කාලීන සංවාද, විශේෂ

ඕස්ට්‍රේලියාවේ කුණු රෙජීමයෙන් හොඳ ළමයි බිහිවෙන හැටි – Garbage regime in Australia

Off

මා වෙසෙන ගම, නගරය හෝ රට යනු කිසිසේත් ම කුණුවලින් මුළුමනින් ම තොර සුපිරි පරිසරයක් නොවේ.

සමහර විටෙක මග දෙපස හිස් බෝතල්, කෑන්, සිගරට් කොට, චොකලට් දවටන යනාදිය දක්නට ලැබේ. මා මේ සටහන ලියන මොහොතේ දුම්රියේ ආසන දෙස බැලූ විට පෙනේන්නේ, සමහරු තමන් කියවමින් සිටි පුවත්පත් (බොහෝ විට මේ නොමිලයේ දෙන සවස පුවත්පතයි) යනාදිය ආසන මත තබා ගොස් ඇති බවයි.

නමුත් මෙහි ඇති වෙනස නම්, පරිසරය අපවිත්‍ර නොකොට නිසි ලෙස කුණු බැහැර කිරීමට ක්‍රම සාදා තිබීමත්, ඊටත් වඩා තමන් ගේ කුණු නොමිලයේ ම අනුන් ගේ කුණු බවට පත් කරන්නට සිතන්නන් ඉතා අඩුවීමත් ය.

මා කලින් ලිපියක ලියූ පරිදි අපේ ගමේ නිවාසවල එකතුවෙන කුණු රැගෙන ගොස් එවා නිසි පරිදි කළමනාකරණය කිරීම නගර සභාවේ රාජකාරියයි. ඒ සඳහා ද, නගර සභාවෙන් කෙරෙන අනෙකුත් පොදු සේවා සැපයීම සඳහා ද අපි හැම කාර්තුවක ම මුදල් ගෙවමු.

අපේ ප්‍රදේශයේ හැම නිවසකටම නගර සභාවෙන් කුණු එකතු කරන විශාල ප්ලාස්ටික් භාජන තුනක් දී තිබේ. අප කළ යුත්තේ ඒවාට කැළි කසළ පුරවා සතියේ නියමිත දිනයේ නිවස ඉදිරිපිට පාර අයිනේ තැබීමයි. නගරසභා කුණු ලොරියෙන් ඒවා ඉවත් කෙරේ.

නිවසේ එකතුවෙන දිරා යන දේ (කුස්සියේ එළවළු පොතු, මස්, මාළු කැබලි යනාදී අපද්‍රව්‍ය සහ වත්තේ පිටියේ තණකොළ යනාදී කොම්පෝස්ට් කළ හැකි දේ) අප එකතු කළ යුත්තේ කොළ පාට භාජනයටය. මෙහිදී කුස්සියේ අපද්‍රව්‍ය දැමීම සඳහා දිරා යන සුවිශේෂී කොම්පෝස්ට් මලු වර්ගයක් ද අප හට සපයා තිබේ. මේ කොළ පැහැති භාජනයේ අපද්‍රව්‍ය නගර සභාව මගින් සෑම සතියකම නියමිත දිනයේ දී ඉවත් කරනු ලැබේ.


ප්‍රතිචක්‍රීකරණය කළ හැකි වීදුරු, ටින්, ප්ලාස්ටික් සහ වීදුරු බෝතල් සහ කඩදාසි යන අපද්‍රව්‍ය අප එකතු කළ යුත්තේ කහ පැහැති භාජනයටයි. මෙය ඉවත් කෙරෙන්නේ දෙසතියකට වරකි.

අනෙකුත් සියලුම අපද්‍රව්‍ය, විශේෂයෙන්ම ප්ලාස්ටික් මළුවල දැමූ අපද්‍රව්‍ය අප එකතු කළ යුත්තේ රතු පැහැති භාජනයට ය. එහි එකතුවන දෑ සෑම සති දෙකකට ම වරක් ඉවත් කෙරේ.

මෙහි දී යම් පාපෝච්චාරණයක් කළ යුතුව ඇත.

දිරා යන අපද්‍රව්‍ය තෝරමින් සුවිශේෂී මලුවලට දමා කොළ පැහැති භාජනයට දැමීම තරමක අමතර කර්තව්‍යයකි. එනිසා මා නම් එසේ කිරීමට පෙළඹෙන්නේ ඕනෑම කුණු ගොඩක් දැමිය හැකි රතු පැහැති කුණු භාජනය හිස් නොකරන සතිවල දී පමණි.

නිවසෙන් ඉවත් කෙරෙන ගෘහ භාණ්ඩ, විශාල පෙට්ටි යනාදිය හෝ ගෙවත්තෙන් ගස්වලින් ඉවත් කෙරෙන විශාල ප්‍රමාණයේ අතු යනාදිය වෙතොත්, හැම කාර්තුවකටම වරක් අපට විශේෂ කුණු ඉවත් කිරීමක් යොදා ගත හැකිය.

ගමක්, නගරයක් අපිරිසිදු වෙන්නේ නිවෙස්වලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය නිසා නොවේ. එක්කෝ නොසැලකිලිමත්කම නිසා හෝ හිතා මතා හෝ කෙරෙන අනිසි දේ නිසාය. එවැනි දේ වළකා ගත හැක්කේ ජනතාව ගේ සහභාගීත්වයෙන් පමණි. ඒ සඳහා ප්‍රජාවක සාමාජිකයින් තමන් ගේ යුතුකම් ගැන වැටහීමක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

එය කුඩා කාලයේ සිටම අපේ චින්තනය තුළට ඇතුළත් විය යුතු සාරධර්මයකි. තැන නොතැන නොබලා, කිසිදු වගකීමකින් තොරව, යන යන හැම තැනම කුණු දමන්නට පුරුදු වූ පසු එයින් ගැලවීම පහසු නැත.

ක්ලීන් අප් ඕස්ටේ‍ර්ලියා ඩේ” නමින් තමන් අවට වට පිටාව පිරිසිදු කිරීමේ සුවිශාල එක් දින ව්‍යාපාරයක් රට පුරාම ක්‍රියාත්මක කෙරෙන්නේ ඒ සාරධර්මය ගැන යම් අදහසක් හෝ අපේ සිත් තුළට ඇතුළු කරන්නටයි.

එක් කුඩා කථාවකින් මේ ලිපිය අවසන් කරමි.

මීට වසර කිහිපයකට පෙර මම එවකට ප්‍රාථමික පාසලේ ඉගෙනුම ලබමින් සිටි මගේ දියණිය සමග නිවස කරා පයින් ගමන් කරමින් සිටියෙමි. ඇවිදින මං තීරුව අසලම තණකොළ මත්තේ කුඩා ප්‍රමාණයේ හිස් බියර් බෝතලයක් තිබෙනු පෙනුණි.

මේ බොහෝ විට ඊයේ රාත්‍රීයේ කොලු ගැටයෙකු කර තිබූ හපන්කමකි.

ඒ ගැන කිසි තැකීමක් නොකළ මා කළේ එතැනින් යන අතර එයට පයින් පහරක් දී පාරේ අයිනට තල්ලු කිරීමයි. නමුත් මගේ දියණිය ගේ ප්‍රතිචාරය සහමුලින් ම වෙනස් එකක් විය.

“බලන්න තාත්තී මේ සමහර නෝටී මනුස්සයින් තමන් ඉන්නා පරිසරය ගැන කිසිම තැකීමක් නැති හැටි, අයියෝ! මේ බියර් බෝතල් පාරේ දාලා ගිහින්!” කියමින් ඇය ඇත්තට ම අඬන්නට පටන් ගත්තා ය.

“හරි, හරි, ඉන්න අපි හරි දේ කරමු!” යනුවෙන් කියූ මා කළේ, බියර් කුප්පිය අහුලා ගෙනවිත් අපේ නිවසේ ප්‍රතිචක්‍රීයකරණ භාජනයට දැමීමයි.

මා හොඳ ළමයෙකු වූයේ ඒ ආකාරයට ය!

-රසිකොලොජිස්ට්

ප/ලි:
කුණු කතා කිහිපයක් ම එක දිගට ලියූවෙමි. තව ඇත්තේ එකක් පමණි.

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල