කෙටි කථා, විශේෂ

මනාළි (කෙටි කතාව )

Off

නින්දත් නොනින්දත් අතරේ ගෙවුන රැ‍ය පහන් වු බව කියමින් දන්න දා පටන් උවමනා වෙලාවටත් කලින් මා අවදිකරවන එලාම් ඔරලෝසුවේ හඩ ඇසෙන්නට විය.

“චූටි පුතා….කෝ තාම ඇද උඩද?…නැගිටින්න නැගිටින්න”

“තාම හතවත් වෙලා නෑනෙ…මං තව ටිකකින් නැගිටින්නම්”

“හතයි විස්සට කලින් ගෙයින් එලියට බහින්න ඕනි…පරක්කු නොකර ඉක්මනට ලෑස්ති වෙන්න. අප්පච්චිනම් ලෑස්ති වෙලා ඉවරදත් කොහෙද” නිදි වැරූ ඇස් දෙක අම්මාගෙන් සගවාගන්නට පොරෝනය තුලට ගුලිවී අනෙක් පස හැරෙන්නට ගත් උත්සහය වලකමින් ඈ මගේ ඉහ අද්දරින් අසුන් ගත්තේ පොරෝනය පසෙකට කරමිනි.

“ඒකටත් නැකතක් බැලුවද”

“නැකතත් නෙවෙයි සුබ හෝරාවක්”

“ඉතින් දෙකම එකයිනෙ” ජීවිතයම හදහන් කොටු අස්සේ ගලපන්නට තතනන අම්මා සමග වාදයක පැටලීම අදවන් දිනක නොකල යුත්තක් බව හිතෙන්නට පෙර කට ඉස්සර විය.

“බොරුවට මාව අවුස්සගන්නැතුව මේ තේ එක බීලා මූණ කට සෝදාගෙන ලෑස්ති වෙන්න” ඈ තේ එක ලියන මේසය මත තබා තරවටු බැල්මක් හෙලමින් නැගිට්ටද වෙනදා මෙන් ග්‍රහ තාරකා වල බලය මට ඒත්තු ගන්වන්නට උත්සහ නොකලාය.

“ජූතක බමුණා වගේ නැතුව ඔය රැවුල එහෙම කපලා හොද කලිසමක් ෂර්ට් එකක් ඇදගන්න” දොරෙන් පිටවන්නට පෙර ඇය තවත් අවවාදයක්ද එකතු කරන්නට අමතක නොකලාය.

“හතට විතර ගිහින් කල් වැඩි නැද්ද අම්මා…කුකුළා කරේ තියාගෙන ගියාම ඒ මිනිස්සු හිතයි අපි මහ කුලප්පුකාරයො ටිකක් කියලා”

“පැල්මඩුල්ලෙ කිව්වට එතන ඉදලත් තව ඇතුලට යන්න තියෙනවලු. පාරවල් හොයාගෙන යනකොට වෙලා යයි…ඒ නැතත් අනුත්තරා දුව ගන්නත් යන්න තියෙන නිසා ටිකක් කලින් යන එක කෝකටත් හොදයි. එහෙත් විනාඩි දහය පහොලවක් පරක්කු උනත් අපිට එකොලහමාරවත් වෙනකොට යාගන්න පුළුවන්”

“කවුද එයාට එන්න කිව්වෙ අම්මද”

“නෑ අයියා එන්න කියලා තියෙන්නෙ”

“එයාට ඉතින් අනූට වඩා කවුරුත් ඉන්නවයැ” අම්මා සිනහව මැඩගෙන නෝක්කාඩු බැල්මක් හෙලීය.

“කතා කර කර ඉන්නැතුව ලෑස්ති වෙන්න”

“මට කිව්වට අම්මත් තාම ලෑස්ති නෑනෙ”

” මං කිරිබත් ටික කපලා විජහට ලෑස්ති වෙන්නම්…ඔය තුන්දෙනා ලෑස්ති වෙලා කන්නකො”

“කිරිබතුත් හැදුවද”

“නැතුව…සුබ ගමනක් යන්න ඕනි කිරිබත් කටක් කාලා” තවත් මා හා කතාවේ පැටලී කිරිබත රොස්කර ගන්නට තිබූ අකමැත්තටදෝ අම්මා කාමරයෙන් පිටවුයේ දින ගනනාවක් පුරා හිතේ පැසවන තුවාලයේ වේදනාව යලිත් විදින්නට ඉඩහරිමිනි.

“ඔහොම රැවුල වවාගෙන ඉන්න එපා බාසුරු” රැවුල කැපීමට කණ්නාඩියට එබෙද්දී කල්පනා හිත අරක්ගත්තාය.

“ඇයි”

“එතකොට ඔයා මරුමුස් පාටයි”

“ඒ කොහෙ තියෙන පාටක්ද?…”

” ඔහොම රැවුල වවාගෙන කණ්නාඩියක් ළගට ගිහින් හොදට බලන්නකො…එතකොට ඔයාටම බලාගන්න පුළුවන් ඒ කොහෙ තියෙන පාටක්ද කියලා”
කාලයකට පෙර ඈ කියාදුන් අළුත් පැහැය අදින් පසු කැඩපතකට එබෙන වාරයක් වාරයක් පාසා මටම බලාගන්නට හැකිවනු ඇත. මේ විදවන්නට යන්නේ බොහෝදේ උපේක්ෂාවෙන් විද දරාගෙන ජීවිතය දෙස සුබවාදීව බලන්නට පුරුදුව උන් කල්පනා වැනි සරල සුන්දර යුවතියකට දුන් ගින්දරෙහි ප්‍රතිඵලය.
“කෝ ඔයා තාම ලෑස්ති උනේ නැද්ද” ගුරුපාට ඔසරියකින් හැඩ උන අම්මා යලිත් වරක් කාමරයට පිවිසියේ මම ඇදුමක් තෝරමින් සිටියදීය.

“මං මේ ෂර්ට් එකක් තෝරනවා”

“අර ලා නිල්පාට වැඩිය ඇදපු නැති එකක් තියෙන්නෙ..ඒක අදින්න”

“ඒකෙ මොකක්ද පැල්ලමක් තියෙනවා” කල්පනා කැමතිම ඇදුමකින් සැරසී මේ ගමන යාමට හිත හදාගැනීම තරමටම අම්මා රිදවීමද කල නොහැකි වුයෙන් බොරුවක් කියා ඈ රවටන්නට සිදුවිය.

“එහෙනම් මට මේ කට්ට ගහලා දීලා ඉක්මනට වෙන මොකක් හරි තෝරගෙන ඇදගන්න” අතෙහි ගුලිකරගෙන සිටි යතුරු කටුව මට දිගු කල ඇයට එවෙලෙහි මුහුණේ ඇති ඉරියව් වලින් හිත කියවන ඉස්පාසුවක් නොතිබුනේ වාසනාවටය.

“අම්මා නිකන් මඟුල් ගෙදරක යන්න වගේනෙ හැඩවෙලා තියෙන්නෙ”

“මඟුල් ගෙදරට වඩා හොදට ලෑස්ති වෙන්න ඕනි මේ ගමන යන්න තමයි පුතේ. කවුරු කොහොම කිව්වත් ඇදුමෙන් පැළදුමෙන් මිනිස්සුන්ව ඉබේටම මැනෙනවා. ඒ මිනිස්සු ඉස් ඉස්සෙල්ලාම අපිව දකින්නෙ අද. ඒකයි මං ඔයාටත් රැවුල එහෙම කපලා හොදට ලෑස්ති වෙන්න කිව්වෙ…මේ කටයුතු තීන්දු උනාට පස්සෙ ඔයා එහෙ යන එන වෙලාවක කොහොම ගියත් කමක් නෑ…ඒත් අද අපි හතර දෙනාම හොදට පිලිවෙලට යන්න ඕනි”

“අම්මා හරියට කතා කරන්නෙ මඟුල තීන්දු වෙලා වගේනෙ”

“තීන්දු උනා වගේ තමයි. අපි ඒ මිනිස්සුන්ට යෝජනාවක් යැව්වෙ හොදට හොයලා බලලා අපි කැමති නිසා. ඒ මිනිස්සු උනත් මේ යෝජනාවට කැමති වෙලා අපිට එන්න කියන්න ඇත්තෙ අකමැත්තක් නැති නිසානෙ. ඒ ගෑණු දරුවා කැමති උනොත් අපේ වාසනාව” ඕනෑවටත් වඩා බලාපොරොත්තු පිරුණු ඇගේ කටහඩ මොහොතකට මගේ හදගැස්ම වේගවත් කලාය.

“මටනම් ඒ ළමයගෙ ඒ හැටි ලස්සනක් පෙනුනෙ නෑ”

” ඔයාලා ඉතින් ලස්සනයි කියන්නෙ මූණෙ හත් තට්ටුවක් උලාගෙන එහෙන් මෙහෙන් මොනාහරි එල්ලගෙන ඉන්න අයටනෙ.. මටනම් ඒ කෙල්ල හරි සීදේවියි පුතේ….ඒ කෙල්ලගෙ හිනාව දැක්කත් බඩ පිරෙනවා”

“එහෙනම් අම්මට වැඩිය උයන්න ඕනි වෙන එකකුත් නෑ”

“හැඩරුව විතරක් නෙවෙයි පුතේ ඒ දරුවා බොහොම සීලාචාරකමට හැදුන දරුවෙක් කියලා කපු මහත්තයා කීප සැරයක්ම කිව්වා. ෆොටෝ එක දැක්කමත් තේරෙනවා වැඩි ආලවට්ටම් නැති චාම් දරුවෙක් කියලා…ඔයාලා ඔය කොළඹ තාලෙට හැදුනට මේ ගෙදරට ගැලපෙන්නෙ ඒ වගේ ළමයෙක් තමයි”

පුදුමයකට මෙන් අම්මා ගැලපීම් හොයන්නට පටන්ගෙන ඇත්තේ මා නොගැලපීම් හොයන්නට පටන්ගත් ඉසව්වෙ න්මය.

“ඔයා ලෑස්ති වෙන්න..අපිට යන ගමන් කතා කරන්න බැරියැ” කල්පනා ගැන මතකයේ අහුමුළු හොයන්නට ඉඩහැර ඈ ඉක්මන් ගමනින් පිටවිය.

ඇඟටම තද වුන නිල් පැහැ ඩෙනිම් කලිසමටකට සැහැල්ලු කමීසයක් ඇද උන් කල්පනා මුලින්ම මගේ නෙත ගැටුනේ විනෝද චාරිකාවකදීය. දුටුමතින් මහිත පැහැරගත් ඒ දඟකාර රුවැත්තිය ඉන්පසු ඈ තුලින් දකින්නට අපොහොසත්වීම මේ ගැටළු සියල්ලේ ආරම්භයයි. අපට ගැලපෙන්නේ වැඩි ආලවට්ටම් නැති චාම් යුවතියක් බව පවසන අම්මාට මෙන් සිතන්නට හැකියාවක් මා සතු වුවානම් හෙට අනිද්දාට කල්පනා ඇගේ පොඩි ලේලිය කරවන්නට තිබුනි.

නානා ප්‍රකාර ඇදුම් ආයිත්තම් වලින් සැරසෙන කාර්‍යාලයේ යුවතියන් සමග චාම් ඔසරියකින් සැරසී ගෙල මුලට කොණ්ඩ ගෙඩියක් බැද සේවයට යන කල්පනා සසදමින් දෙවසරකට කිට්ටු කාලයක් ගෙවා දැමුවද ඈ විවාහයක් ගැන කතා කරන තුරුම ඒ ඇසුර නවතා දමන්නට මට නොසිතෙන්නට ඇත්තේ අවාසනාවටය.

“මං මේ සතියෙ ගෙදර ගියාම අම්මට ඔයා ගැන කියන්න ඉන්නෙ” මාස හය හතකට උඩදී ඇගේ මුවින් පිටවු ඒ වචන හය හත නොවන්නට අප අදටද පෙම්වතුන්ව සිටින්නට ඉඩ තිබුනි.

“ඔයාට පිස්සුද”

“පිස්සුව හොද කරගන්න හදන්නෙ…මං අම්මට කිව්වම අම්මා තාත්තට කියයි…තාත්තා කියයි ඔයාට එන්න කියන්න කියලා.. ඔයාට තියෙන්නෙ තාත්තව හම්බෙලා පිස්සුව හොද කරන හැටියක් කතා කරගන්න එක”

“මං ඔයාට කලිනුත් කිව්වනෙ…තව ටික කාලයක් යනකල් ගෙදරට මං ගැන කියන්න එපා”

“ඇයි”

“නිකන් බොරුවට බබෙක් වගේ ඇ‍යි හුයි ගාන්න එපා…ඔයාලගෙ ගෙදරට කියන්න කලින් මං අපේ ගෙදරින් කැමැත්ත ගන්න ඕනි”

“එහෙනම් ඔයා අද හෙටම කියන්න”

“මං දැනටම කියලා තියෙන්නෙ” ඇගේ කන්දොස්කිරියාවෙන් ගැලවෙන්නට සිතා එදා මා භාවිතා කල බොරුව ජීවිත කාලයටම ලතවිල්ලක් එක් කරනු ඇතැයි මා සිහිනෙන්වත් නොසිතුවෙමි.

“ඉතින් අම්මලා මොකද කිව්වෙ” මා කී බොරුව තදින් විශ්වාස කල ඈට තවත් විස්තර දැනගැනීමට වුවමනා විය.

“මං ඔයාට නොකියා හිටියෙ දුක හිතෙයි කියලා….අපේ ගෙදරින් මේ සම්බන්දෙට චුට්ටක්වත් කැමති නෑ” වෙන්වන්නට තරම් සාධාරණ හේතුවක් සොයාගන්නට නොහැකිව උන් මා දිවට ආ ක්ෂණික බොරුවට දෙතොලින් පිටපනින්නට ඉඩහැරියේ සැනසුම් සුසුමක්ද සමගිනි. හිත රිදවාගත් ඈ එවෙලෙහි මගෙන් සමුගත්තේ අකමැති වීමට හේතු නොවිමසමිනි.

“මට දැනගන්න ඕනි ඔයාලගෙ ගෙදරින් මට අකමැති වෙන්න හේතුව” දෙදිනක්ම දුරකතනය ක්‍රියාවිරහිත කරගෙන උන් ඈ ඉන්පසුව ඒ ගැන විමසීමක් කලේ හේතු ගනනාවක්ම සොයාගන්නට මට ඉඩ ලැබුන පසුය.

“මං ඔයාට දවසකුත් කියලා තියෙනවනෙ…අපෙ අම්මලා නම්බුව, පරම්පරාව ගැන හරියට හිතනවා”

“අපේ අම්මලා තාත්තලත් ගමේ ජීවත් වෙන්නෙ නම්බුකාර විදිහට තමයි බාසුරු”

“ඒක ඇත්ත…ඒත් අම්මා ඔයාලා ගැන හොයලා බලනකොට දැනගෙන තියෙනවා ඔයාලගෙ අම්මා කලින් වෙන කෙනෙක් බැදලා හිටිය බව”

“ඉතින් ඒක අපි කාගෙන්වත් හංගන රහසක් නෙවෙයිනෙ බාසුරු.අම්මා වෙන කෙනෙක් බැදලා හිටියා විතරක් නෙවෙයි..අක්කයි මමයි තාත්තලා දෙන්නෙක්ගෙ දරුවො කියලා අපිත් දන්නවා. අපි ගැන දන්න හැමෝමත් දන්නවා…ඒක හංගන්න ඕනි දෙයක්වත් ලැජ්ජා වෙන්න ඕනි දෙයක්වත් කියලා මං හිතන්නෑ. එහෙම දෙපාරක් බැදපු එකම කෙනා අපේ අම්මා නෙවෙයිනෙ. අනෙක අම්මා ආපහු බැදලා තියෙන්නෙ අක්කගෙ තාත්තා නැති වෙලා අවුරුදු හතරකින්”

“ඔයා හිතන විදිහට අපෙ අම්මට හිතන්න බෑනෙ කල්පනා. අනික් ප්‍රශ්ණෙ ඔයාලගෙ අක්කා”

“ඇයි අපෙ අක්කා මොනා කරාටද”

“අක්කා බැන්දෙ කැතලික් කෙනෙක් කියලා අම්මා දැනගෙන…ඒකටත් එක එක ඒවා කිව්වා”

“ආගමක් කියලා එකක් තියෙන්නෙ මිනිස්සුන්ගෙ මනස සන්සුන් කරවන්න, විනයක් හදන්න, හොද නරක කියලා දෙන්න මිස මිනිස්සුන්ව වර්ග කරන්න නෙවෙයි. ඉපදෙනකොට කවුරුත් මං මේ ආගමේ මං අර ආගමේ කියලා දැනගෙන එන්නෑ. ඉපදුනාට පස්සෙ තමුන්ගෙ අම්මා තාත්තා අදහන ආගමක් අදහන්න දරුවො ඉබේටම පුරුදු වෙනවා මිසක් ”

“අන්න ඒකම තමයි අපෙ අම්මත් කියන්නෙ…ඔයාලා බුද්ධාගම..රොමේෂ් අයියලා කතෝලික…එතකොට එයාලගෙ දරුවො මොන ආගමේද?”

“එයාලටවත් නැති ප්‍රශ්ණනෙ බලාගෙන ගියාම ඔයාලගෙ අම්මට තියෙන්නෙ”

“ඒක තමයි මං කියන්නෙ…අපෙ අම්මලා මහ වෙනස් විදිහකට හිතන අය කියලා. මේ විසි එක්වෙනි සියවසේ උනාට අම්මලා තාම හිතන්නෙ දහ අටවෙනි සියවසේ විදිහට. ආගමේ ප්‍රශ්ණෙට වඩා අම්මට තියෙන්නෙ රොමේෂ් අයියලගෙ තාත්තගෙ රස්සාව” මුලින් ඉදිරිපත් කල හේතු දෙකම ඈ ඒ හැටි ගනනකට නොගත් නිසා මට තවත් යමක් එක් කරන්නට සිත්විය.

“ඇයි අයියලාගෙ තාත්තා කුඩු විකුණනවා කියලවත් කවුරුහරි කියලද”

“ඔයාට පිස්සුද?…එහෙම දෙයක් කියලා තිබුනනම් අම්මා මාවත් ගෙදර තියාගන්න එකක් නෑ. මමමයි අම්මට කිව්වෙ එයාලා මාළු බිස්නස් කරනවා කියලා. අම්මා අහනවා මාළු කාරයින්ට අපි කොහොමද නෑකම් කියන්නෙ කියලා”

“මං ඔයාලගෙ අම්මලට දොස් කියන්නෑ බාසුරු…ඒත් මට හරි පුදුමයි අපේ රටේ මිනිස්සු හිතන විදිහ දැක්කම. මාළු විකුණන මනුස්සයා මාළුකාරයා…ඉතිරි හැමෝම හොද වැදගත් මුදලාලිලා. සුපර් මාකට් වලත් මාළු විකුණනවා. ඒ නැතත් ඔය ගොඩක් කඩවල් වල විකුණන කරවල හාල්මැස්සොත් මාළුනෙ. අනේ මන්දා ලෝකෙ කොච්චර ඉස්සරහට ගියත් අපේ මිනිස්සු හැමදාම එකතැන ඉන්නෙ ඔන්න ඔය වගේ ආකල්ප නිසා. මිනිස්සු මිනිස්සුන්ව මනින්නෙ රස්සාවෙන් ඇදුමෙන් පැළදුමෙන් යන එන වාහනෙන්. මොන තරම් ජරා වැඩ කරලා උනත් හොදට ඇද පැළදගෙන වාහනේකින් ආවොත් ඒ මනුස්සයා වැදගත්”

ඇගේ හඩ තුල වු පසුතැවිල්ල සිතට වේදනාවක් වුවද විවාහ වීමේ අපේක්ෂාවක් නොමැතිව තවදුරත් ඒ ඇසුර පවත්වාගෙන යාමෙන් වැඩි වේදනාවක් විදින්නට සිදුවන්නේ ඇයටම නිසා මම නිහඩවීමි.

“අනේ මන්දා බාසුරු..ඔය වගේ පුංචි දේවල් ලොකුවට හිතන මිනිස්සු ඉන්නවා කියලවත් මට හිතන්න බෑ” බලපොරොත්තු සුන් වු මුහුණේද තුනී මදහසක් තවරා ගත් ඇගේ හඩ මට මේ දැන්ද ඇසෙන්නාක් බදු විය.

“වැඩිය ඒ ගැන හිතට ගන්න එපා කල්පනා…මං අම්මලත් එක්ක තව ටිකක් කතා කරලා බලන්නම්. බැරිම උනොත් අපි මොකක් හරි තීරණයක් ගමු. එතකල් මේ ගැන ඔයාලගෙ ගෙදරට නොකියා ඉන්න. නැත්නම් ඔයාටමයි හොද නැත්තෙ”

මා ගැන මගේ මුදු වදන් ගැන ඕනෑවටත් වඩා විශ්වාසය තැබූ යුවතිය මව්පිය ආශිර්වාදය ඇතුව මා හා සරණ යන්නට කොයි තරම් සිහින දුටුවාදැයි මා හරියටම දැනගත්තේ පසු දිනකය.

“මොකක් හරි ප්‍රශ්ණයක්ද කල්පනා” සති අන්තයක නිවසට ගොස් පැමිණි ඇගේ අඳුරු වත මට ප්‍රහේලිකාවක් විය.

“මට ප්‍රපෝසල් එකක් ඇවිත්” බොහෝ වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව ඈ ඇගේ හිත දවන ප්‍රශ්ණය මා හමුවේ තැබුවෙ දෙනෙත් කඳුළින් පුරවාගෙනය.

“ගෙදරින් කවුරුත් හොයනවා කියලා ඔයා මට කිව්වෙ නෑනෙ”

“ඒක කියන්න දෙයක් නෙවෙයිනෙ….ඔයා ගැන ගෙදරට කියන්න එපා කිව්ව නිසානෙ මේ හැමදෙයක්ම” වයසට නොගැලපෙන තරමේ උපේක්ෂාසහගත බවකින් ජීවිතය දකින්නට පුරුදුව උන් කලාතුරකින් පමණක් කෝපයට පත්වන ඇගේ වදන් වල වු අහිමිවීමේ වේදනාව හොදාකාරවම දැනුනත් ඇගෙන් මිදෙන හැටියක් කල්පනා කරමින් සිටි මට උදාවු අවස්ථාවට පයින් ගසන්නට නොසිතුනි.

“දැන් ඔයා මොකක්ද කරන්න හිතාගෙන ඉන්නෙ”

ඈ ‍යන්තමින් හිස හරවා මා දෙස බැලීය.වෙන්වීමේ තීරණය ඇගේ බාරයේ තබා ලිස්සා යන්නට සිතමින් සිටියත් ඒ දිගටි දෑසේ වු කඳුළු මා කෙතරම් වංචාකාරයෙක්දැයි මට මුල්වරට ඒත්තු ගැන්වුයේ එවෙලෙහිය.. බොහෝ වේලාවක් කල්පනා කරමින් සිටි ඈ යලිත් හඩ අවදි කලේ කඳුළු වියලවාගෙනය.

“අපේ ඔෆිස් එකේ සමහරු විශේෂ ගමනක් හරි වැඩක් හරි වැටුනම මග අරින්නෙ ගෙදර හොදට ඉන්න ළමයින්ව බොරුවට ලෙඩ කරලා.. ගොඩක් වෙලාවට මට අනෙක් මිනිස්සු මං අකමැති දේවල් කරාට තරහා යන්නෙ නෑ…මොකද මං දන්නවා මං අකමැති දේවලට කැමති අය ඕනි තරම් ඉන්නවා කියලා. ඒත් තමන්ගෙ වාසියට හොදට ඉන්න ළමයි ලෙඩ කරවන මිනිස්සු එක්ක මට පුදුම තරහක් එන්නෙ ”

හදිසි මංගල යෝජනාවත් සමග ඈ උමතු වුවාදැයි සැක හිතෙන තරමේ වෙනස් හඩකින් අපේ මාතෘකාවට කිසිසේත්ම අදාල නැති හෑල්ලක් කියවාගෙන ගිය ඇය මා දෙස එක එල්ලේ බැලීය.

“ඔයත් එන්න ඒ ජාතියෙ බොරුකාරයෙක් බාසුරු….අවුරුදු දෙකක් බොරු කාරයෙකුට ආදරේ කරපු මට අම්මලා හොදයි කියන කෙනෙක් එක්ක යන්න හිත හදාගන්න ලේසියි. ඒ නිසා මං ඒ යෝජනාවට කැමති වෙනවා”

“මොකක්ද මං කරපු බොරුව”

“බොරුව මොකක්ද කියලා මට වඩා හොදට ඔයා දන්නවා ඇති…ඔයා බොරුවක් කරත් මං ඔයාට ඇත්තටම ආදරේ කරපු නිසා තරහා කාරයෙකුට වගේ ඔයාට බනින්න මට බෑ…ඒත් මීට පස්සෙවත් තමන්ගෙ වාසියට අනිත් අය උකස් තියන පුරුද්ද නතර කරගන්න” නිදහසට කාරණා ගොනුකරගන්නට තබා මා කල වංචාව ඈ දැනගත්තේ කෙලෙසදැයි අසන්නටවත් ඉඩ නොතබමින් කියවාගෙන ගිය ඈ උන් තැනින් නැගිට්ටේ අපේ ඇසුර කෙලවර වු බව කියාපාමිනි.

“මොනාද ඔය හැටි කල්පනා කරන්නෙ” අප්පච්චීත් අයියාත් කාමරයට එබුනේ අදින් පසු අතීත මතක පොත සදාකාලිකවම වසා දැමිය යුතු බවට අණ දෙන්නට මෙනි.

“මනමාළිට පැටලෙයිද මන්දා” උස මහතින් මෙන්ම හැඩ රුවෙන්ද එක හා සමාන වු අයියාත් මාත් දෙස මාරුවෙන් මාරුවට බලමින් සිනාසුන අප්පච්චී මා අසලටම විත් සිටගත්තේ කරවටා සුරත යවමිනි.

“මොකක් හරි ප්‍රශ්ණයක්ද චූටි පුතා ?” වෙනදාට ඕනෑවටත් වඩා කියවන මගේ නිහඩ බවින් ඔහුට කුමක් හෝ වැටහෙන්නට ඇත.

“එහෙම මොකුත් නෑ අප්පච්ච්”

“එහෙනම් නිකන් බය වෙලා වගේ ඉන්නෙ ඇයි….මට ඇත්තම කියන්න චූටි පුතා….ඔයා මේ ගමන යන්න ලෑස්ති උනේ කැමැත්තකින් නෙවෙයිද”

“අකමැත්තක් නෙවෙයි අප්පච්චි…. මල්ලි බය වෙලා ඉන්නෙ අප්පච්චි කියපු කතාවට. බැරිවෙලාවත් මනමාළිට මනමාළයා පැටලුනොත් මොන දෙයියන්ට කියන්නද කියලා හිතෙනවා ඇති ” අයියාගේත් අප්පච්චිගේත් උස් සිනාහඩ පරදවමින් කල්පනාගේ හඩ දෙසවන යලිත් රැව්දෙන්නට වුයෙන් මට ඔවුන්ගේ සිනාවට එකතු වන්නට අමතක විය.

“ඔයා කියපු කරපු බොරු වලින් ජීවිත කාලෙටම විදවන්න වෙන්නෙ ඔයාටමයි බාසුරු”

“ඔයාට වැරදිලා කල්පනා…මං ඔයාට බොරුවක් කලේ නෑ”

“ඔව් මට වැරදුනා….ඒත් අපේ දෙමව්පියන්ට එහෙම වැරදෙන්න විදිහක් නෑ. ඒගොල්ලො අපිට පොඩි කාලෙ ඉදලම තෝරලා දෙන්නෙ අපි කැමතිම දේ නෙවෙයි අපිට ගැලපෙනම දේ.මේකත් ඒ වගේ දෙයක්. මං කැමති උනේ ඔයාට උනාට මට ගැලපෙන්නෙ ඔයාගෙ අයියා කියලා දෙමව්පියො තෝරලා ඉවරයි”

නිමි…..

http://sandamalisakunthala.blogspot.co.uk/2015/05/blog-post.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල