සාහිත්‍ය කළා විචාර

මිනිස් වර්ගයාගේ ගමන් මඟ වෙනස් කල හැරවුම් ලක්ෂ්‍යයන් හතක් – The Seven Turning Points In Human History

Off

මනුෂ්‍ය වර්ගයාගේ ඉදිරි ගමන් මඟ සහමුලින්ම වෙනස්කල සිදුවීම් එතරම් සුලභ නැත. වසර දෙලක්ෂයකට ආසන්නයැයි මානව විද්‍යාඥයින් ගණනය කොට ඇති මේ පෘථිවිය මත මිනිසාගේ ජීවිත කාලය තුල මිනිස් වර්ගයාට උපරිම බලපෑමක් කල එවන් අතිසුවිශේෂී සිදුවීම් හතක් පිළිබඳව පසුගියදා විද්‍යාර්ථීන් පිරිසක් අන්තර් ජාතික මට්ටමින් පැවැත්වුනු සමීක්ෂණයකින් අනතුරුව තොරතුරු හෙළිකලහ.
1. ගින්දර සොයාගැනීම.
2. රෝදය නිර්මාණය කිරීම.
3. ලිඛිත භාෂාවක් නිර්මාණය කොට ගැනීම.
4. පරමාණුක ශක්තිය සොයාගැනීම
5. සඳ ජයගැනීම.
6. ක්ෂුද්‍ර චිපය ( Micro chip ) නිර්මාණය කිරීම
7. ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලැබීම.
Cartoon from Daily Mirror
ලොව පුරා පැතිර සිටින විද්‍යාර්ථීන්ගේ එකමුතුවක් මඟින් තෝරාගැනුනු එම සුවිශේෂී සිද්ධීන් හතෙන් තුනක්ම මගේ ජීවිත කාලය තුල සිදුවීම මගේ ඉමහත් භාග්‍යයයක් කොට මම සළකමි. ඉනුත් අවසාන තීරණාත්මක සිද්ධියට අප මව් රටේ අපට බොහෝ ආඩම්බරයක් වූ අති ශ්‍රේෂ්ඨ ජන නායකයකු සම්බන්ධ වීම මට මහත්ම ආහ්ලාදයක් බව නොසඟවා පවසන්නෙමි.
මහජන සේවය කෙරෙහි එතුමාගේ ඇති ඉමහත් කැපවීම කෙතෙක්ද යත් මෙදිවයිනේ උත්තරීතර අනුත්තර නායකයාවූ සර්ව බලධාරී ජනාධිපති පදවිය පුරා දශකයකට ආසන්න කාලයක් දරා ජනතාව විසින් දැහැටි දඬුවක් භාවිතයෙන් අනතුරුව ඉවත දමන්නාක් මෙන් ප්‍රතික්ෂේප වූ කල්හි පවා තම ආත්ම අභිමානය ද අලුයම ලූ කෙළ පිඩක් මෙන් ඉවත දමා යලි පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියකට බැගෑපත්ව දණින් වැටී ඉල්ලුම් කිරීමට පමණ ඒ බලවත් විය.
පොලිස්පති පදවියෙහි කටයුතු කොට විශ්‍රාම ගත්තෙකු යලි පොලිස් කොස්තාපල් තනතුරකට අයදුම් කරන්නා බදුවූ මෙවන් නිර්ලජ්ජී ක්‍රියාමාර්ගයක් කෙරෙහි පවා එතුමා පෙළඹුනේ කිසිසේත්ම ඇට මිදුළු කෙරෙහි පවා කාවැදී නිදන්ගත වූ බල තණ්හාවකින් නොව හුදෙක් මහජන සේවයට ඇති බලවත් ඇල්ම කරණකොටගෙන බව අපක්ෂපාතී විචාරකයෝ එකහෙලා පවසති.
එලෙසම වසර හතලිස් පහක මහජන සේවයට පසු කෙලෙසක එතුමා විශ්‍රාම සුවයෙන් පසුවන්නටද? මහජන සේවය එතුමාගේ ලෙයට මසට කාවැදී ඇති සෙයකි. කුළු මහීෂයකු තප්පුලන්නාක් මෙන් වේදිකා දෙදරවමින් එතුමා පැවසූයේද එයම නොවේද? වසර විසිහතක් තම ජාතිය වෙනුවෙන් සිරබත්කෑ නෙල්සන් මැන්ඩෙලා මෙන්ම එතුමාද සිරබත් කෑවේය. ඒ කුමන හේතුවක් නිසාද යන්න කිසිසේත් අදාල නොවේ. වැදගත් වන්නේ සිරබත් කෑමය.
එසේ හෙයින් එතුමා අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ ලෙස පත් කිරීම මුරුවට තම ප්‍රධාන ආහාරය කොටගත් ලාංකීය වසභයින්ගේ පරම යුතුකම නොවන්නේද?
එතුමාට නාම යෝජනා ලබාදෙන බව, ජලය මිශ්‍ර නව පෙට්රල් වර්ගයක් ශ්‍රී ලාංකිකයින්ට හඳුන්වා දීමේ පුරෝගාමියාවූ හිටපු ඛනිජතෙල් අමාත්‍යවරයා ප්‍රකාශ කරත්ම දෙව්ලියන් සත්සියයක් එකෙණෙහිම අහසෙහි ප්‍රාදුර්භූතව පරසතු කුසුම් ඉසිමින් ආශිර්වාද කල බව දැනගන්නට තිබේ. පව් පවින් වැළකී පිරිසිදු ජීවිතයක් ගත කරන්නවුන්ට හැර අන් කිසිවෙකුට ඒ දෙවඟනන් දර්ශනය නොවන බැවින් කිසිදු පුවත්පත් වාර්තාවක ඒ බව සඳහන් නොවීම කිසිසේත්ම අරුමයක් නොවේ. මේ දෙවඟනන් පැමිණ පරසතු කුසුම් ඉසීම පිළිබඳව සැක පහළ කරන සර්ව අශුභවාදීන්ට ඒ පිළිබඳ නොවරදින සාක්ෂියක් නම් පුවත්පත් සාකච්ඡාවෙන් පසු හිටපු අමාත්‍යවරයාගේ හැසිරීමයි.
පුවත්පත් සාකච්ඡාවෙන් පසු එතුමෝ ‘මගෙන් කුණුහරුප අහගන්නට එපා ‘ යනුවෙන් පුවත්පත් කලා වේදීන්ට ඉතා සුහදව දැනුම් දුන්නෝය.එතුමා ක්ෂණික ආවේගයෙන් එසේ ප්‍රකාශකලේ යම් වැදගත් හේතුවක් ඇතුවය. පරසතු කුසුමෙහි සුගන්ධයට එතුමෝ ආසාත්මිකය. එබැවින් කිහිප වරක්ම එතුමාගේ සිරුරෙහි පතිත වන පරිදි පරසතු කුසුම් නොඉසින ලෙස කල කාරුණික ඉල්ලීම් දෙවඟනන් භාරව පැමිණි කණ්ඩායම් නායක දෙවියා නොසළකා හැරි හෙයින් එතුමෝ පසුවූයේ දැඩි කෝපයෙනි. පුවත්පත් කලාවේදීන්ට එළෙස ඇමතූයේ එසේ කෝපාවිෂ්ඨව පසුවූ හෙයින් බැව් බොහෝ දෙනෙක් නොදනිති.
හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඔබට සුබ අනාගතයක්! වසර හතළිස් පහකට පෙර ඔබ දේශපාලන දිවිය ඇරඹූ පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියෙන්ම ඔබට විශ්‍රාම යාමට හේතු වාසනා වේවා!!

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල