කාලීන සංවාද

රැජිණිගේ මිණිපිරී!

Off

රැජිණිගේ මිණිපිරී!

කාලෙකට පස්සේ ගොඩවුණා මූණු පොතට..ඔහෙලට කියන්න ආයිබොංඩ ..ආයිබොංඩ නේන්නම් වටින්නේ..රැජිණක් පහළ වෙච්චි එක ලේසි පහසු කාර්යක්ද බොලව්..

රැජිණක්?? මොකෝ අර සැටලයිට් වහන්තරාවට රජකමවත් ලැබිලද??

චැහ්! ඒ මොන රැජිණක් ද බං..! එයා නෙවෙයි..! අපේ එළිසබෙත් නෝනා ඉන්නේ බං අර එළිසබෙත් නෝනා..අර මේස් දාන කොට සුදු නෝනා..

ඔව් ඔව්..ඔය කියන්නේ අපේ මේ එළිසබෙත් මහ රැජිණි නේ!!

ඔව් බං…ආං එයැයිගේ පුතා ඉන්නේ චාර්ලිස්..

චාල්ස් චාල්ස්! චාර්ලිස් නෙවෙයි අනේ චාල්ස්! මොකද්ද අනේ පොෂ් විදියට කියන්නකෝ ගොඩයෙක් වගේ නැතුව..!

හරි හරි..ආං එයාගේ පුතා ඉන්නේ විලියොං..

ආයෙත් කියනවා..! විලියම් අනේ විලියොං නෙවෙයි..!

හරි හරී..විලියෙං ඇඹරෙන විලියොංට දුවක් ලැබිලා ලු නේ?

ඔව් ඉතින්?

දැන් ඉතින් ඔහේ යන්නෙ නැත දූ බලන්න?

මම? අර මොනාටද මම යන්නේ??

එහෙම කියන්න එපා හාමිනේ..ඔහෙත් යන්න ඕන..ඔය මූණුපොතේ සේරෝම ගෑණු කිරි අම්මලා වෙලා එහේ යන්ට සූජානම් වෙන එකේ..ඔය මක්කා හරි සබන් කෑල්ලක් ඇඳුමක් කැඩුමක් ලෑස්ති කොරන් ඔහෙත් ගිහින් එන්න ඕන නෙව…

පිස්සු අනේ ඔයාට..

ඉතිං ඕකනේ යෝදියේ බොලා එක්ක බැරි..! බලහන් දැන් ඔය මූණුපොතට අද මම එබිච්චි කම්මැලිකමක් හිතිලා..හැම එකීම බොහොම සන්තෝසෙන් පින්තූරූ පල කොරලා තියෙනවා..දැන් අපේ සිරී මහත්තයා ජාත්‍යන්තරෙත් එකසේසත් කොරපු වෙලාව වෙච්චි..ඔයි වගේ වැදගත් අවස්ථාවක් මග අරින එක හොඳ නෑ නෙව..!

එයාලා ඉතින් ළිඳේ පැන්නා කියලා මම ළිඳේ පනින්න ඕනද අනේ..ඔයාටත් විකාර!

නෑ නෑ හාමිනේ එහෙම නෙවෙයි..ම්ම්..කලබල නොවී මේං මෙහෙන් ඈඳි ගනින්කෝ මම කාරණේ පහදලා දෙන්න…දැන් මෙහෙමනේ හාමිනේ..ලංකාව දැන් ඇවිත් ලෝකෙන් උතුම්ම රට වෙච්චි, මිනී මරගත්තු රටවල් සේරම අපේ හුටං සිරී මහත්තය එක්තැන් කොරා වෙච්චි, දූපත් මානසිකත්වයද මක්කද කියන එකෙන් අපි නිදහස් වෙච්චි, ඉතින් අපිට කියලත් යුතුකමක් තියෙනවා නෙව ඔය දූ සිඟිත්තට සුභ පතන්න…ආයේ නිකං කියලයැ..!ඒකිගේ ආච්චි එංගලන්තේ මහ රැජිණි වෙච්චි, අපේ සිරී මහත්තයට මේසුත් ගලවලා අත දුන්න ගෑණි වෙච්චි, ලේසි පහසු පවුලක්යැ හාමිනේ..උන්දැගේ මිණිපිරීට සුබ පතන එක අපටත් නම්බුවක් නෙව..! නැද්ද මං අහන්නේ…දැන් බලන්න හාමිනේ..ඔය ගෑණු කෙලීට නමකුත් යෝජනා කරලය කියන්නේ…

නමක් යෝජනා කරලා?

නැතුව! ඔහේ දන්නේ නැත?? හයියෝ හාමිනේ! රැජිණිගේ මිණිපිරීට ඩයනා කියන්නෙයි කියලා ලොකු හා හූවක් යනවා ඔය මූණුපොතේ..

පිස්සු අනේ ඔයාට!

පිස්සු!! හහ්! පිස්සු නෙවෙයි හාමිනේ..කොල්ලෝ ඕං ඔය තැම්බ ගෙනෙන් මෙහෙට..ඕකේ ඔය මූණුපොත පෙරලල දියන් මේ හාමිනේට බලන්න..
මේ බලන්න හාමිනේ..මේ දැක්කයි..? දැක්කයි..?
ආන්න ඒක තමයි මම මේ කියන්නේ…ඔහේට යන්න බැරිනම් අඩුමගාණේ පින්තූරයක්වත් දාන්න ඕන නෙව..

දැන් ඔයාම නේද පහුගිය කාලේ කිව්වේ රජ පෙළපත් ඉවරය, දැන් රජුන් තනන්නේ නැතිය, අපි කාගේවත් වාල්ලු නෙවෙයිය කියලා?? ඔයාගෙත් විගඩං අනේ!

නෑ නෑ හාමිනේ…රජවරු මක්කටද ලංකාවට…එංගලන්තේ එහෙම නෙවෙයි නෙව..එහෙට රැජිණි කොරපු හරිය වෙන එක බල්ලෙක් කොරලා තියෙනවද මං අහන්නේ..ඔය ඔක්කෝටම වඩා අපි උන්දැලාගේ යටත් විජිත කාලේ..ඈ..වැරදි වැරදි හරි ඇටි කුකුල්ලු ගොළුබෙල්ලෝ කන්නා හේ ආයුධ උරුක් කොරන් කන්න කියලා දුන්නේ කවුද? මං අහන්නේ කවුද කියමුකො බලන්න…දැන් අපේ ඔය කෙරී උන්නැහේත් මෙහෙ ආව එකේ ඒ ගුණේටවත් ගොහිං එන්න වටිනවා හාමිනේ..මං කියනවට ඔහේ කල්පනා කොරලා බලන්ටකෝ…

පසු සටහන:
මූණුපොතට එබිච්චි ගමයා මං වෙච්චි..මුළු පොතේම මිඩ්ල්ටන් කෙල්ල රෝස කැටියෙක් තුරුලු කරගත්ත පින්තූරු වෙච්චි..අපේ සමහර අම්මණ්ඩිලා හෑශ් ටැග් එල්ලාගෙන ප්‍රීති සමරනවා වෙච්චි…ඒවා දැකලා මටම හිනා වෙච්චි..

කවුද බං කාලෙකට කලින් කාටද වහල්ලු කියපි!
එහෙම එව්වොන්ගේ මෙව්ව දැකලා කිරි අප්පට බල්ලෝ පැනපි!
උන් ළමයි වදනකොට මෙහෙ උන්ට විලිරුදා ඇතිවෙච්චි..!
කමක් නෑ ඒ අපේ මහ රැජිණි වෙච්චි!

සාදු සාදු සාදු!!

විශේෂ:
ගමයාගේ චරිතයට ජෝ අබේවික්‍රමයන් මවාගන්න.මම කළේ එහෙමයි..අන්න නළුවෝ!

හිනා යන්නේ වෙන මුකුත් හින්දා හෙම නෙවෙයි ආයිබොවං..රජවරුන්ට පට්ට පඳුරු යන්න බැණපු උන්දැලත් එංගලන්තේ මහරැජිණිට යන කඩේ යාම දැකලා..කවුරු මොනවා කිව්වත් මම බයියෙක් තමයි..හැබැයි මම කවදාවත් මහින්දට රජෙක් කිව්වේත් නෑ කියන්නෙත් නෑ..!! දූපත් මානසිකත්වය කියලා අනික් උන්ට හිනාවෙන උන්ගේ වාල්ගතිය දැකලා ඉස්මුරුත්තාවයි බං..
අනික් හිනා යන කාරණේ ලංකාවේ දුෂ්කර ජීවිතයක් ගෙවන දරුවෙක්ට පොතකින් පතකින්වත් පිහිට වෙන්න නොහිතන, වචනයකින්වත් කරුණාවක් නොදක්වන පොෂ් ඈයෝ (එයාලා එහෙමයි එයාල ගැන හිතන්නේ) කේට්ගේ දෝණි ගැන ඇතිකොරන් තියෙන දාරක ස්නේහය! අනේ වාසනාවන් මෙහෙම කිරි මව්වරු පියවරු!

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල