. පොඩි කාලේ “මැනවිදා” කියන්නේ කවුද කියලයි මා කල්පනා කළේ. හිරුගෙන් ලැබෙන බලශක්තිය නොමැති නම්, පෘථිවියේ ජීවය බිහි වන්නේත් නැහැ, පවතින්නේත් නැහැ. තනිකර එළියේ මෙන්ම තනිකර අඳුරේ ඉන්නත් අපට නොහැකියි.

අපට “එළිය” සපයන ඒ හිරු, අපව දවාලන්නේ නැතුව හා ශීතලෙන් මිරිකන්නේ නැතුව, අප‍ට “අවශ්‍ය රස්නය” සපයන්න ප්‍රශස්ත දුරකින් පැවතීම පමණක් නොවේ, අපේ පෘථිවියේ අනෙකුත් තත්ත්ව අපට එනම්, ජීවීන්ට අවශ්‍ය අයුරින් පමණක් නොවේ, මිනිසාගේ දියුණුවට අවශ්‍ය බලශක්තිය පවා නොයෙක් ආකාර වලින් තිබීමේ හැකියාව කොතරම් විරල ද? සමහරවිට විශ්වයේ මෙවන් තත්ත්ව තිබිය හැක්කේ මෙහිම විතරක් වෙන්න පුළුවන් කියන්නෙත් අන්න ඒ නිසාමයි.

මිනිසාගේ ප්‍රාථමික දියුණුවට අවශ්‍ය තරම් පොසිල ඉන්ධන ගබඩාවක් තිබීමත් කොතරම් අහම්බයක් ද, නැත්නම් මැවුම් කරුවාගේ සැලැස්මේ කොටසක් ද කියා සිතීම ඔබටම බාර කරන්නම්. දැන් මේ පොසිල ඉන්ධන ගබඩා වීමත් අපේ පැවැත්ම සහතික කරන අංගයක්. හැබැයි, මේ ආපු විදිහට ඉදිරියට ගියොත්, එයම අපේත් විතරක් නොවේ, අනෙක් සියලුම ජිවයන්ගේත් අවසානයත් සහතික කර දෙන්න ඉඩ තියනවා. නමුත් මා නම් සිතන්නේ, මනුෂ්‍යයා මෙයටත් විසදුම් සොයා ගන්නවා ඇති කියලයි. හැබැයි අපගේ අසීමිත කෑදරකම සමහරවිට වැඩේ දෙල් කරන්නත් ඉඩ නැතුවා නොවේ. පොදු යහපත ඉදිරියට එන සාමූහික විසදුම් සොයා ගන්න බැරි වුණොත්, දෙවෙනි උපකල්පනය තමා හරි යනු ඇත්තේ.

මා සමහරවිට මධ්‍යම පාංතික තේරීම් පිළිබඳව ලියන්නට අකමැති, මධ්‍යම පාංතික විසඳුම් ද, රටවල් අනුව වෙනස් වන නිසා. නමුත් සිංහල භාෂාවෙන් ලියවෙන බොහෝ බ්ලොග්, කතෘ ජිවත් වන රට කුමක් වුවත් වැඩිපුර කැරකෙන්නේ ලංකාවේ දේශපාලනය වටේ විතරයි. මෙය එක්තරා අයුරකින් හානිදායක තත්වයක්. මට නම් ලංකාවේ දේශපාලනය එන්න එන්නම දුරස්ථ වෙමින් පවතිනවා. සමානුපාතිකව, ඒ කරුණු වලටම සීමා වුණු සිංහල බ්ලොග් වලින් ද මා දුරස් වෙනවා. ඒ අනුව (දැනටත් අඩුවෙන් කියවන) මේ බ්ලොගයත් ඔබෙන් තවත් දුරස්ථ වුණොත් එය පුදුමයක් නොවේ.

ගෘහස්ථ බලශක්තිය හා එයට අපට වැය කරන්නට වන මිල දිගින් දිගටම ඉහල යාම අප ජිවත් වන රට කුමක් වුවත් විශාල ප්‍රශ්නයක්. මේ ගැන මා කරපු පොඩි සඳහනකට, මෙල්බර්න් නුවර පාඨකයෙක් ලියා තිබුණා, පොඩ්ඩක් ඒ ගැන ලියන්න කියල. ඇත්තටම අප ජිවත් වන පරිසරයේ තියන හා සිදුවන මේ දේවල් අප ලියන්නේ නැති වීම එක අතකින් දෛවයේ සරදමක්.

වසර 2010 දී පමණ අර ගෙයින් ගෙට යන වෙළඳ ප්‍රවර්ධකයෙක් අපේ ගෙදර දොරටත් තට්ටු කෙරුවා. ඔහු මෙහි තියන සුර්ය බලශක්තිය එනම් සූර්ය කෝෂ විකුණන සමාගමක නියෝජිතයෙක්. මේවා ගෙවල් වලට ගොස් විකිණීමෙන් මෙයාල කොම්පැනියෙන් පඩියක් හා කොමිෂන් එකක් ලබනවා.

දැන් මෙයා එක්ක නිකමට කතා කරපුවහම මේ කියන සෝලර් පැනල් (පොඩිම ඒකකය) සවි කර ගන්නත් යන ගාණ හරිම සැරයි. එම ගාණ නැවත ලබන්න එනම් රිකවරි කර ගන්න යන කාලය අවුරුදු 8-9 ක් පමණ වුණා. මේ කියන්නේ මා එවෙලේ හදපු දල ගණන් බැලීම් වලින්. ඒ නිසා ඒ ගැන මට උනන්දුවක් ඇති වූයේ නැහැ.

ඔන්න ඔහොම ඉන්න විට වසර 2013 විතර වන විට සොලර් පැනල් නැත්නම් සූර්ය කෝෂ වල මිල විශාල ලෙස පහත වැටුණා. පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයට රජය ගත් පියවරත් එයට හේතු වූවා.

මේ ගෙවල් වල වහලය උඩ සවි කරන සූර්ය කෝෂ වලින් නිපදවෙන බලශක්තිය එක්කෝ එවෙලේම පාවිච්චියට ගන්න ඕනේ, නැත්නම් ප්‍රධාන ධාරාවට එකතු කරන්නට ඕනේ. දැන් මේ අපට විදුලිය දෙන සමාගම් ද විශාල මුදලක් වැය කරන්නේ, විදුලි බලය ජනනයට හෝ ජනනය කරපු විදුලි බලය මිලදී ගැනීමට නොවේ. මේවා බෙදා හරින ජාලය නඩත්තුවටයි.

වහලය උඩ සවි කෙරෙන සුර්ය කෝෂ වලින් නිපදවෙන විදුලියත් මේ ප්‍රධාන ජාලයට එකතු කෙරෙන ක්‍රම දෙකක් තියනවා. එකක් තමා නිපදවෙන සියලුම විදුලි බලය ප්‍රධාන ධාරාවට එකතු කිරීම. එතකොට ගෙහිමියා තමන්ට අවශ්‍ය විදුලිය සමාගමෙන් ගන්නවා. තමන් නිපදවන විදුලිය සේරම අර සමාගමට දෙනවා. ඒ කොටස වෙනුවෙන් නිවැසියාට ගාණක් ආපසු ගෙවනවා (ග්‍රොස් මීටරින් සිස්ටම්).

අනික් විදිහ තමා, වහලයෙන් එන විදුලිය ගෙදර පාවිච්චිය තමා මුලින් ගන්නේ. එහෙම අරන් ඉතිරි වන කොටස, ප්‍රධාන ජාලයට එකතු කරනවා. ඒ එකතු කරන කොටසට නිවැසියාට ගානක් ලැබෙනවා (නෙට් මීටරින් සිස්ටම්).

දැන් මුලින් කියුව ක්‍රමය, එනම් ග්‍රොස් මීටරින් කියන ක්‍රමය ක්‍රියාත්මක වුනේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ හා කැපිටල් ටෙරිටෝරියේ පමණයි. සුර්ය කෝෂ ප්‍රචලිත කරන මුල් අවධියේ, අපට විදුලිය අලෙවි කරන සමාගම්, වහලේ නිපදවෙන විදුලිය මිලදී ගැනීමට ගොඩක් ත්‍යාග ශීලි ගාණක් ගෙවුවා.

උදාහරණයකට ගෙදරකට සිල්ලරට විදුලිය කිලෝ වොට් එකක් ශත 30 ට වගේ විකුණන විට, ගෙදර හදන විදුලිය ඔවුන් ශත 60 කට වගේ මිලදී ගත්තා. එතැනදී රජයේ වෙනත් ප්‍රවර්ධන වැඩසටහන් ද බලපෑවා. සුර්ය කෝෂ වල මිල පහත වැටීම හා පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරා ගැනීමෙන් පසු රජයේ බලපෑම ක්‍රමයෙන් ඉවත් වන විට, වෙළඳ පොළේ සරල නියාමනයන් ක්‍රියාත්මක වෙන්න ගත්තා. එතකොට දෙයක් ශත හැටකට අරන්, ශත 30 ට විකුණන එක කරන්න බැහැනේ.

ඔන්න ඔය වෙනස සිදු වුනේ වසර 2012/2013 දී විතර. වසර 2013 මැදදී, කැන්බරා ප්‍රාන්ත රජයත් තීරණය කෙරුවා, අර ග්‍රොස් මීටරින් වලින්, නෙට් මීටරින් වලට යාමට විදුලිය සපයන සමාගම් වලට අවසර දෙන්න. ඒ සඳහා දිනයක් නියම කර, එදිනට කලින් ලියා පදිංචි වන සියලුම දෙනාට, ග්‍රොස් මීටරින් යටතේ, විදුලිය විකුණන මිලටම, මිලදී ගන්න විදුලිය සඳහා ගෙවන්නත් පොරොන්දු වුණා.

මෙන්න මේක හරිම වැදගත්. මොකද කියනවා නම්, මේ වන විට ඕස්ට්‍රේලියාවේ විදුලිය සිල්ලරට විකුණන සමාගම්, ගෙවල් වල වහලයෙන් නිපදවන විදුලිය සඳහා ගෙවමින් සිටියේ, ඔවුන් විදුලිය තොග මිලට ගන්නා ගණන. උදාහරණයකට කියුවොත්, ඔවුන් අපට විදුලිය සිල්ලරට විකුනන්නේ ශත 20 (කිලෝ වොට් 1) ට කියමු. හැබැයි ඒ ඒකකය ඔවුන් තොග මිලට ගන්නේ ශත හතකට වගේ ගාණකට. එතන තියන පරතරය තමා, ඔවුන්ගේ නඩත්තු කටයුතු, සේවක පඩි හා ලාභය.

දැන් එහෙම එකේ ඔවුන්ගේ සිල්ලර මිලටම, අපගේ වහලයෙන් නිපදවෙන විදුලිය ගැනීම කියන්නේ ජැක් පොට් එකක්. මෙන්න මේ අවසාන දවසේ තමා මා ලියාපදිංචි වුණේ. එහිදීත් වසරවසාන සේල් එකකින් වට්ටමකට සූර්ය කෝෂ මිලදී ගන්නත් මට පුළුවන් වූවා.

මගේ දත්ත වලට අනුව, මේ කුඩා ආයෝජනයේ වාර්ෂික ලැබීම 15% ක් වගේ. එනම් බැංකුවක ඒ මුදල දැම්මට හෝ වෙනයම් දෙයක ආයෝජනය කෙරුවට වඩා වැඩි පොලියක් ලැබෙනවා. ඒ විතරක් නොවේ, එයට අප බදු ගෙවන්නෙත් නැහැ. අනික තමා අප යන්තමින් හෝ ලෝකයේ වඩාත් පරිසර හිතකාමී බලශක්ති ජනනයක් වෙනුවෙන් දායක වෙනවා.

මෙවැනි පරිසර හිතකාමී විසඳුම් වල දැනට තියන ප්‍රධාන ප්‍රශ්නය නම, ඒවා ආර්ථික ලෙස වඩාත් හිතකාමී විසඳුම් නොවීමයි. බලන්න, ඔබ වහලයේ නිපදවන විදුලිය කොතරම් පරිසර හිතකාමී වුවත්, එය ශත 7 කට විකුණලා, ශත 20කට “එතරම් පරිසර හිතකාමී” නොවන විදුලිය මිලදී ගන්න ඔබ සුදානම් ද?

සූර්ය කෝෂ විදුලියේ ප්‍රධාන ප්‍රශ්නයත් මෙයමයි. සතියේ දවස් වල දෙන්නම රැකියාවට යන ගෙදරක වහලයෙන් දවල් කාලයේ නිපදවෙන විදුලිය යන්නේ ප්‍රධාන ජාලයට. උදාහරණයට අපට ලැබෙන්නේ ඒකකයට ශත 7 ක් (මේ මිල තමා අපට විදුලිය සිල්ලරට විකුණන සමාගම්, තොග මිලට විදුලිය මිලදී ගන්නේ. විවිධ ප්‍රාන්ත වලත්, ප්‍රාන්ත ඇතුලේ විවිධ සමාගම් වලත් මේ මිල ගණන් වෙනස්). ඔන්න දැන් හවසට ගෙදර ඇවිත් පාවිච්චි කරන විදුලි ඒකකයකට, අර සමාගමට ශත 20 ක් ගෙවනවා. කොලා නේද? කලින් කියුවා වගේ මෙතන තියන ප්‍රශ්නය තමා වහලයේ නිපදවෙන විදුලිය අපට ගබඩා කර ගන්න බැරි වීම. එහෙනම්, සමාගම් වලට බම්බු ගහගන්න කියල, ගෙදරම විදුලිය නිපදවාගෙන, ගබඩා කරගෙන, අවශ්‍ය වෙලාවට පාවිච්චි කර ගන්න පුළුවන්.

ඇත්තටම සුර්ය බලශක්තිය ගබඩා කරන්න හැකි ක්‍රමවේදයන් තියනවා. මහා පරිමානව මෙවැනි ගබඩා කිරීම් කෙරෙන ව්‍යාපෘතීන් අදත් ලෝකයේ තියනවා. මේ තාක්ෂණයන් මිලෙන් අධිකයි. ගෙවල් වල වහලයේ ජනනය වන විදුලිය ගබඩා කර ගන්නත් බැටරි තියනවා. මේවා මිලෙන් අධිකයි. ඒ කියන්නේ අතින් කාල, ණයට හරක් බලන්නයි වෙන්නේ.

මා අද රූපවාහිණියේ අහපු ප්‍රවුර්තියක කියවුනේ, ඉහත ප්‍රශ්නයටත් දැන් විසදුම් ලැබෙමින් තියනවා කියලයි. එනම් මෙතෙක් කල් කිට්ටු කරන්න බැරි තරම් ඉහල තිබූ, සූර්ය විදුලිය ගබඩා කෙරෙන බැටරි වලත් මිල, පහත වැටෙමින් පවතින වග.

ආතල් එකේ ගෙවත්තේම එළවලු-පළතුරු ටිකක් වවාගෙන, කසිප්පු ටිකක් පෙරා ගන්න හා බ්ලොග් ලියන්න විදුලිය නිපදවා, ගබඩා කර ගෙන ගත කරන ජීවිතය මාර පරමාදර්ශීය එකක් වන්න පුළුවන්. එයට කලින් අපගේ ඉලක්කය විය යුත්තේ, මෙලොව පවතින නූගත්කම හා දරිද්‍රතාවය පලවා හැරීමයි. නූගත්කම පලවා හැරීම, දරිද්‍රතාවයෙන් මිදීමට අවශ්‍යම දෙයක්. මේ දෙකම පලවා හැරීමට නිවාස වල විදුලි බලය තිබීමත්, අවශ්‍යම දෙයක්.

https://raigamahandiya.wordpress.com/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල