කාලීන සංවාද

පළමුවෙනි ලෝකයේ පිස්සු ප්‍රශ්න – Have you got a first world problem ?

Off

අපේ සාදුලා විසින් ගමේ ආච්චිලාට මෙන්ම නගරයේ සීයලාට ද අභිධර්මය කියා උගන්වන කතන්දරවල කියවෙන පරිදි ලෝක හැටහුටහමාරක් ඇත. “සිත මිස කය නැති බඹ ලොව සතරෙකි, කය මිස සිත නැති බඹ ලොව සතරෙකි” යනා දී වශයෙන් කියවෙන ලෝවැඩ සඟරාවේ කවි තුළින් අපි ද කුඩා කාලයේ සිටම මේ ලෝක ගැන අසා ඇත්තෙමු.

නමුත් ඇත්තටම මා නම් අත් විඳ ඇත්තේ නම් මේ පෙරේත ලෝකය පමණක් බව කිව යුතුය!

ඒ කෙසේ වෙතත්, පසු කලෙක, මට මතක හැටියට සමාජ අධ්‍යයනය වැනි විෂයයන් සඳහා හෝ නැති නම් එදිනෙදා පුවත්පත් සඟරා තුළින් හෝ “පළමු ලෝකය”, “දෙවන ලෝකය” සහ “තුන්වෙනි ලෝකය” කියා ලෝක තුනක් තිබේය කියා අපි දැන ගත්තෙමු.

මින් අපේ ශ්‍රී ලංකාව අයත් වුණේ “තුන්වෙනි ලෝකය“ටයි. එනම්, ලංකාව යනු තුන්වෙනි ලෝකයේ රටක් ලෙස හැඳින්විණි. පසුව පොලිටිකලි කරෙක්ට් නැති තුන්වෙනි ලෝකයේ රටවල් ඒ යෙදුම දියුණුවෙමින් පවතින රටවල් ලෙස වෙනස් විය.

මට මතක හැටියට, රුසියාව ප්‍රමුඛ සමාජවාදී කඳවුරේ රටවල් අයත් වූ “දෙවන ලෝකය” ගැන ඒ ආකාරයට හැඳින්වෙනු අප ඇසුවේ නැති තරම්ය. ඒ සඳහා යකඩ තිරයෙන් පිටුපස රටවල්, නැගෙනහිර කල්ලිය, සමාජවාදී රටවල් වැනි වෙනත් යෙදුම් රාශියක් තිබුණි.

ඉහත වර්ගීකරණය අද සමාජ-ආර්ථික-දේශපාලන කතිකාවන් හි දී එලෙසින් ම භාවිතා වෙනු අසන්නට නොලැබුණ ද, අද ද පළමු ලෝකය ගැන යම් සඳහනක් කෙරෙනු විටින් විට අසන්නට ලැබේ. ඒ “පළමු ලෝකයේ ප්‍රශ්න” යන නූතන යෙදුමත් සමගය.

පළමු ලෝකය නමින් එදා අර්ථ දැක්වුණේ ඇමෙරිකා එක්සත් ජනපදය, එංගලන්තය ඇතුළු ධනවාදී රටවල් ය. ඒ මුලික පදනම සහිතව ඇරඹී ඇතැයි සිතිය හැකි වුවද, අද මේ “පළමු ලෝකයේ ප්‍රශ්න” යන සරදම් යෙදුමෙන් හැඳින්වෙන්නේ කොයි රටක සිටියත් සමහර මිනිසුන්ට ඇතිවෙන, ලොවෙත් නැති, සුවිශේෂී ප්‍රශ්න විශේෂයකි. කෙටියෙන් කිවහොත්, ඒ සාමාන්‍යයෙන් මිනිසුන් පීඩාවට පත්වෙන දරුණු ප්‍රශ්න නොමැති පිරිස්, ඉතා සුළු කරුණු ගැන අනවශ්‍ය පරිදි නගන අඳෝනා හැඳින්වෙන යෙදුමකි.

මේ දෙයම පැහැදිලි කිරීම සඳහා හොඳ උදාහරණයක් නම්, ගිම්හාන කාලයේ කාර්යාලයේ වායු සමීකරණ යන්ත්‍රය දැඩි සීතලක් ඇති කරන නිසා තමන්ට කබා ඇඳගෙන සිටින්නට වෙනවා යැයි කෙරෙන මැසිවිල්ලකි.

ගිිනි ගහන අව්වේ පැය හත අටක් සේවය කරන්නන්ට මෙය කුණුහරුප කතාවකි!

තවත් එවැනි උදාහරණයක් නම්, පිඟන් සෝදන යන්ත්‍රය ක්‍ර්‍රියාත්මක කළ පසු කෑම කාමරයේ ඇති රූපවාහිනී යන්ත්‍රයේ හඬ වැඩි කිරීමට සිදුවෙන නිසා, තමන්ට මාධ්‍ය කාමරයේ හෝ නිදන කාමරයේ ඇති රූපවාහිනියෙන් වැඩ සටහන් නරඹන්නට සිදුවෙන බවට කෙරෙන කෙඳිරිලි ගෑමකි.

අද ප්‍රායෝගික තත්වය කෙසේ වෙතත්, කුඩා කළ බයිසිකලයෙන් ශාන්ත අතුකෝරල ගේ නිවසට ගොස් ටෙලිවිෂනය නැරඹූ මට එවැනි ප්‍රකාශ විසුළු සහගත වේ!

මේ ආකාරයේ ම නොවුණත්, දේශපාලනික වශයෙන් වැදගත් පළමු ලෝකයේ ප්‍රශ්නයක් මේ දිනවල මා වෙසෙන ඕස්ට්‍රේලියාවේ පැන නැගී තිබේ.

ඒ පිළිබඳව පසුව ලියමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඩොංගල් එකට සිග්නල් අඩුද?
ෆොන් එකේ 4G කවරේජ් ඩ්‍රොප් වෙනවාද?
උදේට වැඩට යන්න ඇඳ ගන්න ගියාම කොයි කමිසේ අඳින්නද කියලා තෝරා ගන්න බැරිද?
කාර් එකට පෙට්‍රොල් ගහන්න ගියාම ටැන්කිය තියෙන පැත්ත හැමදාම අමතක වෙනවාද?
එහෙමත් නැතිනම්,
අයි ෆොන් එකේ සිරිට ඔබේ නම හරියට කියන්නට බැරිද?

http://rasikalogy.blogspot.co.uk/2015_08_01_archive.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල