සාහිත්‍ය කළා විචාර

ශ්‍රී ලංකා කොටියා | Sri Lankan leopard

Off
ඔයාලට මතක ඇති ශ්‍රී ලංකාවෙ කොටි හිටියා කියල. ඔව් ඔව් කකුල් දෙකේ එවුන් තමා. මතක නැතිනම් ඔය ගූගල් දෙයියන්ගෙන් හරි ඒ කාලෙ මතක, තාමත් ඒ විදිහටම තියෙන කෙනෙක්ගෙන් හරි අහල බලන්නකො. ඒ උනාට අද කියන්න යන්නෙ කකුල් දෙකේ කොටි ගැන නෙමේ. එවුන් වඳ වෙලා දැන් ගොඩක් කල් නෙ. මේ කියන්න හදන්නෙ කකුල් හතරෙ කොටි ගැන. ඔව් ලංකාවේ තමා. ලංකාවේ කකුල් හතරෙ කොටි ඉන්නව බොලව්. මිනිස්සුන්ට වගේ එක එක  කොටියට එක එක නම් නැති නිසා ඔක්කොටම පොදුවේ කියන්නෙ ශ්‍රී ලංකා කොටියා එහෙම නැති නම්  Sri Lankan leopard (ශ්‍රී ලංකන් ලෙපර්ඩ්) කියල.
හොඳට මතක තියාගන්න ඕන කාරණය තමා මේ කොටියට ඉංග්‍රීසියෙන් කියන්නෙ ටයිගර්(Tiger) කියල නෙමේ කියන එක. ටයිගර්(Tiger) කියල කියන්නෙ දිවියාට. ලංකාවේ දිවියො නෑ. ඔව් ඔව් මාත් අහල තියෙනව ඔය අඳුන් දිවියා එහෙම කියල සත්තු ඉන්නව. ඒ ඇවිල්ල සිංහල භාෂාවේ වචන යොදපු විදිහේ අවුල් නිසා හැදුනු නම්. ඔය අඳුන් දිවියා කියන්නෙ පොඩි සතෙක්. හැබැයි පූසට වැඩිය ලොකුයි. ඇත්තටම දිවියා කියන්නෙ ලොකු ශක්තිමත් සතෙක්ට. එයාල ලංකාවෙ නෑ.
ශ්‍රීලංකා කොටියා
ඡායාරූපකරණය : හේෂාන් පීරිස් ෆොටෝග්‍රැෆි
ශ්‍රී ලංකාවේ ඉන්න නොම්මර එකේ ක්ෂීරපායී විලෝපිතයා (Predator) තමා මේ ශ්‍රී ලංකා කොටියා කියන්නෙ. එයාලගෙ නමට ශ්‍රී ලංකා කියල කෑල්ල එකතු වෙන්නෙ අපේ රටේ ජීවත් වෙලා ඉන්න නිසාම නෙමේ. ලංකාවට අවේනික නිසා. මෙයාල සත්ව විද්‍යාවට අනුව කොටි උප විශේෂයක්. සත්ව විද්‍යාත්මක නාමය Panthera Pardus Kotiya (පැන්තරා පාර්ඩස් කොටියා). ශ්‍රී ලංකාවේදී මෙයාල වැඩිපුරම දකින්න පුළුවන් වෙන්නෙ විල්පත්තු සහ යාල වන උද්‍යාන වලදි තමා. ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පවා මෙයාල ඉන්නව කියල තොරතුරු හමු වෙලා තියෙනව. විල්පත්තුව මේ කොටි නරඹන්න ලෝකයේ වඩාත් ප්‍රසිද්ධ ස්ථානයක්. ඒ වගේම යාල. යාල වන උද්‍යානය තුළ තමා ලෝකයේ විශාලතම කොටි ගහණය වාර්තා වෙන්නෙ.
මෙයාලගෙ ප්‍රධාන ගොදුරු බවට පත් වෙන්නෙ තිත් මුවා. ඊට අමතරව වල් ඌරන්, හාවන් තව කුඩා ප්‍රමාණයේ සතුන් රැසක් ගොදුරු විදිහට ගන්නව. ඒ උනාට හිතන්න එපා මේ කොටි තුන් වේලම අපි වගේ ගොදුරු අල්ලන් කනව කියල. මෙයාල දඩයමක් කරන්නේ සෑහෙන්න කාලෙකින්. ඒ කියන්නෙ දවසකින් දෙකකින් වෙන්නත් පුළුවන්. වැඩි හරියක්ම කාලය ගෙවෙන්නෙ බඩගින්නෙ. මොකද දඩයම් කරන හැම වෙලේම සත්තු අහුවෙන්නෙ නෑනෙ. සෑහෙන්න ගේමක් දීල තමා කෑමක් හොයා ගන්නෙ.
ශ්‍රීලංකා lepord
ඡායාරූපකරණය : හේෂාන් පීරිස් ෆොටෝග්‍රැෆි
අනිත් හැම සතෙක්ටම වගේම මෙයාලටත් තර්ජන ගොඩක් තියෙනවා. ප්‍රධානම එක තමයි අපේ වරිගෙ ඉන්න දඩයක්කාරයෝ කියාගන්න සමහර කාලකන්ණි අටවන උගුල්. මේවට අහුවෙලා මේ කොටි ජීවිතෙන් සමුගත්ත අවස්ථා ගොඩක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම වෙඩි තැබිම් වලිනුත් තර්ජනයට ලක්වෙලා තියෙනවා. ඒවා නීති විරෝධී උනත් දැනට සිදු වෙන දේවල්. ඊළඟ තර්ජනය තමා එයාල වාසය කරන භූමිය අඩු වෙමින් යාම. එතකොට ලොකු කොටි ගහනයකට පැවතෙන්න අමාරු වෙනවා ආහාර සහ අනිකුත් දේවල් වලට ඇති තරඟය නිසා. ඒ වගේම භූමිය අඩු වීම නිසා ඒ වනාන්තර වලට මායිම් වෙලා තියෙන ගම්මාන වලට පවා මේ කොටි යන්න පෙළඹෙනව. ඒකෙනුත් එයාලගේ ජීවිත වලට අවධානමක් ඇති වෙලා තියෙනව. කොහොම හරි මේ කොටි අපිට වටින්නෙ නැති උනාට පිටරට වල ඉන්න මිනිස්සුන්ට ගොඩක් වටිනවා. ඒක නිසා එයාල මේ කට්ටිය බලන්න එනව. මේ හේතුව නිසා යාල සහ විල්පත්තු කියන වනාන්තර සංචාරකයන්ගෙ හොට්ස්පොට් වෙලා තියෙනවා. බලන්න මේ සත්තු නිසා අපේ රටට කොච්චර අදායමක් ලැබෙනවද කියල.
srilanka lepord
ඡායාරූපකරණය : හේෂාන් පීරිස් ෆොටෝග්‍රැෆි
ඕන කෙනෙක්ට මේ කොටි නරඹන්න යන්න පුළුවන්. ලෙපර්ඩ් සෆාරි තියෙනව ඒකට. හැබැයි ගියාට කමක් නෑ. සෆාරි ජීප් එකෙන් එහෙම එළියට බහිනව නෙමේ කැලේ ඇතුලෙදී. මේ කොටි වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි  කරන අයට හොඳ තෝතැන්නක්. හැබැයි ඉතිං කැලේකට ඇතුළු උන ගමන් මේ කොටි ටික එන්නෙ නෑ ” ආ එහෙනං ගහගනින් ෆොටෝ ටිකක් අපේ ” කියල. එයාල දකින්න පුළුවන් ප්‍රසිද්ධ තැන් ටිකක් තියෙනව ඔය විල්පත්තු සහ යාලෙ. එතෙන්ට ගිහිල්ලත් සමහර වෙලාවට පැය ගණන් බලාගෙන ඉන්න ඕනේ. එහෙම ඉඳල ගන්න ඡායාරුප දැක්කම පුදුම හැඟීමක් එන්නෙ.
ඉතිං අපිට මේ පරිසරයෙන් අපේ රටට දායාද කරල තියෙන මේ විස්මිත ජීවී කොට්ටාශ අපේ මතු පරපුර වෙනුවෙනුත් රැක ගැනීම අපේ යුතුකමක් සහ වගකීමක්. ඒකට පක්ෂ, පාට, ජාති, ආගම් භේද වලින් තොරව එකාවන්ව එකතු වෙලා කටයුතු කරන්න ඕනෙ.
ප.ලි : 
විල්පත්තු ජාතික වන උද්‍යානය තුළ ඉවක් බවක් නොමැතිව මිනිස්සු පදිංචි කිරීම තුළින් එම වනාන්තරය සීග්‍රයෙන් විනාශ වීමේ අවධානමකට මේ වන විට ලක්ව ඇත. මේ වානන්තරයේ අලි වැඩි හරියක් වාසය නොකරන අතර කොටින්ගේ පාරාදීසයකි. එමෙන්ම වලසුන් සහ තවත් වන සතුන්ගේ පාරාදීසයකි. මෙලෙස මෙම විල්පත්තු වනාන්තරය හිතක් පපුවක් නොමැතිව විනාශ කිරීමෙන් අපේ රටට සහ අනාගත පරපුරට ජාති ආගම් භේදයකින් තොරව අහිමි වන්නේ අසිරිමත් ස්වභාවික නිර්මාණයන්ය, අපූරු ජීවී කොට්ටාශයන්ය. මේ විනාශය දෙස පුළුල් දෘෂ්ඨියකින් බලා ඒ සඳහා නිවැරදි කඩිනම් විසඳුම් ගැනීමට රජයට, අදාළ බලධාරීන්ට සහ ශ්‍රී ලංකා වාසි සියළු ජනතාවට ඉක්මණටම නුවණ පහළ වෙත්වා. වනාන්තරය සහ අසරණ සතුන් ආරක්ෂා කර ගනිත්වා.
 
ඡායාරූප ලබා ගත්තේ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි වලට බොක්කෙන්ම කැප වෙලා කාලය වැය කරල විනෝදාංශයක් විදිහට කරන් යන මගේ හොඳ ෆ්‍රෙන්ඩෙක් වන හේෂාන් පීරිස් ගෙ  හේෂාන් පීරිස් ෆොටෝග්‍රැෆි කියන ෆේස්බුක් පිටුවෙන්. ඔයාලට පුළුවන් නම් ගිහිල්ල ඒ පේජ් එකට ලයික් එකක් දාල යන්න. හරිම ලස්සන ඡායාරූප ගොඩක් බලාගන්න පුළුවන් ඔයාලට.
සියළු දෙනාටම ජය වේවා!!!

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල