කාලීන සංවාද, විශේෂ

අපේ වෙසක් සැරසිල්ල, හැංගිමුත්තං, නම් පටබැඳීම සහ තවත් කතා

Off
අවුරුදු ඉවරවෙලා  වෙසක් මාසෙත් ආපි.අවුරුදු මාසෙ පුරහම කොහායි,කජු වලුයි,ඔන්චිල්ලායි පෙන්නපු ටී වී චැනල් මැයි මාසෙ ආ ගමන්ම වෙහෙරක් හරි බෞද්ධ කොඩියක් හරි අටපට්ටමක් හරි බුදු පිළිමයක් හරි මල් වට්ටියක් හරි දාගන්නවා.ඉතිං වෙසක් සමය කියන්නෙ බුද්ධාලම්බන ප්‍රීතිය ඉස්මතු වෙන පරාර්ථකාමය ඉහවහ යන කාලසීමාවක් නිසාවෙන් වෙසක් සම්බන්ධ මගෙ අත්දැකීම් කීපයකුත් ලියන්න හිතුනා.ආ ඊට කලින් තවත් දෙයක් කියන්න තියෙනවා.වෙසක් උත්සවයට බෙග් මාස්ටර්ගේ බුද්ධං සරණං ගච්ඡාමී සිංදුව වගේ අනන්‍ය වෙන වෙනත් සිංදුවක් ගැන හිතලවත් තියෙනවද?ඒ සිංදුව ඇහෙද්දී නිකං වෙසක් ගතිය ඇඟට එනව නේද?අනික ඒ සිංදුව නැති වෙසක් නිකං වෙසක් නෙවෙයි වගේ නේද?පොඩ්ඩක් හිතල බලන්නකො.
අපි තරුණයො කණ්ඩායම ඉස් ඉස්සෙල්ලම විශාල ප්‍රමාණයේ වෙසක් සැරසිල්ලක් හැටියට සිරීපාද ආකෘතිය  හදපු කතාව මම මීට කලින් ලිව්වා.ඊට පස්සෙ අවුරුද්දෙ අපි හැදුවෙත් සිරීපාදෙ ආකෘතියක්මයි.කලින් සැරේ අපේ වෙසක් සැරසිල්ල බලන්න ආපු සෙනග කන්දරාව දැකල හුල්ලපු ගමේ කීප දෙනෙක් ගහගෙන යන වතුරෙන් දිය දෝතක් ගන්න කියල හිතාගෙන තුංමං හංදියේ කොස් ගහ යට හා ඩේවිට් අයියගෙ පොඩි ඉඩම් කෑල්ලෙ මඩුවක් ගහල ඇටසැකිලි රංගනයක් පෙන්නුවා.මේ ඇටසැකිලි රංගනයට නම දාල තිබ්බෙ ෂැඩෝස් ඔප් ද වයිට් මෑන් කියලයි.සිරීපාදෙ පෙන්නපු අන්තිම දවසෙ ඔය ඇටසැකිලි මඩුවෙ විසාල ගෝරියක් ඇතිවුනා.මඩුව ඇතුලෙ කෙල්ලෙක්ගෙ අතින් ඇද්දද මොකද්ද සිද්දියකට පිටින් ආව කට්ටියක් මඩුවත් කඩල මඩුවෙ සංවිධායකයන්ටත් ඇතිවෙන්න නෙලල ගිහිං තිබුනා.ඒ නිසාම අපි එදාසැරේ  ඔය මඩුව තිබ්බ තැන සිරීපාදෙ කාර්යාලය ඉදිකළා.
දෙවෙනි සිරීපාද ආකෘතියත් කරදරයක් නැතුව පෙන්න ගත්තා.කියන්න විශේෂත්වයක් ඇත්තෙත් නෑ.හැබැයි පළවෙනි එක තරම්ම සකිලයක් නෑ.මොකද කිව්වොත් අපි හැදුවට කොච්චර හොඳ උනත් එකම දේ දිගින් දිගටම බලන්න මිනිස්සු කැමතිත් නෑනෙ.ඒ නිසා ඊළඟ අවුරුද්දෙ වෙනස්ම මාදිලියක වෙසක් සැරසිල්ලක් හදල පෙන්නමු කියල කට්ටියම සිරීපාද ආකෘතිය ගලවන ගමන් කතාවුනා.එදා ඉඳන් සති ගණනාවක් යනතුරු කට්ටිය එකතු වෙලා නිල සහ නිල නොවන සාකච්ඡා වට ගණනාවක් පැවැත්තුවා.ඒ ඊළඟ අවුරුද්දෙ හදන වෙසක් සැරසිල්ල කුමක් විය යුතුද ගැන තීරණයක් ගන්නයි.අවුරුදු දෙකක්ම සිරීපාදෙ පෙන්නල ලාබෙ හැටියට එකතු වුන යම්කිසි මුදලකුත් අතේ තිබුන නිසා ප්‍රාග්ධනය සම්බන්ධයෙන් කලින් වගේ කරදර වෙන්න තත්ත්වයක් ඇතිවුනෙත් නෑ.සාකච්ඡා කරල, තර්ක කරල, රණ්ඩු වෙලා, බැනගෙන,තරහවෙලා,යාලුවෙලා අන්තිමට වෙසක් සැරසිල්ල ගැන එකඟතාවකට ඇවිත් ඊළඟ අවුරුද්දෙ යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාකරන අපාය ආකෘතියක් ඉදිකරන්නට  ඒකමතිකව  තීරණය වුනා.
තීරණේ ගත්තට මදි.එවෙලෙ ඉඳන් පෙන්නන දවස වෙනතුරු එක හා සමානවම කට්ටියම මහන්සි වෙන්නට වෙනවා.නැත්නම් වෙලාවට වෙසක් සැරසිල්ලේ වැඩ ඉවර කරන්නට ලැබෙන්නෙ නෑ.අනික සිරීපාදෙ ගහනව වගේ නෙවෙයි මේ අපායෙ කරන්නට වැඩ අටෝරාසියකුත් තවත් ටිකක් තියෙනවා.මූලිකවම  ඉස්තානයක් හොයා ගන්න,මඩුවක් හදන්න පුවක් ගස් හොයන්න පොල්අතු හොයන්න ගමේම ගෙවල්වල තියෙන පරාල ටික එකතු කරගන්න ආදී වශයෙන් වැඩ ගොඩයි.සුබ නැකතක් බලල සරසපු කිරි අත්තක් පොල් ගෙඩි දෙකක් එක්ක හිටවල පොඩි මහින්දලගෙ කඩේ ඉස්සරහ කෑල්ල ඒ කියන්නෙ පෝටවත්තෙ විනී මහත්තයගෙ කොටසෙ අපේ වැඩේ පටන් ගත්තා.එතන හැම අතින්ම ලේසියි.සමබිම ඒ වගේම ජයබිමක් කියලත් පස්සෙ දැනගත්තා.දැන් කට්ටිය කණ්ඩායම් වශයෙන් බෙදිලා වැඩ කරගෙන යනවා.එක කණ්ඩායමක් මඩුව හදනව තවත් කණ්ඩායමක් අවශ්‍ය රුප හදනව තවත් ටිකදෙනෙක් රූප වැඩකරවන්නට අවශ්‍ය තාක්ෂණය ආදී වශයෙන් මුලික වැඩ පටන් ගෙන තිබුණා.
 ඒ වෙනකොටත් මාව අපේ තරුණ සංගමයේ නිවේදකයා වශයෙන් ඒකමතිකව පත්කරගෙන තිබුණ නිසා මම මේ එක කණ්ඩායමකටවත් අයිති උනේ නෑ.ඒකමතිකව පත්කරගත්ත කිව්වෙ ඇත්තටම මේ වැඩේට කරගහන්න වෙනත් කෙනෙක් හිටියෙම නෑ.ගමේ  එල්ලේ මැච්වල නිවේදනය කරල ඊළඟට සිරීපාද දෙකකත් නිවේදන කටයුතු කරපු නිසාම වැඩේට මාව කලින්ම පත්කරගෙන තිබුණා.ලූලා නැති වලේ කනයා පිනුම් ගහනව වගේ මමත් ලැබුණ තනතුර සතුටින් බාරගත්තා.ඉතිං මුලිකවම මගෙ වගකීම උනේ වෙසක් සැරසිල්ලට අවශ්‍ය කරන ප්‍රචාරය ලබාදීමත් සැරසිල්ලේ නිවේදන කටයුතු කිරීම නිසාත් ඒ වැඩවලට තව සෑහෙන කලක් තිබුණ නිසාත් මම තියෙන හැම වැඩකටම පාහේ උදව් කළා.අපි වැඩියම කැමති උනේ එක තැනකට වෙලා වැඩ කරනවට වඩා වැඩට අවශ්‍ය බඩු බාහිරාදිය සපයන්නටයි.
සැරයක් රීප්ප හොයන්න යනවා තව සැරයක් ඇණ ගේන්න යනවා ඔය විදියට එක සැරේ කරගෙන එන්න තියෙන වැඩ දෙකකට දෙසැරයක් යනවා.බ්රේක් නැති මළකඩ කාච්ච කබල් සයිකල් වල නැගල රූං ගාගෙන එහෙට මෙහෙට යද්දි ගමේ කෙල්ලො වීරයො දිහා බලනව වගේ අපි දිහා බලන්න පටන්ගෙන තිබුණා.ඒ දවස්වල පැඟිරි වයසෙ කෙල්ලො සැට් එකකුත් ගමේ හිටියනෙ.ඔවුන් ටික අපි එකිනෙකාව බෙදාගෙන තිබ්බ කියලත්  පස්සෙ දැනගත්තා.එහෙම තමයි කෙල්ලන්ගෙත් කසන වයසනෙ.අනික අපි ඔය කෙල්ලොත් එක්ක සෙල්ලං කරන්නත් ගිහිං තියෙනවනෙ.වැඩිපුරම කරන්නෙ හැංගිමුත්තං සෙල්ලම තමා.ඕ දහය විස්ස තිහ හතළිහ කියල හැංගි මුත්ත හැංගියෝ නොපෙනෙන තැනක හැංගියෝ කියල එහෙම හොයන එකාව තෝරගෙන හැංගෙන්න දුවනවා.හදිස්සියට හැංගෙන්න තැනක් නැතුව වටපිට බලන කෙල්ලෙක් එහෙම හිටියොත් අහුවෙන්නෙ නැතුව මෙන්න මෙහෙට එනවා කියල බොහොම බැරෑරුම් විදියට කියල කෙල්ලවත් ඇදගෙන රෝල් කරල තියෙන පැදුරු ගොඩක් අස්සට හරි මාගලක් අස්සට හරි රිංගගත්තම ආයෙ හොයනව බොරු.කෙල්ලත් අහුවෙයි කියල බයේ ඇදගෙන යන තැනට නිකම්ම එනවා.ඔය වගේ හැංගිමුත්තං සෙල්ලම කරපු එවුන් නං විස්තරේ දන්නවා ඇති.සෙල්ලම ඉවරවෙලා එළියට ආවට පස්සෙ කෙල්ල සැරින් සැරේ විදුලි කොටන්නා වගේ අර්ථ පූර්ණ බැලුම් හෙලනවා.සමහර කෙල්ලො කසාය බීපු ගොළුවො වගේ බැලුම් හෙලනවා.
කසාය බීපු ගොළුවො බලන හැටි දන්නවද?ඔන්න ගොළුවට අසනීප වෙලා කසාය බොන්න දුන්න කියමුකො.කසාය පට්ට තිත්තයි.කසායේ තිත්ත භාවය ගොළුවට කියාගන්න බෑ.ඒ වෙලාවට ගොළුවගේ මුණ කොහොම ඇද්ද?කසාය බීපු ගොළුව වගේ කියන්නෙ අන්න ඒකයි.ඒ උනාට සමහරවෙලාවට හැංගි මුත්තං සෙල්ලම නිසා කෙල්ලො කෙල්ලො නොරොක් වෙනවත් එක්ක.තෝ මොකටද බොල එයත් එක්ක හැංගෙන්න ගියෙ මමනෙ හැමදාම එයා එක්ක හැංගෙන්නෙ බොල පරට්ටියෙ තෝ ඒක දන්නැද්ද කියල එකියක් කියනකොට, හෑ තොගෙන් අහල හැංගෙන්න බලං හිටියෙ බැල්ලියෙ කියල අනික් එකී හැරෙන තැපෑලෙන් උත්තර බඳිනවා.එහෙම කොකු පටලෝ ගන්නත් ඔවුන් හරි දස්සයි.ඒ වෙලාවට ඔය රණ්ඩු අපට අදාළ නැති නිසා අපි හිමීට එතනින් මග ඇරල මාරු වෙනවා.කවුරු එක්ක හැංගුනාම මක්වෙනවද නේද?සෙල්ලං කරල රණ්ඩු වෙන්නෙ ගහගන්නෙ මොකටද නේද?අනික ඔය අපේ රණ්ඩු අපි හැංගෙන ගෙවල්වල වැඩිහිටියෙක් එහෙම දැක්කොත් දුවපියව් යන්ඩ ආව මෙතන අහුමුලු අස්සෙ රිංගන්ඩ,මුංඩ කාල තෙලේ වැඩිවෙලා.දුවපියව් ගෙවල්වලට කියල එලව ගන්නව නොවැ.ඒ සෙල්ලමේ තියෙන ගතිය උන් දන්නවැයි.
ඔය පරණ වැඩිහිටියොත් ඔහොම කියනව නොවැ.ඒ ගොල්ල සෙල්ලං ගමන් යනවා,සෙල්ලමේ යනවා කියන්නෙ විනෝද ගමන් වලටයි.මං හවස්කොරේ සෙල්ලමටත් එක්ක ඒ පැත්තෙ එඤ්ඤංකො කියල සීයල කියන්නෙ හවසට මම ජොලියටත් එක්ක එහෙ එන්නං කියන එකනෙ.සෙල්ලං නිරිඳු කියල රජ කෙනෙකුත් ඉඳල තියෙනව නොවැ.ඇයි සෙල්ලං නිරිඳු වඩිනා කුණ්ඩසාලේ කියල කවියකුත් තියෙන්නෙ.දැන්නං ඔය සෙල්ලම කියන එකට විවිධ අර්ථකතන දීල තියෙන නිසා කියවෙන්නෙම නැති ගානයි.අපි රාජ්‍ය පරිපාලනේ වැඩ කරන කාලෙ අපේ අංශෙ හිටපු වීරක්කොඩි කෙල්ලො ලඟට ගිහිං මම හවහට ඒ පැත්තෙ එන්නංකො සෙල්ලමටත් එක්ක කියනවා.කෙල්ලොත් අරින්නෙ නෑ,අනේ එහෙනං ආවෙ නැතුවට කමක් නෑ කියනවා.
ඉස්සර අපේ සීය මාත් එක්ක හවසට රජවත්ත පැත්තෙ යනවා.සීයගෙ මී හරක් බාන් කීපයක් මේච්චල් කරන්න වත්තෙ සීයගෙ හිතවත් කෙනෙකුට දීල තිබ්බා.හීයකට මැඩවුමකට හරක් උවමනා උනහම පණිවිඩේ කියන්න ගිහිං මැංගුස් කොටුවෙන් ගෙඩිත් කාල එහෙම ආපහු එනවා.එමින් ගමන කුරුළු පිහාටු අහුලන්න කොක්මොට කඩන්න එහෙම රජවෙළට පනින්න හැදුවට සීය බනිනවා.කූඩැල්ලො එල්ලගන්නෙ නැතුව මෙන්න මේ නියරට වරෙන් කියනවා.කූඩැල්ලන්ට නං මම කොහොමටත් බය නෑ.ඕක මොකද්ද සබන් පොත්තක් තියපු ගමන් වැටිල යනවනෙ.ඒ උනාට සමහරු නං වල් අලින්ට වඩා කූඩැල්ලන්ට බයයි.
ඔන්න දවසක්දා අපි වෙලේ එල්ලේ ගගහ ඉද්දි දරදරාං ගාල මහා සද්දක් ඈතින් ඇහුනා.හරියට පිට සක්වළ යානාවක් ඇවිල්ල වගේ.සද්දෙ ඇහුනෙ රජවෙළ පැත්තෙන් නිසා අපි කට්ටියම මෙලෝ සිහියක් නැතුව හැති මුනින් දාගෙන ගමේ එහා කෙරෝලේ රජවෙළට දිව්වා.සෙනග ඊස් මීස් නැතුව නියර දිගේ වෙලේ උඩහට දුවනවා.බැලින්නං කොල්ලෙක් වෙල හරහට යන 33000 ලයිට් ලයින් එකේ කණුවක උඩ එල්ලිලා ඉන්නව.එල්ලිලා කිව්වට වැටිල කණුවේ යකඩ කඳන් අතරෙ ඔලුව පහළට හිටින්න  හිරවෙලා,කොල්ලට සිහිය නෑ අත පය එහෙට මෙහෙට වනනකොට කරන්ට් කම්බිවල වදී කියල පහළ ඉන්න අම්මල  එපා කියල කෑ ගහනව,එක කම්බැල්ලෑවයි.වෙලා තියෙන්නෙ මොකක්ද කියල හොයල බලපුවම කොල්ලො කීප දෙනෙක් සරුංගල් අරින්න වෙළට ඇවිත් එකෙක්ගෙ සරුංගලේ ලයිට් කණුවේ පැටලිලා ඒක බේරගන්න කොල්ල ලයිට් කණුවට නැගල තියෙනව.සරුංගලේ ගන්න අත දික්කරද්දී ලයිට් කම්බියට අත ලංවෙනකොටම මහා සද්දෙකුත් එක්ක කොල්ල විසික්වෙලා ගිහිං කණුවේ පැටලිලා.කොල්ලට කරන්ට් වැදිල නෑ වැදුන නං ඌ එතනම අඟුරු වෙනවා.පස්සෙ විදුලිබල මණ්ඩලේට පණිවිඩ යවල ලයින් එකේ කරන්ට් කපල කණුවට නැගල කොල්ලව බේරාගත්තා.හොඳටම පිච්චිලා තිබුණ කියලයි විදුලිබල මණ්ඩලේ වැඩකරන සෝමෙ එහෙම කිව්වෙ, ඉස්පිරිතාලෙ ටික දවසක් තියල පස්සෙ ගෙදර ගෙනත් කෙහෙල් කොළ උඩ නිදිකරවල සිංහල බේත් කරල සනීප කළා.
ඌ එදා ඉඳන් කෙහෙල්කොළයා උනා.ඔහොම නං වැටුණු තව කීප දෙනෙක් වත්තෙ හිටියා.වත්තෙ කොණ්ඩ සාපින් මාමගෙ බාල කොල්ලට පොළොං තෙලිස්සෙක් කාල බොහොම අමාරුවෙන් ගොඩ දාගත්තා.එදා ඉඳල කොල්ලට පොළොංතෙලිස්සා කියල නම වැටුනා.තව පොඩි එකෙක් හිටිය මූ කළුම කළුයි.සුදු වෙන්න ගාන දෙයක් නැද්ද කියල ඔක්කොගෙන්ම අහනවා.කොල්ලො සොලිග්‍රෑම් ගාපිය කියල කළු දර්මයා කියපුහම  මු මුණේ පැත්තක සොලිග්‍රෑම් ගෑවා,සොලිග්‍රෑම් කියන්නෙ ලී වලට ගුල්ලො ගහනවට ගාන සැර බේතක් නොවැ.කොල්ලගේ මුණේ පැත්තක්ම හමගියා.එදා ඉඳල ඌ සොලිග්‍රෑම්. ඔය වගේනෙ අපේ කුවින්ටස් ට නම වැටුනෙත්.යකෝ මුට තාම නමක් දාගන්න බැරි උනානෙ කිය කියා හිටපු කොල්ලො දවසක් මොකද්ද එකකට කුවින් කුවින් කිවා.කුවින් හරියන්නෙ නෑ බං කුවින්ටස් කියපල්ල කියල මම කිව්වා.එච්චරයි.ඔන්න ඊට කාලාන්තරේකට පස්සෙ මම ටවුමෙ ඉඳන් ත්‍රීවීල් එකක ගෙදර එනවා.දහඅටේ කන්ද උඩදි මල්ලි ඔය තිලකෙගෙ  වැඩපොළ ළඟින් වමට හරවන්න කියපුවම  ත්‍රීවීල් කොල්ල මගේ මුණ දිහා බැලුවා.කවුද අයියෙ තිලකෙ කියන්නෙ?කොල්ල මගෙන් අහනවා.ඇයි මල්ලි ඔය වැඩපොළ දාගෙන ඉන්නෙ!ඒ කුවින්ටස් අයියනෙ! ගෙදර යනකල්ම  මට තනියෙන් හිනා.ආයෙ ඔන්න දවසක් අපි මැච් එකක.අපේ පැත්තෙ පොඩි එකෙක් ටොප් එකට සෙල්ලං කරනවා.මේ කොල්ලගෙ ළඟින් එහාට බෝලෙ යන්නෙම නෑ.මේකා ටොප් කොල්ලෙක්නෙ වෙනුජ හරියට මාලන් වොන්හාට් වගේ ෆීල්ඩ් කරනවනෙ.මම වෙනුජට කිව්වා.වෙනුජත් මගේ කතාව ඉතසිතින් පිළිගත්තා.කොල්ලගෙ නම රංජිත්.අපි ඒ වෙලාවෙ විහිලුවට ඌට මාලන් කීවා.කියල ඒ කතාව එතනින් අමතක කළා.ඒ සිදුවීමෙන් කාලාන්තරයකට පස්සෙ ඒ කියන්නෙ අවුරුදු විස්සකට විසිපහකට විතර පස්සෙ මම ඉන්දියාවෙ චෙන්නායි වල වැඩ කරන කාලෙ මට මංගල ආරාධනා පත්‍රයක් ලැබෙනවා.බලපුවම මේ අපේ කතානායකයාගෙ මගුල් කාඩ් එක.කාලෙ ගෙවිල ගිහිං පොඩි එකා තරුණයෙක් වෙලා දැන් රෙදිමෝලෙ වැඩ.කසාදයකුත් කරගන්න යනවා.මගුල් කාඩ් එක මෙහෙමයි.
             
              සුමඟුල් ඇරයුමයි 

……….මහතාගේ සහ එම මහත්මියගේ දෙටු පුත් 
               රංජිත්(මාලන්)

වැඩපොළේ කිසි කෙනෙක් රංජිත් කිව්වට මේ කොල්ලව දන්නෙ නැතිලු.ඒ  නිසා මගුල් කාඩ් එකට පටබැඳි නම දාන්න උනා කියල මම ආරංචි කරල බලපුවම දැනගන්නට ලැබුණා.ඉතිං කතාවෙන් කතාවෙන් වෙසක් කතා ගොඩක් ලියවුනා.නවත්තන්නත් වෙලාව හරි.තවත් වෙසක් කතා ටිකකුයි දන්සල් කතා ටිකකුයි ආයෙම ලියන්නංකො.
සියලු දෙනාටම මෝහාන්ධකාරය දුරුවූ සුබ වෙසඟක් වේවා!!!

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල