කාලීන සංවාද, විශේෂ

විජේවීර නුදුටු ජැප්පා දුටු සෝවියට් දේශය

2

මා සෝවියට් දේශයට ගිය මුල් අවුරුද්දේ රුසියානු භාෂාව, සහ උසස් පෙළ ගණිත විෂයන් නැවත රුසියන් භාෂාවෙන් හැදෑරීමට සඳහා වන පළමු වසර අවසන් කළේ මොස්කව් හි එයාරෝෆ්ලොට් නමැති ප්‍රදේශයේ පිහිටි මාදි (මොස්කව් වල මහා මාර්ග පිලිබඳ විශ්ව විද්‍යාලය ) නමැති රාජ්‍ය විශ්ව විද්‍යාලයට අනුබද්ධිත විශ්ව විද්‍යාලයකටය. එහි ඉගෙනීමට ජපනෙකුද පසුව පැමිණියේය. ඔහු සිටියේ මා උගත් පංතියේය. ගණිතය ටිකක් අමාරු නිසා ජැප්පා මගේ උදව් පැතුවේය. ජැප්පා ගේ රුසියන් භාෂා දැනුම හොඳ නිසා ඒ පැත්තෙන් මට ද උදව්වක් ලැබුණි. අප මිතුරන් වූයේ එලෙසය. තවත් පන්තියක මරියා නමින් පුංචි පිලිපීන කෙල්ලක සිටියාය. මේ කෙල්ලත් මා හොස්ටල් එකට එන විට පාර පැත්තේ තිබූ ඇගේ කාමරයේ සිට “අජී ” කියා අත වැනීමට පුරුදුව සිටියාය. ඒ නිසා මම ඇය සමගත් මිතුරු වීමි. මරියා ගේ පන්තියේ සිටි කාර්ලොස් ද ඇගේ හිතවතෙකු වුයෙන් කාර්ලොස්ද අපටම එකතු වුනි.

පළමු වන වසරේ මුල් වාරය අවසානයේ දෙසැම්බර් නිවාඩුව එළඹෙයි. මුළු පරිසරයම සුදෝ සුදු හිමෙන් වැසී ගොස්ය. මම මේ කාලයේ රාත්‍රියේ ඇවිදීම ප්‍රිය කරමි. රාත්‍රිය කළුවර නැත. මුළු ප්‍රදේශයම සුදු හිම නිසා අමුතුම සිත සනහන ළා එළියකින් ආලෝකවත් වී ඇත. මෙසේ ඇවිදින දෙතුන් වරකදී මට ජැප්පා ද මුණ ගැසුණි. භාවනා කරන්නාක් මෙන් ජපනා ඇවිදිමින් සිටිනු කීප වරක්ම දුටිමි.

අපේ සීත සෘතුවේ නිවාඩුවට විශ්ව විද්‍යාලය මගින් සියලුම විදේශික සිසුන් මොස්කව් අසල නිවාඩු නිකේතනයකට රැගෙන යනු ලබයි. මේවාට කියන්නේ පැන්සියෝනත් කියායි. විශාල ප්‍රදේශයක පැතිරී ඇති මෙහි සිසුන් පන්සීයකට පමණ එකවර නිවාඩුව ගත කල හැකි ලෙස නිර්මාණය කර තිබේ. ස්කී කිරීමට මෙන්ම වෙනත් හිම ක්‍රීඩා සඳහාද, ගෘහස්ථ ක්‍රීඩා සඳහාද පහසුකම් සපයා තිබේ. මා සමග තවත් ලාංකික සිසුවකු ද සිටි අතර ස්කි කිරීමට සහ රාත්‍රියේ පවත්වන ඩිස්කෝ එකටද අපි ගියෙමු. එහි සංගීතය ඇසීමට හා නැටීමට අසල ගම් වල තරුණ තරුණියන්ට ද ආරාධනා කර තිබුණි. වඩා සමාජශීලි අරාබි කරයේ සිටි පැමිණි සිසුන් හා ලතින් ඇමෙරිකානු සිසුන් පියකරු රුසියානු තරුණියන් හා හාදවනු අපි දුටුවෙමු. වඩා ලැජ්ජාශීලි වූ අපේ පිරිස ඩිස්කෝ ශාලාවේ අයිනට වී නටන බවක් පෙන්වමින් පියකරු තරුණියන් නටන දෙස බලමින් සිටියෙමු.

ජැප්පා ට මෙය දිරවුයේ නැත. තෙවන දිනයේ ජැප්පා මරියා සමග පැමිණ මට එලියට යාමට කතා කළේය. මගක් යනවිට කාර්ලොස් ද එකතු වුනි. අප නැවතී සිටි ගොඩනැගිල්ලේ එළියේ හිම පිරී තිබුණි. ජැප්පා බෑගයෙන් බියර් බෝතල් හතරක් ගත්තේය. එදා දවල් නිවාඩු නිකේතනයෙන් පිට එළියේ ඇවිද්ද ජැප්පා බියර් ආදිය විකුණන කඩයක් සොයාගෙන තිබුණි. සෝවියට් දේශයේ බියර් ඉතා ලාභය. කොපෙක් 20ක් පමණ වේ. අපි සුදු හිම පිරුණු පඩිපෙලේ ගොනුවී කතා කරමින් බියර් බීවෙමු. අපට සීතලක් නොදැනුණි.
jeppa_2ඉන්පසු අප කලේ උදේ ආහාරයෙන් පසු ක්‍රීඩා කිරීමත් දවල් ආහාරයෙන් පසු අර කඩයට ගොස් බියර රැගෙන විත් බීමත්ය. බෝතල් විසි නොකර නැවත කඩයට භාර දුන් විට ඒවාටද මුදලක් ලැබේ. එයින් ද බියරම මිලදී ගතිමු.

ජැප්පා ට සෝවියට් දේශයේ ජීවිතය ක්‍රමයන් එපාවී යමින් තිබුණි. ඔහු කැමති එකම දෙය කෑමය. ඔහු කීවේ ජපන් සුෂී වලට වඩා ඔහු රුසියානු කෑම ප්‍රිය කරන බවයි. මාත් රුසියානු අහර වලට ඉතා ප්‍රිය කරමි. දැනුදු එසේය. අපට උදයේ කිරෙන් ඉවු බත් (මේ කිරි බත් නොව කැඳ විශේෂයකි) හෝ බ්ලිනි නමින් මී පැණි සමග කෑමට තෝසේ වැනි කෑමද තම්බාපු බිත්තර හා සොසේජස් ද තිබුණි. දහවලට හරක් මස් වලින් සෑදු ගුල්යාෂ් සමග පොඩි කරන ලද අල හෝ රෝස්ට් කරන ලද කුකුළු පළුවක් සමග සලාද වැනි දේ හා සුප් එකක්ද හවසටත් ඒ ආහාරමද ලැබුණි. කේක් වර්ගද හවසට ලැබුණි. මේ සෑම විටම බිමට යුෂ වර්ගයක් හෝ කකාඕ හෙවත් උණු කිරි වලට චොකලට් කුඩු දැමූ පානයක් ද විය. (හොට් චොකලට්) මේ සියල්ලම නොමිලයේ රජයෙන් සැපයිනි.

කාර්ලොස් සහ මම මරියාගේ සිත ගන්නට උත්සාහ කල අතර ඇය අප දෙදෙනා සමගම උකුළු මුකුළු කළාය. ජැප්පා ඔහේ සිනා වෙමින් බලා සිටියේය. මෙහිදී මට දැන ගන්නට ලැබුනේ උන් තිදෙනාම එම රටවල කොමියුනිස්ට් පක්ෂ හරහා පැමිණි බවය. ජපානයට කොමියුනිස්ට් පක්ෂයක් තිබෙන බව දැන ගත්තේත් ජැප්පා නිසාය.

කාර්ලොස් ලතින් ඇමෙරිකාවේ ගරිල්ලා ව්‍යාපාර වලට සමච්චලයෙන් සැලකුවේය. සමහරක් ඒවා මත් ද්‍රව්‍ය ප්‍රවාහනයද කරන බවද ඔහු පැවසීය.දයාන් ජයතිලක ගේ දේශනා වලින් හා ලංකා ගාර්ඩියන් එකෙන් උගත් විමුක්ති කාමී ලතින් ඇමෙරිකානු ගරිල්ලා ව්‍යාපාර පිලිබඳ මගේ අදහස් අවඥාවෙන් බැහැර කල ඔහු ඒවා විමුක්තිය උදෙසා සටන් කරනු වෙනුවට ජනතාවට කරදර කරන ව්‍යාපාර ලෙස සැලකීය.

මරියා එතරම් දේශපාලනය කතා නොකළ මුත් පිලිපීනයේ වාමාංශික ව්‍යාපාරය සෝවියට් දේශය අනුගමනය කිරීම, පිලිපීනයේ වැඩි පිරිසක් දුප්පතුන් වුනත් අනුගමනය නොකරන බවත් ඔවුන් ඇමෙරිකන් ක්‍රමයට වඩා කැමැති බවත් පැවසුවාය. සෝවියට් දේශය සිතූ තරම් හොඳ නොවන බවද ඇගේ අදහස විය.

රජයේ ශිෂ්‍යත්වයකින් රුසියාවට පැමිණි මට කොමියුනිස්ට් පක්ෂ හරහා පැමිණි මොවුන්ගේ සෝවියට් විරෝධය සිනහවට කාරණයක් විය. රුසියන් භෂාවෙන් මට හැකි පරිදි අදහස් දක්වමින් විජේවීර නමැති ලංකාවේ වාමාංශික නායකයා චීන ක්‍රමයට කැමැති වූ බවත් එනිසා සෝවියට් දේශයෙන් පිටු වහල් කල බවත්, නමුත් සෝවියට් දේශයේ ලොකු වැරැද්දක් (පක්ෂයේ අධිපත්‍යය හැර ) දැනට නොපෙනෙන බවත් කීවෙමි. මා රුසියාවට ඒමට ප්‍රථම දිවයින පත්‍රයට ලිපි පෙළක් ලිවූ ආචාර්ය නලින්ද සිල්වා ඉදිරිපත් කළ “සෝවියට් දේශය පාලනය කරන සමාජවාදී පන්තිය ” ගැන ජැප්පා ට පැහැදිලි කලෙමි. සුචරිත ගම්ලත් ගේ ට්‍රොට්ස්කි වාදය හා ස්ටාලින්ගේ ක්‍රමයට ඇති විරෝධය ගැන කීවෙමි. ජැප්පා කලේ මේ විස්තර වලට මහා හඩින් සිනා සීමය.

ජැප්පා ට සිනා සීමට හේතු තිබුණි. රුසියානු තරුණ තරුණියන් මෙන්ම ගුරුවරුද ජැප්පා ට මහාභක්තියකින් සැළකූහ. ජැප්පා ළඟ තිබු ජපානයෙන් මිලදී ගත් පෑන් පැන්සල්, විදුලි උපකරණ අගය කළහ. ඒ දිනවල සින්දු ඇසීමට තිබුණු කැසට් දමන සෙට් අතර වෝක්මන් ද ඉතා ජනප්‍රියය. ජැප්පාට ද දෙකක් ම තිබුණි. අපේ සිසුන්ද මේවා ලන්ඩනයෙන් හෝ ජර්මනියෙන් මිලදී ගෙන රුසියානුන්ට විකුණුහ. 1977 ලංකාවේ විවෘත ආර්ථිකයෙන් මෙවැනි පුංචි සුඛෝපභෝගී යයි නම් කරන ලද භාණ්ඩ ලංකාවට ද ගලාගෙන ආමුත් වැඩි දෙනෙකුට ඒවා ගැනීමට මුදල් තිබුනා ද යන්න සැක සහිතය. මට නම් මුදල් තිබුනේ නැත. ජැප්පා සතුව තිබූ මේ භාණ්ඩ නිසා ඔහුගේ ජනප්‍රියත්වය වැඩි වුනු මුත් ජැප්පා මේ රුසියනුන් ගේ හේ අනිකුත් සමාජවාදී රටවල සිසුන් ගේ හැසිරීම සමච්චලයට භාජනය කළේය. ඔහුත් මමත් දෙදෙනාම සෝවියට් දේශයේ ජයග්‍රහණ ගැන බොහෝ වර කතා කෙරුවෙමු. ඇමෙරිකාවට වඩා හොඳ රොකට්, අභ්‍යවකාශය ජය ගැනීම, විශාල කම්හල්, විදුලි බලාගාර, විශාල ගොඩ නැගිලි ආදී විශාල දේ ගොඩ නැගීමට, විශාල ට්‍රක් රථ, කල් පවතින ජීප් නිපදවීමට හැකි මුත් කුඩා සංගීත පටිගත යන්ත්‍රයක් නිපදවීමට හෝ කුඩා බැටරියක් නිපදවීමට ඔවුන්ට නොහැකි වන්නේ මන්ද යන්න අප නිතර කතා කල මාතෘකාවක් විය. සෝවියට් දේශයේ එවැනි භාණ්ඩ තිබුන මුත් ජපානයේ මෙන් උසස් තත්වයේ නිෂ්පාදන නොවීය. මේ තත්වය ගැන අපි නිතර කතා කළෙමු.

ඊට අමතරව ජැප්පා ගේ වටේ කේජිබි යයි කිව හැකි කිහිප දෙනෙක් සැරි සැරූහ. දෙතුන් වාරයක්ම නිවාඩු නිකෙතනයේදීත් පසුව විශ්ව විද්‍යාලයේ දීත් ජැප්පා මට මොවුන් ව පෙන්වූවේය. ජැප්පා භය නැතුව එළියේ ඇවිද අසල ගමේ බියර් කඩය සොයා ගියේ ඇයිදැයි මට පසක් වුනි. ඔහුට භය වීමට කාරණාවක් නැත. ඔහුගේ පිටු පස කේජිබි සෙවනැල්ල වැටී තිබුණි. කිසිවෙකු ඔහුට කරදර කිරීමට ආවොත් ඔහුගේ කේජීබී මුර කරුවන් ඔහුව ආරක්ෂා කරනු ඇත. ජැප්පා එය මැනැවින් පාවිචිචි කළේය.

රෝහණ විජේවීර චීනයට පක්ෂව සෝවියට් දේශය විවේචනය කරමින් සෝවියට් දේශය ධනවාදයට දෙසට ගමන් කරන බවට චෝදනා කළේය. 1963 ඔහු ලංකාවේ සිටියදී රුසියාවට යාමට වීසා නොලැබුණු කාලය චීනයේ සංස්කෘතික විප්ලවය පටන් ගත් කාලයයි. මිලියන ගණනක චීනුන් නගරයෙන් ගම් වලට දැක්කීම හා වධ දී මරා දැමීම සිදු වුනි. ජැප්පා මේ ගැන මැනවින් දැන සිටියේය. මේ සෝවියට් දේශයේ ස්ටාලින් ගේ කාලයේ තිබු මර්දනය හා සමාන කාලයකි. විජේවීර කැමති වුයේ මෙයටද?

1979 චීනය ඇමෙරිකා එක්සත් ජනපදය සමග වෙළඳ සබඳතා පටන් ගත් අතර, රජය සතු දේපල පෞද්ගලික ප්‍රාග්ධනය බවට පත් කරමින් රාජ්‍ය ධනවාදය හා පෞද්ගලික දේපල අතර සම්බන්ධය ඇති කරමින් කොමියුනිස්ට් පක්ෂය යටතේ ක්‍රමයෙන් ධනවාදී ආර්ථිකයක් (චීනයේ) ගොඩ නංවන ලදී. සෝවියට් දේශයේ රාජ්‍ය ධනවාදය (දේපල රජය සතු) ක්‍රියාත්මක වූ සමාජවාදී ක්‍රමය තව දුරටත් පැවති අතර එය කඩා වැටුනේ විජේවීර ගේ හදිසි මරණයෙනුත් පසුවය. විජේවීර ගේ චීන නැඹුරුව හා පසු කාලීන ජවිපෙ හි චීන නැඹුරුව ප්‍රශ්නාර්ථයක් වන්නේ එහෙයිනි.

අපේ අධ්‍යයන කාලය 1985 අවසන් වුන අතර ඒ වන විට ජැප්පා නැවත ජපානයට යාමට තරයේ අදිටන් කර ගෙන සිටියේය. රුසියානුන් පවා දියුණු ජපානයට කැමති නම් මේ ක්‍රමයෙන් ගත හැකි දෙයක් නැත යන්න ඔහුගේ නිගමනය විය.

නමුත් කොමියුනිස්ට්වාදය අත හැරීමට ඔහු සුදානම් ව සිටියේ නැත. ජපානයේ කුඩා කාමර වල හිරවී වැඩ කරන, සමාජ සම්බන්ධතා අඩු විශාල ශ්‍රමික පිරිසක් සිටින බවත් ඔවුන් සඳහා කුමක් හෝ කල යුතු බවටත් ඔහුගේ හැඟීමක් විය. නමුත් ඒ සෝවියට් පන්නයේ සමාජවාදය නොවන බව ඔහුට පසක් වී තිබුණි. මට එය වැටහුනේ තවත් කාලයකට පසුය. ඒ අප පැමිණි ශ්‍රී ලංකාවට වඩා සෝවියට් දේශය දියුණු රටක් වීම නිසා විය හැක.

ජැප්පා පළමු අවුරුද්ද අවසානයේ නැවත ජපානයට ගියේය.මරියාද උසස් අධ්‍යාපනයට තමන්ට ලැබුන විශ්ව විද්‍යාලය අතහැර පිලිපීනයට ගියාය. කාර්ලොස් සිවිල් ඉංජිනේරු ආයතනයට ගිය අතර මම සහ ශ්‍රී ලංකාවේ සහෝදර සිසුවා සමග මොස්කව් විදුලි බල ආයතනයට (බල ශක්ති පිලිබඳ තාක්ෂණික විශ්ව විද්‍යාලය) ඇතුලත් වීමු.

සුමාන කීපයකට පසු මම නැවත භාෂාව ඉගෙන ගත් මාදි එකට යහළුවන් බැලීමට පැමිණියෙමි. මට කාර්ලොස් නැවත එහිදී හමු වුනි. කාර්ලොස් අතේ ජපානයෙන් පැමිණි කාඩ්පතක් විය. එය අප දෙදෙනාම නම් කර (මටත් කාර්ලොස්ටත්) එවන ලද්දකි. කාර්ලොස් මට කලින් එය ලබාගෙන තිබුණි. ජැප්පා, ජපානයේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් වී තිබේ. ඔහු සතුටින් සිටින බවත් අප ගැන නිතරම මතක් වෙන බවත් ලියා එව්වේය. මටත් කාර්ලොස් ටත් දැඩි ලෙස සිනා පහල වුයේ එයට නොවේ. කාඩ්පතේ යටින් තිබු මරියාගේ සටහන දැකීමෙනි. ඇය ජපානයේ ඉගෙන ගන්නා බවත් ජැප්පා සමග අප ගැනත් සෝවියට් දේශය ගැනත් කතා කරන බවත්, ඇය ජපානයට වඩා කැමති බවත් ලියා තිබුණි. අපට සිනා ගියේ අපටත් නොදැනී හීන් සීරුවේ මරියා සමග සම්බන්ධයක් හදා ගෙන ජපානයට ගිය සැනින් ඇයවද කැන්දා ගත් ජැප්පා ගැනය. අප ඔවුන්ට සුභ පතා කාඩ් පතක් යවිමු. ජැප්පා ළඟ මගේ ලිපිනය නොමැති නිසා ඔහු ආපසු මට ලිව්වා ද යන්න නොදනිමි. ඉහත පින්තුරයේ සිටින්නේ ජැප්පා ය. අවාසනාවකට මට ඔහුගේ නම මතක් වන්නේ ම නැත. නමුත් පින්තුරය තවමත් තිබේ.

ජැප්පා ගේ නම ඉසාමි බව සහසුද්දයෙන්ම කිවේ වෙනත් යහළුවෙකි. නමුත් මට මතක විධිහට ඔසාකි ය.

ජැප්පා ගේ නම ඉසාමි කොන්ඩෝ බවත් නිවාඩු නිකේතනයේ නම ඉගුමින්කා බවත් එදා මාදි එකේ සිටි සීනියර් සිසුවකු ලියා ඒවා තිබිණි.

http://kolambagamaya.blogspot.com/2015/08/blog-post_20.html

Related Posts

2 Comments

  1. jayanath sri August 21, 2015 at 3:56 pm - 

    you can write next article “The country which was not understood by Wijeweera, but the country which is correctly understood by Ranil Wikramasigha after wijeweera,s death”.

  2. editor August 25, 2015 at 10:35 am - 

    may be . I am wondering if Ranil Wickramasinghe is really a liberal or moving to left?
    thanks fro the comment.

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල