කාලීන සංවාද

සමහරු….

Off
සමහරු මග දී දුටු විට අහක බලාගෙන යා යුතු නිසා දුරකථනය දෙස බලමින් යති. කතා කළ විට රැස්වීමක බව කියා කෙටි පණිවුඩයක් එවන ලෙස කියා එවති. එවන් දිනවල අපි පැයක් හමාරක් හඬමින් දිනපොත ලියමු.
සමහරු අද බොහෝ දුර ගොසිනි. විද්වතුන් ගේ කිත්පැසසුම් මැද, නව ලකුණක් සටහන් කරන දීර්ඝ ගමනකට මුලපුරමින් සිටිති. ඒ වෙනුවෙන් අපි හැම මොහොතක ම හදවතින් ආශිර්වාද කරමු. ඒ දෙස බලා අපරිමිත ලෙස සතුටු වෙමු. ඒ ගමනත් සමග, එදා සිටි සමහරු අද නො වෙති. මුහුණට හමු වන අයකු සිනා සී වචනයක් කතා කර ඉවත යද්දී, අප සමග කතා කිරීම නොවටිනා බැවින් ඒ සමග ම සිටි සමහරු අහක බලාගෙන යති.
ඒ ලෝකයේ හැටි ය. සමාජයේ හැටි ය. එවන් ලොවක කුමන මානුෂීය සම්බන්ධතා ද? විටෙක මම පේරාදෙණි පාලමට වී මහවැලි නදිය දෙස බලා සිටිමි. සදාකාලික සැනසුමක් සොයා යන්නට මට සිතෙයි.. ජීවත් ව සිටින මා කියැවීමට සමත් වූ කිසිවකු මෙලොව නොමැති බැවින් මම මුළු ලෝකය ම සඳහා මගේ දිනපොත ලියමින් සිටිමි. මා ඇසුරු කළ සමාජය මගේ මරණයෙන් පසු එය කියවනු ඇත.
සමහරුන්ගේ ගමන වෙනුවෙන් අපි සිය දහස් වාරයක් සුබ පතමු. සමාජයේ යම් යම් කොටස් වෙතින් බැණුම් අසමින්, ඒ ගමන දෙස බලා සිටීම ම අපි අපේ ආත්මය කරගෙන සිටිමු. ඒ සමහරු අප දුටු විට අහක බලාගෙන යති. වචනයෙන් විස්තර කළ නොහැකි විඩාවක් අපට දැනෙයි. දිනපොතෙහි පිටු ගණනක් ලියන්නට දේවල් සිතෙහි ඇත. එහෙත් මේ මොහොතේ එය ද විඩාබර ය. හැමදා ම නින්දට පෙර මෙන් අද ද “භවතු සබ්බ මංගලම්…” කියා සමහරුන් ගේ ගමනට ආශිර්වාද කර, පිරිටන් හත අටක් බී අපි හෙට වන තුරු නිඳා ගනිමු….

 

 

http://kurutugegeepota.blogspot.com/2015/05/blog-post.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල