කාලීන සංවාද

තේ විකුණා දිවි රැක ගත් කුඩා මෝදී! Like much of life and history, one believes what one chooses!

Off

අද මාතෘකාව මා කලින් ලියපු සටහනක, පොඩි මුලාශ්‍ර ලිපියකින් උපුටා ගත්තක්. ඉතිහාසය, වර්තමානය, ජීවිතය යන මේ කුමන දෙය ගත්තත් මෙයම තමා ඇත්ත. ලංකාවේ අපට තේරෙන භාෂාවෙන් කියුවොත්, යූඑන්පී කාරයෙක් බොහෝ විට එම පක්ෂය අතීතයේ හෝ වර්තමානයේ වැරදි කෙරුවා යයි පිළිගන්නේ නැහැ, ජේවීපී, ශ්‍රීලංකා කාරයනුත් අන්න එහෙමයි. ඉතිහාසය අප තේරුම් ගන්නෙත්, තුලනාත්මකව කරුණු සෙවීමෙන් නොවේ, අපට විශ්වාස කරන්නට අවශ්‍ය කරුණු ටික විතරක් ගැනීමෙන්.

හිට්ලර් හා ස්ටාලින් කරපු මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධ පිළිබඳව ඒ සමාජ වල විශාල ලෙස කතා බහ ඇතිවී තිබෙනවා. ඒ සමාජ දෙකේම ප්‍රධාන ධාරාව ඔවුන් අපරාධ කරපු වග පිලිගන්නවා. මේවා ගැන ඔවුන් පොත්, චිත්‍රපට, දේශපාලන කතා, ගීත, වාර්තාමය විචිත්‍රාංග හා වෙනත් මාධ්‍ය වලින් ද කතා කර තිබෙනවා. මා සෝවියට් දේශයේ ඉගෙන ගන්න විටත්, ස්ටාලින් කරපු අපරාධ ගැන කතා කෙරුනා. හිට්ලර්ගේ අපරාධ පිලිබඳ ජර්මන් සමාජය කතා කළේ එයිටත් බොහෝ කලකට කලින්. ස්ටාලින්ගේ “අඩිපාරේ” යනවා යයි සමහරුන් කියන පුටින් පවා, ජිවිතයේ නොයෙක් අවස්ථා වල ස්ටාලින්ගේ අපරාධ හෙලා දකිමින් කතා කර තිබෙනවා. පසුගිය දා තිබුන දෙවන ලෝක යුද්ධ ජයග්‍රහණ හැත්තෑ වන සංවත්සරය ගැන කතාවකදී පවා, ඔහු ඒ ගැන සඳහන් කර තිබුනා.

නමුත් සාමාන්‍ය සමාජයේ මේ දෙදෙනාම වීරයන් ලෙස සලකන සැලකිය යුතු පිරිසක් ඉන්නවා. අර හැත්තෑ වන සංවත්සරයේ මොස්කව් පෙරහැරේ පවා ස්ටාලින්ගේ පින්තුරය තියා ගෙන සිටිය ආච්චිලා-ආතලා සිටියා. හිට්ලර්ව එළිපිට සැමරීමට නොහැකි වුනත්, ඔහුව හදවතින් සමරන පිරිස් ජර්මන් සමාජයේ ඉන්න වග මතුපිටට පැමිණෙන සමහර සිදුවීම් වලින් අප අදත් දකිනවා.

සමාජයේ වෛරය පතුරවන ගොඩක් දෙනා ජිවිතයේ බිහිසුණු අත්දැකීම් වලට මුහුණ දුන්න මිනිසුන් කියා මා විශ්වාස කරන්නේ නැහැ. මොකද ඇත්තටම එවැනි බිහිසුණු අත්දැකීම් සහිත මිනිසුන් එවැනි ගණයේ නොවන වග බොහෝ විට පෙනෙනවා. මා කලින් ලියා ඇති කාම්බෝජ-ඕස්ට්‍රේලියානුවෙකුගේ පවුලේ සියල්ල, පොල්පොට් ගේ හමුදා විසින් මරා දමා තියෙන්නේ ඔහු කුඩා කාලයේ. අම්ම, තාත්තා, සහෝදර-සහෝදරියන් සියල්ල එක මොහොතින් නැති වුනොත්, කුඩා දරුවෙකුගේ ජීවිතය කොහොම වනු ඇත්ද? අප සමහර විට සිතාවි, මු ජිවිතයම සමාජයට වෛර කරමින් ජිවත් වනු ඇතැයි කියා. පසුගිය දා ඉන්දුනීසියාවේ සිදු කරපු මරණීය දඬුවම් ගැන උදෙන්ම මා සමග කනගාටුවෙන් කතා කළ කෙනා ඔහුයි.

මේ තියෙන්නේ ජර්මන් වින්ග්ස් අහස යානාවක් එහි සිටි මගින් සමග කඳු වල වද්දවා දිවි නසා ගැනීම පිලිබඳ පළවූ පුවතක්. Crash victim’s forgiving parents ‘don’t hate’ co-pilot who killed their son. ලෝකය ඉතා නරක තැනක් තමා. නමුත් මෙවැනි මිනිසුන් ලෝකයේ සිටින වග දැනගැනීමෙන්, නරක අපත් යන්තමින් හෝ හොඳ වෙන්නට උත්සහ ගන්නවා.

මේ සියල්ල මා ලියුවේ, පසුගිය දා මා එක දෙයක දී අත් දැකපු මේ සමාජයේත් ඉන්න, සමහර විට අපට කිසි සම්බන්ධයක් නොමැති වුවත්, ඉතා කාරුණික මිනිසුන් ද සිටින වග යලිත් මතක් වීමෙන්. ඒ ගැන මා විස්තර ලියන්නේ නැහැ.

මේ සතියේ ටයිම් සඟරා මුල්පිටේ කතාවට ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදී ව තෝරා ගෙන තිබුණා. ඔහු සමග කරපු කතා බහක් ඇසුරින් දිග ලිපියක් එහි පළවී තිබුණා. නරේන්ද්‍ර මෝදී කියන්නෙත් විවාදාත්මක අතීතයක් සහිත දේශපාලඥයෙක්. ඔහුගේ පදවි ප්‍රාප්තිය බොහෝ පිරිස් (ඉන්දියාවෙන් පිටත) සැක මුසුව බැලුවේ. ඔහුගේ පාලනය යටතේ ඉන්දියාවේ ගමන කුමන දිසාවකට යනු ඇත්දැයි කියන්න තවම වේලාසන වැඩියි.

ඔහුගේ ජිවිතයට බලපෑම් කරන්නේ මොනවාදැයි අසු විට, ඔහුගේ ඇස් තෙත් වූ වග ටයිම් කියනවා. //This touches my deepest core. I was born in a very poor family. I used to sell tea in a railway coach as a child. My mother used to wash utensils and do lowly household work in the houses of others to earn a livelihood. I have seen poverty very closely. I have lived in poverty. As a child, my entire childhood was steeped in poverty. For, me poverty, in a way, was first inspiration of my life…..// (පිටුව 21, ටයිම්, මැයි 18, 2015).

මට මෙතැනදී මතක් වෙන්නේ නමක් නොමැති කෙනෙක් මගේ කලින් සටහනකදී කියපු කරුණක්. එනම් මේ සටහන් වලින් මා අතීතයේ මහා දුක්කිත ජිවිතයක් ගත කර ඇති වගත්, ඒ වෛරයෙන් මා පෙලෙන වගත් ඔහුට තේරුම් යනවා කියා. ඔහු හෝ ඇය එහෙම තේරුම් ගත්තේ කොහොමදැයි මා දන්නේ නැහැ. ගුරුවරුන් වූ මගේ දෙමාපියන් ලංකාවේ දුප්පත් යයි කියන කැටගොරියට ඇතුලත් කරන්න හැකිදැයි මා දන්නේත් නැහැ. නමුත් අපේ කුඩා කාලය පොහොසත් නූනත්, එය දුක්කිත යයි නම් කරන්නට නොහැකියි. මගේ වැඩිහිටි දිවිය කොහොමත් දුක්කිත යයි කියන්න බැහැ. මොකද එසේ නම් ලෝකයේ ඇත්තම දුක්කිත පිරිස් වලට යන එන මං නැති වෙනවා.

එය නොවේ වැදගත් කරුණ. මෝදී මෙන් අතීතයේ දුක් කියන දේශපාලකයෙකුට ලංකාවේ නම් යන එන මං නැති වන එක සිකුරුයි. මොකද සාමාන්‍ය ජනතාවත් මල් තියා වඳින්නේ, ඇත්තටම අගු පිලේ ඉපදිච්ච වුණත්, වලව්වක ඉපදුණා කියා කියනවා නම් විතරයි. මිනිසුන් තමන්ගේ අතීතය සමතලා කර, ‘නව අතීත’ නිර්මාණය කර ගන්නේ අන්න ඒ නිසා. නැතිනම් පැවැත්මක් නැති වනවා. අපට හමුවන සාමාන්‍ය මිනිසුන් පවා, නැති පුරාජේරු කියමින් දන්නා අපට කොලේ වහන්න ට්‍රයි කරන්නෙත් ඒ නිසාම වෙන්න පුළුවන්.

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල