අතීතකාමය

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 4 -ආවෝ ගියෝ සමග පැමිණි තරුණිය.

Off
ඇය ගැන අප සිත්තුළ තිබු ප්‍රතිරූපය වුයේ රෙද්ද හැට්ටය හැඳි ගැමි කාන්තාව හෝ ඔසරිය හැඳි වලව්වක ළමාතැනියකගේ රූපයයි.නමුත් දැන් රථයෙන් බසින්නේ ඩෙනිම් ජීන්ස් එකක් සහ බ්ලවුසයක් හැඳි කාන්තාවකි.සැබෑ ජීවිතය මෙසේ යැයි අපේ සිත් පිළිගන්නේ මදක් ප්‍රමාද වෙලාය.සෝමලතා සුබසිංහ මහත්මිය සමග එවකට ඇගේ ශිෂ්‍යයෙක් වුද පසුකාලීනව ඇගේ ලොකු බෑනා වන්නට නියමිතව සිටියාවුද චන්දන අලුත්ගේ(පසුව ආචාර්ය චන්දන අලුත්ගේ) සහ වික්‍රම සෙනෙවිරත්නද විය.පසුපස ඉදිරි අසුනේ සිට බිමට බැස්සේ අඩි හතක් පමණ උසැති කෙට්ටු විදේශිකයෙකි. සෝවියට් සංගමයේ ඈත පෙරදිග හෝ මධ්‍යම ආසියානු රටක වැසියෙක් වූ ඔහු බොහෝ සුහදශීලී තරුණයෙක් වූ අතර චිත්‍රපට කලාව පිලිබඳ උපාධිධාරියෙක් විය.අවෝ උගෝ නම්වූ ඔහුට අප සමග මිතුරුවූ පසු  ආවෝ ගියෝ යනුවෙන් ඇමතුවෙමු.
වෑන් රථයේ පසුපස අසුනේ සිට අවසානයට බිමට බැස්සේ දෙවඟනක් බඳු රුපශ්‍රීයෙන් යුත් නවයොවුන් වියේ වූ රූමත් විදේශික යුවතියකි.ඇත්දළ පැහැති ඇගේ වතට ගෙල තෙක් කෙටිවූ රන්වන් කෙස් කළඹෙන් වැටුනේ අමුතු ආලෝකයකි.නිල් පැහැති දෙනෙත් කාන්තියෙන් දිලිසෙමින් තිබිණි.කෙටි ස්කර්ට් එකක් සහ වර්ණවත් බ්ලවුසයක් හැඳ සිටි ඇය උසින් අඩි හයකට මඳක් අඩුය.අපි ඉහළට ගත් හුස්ම පහළට හෙලන්නට අමතකව අහසින් බට සුරංගනාවක් බඳුවූ මේ රූමතිය දෙස ඇසිපිය නොහෙලා බලා සිටියෙමු.
ලස්සන කෙල්ල නේදැ’යි සෝමලතා සුබසිංහ මහත්මිය ඇස් ඉඟිමරමින් කීවේ කෙල්ල දෙස වශීවී බලාසිටි අපට ඔලොක්කුවටත් එක්කය.මෙයා රුසියාවෙ,ලංකාවෙ නාට්‍ය ගැන පර්යේෂණයක් කරනවා.මේ දවස්වල අපිත් එක්ක ඉන්නෙ’ යි ඇය වැඩිදුරටත් පැවසුවාය.ඇය එම තරුණියගේ නමද කියූ මුත් දැන් මට අමතකය.සිහි එළවාගත් අපි ඔවුන් සියලුදෙනාම ආදරයෙන් පිළිගෙන ගෙතුළට කැඳවාගෙන ගියෙමු.’කෝ බෙනට් නැද්දැ’යි අසමින් වාඩිගත් ඇය තමන් අලුතින් නාට්‍යයක් කරන්නට පටන්ගත් බවත් විශේෂය වන්නේ මෙවර නාට්‍යය පුහුණුකරවන්නේ ගොළු බිහිරි ළමුන්ට වීම බවත් කීවාය.  පටන්ගනිද්දී කරන්නට පුළුවන් වේවිදැයි සැකයක් තිබුනද ඉතා ඉක්මනින් ඒ සැකය නැතිවූ බවද ඇය පැවසුවේ දැඩි උද්යෝගයකිනි.’මෙහෙම වැඩක් කරන්නත් පුළුවන් වුනානං මීට පස්සෙ දර කෑලි එක්ක වුනත් නාට්‍යයක් කරන්න පුළුවනි කියල මට හරිම ආත්ම විශ්වාසයක් ඇතිවුණා ‘යි ඇය කීවාය.
නාට්‍යයේ පුහුණුවීම් කරන ආකාරය සහ නාට්‍ය දර්ශනයක් යූ මැටික් වලින් වීඩියෝ කරවා ගැනීම ඇයගේ අභිප්‍රාය විය.ඇයගේ කැමරා ශිල්පියාවූ අවෝ උගෝ හෙවත් ආවෝ ගියෝ කැමරා උපකරණ පරීක්ෂා කරමින් සිටි අතර සෝමලතා මහත්මිය ඇයගේ අලුත් නාට්‍යය ගැන නොනවත්වා කතාකළාය.ඒ කරුණු දෙක ගැනම කිසි  උනන්දුවක් නොදැක්වූ අපි ගෙදරට පැමිණි රූමත් තරුණිය කෙරෙහි බොහෝ උනන්දු  වූවද එදිනට පසු නැවත ඒ තරුණිය දැකගැනීමේ වාසනාව නොලදිමු. එහෙත් අප මිත්‍ර ආවෝ ගියෝ පමණක් නිතරම බෙන් එකට ආවේ ගියේ කැමරා උපකරණ ගෙනයාමට සහ ආපසු ගෙනැවිත් දීමටය.
මට නැවතත් සෝමලතා සුබසිංහ මහත්මියව  හමුවන්නේ ඊට අවුරුදු දහයකට හෝ එකොළහකට පමණ පසුව චෙන්නායි නුවරදීය.ඒ වනවිට මගේ ජීවිතයේ විශාල පරිවර්තනයක් ඇතිවී තිබිණි.තැන තැන රස්තියාදු ජීවිතය අතහැර පිළිවෙලක් වී සිටි මම ඒ වනවිට විප්‍රවාසය අරඹා තිබුනෙමි. විප්‍රවාසයේ ප්‍රථම නැවතුම් පොළ වූ චෙන්නායි නුවරට පැමිණ අවුරුදු කීපයක් ගතවන විට සෝමලතා සුබසිංහ මහත්මිය සිය නාට්‍ය කණ්ඩායමත් සමග එහි පැමිණියේ එනුවර සිය නාට්‍යවල දර්ශන කීපයක් වේදිකාගත කිරීම සඳහාය.ඇය රැගෙන විත් තිබුණේ තොප්පි වෙළෙන්දා සහ විකෘති යන නාට්‍ය ද්විත්වයය.අපි තුන්දෙනා නාට්‍ය ද්වයම නරඹා සතුටු වූයෙමු.නිල්මිණි සිගේරා සහ චාන්දනී සෙනෙවිරත්න කලක් රඟපෑ විකෘති නාට්‍යයේ ප්‍රධාන චරිතය එවකට රඟන ලද්දේ නදී කම්මැල්ලවීර විසිනි.ඇය ප්‍රකට ලේඛකයෙකු සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ජයතිලක කම්මැල්ලවීරයන්ගේ දියණියයි.මගේ මතකය නිවැරදි නම් නදී පසුකලෙක කසුන් කල්හාර සමග විවාපත් වුවාය.කෞශල්‍යා ප්‍රනාන්දු සහ ප්‍රසන්නජිත් අබේසුරියද කණ්ඩායමේ සිටි බව මට මතකය.නාට්‍ය කණ්ඩායම වෙනුවෙන් සංවිධානය කර තිබු රාත්‍රී සාදයකදී මම පිංතුර ගත්තෙමි.ඊට පසුදින චෙන්නායිහි සමාජ සංවිධානයක් විසින් ඔවුන්ට හරසර දැක්වීම පිණිස තවත් සාදයක් සංවිධානය කර තිබිණි.එම සාදයට මට ආරාධනාවක් නොතිබූ බැවින් ගෙදරට වී සිටියෙමි. හවස්වරුවේ සෝමලතා සුබසිංහ මහත්මිය මට කතාකලාය.ඇය කීවේ සමරු සටහන් වශයෙන් මෙම සාදයේ පිංතුර ටිකක් ගැනීම අත්‍යවශ්‍ය බව හා යන වියදමක් ඇය විසින් දරන බවත් මේ හදිසියට ඡායාරුප ශිල්පියෙක් සොයාගැනීමට නොහැකි නිසා සාදය ඡායාරුපගත කරදෙන ලෙසත්ය.පිංතුර ගැනීමේ හෝ වියදමේ ප්‍රශ්නයක් නැති වුනත් ආරාධනයක් නොමැතිව එම සාදයට සහභාගී වන්නට මට නොහැකි බව ඇයට කීවෙමි.හවස් වෙද්දි ආරාධනා පත්‍රයක්ද සමග සාදයට යන්නට වාහනයක්  ගෙදරට එවන්නට ඇය විසින් කටයුතු සලසා තිබුණි.ඒ සෝමලතා සුබසිංහ මහත්මියගේ හැටිය.සාදයේදී ඇය සහ නාට්‍ය කණ්ඩායම ගීත ගයමින් සතුටුවන ආකාරය මම ඡායාරුපගත කරදුනිමි.

මෙය පසුගියදා ජීවන රඟමඬලෙන් සදහටම සමුගත් සෝමලතා සුබසිංහ මහත්මිය පිලිබඳ කෙටි මතක සටහනකි.ක්ෂේත්‍රයේ මගේ අත්දැකීම් ලියන විට ඇය ගැනද මතක මා සතුව පවතින බව පෙනුන හෙයින් මෙම සටහන තැබුවෙමි.එදායින් පසු ඇය නැවතත් මට මුණගැසුනේ නැත.මා ක්ෂේත්‍රයේ දිගටම රැඳී සිටියානම් සමහරවිට මේ මතකයන් මීට වඩා වැඩිවන්නට ඉඩ තිබුණි. නමුත් විවාහයෙන් පසු මා ක්ෂේත්‍රයට සම්බන්ධවීම ගැන බිරිඳගේ කිසිම මනාපයක් නොවීය.’ඔයාට කරන්න රස්සාවක් තියෙනවනෙ ඕවට යන්නෙ මොකටද,රස්සාවක් නැත්නං තව කමක් නෑ’ ආදී වශයෙන් ඇය තම අකමැත්ත පළකලාය. බිරිඳගේ අකමැත්ත හේතුවෙන්  විවාහයෙන් පසු ලංකාවේ ගතකළ අවුරුදු දෙක තුන ඇතුළත කිසිම නිෂ්පාදනයකට සම්බන්ධ වීමට හැකිවුයේ නැත. ඊට පසුකාලීනව ජීවිතයෙන් වැඩිහරිය විප්‍රවාසව ගතවුන බැවින් අදාළ ප්‍රශ්නය නැවත පැන නැගුනේද නැත. ඉදිරියටද ක්ෂේත්‍රයට සම්බන්ධ වනු ඇතැයි නොසිතෙන්නේ වර්තමානයේ කෙරෙන නිෂ්පාදන සිදුවන්නේ අප කර පුරුදු දැක පුරුදු ක්‍රමයට නොව අමුතුම ක්‍රමයකට බැවින් අප යල් පැන ගිය භාණ්ඩ වීමට ඉඩ ඇති බැවිනි.

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල