කාලීන සංවාද, විශේෂ

මොනවද මේ EB?

Off

ඊබී හෙවත් Efficiency Bar එග්සෑම් කියන්නෙ කාර්යක්ෂමතා කඩඉම් විභාග කියන එක. රාජ්‍ය සේවයේ ඉන්න හුඟ දෙනෙකුට මුහුණදෙන්න සිදුවන විභාග වර්ගයක් තමයි කාර්යක්ෂමතා කඩඉම් විභාග කියන්නෙ. රැකියාවලට අදාල ගැසට් නිවේදන වල තියන මේ වගේ ප්‍රකාශ හුඟ දෙනෙක් දැකල ඇති. “මාසික වැටුප් පරිමාණය: 15005-180×10-260×12-320×8 ; 15725ට ප්‍රථම කාර්යක්ෂමතා කඩඉමකි….” අපිට වැටුප් වැඩි වෙන්නෙ අවුරුද්දකට යම් මුදලක් වශයෙන්. මේ මුදල ආයතන ප්‍රධානියාගේ අනුමැතිය අැතිව ගන්න පුළුවන්. ඒ විදියට වැටුප් වැඩිවෙමින් යද්දි සමහර අවස්ථා තියනව විභාගයක් ලියල වැඩිවීම ගන්න වෙන. අන්න ඒ විභාග තමයි මේ කාර්යක්ෂමතා කඩඉම් විභාග කියන්නෙ. මේ විභාග වලට හුඟක් එන්නෙ වෙලාවට තමුන්ගෙ රාජකාරියට අදාල දේවල්ම තමයි. ඊට අමතරව රාජ්‍ය සේවය සම්බන්ධ පොදු කාරණ එහෙමත් එනව. කොහොම උනත් කාර්යක්ෂමතා කඩඉම් විභාග තියන එකෙන් වැඩි යමක් ඉගනගන්න පුළුවන්. ඊබී වල තියන අවුල තමයි අදාල කාලය තුල විභාගය පාස්කරගන්න බැරි වුනොත්, විභාගය පාස් වෙනකල් වැටුප් වැඩිවීම් නතර වීම. ඊටත් වැඩිය ලොකු අවුල තමයි නතර කල වැටුප් වර්ධක නැවත ලබාගැනීමට කවදාවත් නොහැකි වීම. මේ නිසා නිලධාරීන්ගේ ජ්‍යේෂ්ඨත්වට පවා පහල යන අවස්ථා එනව. ඒ වගේම උසස්වීමේ විභාග ආදිය‍ට ඉල්ලුම් කරන්න “නොකඩවා යම් වසර ගණනක් වැටුප් වර්ධක උපයාගත යුතුයි” කියන අවශ්‍යතාවය නැතිවීම නිසා ඒ කටයුතුත් අවුල් වෙනව. පහුගිය කාලෙ වාර්ගික අර්බුදයට උත්තරයක් විදියට සිංහල අයට දෙමළ භාෂාවත් දෙමළ, මුස්ලිම් අයට සිංහල භාෂාවත් ඉගනගන්න නියමවුනා. මේකෙ ප්‍රතිපලයක් විදියට දෙවන භාෂාව ඉගනගෙන ඊට අදාලව පිලිගත හැකි විභාගයක් පාස් කිරිම අනිවාර්ය අවශ්‍යතාවයක් බවට පත්වුනා. ඒ මදිවාට ඔය කියන සමර්ථභාවය පෙන්වීම කාර්යක්ෂමතා කඩඉමක් බවටත් පත්වුනා. හැබැයි අපි රාජ්‍ය සේවයට එද්දි ඔයවගේ කේස් එකක් තිබුනෙ නැති නිසා පරණ අය වෙනුවෙන් මේ වගේ විභාගයක් මඟින් වැටුප් වැඩිකිරීම යම් අසාධාරණයක් බවත් කියවුනා. මේ නිසා අපේ කාර්යාලයෙත් හුඟක් අය දෙමළ විභාග ලියන්න පෙළඹුනා. එක්කෙනෙක් හිටිය විභාග සත පහකට මායිම් නොකල. විභාග කතාව ඇදිල එද්දිම එයා වෘත්තීය සමිතියක ඉන්න හිතවතෙකුට කෝල් කරනව. “අයියේ දෙමළ වැඩේ මොකද?” “තාම නෑ බං….. ඉහලට දාල තියෙන්නෙ…..” කාලයක් තිස්සේ ඇදිල ගිහිල්ල අන්තිමට තීන්දුව ආව පරණ අයට ඕන නෑ කියල. ඒ වෙද්දි සමහර අය විභාගෙ සමත් කරලත් තිබුන. දෙමළ ලියන්න කම්මැලි වෙච්ච එකා නිකංම ගොඩගියා. දෙමළ ඊබී එකක් තියනව මේ තිස් එක් වැනිදා. අන්න ඒක දැකලයි මේ ටික ලිව්වෙ. ඊබී සම්බන්ධ කතන්දර කිහිපයක් තමයි මේ. ඔන්න හිටිය සංඛ්‍යා ලේඛණ නිලධාරියෙක්. මේ උදවියට නං දෙවන භාෂාව සමත් වීම අනිවාර්ය කරල තිබුන අතීතයේ සිටම. මෙතනදි දෙවන භාෂාව කියන්නෙ තමන් අධ්‍යාපනය ලබපු භාෂාවට පරිබාහිර අනෙක් ප්‍රධාන භාෂාව. මේ කියන සංඛ්‍යා ලේඛණ නිලධාරියා මුස්ලිම් කෙනෙක්. නමුත් ඔහු විභාග පාස් කරල තියෙන්නෙ සිංහලෙන්. එතකොට එයාගෙ මව් භාෂාව වෙච්ච දෙමළ තමයි දෙවන භාෂාව. රාජ්‍ය භාෂා එකෙන් පවත්වන විභාගයට ලකුණු දෙන්නෙ ලිඛිත පරීක්ෂණයට සීයට හතලිහක් සහ වාචික පරීක්ෂණයට සීයට හැටක්. සීයට හතලිහෙන් සීයට හතලිහක්, ඒ කියන්නෙ ලකුණු දහසයක් ලිඛිත පරීක්ෂණයෙන් ලබාගත් අය වාචික පරීක්ෂණයට කැඳවනව. අනේ ඉතිං මව් බාසාවෙන් විභාගය ලියල ඉහලම ලකුණු ගත්ත අපේ මහත්තය ගියා සම්මුඛ පරීක්ෂණයට. ගිහිල්ල දෙමළෙන් ඇට්ටි හැලෙන්න දුන්න. පරීක්ෂණ මණ්ඩලයට පුදුමයි! විස්තර අහල බලද්දියි දැනගත්තෙ සිද්ධිය. ඊලඟ කතන්දර ටික කිව්වෙ අපේ නෝන. මේ විභාග වලදි විභාග ශාලාධිපති ඇතුළු පිරිස වැඩිය ‘තදට’ නීතිය ක්‍රියාත්මක කරන්නෙ නෑ. ඔන්න නර්ස්ලාට ඊබී එකක් තිබුනලු හෙද විදුහලක. එතන පාලනය ගෙනියන ප්‍රධාන නිලධාරිනියක් තමයි ශාලාධිපති. ඥාන පටි එහෙමත් කස්ටිය ලඟ තිබුනලු. එක පිරිමි නර්ස් කෙනෙක් උත්තරයක් දැනගන්න කියල තමුන්ගෙ ඉස්පිරිතාලෙට කෝල් එකකුත් ගත්තලු. අර ශාලාධිපතිනිය එද්දි ෆෝන් එක කට් නොකර සාක්කුවෙ දාගත්තලු. එහා පැත්තෙන් කතා කරන සද්දෙ මැඩම්ටත් ඇහෙනවලු. “හරි හරි උත්තරේ අහගෙන ෆෝන් එක කට් කරන්න” කියල එයා කිව්වලු. තවත් වෙලාවක කෙටි ප්‍රශ්න වගයකට උත්තර ලියපු අංක සහිත කොල කෑල්ලක් එක නර්ස් නෝන කෙනෙක් ලඟට ආවලු. එයා ඒක ලියන අතරෙ ශාලාවෙ ඩියුටි ඉන්න මිස් කෙනෙක් ඇවිත් කොල කෑල්ල ඉල්ලල. අරය බයවෙච්ච පාර ඥාන පටිය හංගගත්තලු. ලඟට ආපු මිස් මෙහෙම කිව්වලු. “ඔය කොලේ ගෙනල්ල දුන්නෙ මම, අනිත් අයටත් බලාගන්න දෙන්න” හොඳම සීන් එක ඒක නෙවේ. ඔය රජයේ පොත්පත් වලට තියනව පොදු අංක. රෝගීන් ඇතුලත් කරන පොතක පොදු අංකය මොකද්ද කියල එක ප්‍රශ්නයක අහල තිබුනලු. කවුද ඕව බලන්නෙ, ඒ ගමන ගත්තලු ඉස්පිරිගාලෙට කෝල් එකක්. “ඔය ඇඩ්මිෂන් බුක් එකේ අංකෙ මොකද්ද කියන්න?” “අටදාස් හත්සිය දෙක” එහා පැත්තෙන් උත්තරේ ලැබුනලු. උත්තරේ ලියල ඇවිල්ල බලද්දි අංකෙ ඒක නෙවේලු. ඒ ගමන කතා කරපු කෙනාගෙන් ඇහුවලු මොකද්ද කරපු වැඩේ කියල. “ඇඩ්මිෂන් අංකෙ නේද ඇහුවෙ? ඔයා කතා කරපු වෙලාවෙ තිබුන අංකෙ තමයි කිව්වෙ” එයා කිව්වලු. බැලින්නං කියල තියෙන්නෙ රෝගියා‍ ලියාපදිංචි කරන්න දෙන අංකෙ! මේව සමහර වෙලාවට විතරයි වැඩ කරන්නෙ. සමහර උදවියගෙන් නං කිසිම උදව්වක් නෑ. අපේ ඔපීසියෙ නෝනල ටිකක් ඊබී ලියන්න ගිය වෙලාවක එතන ශාලාවෙ ඉඳල තියෙන්නෙ ගුරුවරු ටිකක්. කිසිම චාන්ස් එකක් දීල නැතුවා මදිවට එනකොට කිව්වලු මෙහෙම, “අපිට ඔයාල සලකන්නෙ නෑනෙ…. අපේ ඉන්ක්‍රිමන්ට් එකවත් හදල දෙනවද! ඔයාලට අපි සලකන්නෙ නෑ”

 

http://raj1st.blogspot.com/2015/05/eb.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල