කාලීන සංවාද, විශේෂ

We were soldiers – වසර හයකට පෙර යුද්ධයේ අවසන් හෝරා කිහිපයේ මතක සමඟ තනිවීමි

1

අද මැයි මාසේ 14 වෙනිදා.. තවම දවස ලබලා පළවෙනි පැයවත් ගෙවිල ඉවර නෑ.. නිදි නැති තවත් එක රැයක් දිය වෙවී යද්දී මගේ මතකය අවුරුදු හයකින් ආපස්සට ඇදලා දාන්න පාවෙල් පවුලිකොවුස්කි (Pawel Pawlikowski) ගේ අයිඩා (Ida) චිත්‍රපටිය ගැන තරංගී ලියූ මේ විචාරය සමත් උණා.. මේක කියවන වයස්වල මැරිල ඉපදුණු නැති හැමෝටම මතක ඇති මං මේ කියන දවස්.. තිස් වසරක් තිස්සේ දික් ගැහුණු කුරිරු යුද්ධය අවි බලයෙන් යටපත් කිරීමේ සද්දන්ත වෑයමේ අන්තිම අවිනිශ්චිත හෝරා කීපය.. ආරම්භයක් විදියට අයිඩා ගැන කියවද්දි මට මතක් වුණු මේ ‘අයිඩා’ ගැන මං තරුරසී හි තියපු මේ පුංචි සටහන මෙතන අලවන්නම්..

//දෙදහස් නවයේ මැයි මාසේ යුද්ධයේ අන්තිම දවස් වල.. මගේ භාරයේ තිබුණු පොඩුවකට්ටු ට්‍රාන්සිට් කෑම්ප් එකට බෝට්ටු වලින් පැනලා එද්දි අල්ලගෙන ආපු උන් අතර ආච්චිත් එක්ක ඇවිත් හිටපු පොඩි කෙල්ලක් හා කොල්ලෙක් හිටියා. ඒ දවස් වල කොල්ලට අවුරුදු නවයක් හෝ දහයක් පමණ හා කෙළි පොඩ්ඩිට අවුරුදු හත අටක් වගේ වෙන්න ඇති. ආච්චීත් හොඳටම වැහැරිලා.. සිංහලෙන් තියා දන්න දෙමළෙං වත් මොකද වුණේ කියන්න බැරි තරමට බය බිරාන්ත වෙලා හිටියේ. ඒ නඩේ හිටපු වෙන වැඩිහිටියෙක් කියපු කරුණු වලට අනුව ආච්චි අම්මත් එක්ක ළමයි දෙන්නව බෝට්ටුවට නැග්ගුවට අම්මටයි තාත්තටයි ගොඩ වෙන්න ඉඩ තිබිලා නෑ. මනුස්සයා කියපු විදියටනම් ඒ අම්මයි තාත්තයි ඒ වෙනකොටත් ජීවතුන් අතර ඉන්න විදියක් නෑ. මොකද ඒ බෝට්ටුව එනවත් එක්කම එතනට කඩා පැනපු ත්‍රස්තවාදීන් පැනල යන්න හැදූ ඔක්කෝටම වෙඩි තියල මරල….. නේවි එකෙන් දීපු පරිප්පුයි පොල් සම්බෝලයි හාල් මැස්සොයි එක්ක බත් එක පොඩි උන් දෙන්නා සූස් සූස් ගගා කනකොට ආච්චී වචනයක්වත් කතා කරන්නැතුව අඬ අඬ ඒ දිහා බලන් ඉන්නව දැකපු මං ඇතුළු එතන හිටපු හැම එකාම අඩුම තරමින් රහසින් හරි ඇඬුවා.. අඩි හයමාරක් උස දැවැන්ත ශරීරයක් තිබ්බ ජූඩෝ ශූරයෙක් වෙච්චි මගේ දෙවනියා නම් හැමෝටම පේන්න ඉකි ගහ ගහ ඇඬුවා. මිනිහ එදා මගෙන් අහල මහා ජීවිත අවධානමකුත් අරන් කුච්චවේලි කඩමංඩියට බයික් එකේ ගිහින් ඇවිත් පොඩි උන් දෙන්නට අඳින්න දෙන්න සූට් දෙකක් අරන් ඇවිත් තිබුණ.. දැන් මේක වෙලා අවුරුදු 6ක්.. දැන් ඒ පොඩි එකීට අවුරුදු දහතුනක් දාහතරක් වෙනව ඇති. අම්ම කෙනෙක්ගේ රැකවරණයක් ඕනිම කාලේ.. පොඩුවකට්ටු වලින් බස් එහෙක පටවල පුල්මුඩේ කෑම්ප් එකට යැව්වයින් පස්සේ මොනව උනාද දන්නේ නෑ.. පශ්චාත් යුද සාහිත්‍යය.. මටනම් අයිඩ ලා කියන්නේ හැබෑම ජීවිත් අත්දැකීම්. //
අප්පච්චිගේ Area of Responsibility එක (කල්ලරාව ඇතුලු ඒරියා මැප් එක).. ඉතින් මගේ වගේ තමයි

කල්ලරාව.. ඔය නම මං මුලින්ම ඇහුවෙත් හරියටම මීට අවුරුදු විස්සකට කලින් මැයි මාසේ දවසක.. ත්‍රීකුණාමලයේ ඉඳලා හැතැම්ම 35ක් විතර උතුරින් යාන් ඔය මුහුදට වැටෙන ඉසව්වේ තියෙන පුංචිම පුංචි ධීවර ගම්මානයක්.. හරියටම 1995 මයි මාසෙ 25 වෙනිදා ත්‍රස්තවාදීන් මේ ගමට කඩා වැදිලා අහිංසක ළමා ලපටීන් ඇතුලු 42ක් ජීවිත බිලි ගත්ත.. ඉතුරු උනු අතලොස්සක් දෙනා පණ බේරගෙන ත්‍රීකුණාමලේට පැනල ආවදා ඉඳන් නැවත 1998 යුධ හමුදා මෙහෙයුමකින් මේ පෙදෙස අත්පත් කර ගන්නකම් මේක ත්‍රස්ථවාදීන්ගේ තිප්පොලක්.. ඒ කාලේ කල්ලරාවේ තමයි එල්.ටී.ටී.ඊ. එකේ ප්‍රධානම රෝහල පිහිටලා තිබුනේ. ඊට අමතරව උතුරේ ත්‍රස්ථවාදීන් හා නැගෙනහිර ත්‍රස්ථවාදීන් අතර ගොඩබිම හරහා වුණු සියළු ගනුදෙනු සිදුවුනෙත් මේ ප්‍රදේශය ආශ්‍රිතව..

ගූගල් මැප් එකක් බැලුවොත් හොඳට දැක ගන්න පුළුවන් මේ තැනට පිටිපස්සෙන් ගෝමරන්කඩවල කැලෑව එක සීරුවට සම්භන්ද වෙනවා කන්තලේ, සෝමාවතිය රක්ශිතය, ත්‍රිකෝණමඩු හරහා වාකරේට.. වාකරේ කියන්නේ ඒ කාලේ නැගෙනහිර කොටින්ගේ ස්ට්‍රොන්ග් හෝල්ඩ් එක.. ඒ වගේම ඔය කැලෑවම මහවැලි නිම්නය හරහා රට මැදටම ඒ කියන්නේ වස්ගොමුව හා අංගම්මැඩිල්ල රක්ශිතය දක්වාම එක දිගට සම්භන්ද වෙනවා.. ඔය මහවැලි නිම්නයේ සෝමාවතිය ත්‍රිකෝණමඩු පැත්ත ගැන ලස්සන මතක ගොඩක් මේ දවස් වල නිදහස් සිතුවිලි ලියන රවී අයිය ආපහු මතක් කරනව ‘කුකුලේගඟ මතක’ කියලා.. ඒත් මං නම් ඔය පැත්තේ කුකුලේගඟක් ගැන අහලා නෑ.. සමහරවිට මෑන්ට පොඩ්ඩක් ටැපලිලා ඇති වයසක මනුස්සයානේ.. කවුරුහරි මේ නිදහස් සිතුවිලි සීරීස් එක තවම බලල නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන්ම ගිහින් බලන්න.. මේ අපි වගේ නෙවෙයි අන්න කතන්දරනම් කතන්දර..

KALLARAWA

මේකනම් ගත්තේ ගූගල් වලින්

කොහොමින් කොහොම හරි කල්ලරාව කියන්නේ උපාය මාර්ගිකව සෑහෙන්න වැදගත් ප්‍රදේශයක් දෙපැත්තටම.. ඒකම තමයි ආපහු ආමි එකෙන් ‘ජයභූමි’ මෙහෙයුම කරල නැවත මේ ප්‍රදේශය අත්පත් කර ගත්තේ. ජයභූමි යන කාලේ අපි ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ (දැන් විශ්ව විද්‍යාලය) ට්‍රේනින්.. ඒක නිසා ජය භූමි ගැන ලොකු මතකයක් නෑ.. ජයභූමි නෙවෙයි ට්‍රෙනින් කාලේ උන් හිටි තැන්වත් මතක නෑ.. ඉතින් මොන ජය භූමියක්ද.. සමහරවිට අපේ විචාරකතුමාට මේක ගැන අත්දැකීම් ඇති. මං අහල තියෙන විදියටනම් මේ ප්‍රදේශය නැවත අත්පත් කර ගැනීමේදී ආමි එකට එල්.ටී.ටී.ඊ. එකෙන් එච්චර ලොකු බාධාවක් වෙලා නෑ. මුහුණට මුහුණ සටන් කරනවට වැඩිය සැඟවී ඉඳන් පහරදෙන ගරිල්ලා ප්‍රහාර වගේ ක්ලැන්ඩස්ටයින් ඇටෑක් තමයි වැඩි හරියක් තිබුනයි කියන්නේ.. සමහරවිට ඔය ගරිල්ලා ප්‍රහාර වලින් වෙන හානිය වැඩි වෙන්නත් පුළුවන් මහ හටනකට වඩා..

ඒ කාලේ ෆැශන් එකක් තමයි ආමි එකෙන් සටන් කරල අල්ල ගන්න බූමි ආරක්ශා කිරීමට නේවි එකට හා එයාෆෝස් එකට බාර දෙන එක. ඔය වෙනුවෙන්ම නේවි එකේ බ්‍රාන්ච් එකකුත් පටන් ගත්තා පැට්‍රෝල්මන් කියලා.. ඒ නේවි එකේ ගොඩබිම් මෙහෙයුම් සඳහා කියලා.. මුලින්ම බඳව ගත්ත නිළධාරීනුත් වැඩි දෙනෙක් ආමි ට්‍රේනින් උනු අය.. කාගේ තීරනයකට මොන වාසියකට ඔය බ්‍රාන්ච් එක පටන් ගත්තද මන්දා.. මටනම් හිතෙන්නෙම ඉතින් ඔය ටික ආමි එකෙන්ම කරන්න තිබුනනේ කියලා.. සමහරවිට හමුදාවල විශාලත්වය ගැන හිතල වෙන්න ඇති.. එහෙම උනානම් සමහරවිට ආමි කමාන්ඩර් ඒ කාලෙම ෆීල්ඩ් මාශල් වෙලා නේවි එකෙයි එයා ෆෝස් එකෙයි කමානඩර්ස් ල රියර් අද්මිරාල් නැත්නම් එයාර් වයිස් මාශල් තනතුරෙන් නතර වෙන්න තිබුනා.. හා..හා.. ඕවා මේ පෝස්ට් එකට අදාල කරුණු නෙවෙයි. හමුදාවල දේශපාලනේ කතා කරන්න තහනම්.. ඇත්තටම තහනම් ද මං දන්නේ නෑ.. ඒත් ඒක නිළධාරී නිවාස වලනම් ප්‍රතිපත්තියක්..

අපේ ඔෆීස් එකේ (දැන් ඉන්න) මට පෙන්නන්නම බැරි වැඩේ තමයි මේ බාගෙට දන්න එවුන් පැන පැන දේශපාලනේ කතා කරන එක. අහගෙන ඉද්දි හරියට පොඩි එකාගේ ලියුම කියවනවා වගේ. ඒ ඔක්කොටම හපන් ලන්ච් රූම් එකේ කච කචේ. නේවි එකේනම් ඔෆිසර් මෙස් වල කතා නොකරන මාතෘකා තුනක් තියෙනවා. ආගම, දේශපාලනය සහ බිරින්දෑවරුන් (කාන්තාවන් නොවේ) සම්භන්දව.. ඒක රීතියක්. මොකක් උනත් හරිම හොඳ දෙයක්.

නේවි එකේ ඔෆිසර් මෙස් නෑ තියෙන්නේ වෝඩ් රූම් (ward room), ජූනියර් ඔෆිසර් මෙස් එකට කියන්නේ ගන් රූම් (gun room) කියල.. ජූනියර් ඔෆිසර්ස් ලා විදියට සලකන්නේ ලෙෆ්ටිනන්ට් රෑන්ක් එක සහ ඊට පහල නිළධාරීන්. හැබැයි ලංකාවේනම් පාස් අවුට් උනායින් පස්සේ හැම නිළධාරියාම ඉන්නේ වෝඩ් රූම් වල.. අන්ඩර් ට්‍රේනින් ඔෆ්ෆිසර්ස් ලා පමණයි ගන් රූම් වල ඉන්නේ. සෙසු නිළයන් නම් කියන්නේ ඕවයේ ඉන්න තරමක් ඉන්නේ ලෙඩ්ඩු නිසා තමයි ඕවට වෝඩ් රූම් කියන්නේ කියලා..

ආ.. සෙසු නිළයනුත් නෑනේ.. ඉන්නේ නැවියන්.. (නැවියන් කියුවම වෙන මොකුත් හිතනව එහෙම නෙවෙයි..) නැවියන් කොටස් දෙකයි.. ජේශ්ඨ සහ කනිශ්ඨ.. ජේශ්ඨ නැවියන් වෙන්නේ සුළු නිළධාරී සහ ඉන් ඉහල අය.. ඉහල අය කියුවට මහ ගොඩක් නෑ තව රේට්ස් තුනයි. ප්‍රධාන, සමූහ ප්‍රධාන හා පාලක ප්‍රධාන සුළු නිළධාරීන් විදියට.. ඔය අය අතරින් සමූහ ප්‍රධාන හා පාලක ප්‍රධාන සුළු නිළධාරීන්ට ඊට පහල තරාතිරම් වල නැවියන් ‘සර්’ කියල ආමන්ත්‍රණය කරනවා.. නිළධාරීන් විසින් ‘මිස්ටර්’ කියල කියනවා. අනිත් තරාතිරම් වල හැමෝටම කතා කරන්නේ ඔවුන්ගේ තරාතිරම සහ නම යොදලා.. හරියට පෙටි ඔෆිසර් සිල්වා, ලීඩින් සීමන් දිසානායක වගේ. කනිශ්ඨ නැවියන්ගෙනුත් ලීඩින්ග් හෑන්ඩ්ස් ල (leading hands) ඉතින් වැඩක් කරන්නේ නෑ.. සුපවයිසර් ල වගේ තමයි ඉන්නේ.. ආ.. හෑන්ඩ්ස් ල කියන්නේ නැවියන් ට..

මේ ඔක්කොම නේවල් ටර්ම්ස්.. සියළු හමුදා අතරින් කස්ටම්ස් සහ එටිකට්ස් (customs & etiquette) වැඩි පුරම තියෙන්නේ නේවි එකටලුනේ.. ඒකනේ ඔය රජවරුන්ගේ පුත්තු එහෙම නේවී එකටම දාන්නේ.. මං කියුවේ එංගලන්තේ.. එංගලන්තේ.. එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ..

හැක්.. මොනවද කියන්න ගියේ මොනවද කියුවේ. ඕකනේ කියන්නේ මේ බ්ලොග් කාරයෝ කියන්නේ මහ පට්ට ඇරියස් එකක් තියෙන උන් කියලා.. ඉස්සර මට මතකයි මීඩියා ඩිප්ලෝමා එක කරන කාලේ අපේ කෝස් කෝඩිනේටර් මහැදුරු සුනන්ද මහේන්ද්‍රත් ඔය වගේ.. උදේට පටන් ගන්නවා අපි අද කතා කරන්නේ මාධ්‍ය ආචාර ධර්ම.. කියලා.. හවසට ඉවර වෙන්න කලින් ආපහු මතක් කරනවා අපි අද කතා කරන්න හිතන් හිටියේ මාධ්‍ය ආචාර ධර්ම ගැන.. හොඳයි අපි ඒක ලබන සතියේදී වැඩිපුර කතා කරමු කියලා.. අවුරුද්දම ඔහොම තමයි.. හැබැයි වෙලාව යනවා තේරෙන්නේ නෑ තලන පඳුරු තැලිල්ලට.. වතාවක් උස්සන් ආවා ලියුමක් කොල්ලෙක් කෙල්ලෙකුට ලියපු පෙම් හසුනක්.. පණිවුඩයක පැහැදිලි බාවය ගැන කියල දෙන්නද කොහෙද.. මෙන්න මෙහෙමයි තියෙන්නේ..

“ප්‍රේම ගග මැණික් වග..
සිරිමා බෝ පිහටලා බෑවා..
ඔබ හර්නම් මමත් හර්..
මේවගට
කකට කිශු පිබින
පිකපුරු බන්ඩාර”… අපි හෙන ගේමක් දීලා ඕකේ වැඩි හරියක් තේරුවා.. එකක් හැර..

“ප්‍රේම ගඟේ.. මැණික් වාගේ.. (ජනප්‍රිය සින්දුවක කොටසක්..)
සිරිමා බෝ පිහිට ලැබේවා.
ඔබ හරි නම් මමත් හරි.
මේ වගට
‘කකට කිශු පිඹින’
පී. කපුරු බණ්ඩාර”… අර ‘කකට කිශු පිඹින’ කියනෙකනම් අදටත් හිතා ගන්න බෑ.. රායිට් නැවතත් කල්ලරාවට.. (රවී අයියා ස්ටයිල් එක කොපි කලෙමි.)

කල්ලරාව ගැන මගේ දෙවනි මතකය දුවන්නේ වසර දෙදාහට.. ඔන්න එතකොටනම් අපි බ්ලඩි සබ් ලෙෆ්ටිනන්ට්ස් ලා.. කිලර් ස්කොඩ්‍රන් එකේ පොරවල් හෙවත් 2IC ලා. කිලර් ස්කොඩ්‍රන් එක කියුවේ ඩෝරා ස්කොඩ්‍රන් එකට. රියල් නේවි නැත්නම් සාම්ප්‍රධායික නේවි නොවුනත් ලංකාවේ නේවි එකේ රියල් බැට්ල් ෆ්‍රන්ට් එක.. ඩෝරා ජීවිතේ ගැන කියන්න ගත්තොත් කල්ලරාවට යන්න තව අවුරුදු හත අටක් යන නිසා ඒක නොකියා ඉන්නම්. පස්සේ කියන්නම් කියල බොරු පොරොන්දු දෙන්න බෑනේ.

දවසක් පණිවිඩයක් ආව නේවි එකෙන් හදපු පන්සලක් විවෘත කරන්න නේවි කමාන්ඩර් (ඒ දවස් වල දයා සඳගිරි) එනවා කියල කැමති ඔෆිසර්ස්ලටත් ලෑස්ති වෙන්න යන්න කියලා. මාත් ඉතින් සුදු යුනිෆෝම් එහෙම ඇඳගෙන රෙඩී උනා යන්න.. ඒසී බස් දෙක තුනක් ගියාට අපි ඉතින් මුලින්ම එන නිසා ඒ ඔක්කොම මිස් උනා බොහෝම අමාරුවෙන් අන්තිම මොහොතේ එස්කොට් එක යන බස් එහෙක එල්ලිලා ගියා.. ගියා තමයි.. මුලින්ම වැලි කාගෙන පාරක් වගේ එහෙක ගිහින් එන්ටර් උනා පට්ට කැලේකට.. ඔන්න එවලේ කොල්ලෙක් ගෙනත් දුන්නා හෙල්මට් එහෙකුයි බොඩි ආමර් එහෙකුයි සර් දා ගන්න කොටි ඇම්බුශ් තියෙන්න පුළුවන් කියලා.. අම්මගේ රෙද්ද තුම් මුනින් දාඩිය දාගෙන ඕක අටවන් යනවට වැඩිය වෙඩි කාල මැරෙන එක ලේසි නිසා මං හෙල්මට් එක සීට් එක යටට දාල බොඩි ආමර් එක බස් එකේ ජනේලට හේත්තු කරලා ඒකට ඇලවෙලා කපල ගැහුවා.. කපල ගහනවා කියන්නේ හොඳට නිදා ගන්න එකට.. එතකොට නිදි කිරා වැටෙන එකට කියන්නේ කුකුලා ගහනවා කියලා..

ඔන්න කොහොමින් කොහොම හරි පැය දෙහෙකට විතර පස්සේ කැලයක් මැද තියෙන පට්ට ප්ලේස් එහෙකට ඇවිත් ගොඩ බැස්සා.. බැලින්නම් තිරියාය ගිරිහඬු සෑය..

තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයෝ.. ඔහොම තමයි ඉස්සර අපේ සමාජ අධ්‍යයනය ටීචර් කියලා දුන්නේ.. ලංකාවට ගොඩ බැහැලා බුදු හාමුදුරුවොන්ගේ ‘නිසැක’ කේශ දාතු තැන්පත් කරල හදපු සෑය. කල්ලරාව ට පිටිපස්සෙන් මහ ගල් කන්දක් උඩ තියෙන පට්ටම ප්ලේස් එකක්. ඕක උඩට නැගපුවාම වටේම පේනව සුපිරියට. ඔය මර්චන්ට් බ්‍රදර්ස් ල ගොඩ බැස්ස තැන ගැන ස්ටෝරි දෙක තුනක්ම තියෙනවා.

සමහරු කියනවා කල්ලරාවට පහලින් තියෙන පොඩුවකට්ටු වලට ගොඩ බැස්සලු. පොඩුවකට්ටු ගැනනම් පහුව කියනවාමයි..

සමහරු කියනවා කල්ලරාවට ඉහලින් යාන් ඔය වැටෙන තැනට ගොඩ බැස්සලු. අන්න අනිත් පොට් එක.. කොළඹ හෙන පොරවල් සෙට් එකක් ඉස්සර එනවා යුද්දෙ නතර වෙච්චි අලුත යාන් ඔය මං ඔය කියන පොට් එකට ඈන්ග්ලින් වලට.. ෆෝ වීලර්ස් වල ඇවිත් කෑම්ප් ගහගෙන දවස් ගනන් ඈන්ග්ලින්. මං තුමා තමයි සාදර අනුග්‍රහය ඒරියා ක්ලියරන්ස් වලට.. එකෙක් සුකී. කොළඹ සුකී’ස් වොක් එක ගැන ගොඩක් දෙනෙක් අහල ඇති.. රාජකීයන් නම් කොහොමත් දන්නව ඇති ඉස්කෝලෙ ඉස්සරහමනේ තිබ්බේ. ඌ හදනව සුකී’ස් ස්පෙශල් සෝස් එකක් දාල සීසන් කරපු චිකන් ෆ්‍රයි එකක්.. ෆහ්.. කිල් ෆකින් කර්නල් කැලේ.. ඌප්ස්.. ඒ ගැනත් එතනින් ඉවර කරමු. ආයි කියන්නේ නෑ. කියන්න හම්බුනොත් නිකන් බෝනස් එකක් වගේ තමයි.

තව මතයක් තමයි යාන් ඔයට ඉහලින් තියන ‘අරිසිමලේ’ වැල්ලට ගොඩ බැස්සයි කියනේක.. අරිසිමලේ ගිය අය ඉන්නවද? අරිසි කියන්නේ හාල් වලටනේ දෙමළෙන්. මෙතන තියෙන්නේ නිකම්ම හාල් නොවෙයි ඔරිමජිනල් සම්බා.. පිස්සු හැදෙනවා එහෙම වැල්ලක්. ආයි ලොවෙත් හොයන්න බෑ.. දැන්නම් මං හිතන්නේ එතන වැලි ඇත්තෙම නැද්ද කොහෙද බලන්න ගිය වුන් පොට්ටනි ගහන් ඇවිත්ම..

අප්පට සිරි පෝස්ට් එක දිග වැඩි වෙනවා නේද.. රායිට් කොහොම හරි කල්ලරාව ගැන දෙවෙනි මතකයට ආවනේ.. ඉතුරු කොටසකින් යලිත් හමුවෙමු.. ඇත්තටම කියන්න ආවේ යුද්ධයේ අන්තිම වකවානුව ගැන බොහෝම සංවේදී මතක ටිකක් හරියට අර පොඩි උන් දෙන්න ගැන වගේ. ඒත් මතක් වෙන වෙන එව්ව ඔන්නොහේ ලියුවා.. කැමති එකෙක් කියවලා බනින්නේවත් නැතැයි.. එහෙනම් යලි හමුවෙමු.

Related Posts

1 Comment

  1. කල්‍යාණ මිත්‍ර May 16, 2015 at 8:24 am - 

    ස්තූතියි අජිත් අයියා.

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල