කාලීන සංවාද, විශේෂ

වීරෝදාර රණවිරුවා හෙවත් අසංකයා…..

Off

මට මතකයි හමුදා මළ ගෙයක්. උගේ නම අසංක. මගේ යාළුවෙක්. බැඳලා. දුවෙක් හිටියා. පුදුමාතලන් වලදි මෝටාර් එකක් වැදුනා. ඌ එතනම ඉවරයි.

උගේ බොඩිය ගෙනාවා. අහළ ගම් හතක උන් එකතුවුනා. මහා බැනර් තොගයක් වැටුනා. හැමෝම අවංකවම දුක්උනා. සමහරු ඇඬුවා. බොරුවට නෙමේ. ඇත්තටම.

අසංකයා හොඳ එකෙක්. ඌ යුද්දෙට ගියා. මළගෙදර හර බර දේශනාවල මොන කතන්දර කියවුනත් ඒ ඇයි කියලා මං දන්නවා. යුද්දෙ දරුණුවටම යද්දි ඌ මැරෙයි කියලා ඌට හිතිලා තිබුනා. ඒත් ඌ හමුදාවෙන් පැනලා ආවෙ නැත්තෙ ඇයි කියලා මම දන්නවා. ඌ කිව්වෙ මැරෙනවනං මැරෙයි කියලා. උගේ ඉරණම යුද්ධය කියලා ඌ පිළිඅරන් තිබුනේ. ඒකෙන් ලැබෙන ඕනෙ දෙයක් පිළිගන්න ඌ සූදානමින් හිටියා.

ඌට තිබුනේ ඉලක්කයක්. ඌට එදිරිව එන ටෙරා ලා හැකිතරම් ප්‍රමාණයක් විනාශ කරලා තමුන්ගේ ජීවිතය රැකගන්න එක. ඌව හමුදාවේ ඉහළින් කළමණාකරණය කලා. ‘ත්‍රස්තවාදයෙන් රට ගලවාගැනීම’ වගේ ලොකු දේශපාලන ඉලක්කයක් වෙනුවෙන්. ඌ යන්න ඕනෙ තැන්, කරන්න ඕනෙ දේවල් ඌට නියම කලා. ඒ හැමදේම ඌ ගත්තේ ඉරණම විදිහට.

නමුත් උගේ ඉලක්කය වෙනස් උනේ නෑ. ටෙරා ලා හැකිතරම් ප්‍රමාණයක් විනාශ කොට තමුන්ගේ සහ තම හමුදා ඛණ්ඩයේ සහෝදර ජීවිත බේරාගැනීම.

නමුත් නොදන්නා එකෙකුගේ මෝටාර් ප්‍රහාරයකින් ඌ පැරදුනා.

අසංකට මෝටාර් එක ගහපු එකා අද ජීවතුන් අතර ඉන්නවද දන්නෙ නෑ. බොහෝ විට නැතුව ඇති. ඌත් අසංකට වෙනස් වෙන්න විදිහක් නෑ. එක්කෝ ඊලාම් දේශයක ලොකු සිහින ගොඩක් එක්ක ඌත් එල්.ටී.ටී.ඊ යට බැ‍ඳෙන්න ඇති. එහෙමත් නැතිනම් ඌට ඒකට බල කෙරෙන්නැති. කොහොමහරි ඌත් ආපහු හැරෙන්න බැරි යුද්දෙකට ආවා. ඊලාම් දේශයක් වෙනුවෙන් ඌවත් ඉහළින් කළමණාකරණය කලා. ඌටත් යා යුතු තැන්, කල නොකල යුතු දේවල් ඉහළින් නියම කලා. ඒක උගේ යුද ඉරණම. ඒවගේම උගේ ඉලක්කයත් අසංකගේ ඉලක්කයට වඩා වෙනස් වෙන්න විදිහක් නෑ.

ඒ අනුව ඌ අසංකගේ ඉසව්වට මෝටාර් එකක් ගැහුවා. ඌ නොදන්නා එකෙක් මැරුණා. හමුදා කාරයෙක්.

ඌ ඒ මොහොතට දිනුවා.

අපි අසංකව රණවිරුවෙක් කලා. අරුන් මෝටාර් කාරයව මහ විරුවෙක් කලා.

රණ විරුවා වගේම මහ විරුවා කියන්නෙත් තක්කඩි වචන.

මම යුද්දෙට ගියේ නෑ. මැරෙන්න බය නිසා. (හරි හරි… ඔය වෙන වෙන හේතු නිසා යුද්දෙට නොගිය අය මට වඩා පොරවල් කියලා මං පිලිගන්නවා)

මම අසංකයව යැව්වා. ඌ උගේ කැමැත්තෙන් ගියත් ඌ ඉන්නවට හරි මැරෙනවට හරි මම පඩි ගෙව්වා. ඌව වීරයෙක් කලා. ඒ උගේ ඉලක්කය වෙනුවෙන් නෙමේ. ‘රට ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමේ’ මගේ දේශපාලන උවමනාව වෙනුවෙන්. අසංක බෝයගනේ ඉඳන් පුදුමාතලන් ගියේ උගේ හිතුවක්කාරකමට නෙමෙයි. මගේ උවමනාවට මමයි යැව්වේ. ඌ මැරුණේ මං නිසා.

මගේ ගොදුරක්….!

එහෙම හිතන එක හරි අමාරුයි. ඊට වඩා පහසුයි ඌ රට වෙනුවෙන් පුදුමාතලන් ගියා කිව්වම.

මම වගේද රට? එතකොට ඌ වීරයෙක්. රණවිරුවෙක්. ….!!

යුද ඉරණම ජයගන්න බැරිඋන අසංකලාත්, මෝටාර් කාරයොත් විශාල ගානක් මළා. තවත් විශාල ගානක් යුද ඉරණමත් එක්ක සටන් කරලා දිනුවා. අපිට ඕනෙ විදිහටම යුද්දෙ දින්නා. අරුන් හිතපු නැති විදිහට යුද්දෙ පැරදුනා.

අසංක කියන්නේ මම බාරගන්න බයවුනු ඉරණමක් කිසිම පැකිළීමකින් තොරව අරගත්තු එකෙක්. බය නැති එකෙක්. ඌ පැරදුනා.
එතකොට ඌව පුදුමාතලන් යවපු, ඌට වඩා මරණෙට බය මම දිනුම්ද?

(ආ.. හරි හරි…. රට දිනුම්නේ නේද?)

ත්‍රස්තවාදයෙන් රට මුදාගැනීම කියන ලොකු ජය සමරන හැම මොහොතකම අර යුද ඉරණමත් එක්ක ජීවත්වුනු පොඩි මිනිස්සු යට යනවා. මම වෙනුවෙන් මැරුණු අසංකලා වගේම බඩගින්න, වෙහෙස, නිදිමත, එක්ක අප්‍රමාණ ගැහැටක් විඳගෙන යුද ඉරණම ජයගත් මිනිස්සු එක ගොඩේ ‘රණ විරුවන්’ වෙනවා. අසංකයව පුදුමාතලන් යවපු මමත් ජයග්‍රාහකයෙක් වෙනවා. ඔක්කොම දිනුම්.

කකුලේ තුවාලයක් හැදිලා ඒක සුව වීම සමරන්න දෙයක් නෙමෙයි. එහෙම තුවාලයක් හැදීම ගැන නැවත හිතන්න ඕනෙ මොහොතක්. ඒ තුවාලය සුව කරන්න දුක් විඳපු මිනිස්සු ගැන කෘතඥ වෙන්න ඕනෙ මොහොතක්. මගේ තුවාලයක් වෙනුවෙන් මිනිසුන් කොටසක් අපා දුක් විඳවීම ගැන අඬන්න ඕනෙ මොහොතක්.

සිංහල දෙමළ ඔක්කොම.

දැන් මේක කියෙව්වාම වැඩිපුරම වැටෙන කමෙන්ටුව තමයි “රට පුරා බෝම්බ පිපිරෙන එක නැවතුනේ නැත්තං ඕක ලියන්න හරි උඹ ජීවතුන් අතර ඉඳියිද?” කියන එක.

දැම්ම උත්තරේ දීලා තියන්නං.

“ඒකට තමා ඕයි මම අසංකයව පුදුමාතලන් යැව්වේ…!!”

http://reargate.blogspot.co.uk/2015/05/blog-post_17.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල