කාලීන සංවාද, විශේෂ

විල්පත්තුව සුරකිමු | Protect Wilpattu

2

විල්පත්තුවට පත්තුවන මේ මොහොතේ සටහනක් තැබිය යුතුමයි සිතුනි. කියවන විට සිංහල ලේ කැකෑරෙන දේශප්‍රේමීන් සහ වීරවරයන් පරිස්සමට කියවිය යුතුය. ඔබ මම දන්නා පරිදි පසුගිය වර්ශයේ සිටම විල්පත්තු රක්ෂිතය පිළිබඳ වරින් වර අවදානය යොමු විය, ඒ රක්ෂිතයට අයත් භූමිය නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා යොදාගැනීම සම්බන්දවයි.පසුගිය රජය යටතේ ද විවිද සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් වනාන්තර එලිකිරීම කෙරුනු අතර ඉන් සිදුවුන සහ තවමත් සිදුවන පාරිසරික හානියසුළුප‍ටු නොවේ. මින් වඩාත් කතාබහට ලක්වූ පෝට් සිටි ව්‍යාපෘතියද අතරමඟ නැවැත්වීමට ( හෝ නවත්වන බව පෙන්වීමට) සිදු වූයේ විවිද පාර්ශවයන් ඒ සම්බන්දව හඬක් නැගීමට පටන් ගත් නිසා බව නොරහසකි.

දැන් ඊට නොදෙවෙනි ලෙස විල්පත්තුව සුරකිමු මැයෙන් බුකිය තුල සහ සමාජය තුල කතිකාවතක් නිර්මාණය වෙමින් පවතී. මෙහිදී සඳහන් කල යුතු කාරනා කිහිපයකි. පළමුවෙන්ම කිවයුතු වන්නේ ලාංකිකයින් ලෙස අප රටේ කුමන හෝ වනාන්තරයක් කුමන හෝ පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් බිලිගන්නේද, එයට විරුද්ද වීමට අප පසුබට නොවිය යුතුය. ඒ පිලිබඳව තර්කයක් නැත. බදියුදීන් වේවා සක්කරයා වේවා එහි වෙනසක් නොවිය යුතුය.

 

දෙවනුව, ඕනෑම ගැටළුවකට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරයක් තිබේ, බුකිය තුල හෝ බ්ලොග් ලෝකය තුල ජාති ආලය පෙන්වමින් කෑ ගැසීම පමණක් සියල්ලටම පිළිතුරක් නොවිය යුතුය.උදාහරනයක් ලෙස ගතහොත් ඊයේ දිනය වන විට විල්පත්තුව සුරකිමුත් සමඟ කියවෙන තවත් වදන් පෙලක් මම දු‍ටුවෙමි. එනම් බදියුදීන් හම්බයා වනසන විල්පත්තුව ‍රැකගනිමු යන්නයි.

මා පෙර සඳහන් කල පරිද්දෙන්ම විල්පත්තුව ‍රැකගන්නට නම් බදියුදීන්ගේ උප්පැන්නය කියවීමෙන් පලක් නොවේ. රටේ සම්පත් කවුරුන්හෝ වනසන්නේ නම් ඌ හම්බයෙකු වූවද බෞද්දයෙකු වූවද නීතිය එක ලෙස ක්‍රියාත්මක කරවිය යුතුය. එසේත් නොමැතිව මේ ප්‍රශ්නයටත් නානසාරලාව ගාවා ගැනිම විල්පත්තුවට ආදරේ කිරීමක් නොව අනුන්ට කඩේ යෑමක්ම වනු ඇත.

ආරංචි හැටියට මෙම ව්‍යාපෘතියද පසුගිය ආණ්ඩු සමයේ කටාර් රාජ්‍යය සමඟ ඇතිකරගත් ගිවිසුමක් මත ක්‍රියාත්මක වෙයි, එනම් මෙයට ආධාර ලැබෙන්නේ කටාර් රාජ්‍යයෙනි. මෙමගින් සිදුවන පාරිසරික හානිය සහ සත්ව ප්‍රජාවට සිදුවන හානිය ගැන සඳහන් කරමින් මෙයට ආයෝජනය කිරීම නවත්වන ලෙස දන්වා අන්තර්ජාලය හරහා පෙත්සමක් යොමුකරවීමට කටයුතු යොදා ඇත. හැකි නම් ඔබත් මේ සඳහා සහයෝගය ලබා දෙන්න.

මයිත්‍රීපාල සිරිසේන ජනපතිතුමන්ට යැවෙන පෙත්සම මෙතනින්

කටාර් රජයට යැවෙන පෙත්සම මෙතනින්

මා ආරම්භයේදි සඳහන් කර පරිද්දෙන්ම සිංහල ලේ කැකෑරෙන උන් පරිස්සමට කියවිය යුතුය, මන්ද යත් මේ වන විනාශයේදි සිංහල ලේ පමණක් කැකෑරී පලක් නැත,  සිංහල දෙමල මුස්ලිම් අප සැම ශ්‍රී ලාංකිකයෝ වෙමු. එසේ නම් මෙයට විරුද්දව බුද්ධිමත්ව කටයුතු කිරීම අප සැමගේ වගකීමකි. බයියන් ටොයියන් ලෙස මාස ගණනක් පුරා දේශපාලුවන්ට කඩේ යාම ට්‍රෙන්ඩ් එක වී ඇති මේ කාලයේ එකමුතු වී මෙම ගැටළුව විසඳීමට සියළු දෙනා එකතු විය යුතුය.මෙහි අවසන් තීරණය වත්මන් රජය සතුවන හෙයින් ජනපතිතුමන් මේ සම්බන්දව සොයා බලා නිසි විසඳුමක් ගෙනදෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු. රටේ පුරවැසියන් ලෙස මේ සම්බන්දව අප අවදිව සිටින බව පෙන්විය යුතු නමුත් එහිදී ඔබව ප‍ටු දේශපාලන අරමුණු ඉ‍ටුකරගැනීමේ ඉත්තන් වනවාදැයි විමසිලිමත් විය යුතුය. අවසන් වශයෙන් තවත් එක් කරුණක් සඳහන් කල යුතුව ඇත. විවිද දේශපාලන අරමුණු පසුපස ගොස් කෑගසන එන්ජීඕ සංවිධාන සහ පාරිසරික ක්‍රියාකාරීන් මේ සම්බන්ඳවද සොයාබලනවා නම් ඉතා වටී.

http://ganaandura.blogspot.co.uk/2015/05/protect-wilpattu.html

Related Posts

2 Comments

  1. කල්‍යාණ මිත්‍ර May 7, 2015 at 7:10 am - 

    ඉතින් කවුරුහරි යෝජනා කරන්නකෝ බ්ලොග් සංසදයේ මැදිහත්වීමේන් සමාජ මාධ්‍යකරුවන්ගේ එකමුතුවෙන් විරෝධයක් පවත්වන්න මේ ගැන. අපේ සහයෝගය දෙනවා 🙂

    • editor May 10, 2015 at 10:18 pm - 

      හොඳ අදහස කල්යනමිත්‍ර

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල