කාලීන සංවාද, විශේෂ

මේ බෙහෙත නැද්ද ?

Off

ඉස්පිරිතාලය එකම දුක් ගොඩකි. ඔවුන්ගේ රෝගාබාද වලට පිළියම් සොයා පැමිණි ගමන් , විඳින දුක් කරදර අප හා පවසති. ඒවා ඇහුම්කන් දෙනවා මිසක සියල්ලන්ටම පිළිසරණක් වන්නට අපට නොහැකිය. ඒ අප පත්ව ඇති තත්වය නිසාය. ලෙඩක් දුකක් වුන වහා රජයේ රෝහල් වලින් නොමිලේ වෙදකම සැපයූවත් බෙහෙත් හේත් අහේනිය නිසා ෆාමසියෙන් මිලදී ගන්න යැයි තුන්ඩු ලැබෙන විට ඔවුන් පත් වෙන්නේ බොහෝ අසීරු තත්වයකටය. දිනක් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ෆාමසියකින් බෙහෙතක් ලබා ගැනීමට ගිය එක්‍තරා වෛද්‍යවරියකට එහි කවුන්ටරය වෙත තුන්ඩුවක් දිගු කරමින් සිටි සීයා කෙනෙක් හා ඖෂධ වේදියා අතර වූ කතා බහ ඇසෙන්න්ට විය.

“මා ළඟ එච්චර ගාණක් නෑ. රුපියල් සීයකට හරියන්න දෙන්න” සීයා පවසයි.

“ මේ එක කරලක් රුපියල් 23ක් වෙනවා, දවස් 5 කට ලියලා තියෙන්නේ හැබැයි එස් පී සී එකේ එක නම් රුපියල් 3.25 යි ඒක දෙන්නම්”

“නෑ ඔය නමම තියෙන බෙහෙතම ගන්න කීවා” සීයා පවසයි.

වෛද්‍යවරිය හඳුනන ඖෂධ වේදියා ඇය දෙසට හැරී. “ ඩොක්ටර් මේ බෙහෙත් දෙකේ වෙනසක් නෑනේ..” ඇයට තුන්ඩුව පෙන්වයි.

“මම දියවැඩියා ක්ලිනික් එකට එන්නේ නෝනා, කකුලේ තුවාලෙට මේ බෙහෙත ලියලා දුන්නා” සීයා පැහැදිලි කරයි.

එය තුවාලවලට දෙන ඇන්ටිබයොටික් එකකි. එය සුලභව රෝහල් වල තිබේ. ඔහුට මේ තුන්ඩුව ලියා දී තිබුනේත් රජයේ රෝහලක සායනයකිනි. දියවැඩියා පෙත්තද පිටින් ගන්න යැයි ලියා දී තිබිනි.

“මේවයේ වෙනසක් නෑ තාත්තා. එස්. පී. සී. එක ගාණ අඩුයි” වෛද්‍යවරිය කරුණු පැහැදිලි කර දෙන්නට උත්සහා ගත්තේ ඔහු කෙරෙහි අනුකම්පාවෙනි.
එස් පී සී (SPC) යනු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ බෙහෙත්‍ ය. ඒවායේ මිල සාධාරණය.

“වෙන ඒවා අරන් තුවාලේ හොඳ වුනේ නැත්නම්….මං ළඟ රුපියල් එකසිය විස්සයි තියෙන්නේ. දවස් දෙක තුනකට බෙහෙත් අරන් , ආයෙ ඇවිත් ගන්නම්” ඔහු විස්වාස කරන්නේ ලියා දුන් බෙහෙතම ගත යුතු බවය. ඉන් තුවාලය හොඳ වේයැයි ඔහුගේ මනසට කිඳා බැස තිබේ. ඖෂධවේදියාට පිංසෙන්ඩු වෙයි.

“දවස් දෙක තුනකටනම් බෑ එක දවසකට වගේ ගන්න පුළුවන්” ඔහු පවසයි.

“හා එක දවසකට දෙන්න මං ඇවිත් ඉතුරුවා ගන්නම්” මහළු වයසේ ඔහු විඳින දුක් කරදර මැනැවින් ඒ කඳුළු පිරි දෙනෙත් කියා පෑවේය. සීයා රුපියල් එකසිය විස්සක් සාක්කුවෙන් ඇද එදෙස බල බලා කල්පනා කර ඉන්පසු රුපියල් විස්සක් සාක්කුවට දමා ගත්තේය.

වෛද්‍යවරිය ක්ෂණික තීරණයක් ගෙන ඖෂධවේදියා ඈ දෙසට කැඳවා ඔහුට අවශ්‍ය බෙහෙත ඇගේ බිලට ඇතුල් කරන ලෙස පැවසීය.

“ආ සීයේ ඔක්කොම බෙහෙත් ටික… අර නෝනා අරන් දුන්නා…” වෛද්‍යවරිය බිල් ගෙවන කවුන්ටරයේ සිටින අතර ඖෂධවේදියා පවසනු ඇයට ඇසිනි.

කඳුළු පිසමින් ඔහු පිටව යන අතර වෛද්‍යවරිය ළඟ නැවතී “ ගොඩාක් පින් දුවේ” යැයි පැවසුවේය.

මෙවැනි සිදුවීම් නිසා අප හිත් සංවේදී වේ. දෑසට කඳුළු පිරේ. මොවුන්ගේ විශ්‍රාමික වයසේ නිදහසේ බෙහෙත් හේත් ලබා ගැනීමට ක්‍රමවේදයක් ඇවැසි වේ යැයි මට සිතේ. රෝගියාගේ සමාජ තත්වය සහ ආර්ථික අපහසුතා විශ්ලේෂණය කර වඩා සහනදායි ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතු වේ යැයි මට සිතේ. රෝහල් වලද ඖෂධ ඉවර වෙනකම් ඉන්නේ නැතුව කලින් ඇනවුම් කර ලබාගෙන ඒවා නිකුත් කරන ක්‍රමයක් ඇති කළ යුතුය.

මීට පෙර කිහිප වතාවක් මේ ගැන බ්ලොග් ලිපි ලියා ඇත්තෙමි… බෙහෙත් නැති වෙනකොට … එවැනි ලිපියකි.

http://anithkona.blogspot.co.uk/2015/05/blog-post_5.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල