සාහිත්‍ය කළා විචාර

සීලවතී නැන්දා, සැන්ටි අයියා, සිමියොන් මාමා සහ යහපාලනය

Off

“මහින්ද මහත්තය යවල මෛත්‍රී පත්කලාට වැඩක් නෑ බං!” ඒ මගේ මිතුරෙකුගේ කතාවකි. ඊ‍ට හේතු විමසූ මාහට ඔහුගෙන් ලැබුන පිලිතුර මෙවැන්නකි.

“හොරු අල්ලනව කිව්වට හොරු ඇල්ලුවෙත් නෑ, මහා ලොකුවට බඩුමිල අඩුකලෙත් නෑ, සංවර්ධන වැඩත් නෑ, ඔක්කෝටම වැඩිය ඇඟට දැනෙන මොකුත් වුනේ නෑනෙ! මහින්ද මහත්තය හිටිය නං මොනව හරි කරනවනෙ!”

සීලවතී නැන්දා, මා කුඩා කාලයේ ගමේ විසූ කාන්තාවකි. දරුවන් දෙදෙනෙකුගේ මවක් වූ ඇගේ සැමියා මියගියේ දරුවන් කුඩාවියේදීය. ඇයට වඩා තරමක වයසින් අඩු සැන්ටි අයියා ඇගේ නිවසේ බින්න බැස්සේ සැමියාගේ මරණයෙන් වසර කිහිපයකට පසුවය. තරමක මරුමුස් පුද්ගලයෙකු වන ඔහු රැකියාවෙන් කුලීවැඩ කරන්නෙකි. කුඹුරු කපා පාගන කාලයට කුඹුරු වැඩද, මඩ වැඩ කාලයට කාගේ හෝ කුඹුරක කුලියට නියරවල් බැඳීමද හැරුනු විට ගොඩ ගොවිතැන් කරන්නෙකුගේ ගොවිපලක උදළුගෑම වැනි කාර්යකින් උපයාගන්නා මුදලින් වැඩි කොටස වැයකර කසිප්පු බීම ඔහුගේ අනිවාර්ය අංගයක් විය. එවැනි දින, ගණනින් බොහෝ වූයෙන්, සීලවතී නැන්දා සමඟ ඔහුගේ සුපුරුදු රණ්ඩු සරුවල්ද ගමට නුපුරුදු දේවල් නොවීය. මාසයකට දෙකකට වරක් රණ්ඩුව උපරිම තත්වයට ඇදී ගියවිට කුස්සියේ හැලිවලං පොලවේ ගැසීම සහ සීලවතී නැන්දාට ලැබෙන ගුටිබැට, ප්‍රතිකාර ලබාගැනීමට සිදුවීමට තරම් දුරදිග යාම දැක්විය හැකිය. සමහර සිදුවීම් අවසන් වන්නේ පොලීසියෙනි. අවුරුදු කිහිපයක ඇවෑමෙන් සැන්ටි අයියා නිවසින් එලවා දැමීමට සීලවතී නැන්දාට හැකිවිය.

සැන්ටි අයියාගෙන් පසු සීලවතී නැන්දාගේ ගෙදර බින්න බැස්සේ සිමියොන් මාමාය. සැන්ටිට හාත්පසින්ම වෙනස් පුද්ගලයෙකු වූ සිමියොන් මාමා වෘත්තියෙන් පමණක් සමානයෙකු විය. ඔවුන්ගේ ජීවිතය තවත් අවුරුද්දක් දෙකක් පමණ ඔහේ ගලාගිය අතර පෙර මෙන් රණ්ඩු සරුවල් කිසිවක් දක්නට නොලැබිනි. මේ අතර කාලයේදී සීලවතී නැන්දා යලි සැන්ටි අයියා සමඟ ඇයිහොඳයි කම් පවත්වන බව ආරංචි වූ අතර සිමියොන් මාමා දිනක ඇය අත්හැර ගොස් තිබිනි. වියයුතුම පරිද්දෙන් සීලවතී නැන්දා යලි සැන්ටි අයියා‍ට අයිති විය. සැන්ටි අයියා හදිසි මරණයකට ලක්වන තෙක් ඔවුන්ගේ ජීවිත පෙර පරිදිම විය.

මේ සිද්ධි දාමය සම්බන්ධයෙන් සීලවතී පැවසුවා යයි කී, පසු කලෙක වැඩිහිටියෙක් කියූ කතාවට, අවධානය යොමුකරනු වටී.

“ගැහුව බැන්න උනත් සැන්ටිය හොඳ එකා…. එයා ඉන්නකොට ඉතිං මොනවහරි කරනව…. ටිකක් බොන එකයි මට ගහන එකයි තමයි ඉතිං වැරැද්දකට තිබුනෙ…. ඒත් ඉතිං ඌ ගැහුවෙ බැන්නෙ මටනෙ!”

කතාව එපමණය. මුලින් කී මිත්‍රයා සහ සීලවතී නැන්දාගේ සමානතාවය දැන් ඔබට නොපෙනීමට හේතුවක් නැත.
ජනවාරි අටවැනිදා පැවැත්වූ ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමඟ වෙනස් වූවේ ජනාධිපති ධූරය පමණක් නොවේ. පාර්ලිමේන්තුව වෙනස් නොවුවද ආණ්ඩුව වෙනස් විය. මා මුලින් දැක්වූයේ නව ආණ්ඩුවට සාමාන්‍ය සමාජයෙන් එල්ලවන චෝදනාවකි.

පාලනය පිළිබඳ අපේ අත්දැකීම් අනුව, රටක් පාලනය යනු එක්තරා ආකාරයක සන්දර්ශනයකි. සංවර්ධිත රටක මෙන් ආණ්ඩුව ගන්නා ප්‍රතිපත්තිමය තීන්දු වලින් පමණක් සෑහීමකට පත්වීමට අපට නොහැකිය. කොතෙකුත් කොමිස් ගැසුවද කමක් නැත. බලා සැනසෙන්නට යෝධ සංවර්ධන ව්‍යාපෘති ඇවැසිය. ජනතා මුදල් කොතෙකුත් වැයකලද කම් නැත, ඇස පිනවන සන්දර්ශන ඇවැසිය. පහේ ශිෂ්‍යත්වය පාස්වන පොඩි එවුන් ජනාධිපති මන්දිරයට ගෙන්වා තෑගි දීම ඇවැසිය. කෝටි ගණන් වැය කරමින් පවුල් පිටින් ගුවන් යානා වලින් පිටරටවල සවාරි යාම ඇවැසිය. තව කෙලකෝටියක් නාස්තිකාර සන්දර්ශන ඇවැසිය. නායකයා රට පාලනය කරනවා යයි දැනෙන්නේ එවිටය.

ලංකාවේ ජීවත් වන බහුතරය සීලවතීලාය. ඔවුන්ට රජගෙදර බිල් අඩු කිරීම ඇඟට දැනෙන දෙයක් නොවේ. පවුල් පිටින් රට සවාරි යාම ඇඟට දැනෙන්නේ නැත. කොමිස් ගැසීමේ අරමුණෙන් අටවාගත් සංවර්ධන ව්‍යාපෘති නැවැත්වීම ඇඟට දැනෙන්නේ නැත. ව්‍යවස්ථාව වෙනස් කිරීම ඇඟට දැනෙන්නේ නැත. එබැවින් පාලනය පිළිබඳ ඔවුන්ගේ උකටලී වීම අරුමයක් නොවේ.

වැදගත්: මේ වත්මන් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව පිළිබඳ මගේ අදහස නොවේ. ජනවාරි අට වැනිදායින් පසු, මේ පාලනය යටතේ සිදුවී ඇති ජඩකම් බොහෝය. ඒ පිළිබඳ වෙනම කතාකල යුතුය.

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල