කාලීන සංවාද, විශේෂ

සර් කියලා කියාපන්

2
මීට අවුරුදු බර ගානකට ඉස්සර නවක ඉංජිනේරුවන් ලෙස මමත් පාලිතත්  අර්ධ රාජ්‍ය ආයතනයක  සේවයට බැඳුනෙමු . ඒ දවස්වලම අලුතින් පත් වූ  තරුණ  ඇමතිවරයෙක් අපේ වැඩබිම බලන්නට ආවේය.

ඇමති ආ දවසේ ඔහු සමග තව විස්සක් පමණ පිරිසක් ආවෝය. අපේ ලොක්කාගේ අණ පරිදි ඔහුත් මමත් පාලිතත්  ඇමති හා පරිවාර පිරිසට  වැඩහල් හා පෙරනිමි නිෂ්පාදන පෙන්නන්නට ගියෙමු.

ඇමතිවරයාගේ හා  පිරිසගේ උනන්දුව තිබුනේ තිබෙන දෙයක් උස්සාගෙන ගොස් තමන්ගේ ආසනේ කොතන හෝ සවි කර ගැනීමය. පසෙක පෙරලී තිබු නාම පුවරුවක් දුටු ඔහු කිව්වේ මේක අලුත්වැඩියා කොට අලුතින් පේන්ට් කරවා තම ගමේ නාම පුවරුවක්  සඳහා ලෑස්ති කර දෙන ලෙසය.
ඊට අමතරව සිය  ආසනයේ ඇති ක්‍රීඩා පිටියකට තමන්ගේ නම යෙදු විශාල නාම පුවරුවක් හදා ගැනීමටද ඕනෑ බව කිව්වේය .මේ ගැන යන වියහියදම් කොච්චර කල් වැඩේට යයිද ආදිය ගැන ඇසු ඔහුට  නවක අපි උත්තර දෙද්දී  සමානයෙකුට මෙන් කතා කළෙමු  ඇරත් මේ මනුස්සයාත් තරුණ  වයසේ සිටි  නිසා  සිය ගෝලයන් තරම්ම  රැස්පොට් එකක් ඔලුවට ගෙන නොතිබිණි.

මේ අස්සේ අපේ ප්‍රධාන ඉංජිනේරුවා  පැත්තකට කතා කොට අපට කිව්වේ අර ඇමති තුමාට කතා කරනකොට ඔයා මෙයා කියල කියන්න එපා සර් කියලා කතා කරන්න කියලාය.
ඒත් තරුණ හිතුවක්කරයන් වූ අප දෙදෙනාටම  මේ  ඇමැතිවරයාට සර් කියන්නට හිත නෑමුනේම නැත.
තරමක්  ලොකු යකඩ කඳන් ගොඩක් තිබු තැනක ඇමති හා පිරිස නැවතී කුටු කුටු ගාන්නට වුනේ මේක උස්සාගෙන යන්නට වටිනා බව පෙනුණු නිසාය. අපි පසෙකට වී බලා සිටියෙමු .
ප්‍රධාන ඉංජිනේරු තැන අපව එතැනින් ඔබ්බට කැඳවාගෙන ගොස් මෙසේ කිව්වේය .
.මේ උඹල දෙන්නට මං කියන්නේ අපි කාගේත් හොඳට. ඇමති කෙනෙකුට සර් කියන්න උඹල ටිකක් අදිමදි කරනවා තමයි. ඒත් අපි ආණ්ඩුවේ  සේවකයෝනේ. ආයතන ස්ට්‍රක්චර් එකේ උඩින්ම ඉන්න අපේ සබාපතිත් මේ මිනිස්සුන්ට සර් කියනවානම් උඹලට ඇයි කියන්න බැරි ?

ඒ වන විට ඇමතිවරයා හා පිරිස අප සිටි දෙසට එන්නට පිටත් වී තිබුනේය.
‘අන්න අර යකා මේ පැත්තට එනවා සර් කියල කතා කරපල්ල  හොඳද’.

මේ කතාව මට මතක් වුනේ මේ දවස්වල මුහුණු පොතේ සංසරණය වන පොඩි සටහනක් නිසාය
ඉන් කියවී තිබුනේ දේශපාලකයන්ටවත් ඔවුන්ගේ ලේකම්ලාටවත් සර් කියන්නට යන්නේ නැතිව කොන්ද කෙලින් තියාගෙන ඉන්නා හැටියටය,
ඒත් මේ සර් කියන්නා හා සර් කියා අසා ගන්නා තුල ඇතිවන මානසිකත්වය ආසියානු සමාජයේ  ප්‍රධාන මායාවක් හෝ සමාජ ප්‍රගමනයට උදැල්ලක්  වී ඇති බව බොහෝ වාරයක් නිරීක්ෂණය කර ඇත . මේ කතාවට මූට්ටු කරගත හැකි අත්දැකීම් කීපයකි.
සරසවි සිසුවකුව සිටියදී එක්තරා සම්මන්ත්‍රණයකට ආ දේශකයෙකු හා සෑහෙන වෙලාවක් සුහදව කතා බහ කරන්නට ඉඩක් ලැබිණි . මම ඔහු ඇමතුවේ සර් කියලාය. කොළඹ ආවොත් අපේ ආයතනයටත් එන්න. එවක ඔහු පුද්ගලික  ආයතනයක ප්‍රධානියෙක්  විය.
මේ හිතවත්කම එසේ තිබියදී මට ඔහු යටතේ ටික කලක් රස්සාව කරන්නටත්  සිදු විය. ඒ රස්සාවේ මුල් දවසේ මම ඔහු ඇමතුවේ මිස්ටර් අහවලා කියලාය
ඔහු මට හීන් සැරේ මේ වගේ කතාවක් කිව්වේය
‘මම කැමති නෑ කාලෙන් කාලෙට වෙනස් වෙන මුල අමතක කරන මිනිස්සුන්ට. දැන් බලන්න ඉස්සර මට ඔයා කතා කලේ සර් කියලා දැන් දැන් මිස්ටර් කියනවා. මට කමක් නෑ කොහොම කතා කරත් . සමහර විට ඔයා පස්සේ නිකම්ම නම කියලත් මට කතා කරන්න ඉඩ තියෙනවා . ඔහොම තමයි අපේ මිනිස්සුන්ගේ හැටි’.
ආයතන ව්‍යුහයේ තමාට පහලින් සිටින සියලු දෙනාම තමන්ට අනිවාර්යයෙන්ම සර් කිව යුතුයැයි සිතන බොහෝ දෙනෙක් ඉහළ  නිලධාරීන් හා දේශපාලකයන් අබියස ඉතාම නිවට ලෙස හැසිරෙනු මා දැක ඇත.
අපේ මැද පෙරදිග වැඩ බිමට පැමණි තෝමස්  නම් සුදු නිලධාරියා ‘සර්’ කියා තමන් ඇමතු ඉන්දීය ජාතිකයෙකුට බැන වැදුනේය. සර් කියන්නේ තමන්ගේ කඩේට ආපු කස්ටම්ර්ලට එහෙම නැත්නම් නයිට්වරුන්ට . මට නම කියාපන්.
මේ අතර ආසියාතික කළමනාකරුවෙක් උසස් වීමක්  ලද අලුත කලින්  ඔහු හා සම මට්ටමේ සිටි වෙනත් නිලධාරියෙකු ඔහුට නම කියා අමතනවා ඇසී බොහෝ සෙයින් උරණ වූ කතාවක්ද මා අසා ඇත
ඔහු කියා ඇත්තේ ‘ඉස්සර ඒවා තියා ගන්න එපා දැන් මට සර් කියලා කතා කරපන්’ කියලාය .
මේ සර් කියන්නා තුල ඇතිවන  දීන මානසිකත්වත්  එය අසා ගර්වය ලබා ගන්නා තැනැත්තා තුල ඇතිවන  පුහු මානසිකත්වයත් මා වැඩිපුරම දැක ඇත්තේ ඉන්දියානු හා ශ්‍රී ලාකිකයන් අතරය .

අනිත් බොහෝ රටවලදී සර් යන්න වෙළඳ හා සේවා සන්නිවේදනවලදී යෙදෙන ඇමතුමක් පමණි . සර් කියා ලිව්වා හෝ කිව්වා කියා ඉන් එහාට අරන් යන මාන්නයක් හෝ නිවටකමක් නොපවතී .

මට හිතෙන්නේ මේ විෂය ගැන හොඳ මට්ටමේ සමාජ විද්‍යා පර්යේෂණයක් තාම සිදු වී නැති බවය .
මා මුල්වරට රට රස්සාවකට යන්නට කලින් ලංකාවේදී කාලයක් තිස්සෙම වැඩ කල එක්තරා සමාගමක තරමක ලොකු තනතුරක් පැටවී තිබිණි . පුළුවන් තරමට සිම්පල් මිනිසෙකු වෙන්නට උත්සහ දැරුවද වටාපිටාව විසින් කාන්දු කරන තනතුරු ආඩම්බරයක්ද හිතේ නොතිබුනා නොවේ. මේ  කන්තෝරුවේ  සගයන් ලොකු කුඩා කා අතරත් සර් කියා අමතන පුරුද්දක් නොතිබිණි.
ඒත් සුළු සේවකයන්, රියදුරන් හා පියන්වරුන්ගේ වාග්මාලාවෙන් සර් යන්න ඉවත් කරවන්නට කවුරුත් උත්සහ නොකළහ.
‘සර් තේ එකක් ගේන්නද?. සර් ලියුම් ටික ගෙනිහින් දුන්න. සර් වාහනේ ටයර් පන්ච් එකක් තියෙනවා හදාගෙන එන්නම්’.
මේ ආදී දවසකට සර් කියා ඇමතුම් සිය ගානක් ලැබෙන පරිසරයක සිටිද්දී හදිසියේ මම රස්සාව අතහැර විදේශ ගත වුනෙමි

මට යන්න ලැබුනේ රුසියානු කලාපයේ පිහිටි කසකස්තානයටයි
බටහිර කසකස්තානයේ තෙල් කැනීම් ආශ්‍රිත වැඩ බිමක රස්සාවට ගිය දවසේ ඉතා උණුසුම්ව හැමෝටම මාව හනුන්වාදීමට අපේ කළමනාකරුවා පියවර ගත්තේය.
අන්තිමේදී සුපුරුදු පරිදි කුස්සියේ තේ හදන කාන්තාව  අමතා ‘ලිගායා මේ ඇවිත් ඉන්නේ අපේ අලුත් මහත්තයා තිලක . තේ එකක් එහෙම හදලා දෙන්න’ .

මා අලුත් කන්තෝරු කාමරයේ බොහොම සතුටින් වාඩි  වී මේ නැවුම් පිළිගැනීම් හා අල්ලාප සල්ලාප නිසා තුටු පහටුව සිටිද්දී  ලිගායා ආවය

‘තිලක තේ එකක්  හරි කොපි එකක් හරි බොන්නට කැමතිද’ ?
එය මොන තරම් යහපත් යෝජනවාක් වුවත් කන්තෝරුවේ තේ හදන කාන්තාවද නිකම්ම නම කියා මා අමතද්දී හීනි නෝක්කාඩුවක් හිතට කාන්දු විය .

තේ එකක් බොන්නට වුවමනාව තිබියදීත් මම මොකුත් එපා කීමි. ඇයට ස්තුති සිනාවක් පාන්නට පවා අමතක වුනේය. ඒ  මා විදේශ රටක රස්සාවකට ආ  පළමු දවසය.
ඉන් ටික වෙලාවකට පසු මා සිටි කාමරයට අපේ ප්‍රධානියා සමග ඇතුළු වුයේ ප්‍රියමනාප උසැති සුදු ජාතිකයෙකි. අපේ ලොක්කා මට අමුත්තා  හඳුන්වා දුන්නේය . ‘මේ ඉන්නේ ටොම් .මේ තෙල් සමාගමේ නේවාසික අධ්‍යක්ෂ , කොටින්ම අපි සේවා සපයන සමාගමේ ලොක්කා’.
මම හුනස්නෙන් නැගිට ඔහුට ආචාර කලෙමි. ඔහු ඉතා සුහදව ටික  වෙලාවක් මා සමග ආගිය තොරතුරු කතා කළේය.
‘මම දවසක උඹලගේ ලස්සන රටට නිවාඩුවක් යන්න හිතාගෙන ඉන්නේ’
මේ අස්සේ ලිගායා එතැනට කඩා පාත් වුනාය . මගෙන් ඇසු ආකාරයට තෙල් සමාගමේ ප්‍රධානියාටත් කිසි ගරු සරුවක් නැතිව නිකම්ම නම කියා ‘ටොම් තේ එකක් බොමුදැයි’  ඇසුවාය
ටොම්ට කෙසේ වෙතත් මටනම් ආයෙමත්  අමනාප සිතක් පහළ විය
ඒ වුනත්  ටොම්නම්  ඇයගේ උරහිසට අතක්ද  තිබ්බේය  . ‘නුඹ හරිම කරුණාවන්ත තරුණියක් . මට හොඳ තේ එකක් ගේන්නකෝ එහෙනම්’.
අයියෝ මම ඒක්ෂණයකින්  දියවී සල්ලම් වී ගියෙමි

 

දැන්නම් අපේ සමාගමේ ලොක්කාට නම කියා කතා කරන්න අවශ්‍ය දිරියත් කාර්යාල පිරිසිදු කරන්නා මගේ නම කියා සුබ උදෑසනක් පතද්දී සුහදව ප්‍රතිචාර දක්වන්නට පුළුවන් පිරියත් මා ළඟ තිබේ .
Image: featurefics.com
Replies:

නිහතමානී වෙන්න කොයි තරම් හිතුවත්, උවමනාවක් තිබුනත්, අපි හැදුනු පරිසරයේ අභාශයෙන් අපි ලබා ගත්තු අත්දැකීම් එක්ක ඒක ලේසි පාසු එකක් නෙමේ. අනික තමා විවිධ ජාතීන් එක්ක වැඩ කරන්න ඕන කමට එහෙම නිහතමානී වෙලා ආයේ සුපුරුදු පරිසරයෙදි අර සුපුරුදු මිනිස්සු මුණගැහුනාම පුරුදු නිහතමානී කමින් සලකන්න උනාම මූන දෙන්න සිද්ද වෙන සිදුවීම්.
එක උදාහරණයක් කියන්නම් . .
අවුරුදු 15ක් මැදපෙරදිග හිටියත් තාම මට මෙහේ ඉන්නකොට ලංකාවේ මූනක් දැක්ක ගමන් මට පුදුම කික් එකක් එන්නේ.
ඒ කික් එක නිසාම උස් පහත් බේදයක් නැතුව හොඳ හිනාවකින් හැමෝටම හිනාවෙන්නයි මට ඕනකම.
ෆ්ලයිට් එකේදි / එයාපෝර්ට් එකෙදි එහෙම හිනාවෙන එකෙන් වෙන්නේ අවුරුදු 60ටේ විතර නංගිලාගෙන් මහ හයියෙන් කෑ ගහලා මෙන්න මේ වගේ දේවල් අහ ගන්න ලැබෙන එක
“අයියා ගෙදරක ඩ්‍රැයිවින්ද කරන්නේ – කීයක් පඩිය හම්බවෙනවද?”
“අයියා ගාඩ්නර්ද ඩ්‍රැයිවර්ද?”
“අයියා සුපර්මාර්කෙට් එකක නේද වැඩ? – අවුරුදු කීයකින්ය අනේ ඔයා නිවාඩු යන්නේ?”
දීපන්කෝ උත්තර ඉතින් . .

Reply

Replies

  • දාපන් මචං පහක්.

    ඔය ඔක්කොමත් හරි අහන විස්තර ටිකට උත්තර දෙන එක තමයි ඉතිං කාලා ඉන්න බැරි.

    ඔය අන්තිමට කියපු දේ වෙලා දැන් මූණ පුම්බගෙන හිනාවක පාටක් නැතිව රවාගෙන ඉන්නේ කොහේ ගියත්.

     

  • දුකාට 150km විතර දුරින් තියෙන අල්ලපු ගමේ මම ඉන්නෙ. මේ චූටි අවුරුදු 5 ට මම දැක්ක දෙයක් තමයි. මෙහේ ඔහොම මහ හයියෙන් විවුර්තව කතා කරන 50+60 නංගිල බොහෝ අය ගෘහ සේවිකාවො එහෙම නැත්තං ක්ලීනිං කොම්පැනි වල වැඩ කරන අය. ඉහල ‍රැකියා කරන අය ගෑනු හෝ පිරිමි වේවා ලොවෙත් අනිත් අය එක්ක කතා කරන්නෑ. හෙන උනෙං ඉන්නෙ පඩ ශෝ දාගෙන(බහුතරය).ඒකත් මේ තිලකෙ කියන එකේම දිගුවක්. සුලු ‍රැකියා කරන අය ගින්නක් නැතුව අනිත් අය එක්ක කතාකරනව. ඒක ග්‍රාම්‍යයි. ඒ ඔවුන් ඔවුන්ගෙ මට්ටමින් කතා කරන නිසා.

     

  • මේ අපේ නිහතමානිකම රස්සාව කරන තැනයි සමාජ ජීවිතයෙදියි වෙන වෙනම කළමනාකරණය කර ගන්න වෙනවා නේද? මමත් බොහෝ විට වැඩිය චරෝ බරෝ ගැන මිනිස්සු එක්ක සෙට් වෙන්න අකමැතියි. සමාජ මට්ටම කොහොම වුනත් .
    ඒත් ඒ හැටි අට්ටකුනා වෙලා නැති අහිංසක පහේ කවුරු හරි .හම්බුනොත් හිනා වෙලා කතා කරන්න උදව්වක් කරන්න මම ඉදිරිපත් වෙනවා
    x porter කිව්වා වගේ උඩඟු කම නිසා පොඩි මිනිස්සු එක්ක කතා නොකරන මිනිස්සු ඉන්නවා වගේම රන්ගි හා දුකා කිව්ව විදිහේ තමන් විඳපු අත්දැකීම් නිසා පාඩුවෙ ඉන්න කැමති මිනිස්සුත් ඉන්නවා

    ඒක ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ගෙ තියෙන අමුතු මානසිකත්ව වලින් එකක්. ඒ පුංචි කාලෙ ඉදලම පරිසරයෙන් ආරෝපණය වෙච්ච දේවල්.

    දවසක් කැන්ටිමේ කෑම පෝලිමේ ඉන්නකොට අපේ විශ්ව විද්‍යාලෙ සභාපතිවරයා ඇවිත් මගේ පිටිපස්සෙන් හිටගත්තා. ඒ වෙලාවෙ මම මාර අපහසුතාවයකට පත් උනා. ඉන්නෙ ජපානෙ උනාට අර පොඩි කාලෙ ඉදලා හිතට වැටුන යම් යම් සිරිත් විරිත් ඔය වගේ වෙලාවට අපේ හිතට හරියට වද දෙනවනෙ. මම කෑම එක අරන් ගිහින් මේසෙන් වාඩි උනෙත් ඒ වගේ අසහනකාරී හැඟීමකින්. ඒත් ඔහුට ඔහු හැදුන පරිසරය අනුව ඒක කිසිම ප්‍රශ්ණයක් නැති නිසා ඔහු කෑම එකත් අරන් ඇවිත් මගේ මේසෙන්ම වාඩි වෙලා පොඩි කයියකුත් දාගෙන කාලා ගියා.

    හැබැයි ජපානෙයි තායිලන්තෙයි බටහිර රටවල වගේ කවුරුත් කාටවත් නම කියලා කතා කරන්නෑ. හැම පුද්ගලයෙක්ම අනෙක් පුද්ගලයට එක හා සමාන විදිහට ගරු කරනවා. ඒත් ඒකට තනතුරේ තරාතිරමෙ අදාලත්වයක් නෑ. අගමැති “අබේ සන්” පාර අතුගාන මනුස්සයා x සන්” වෙනසක් නෑ. අර සිල්වියාගෙ තාත්තා වගේ ඒ මිනිස්සු වැඩක් කරනකොට අදාල පුද්ගලයා ගාවට ගිහින් වැඩේ කරගන්නවා.ඒක මදි පුන්චිකමක් කියලා හිතන්නෑ අපි වගේ.
    රටක් විදිහට දියුණු වෙන්න භෞතික දේවලට වඩා අපිට ඕනි වෙන්නෙ ලොකු ආකල්පමය වෙනසක්.

    ධුරාවලි නැති සමාජයක ඇති සැහැල්ලුව ඒ අත්දැකීම ලබාගෙන පුරුදු වනතුරු තේරෙන්නේ නැත. ධුරාවලිය මැනෙන බාහිර සංකේත වලට ලැබෙන ප්‍රමුඛතාව වැඩි වන විට වැය වන්නේ වෙනත් ඵලදායී කටයුත්තකට යෙදිය යුතු සම්පත් හා කාලයයි. මෙහිම අනෙත් කොටස් වන්නේ ඇඳුමෙන් සහ පැමිණි වාහනයෙන් පුද්ගලයෙකුගේ තරාතිරම මැනීමයි. ඔබේම පැරණි ලිපිවලත් මෙවැනි තැන් තිබුණා වගේ මතකය. සමහර ක්ෂේත්‍ර වල රැකියා අරඹන තරුණයින් බස් එකේ යන්නේ හෙල්මටයක් ෂොපින් බෑගයක දමා ගෙනය. පාරිභෝගිකයෙකු හමුවීමට පෙර ෂොපින් බෑගය සාක්කුවට යයි. ගඩොල් බාග යුගයේදී සෙල්ටෙල් එකක් සාක්කුවේ දැමීමට බැරි වුණත් ඉතා ඉක්මණින්ම ජංගම දුරකථන සාක්කුවේ දැමිය හැකි තරමට කුඩා විය. එහෙත්, මේවා සාක්කු වලට ගියේ ධුරාවලි සංකේතයක් ලෙස තිබුණු වැදගත්කම නැති වූ පසුවය. මේ ෆෝන් වල සමහර වෙලාවට සම්බන්ධතා නැත. මෙහෙම අයට වූ අවුල් ගැන කතා ඇතත් ලියන්නට නොසිතෙන්නේ එයින් හාස්‍යයට ලක්වන්නේ වැරදි තැනක් නිසාය.

    ටික කාලයකට ඉහත මමත් විදේශ රටක අපේ නගර සභාවක් වගේ එකක සේවය කලා. ඒ කාලයේ දුම් බොන අයට කෝපි බීම සඳහා එක කොටසකුත් අන් අයට වෙනම කොටසකුත් තිබුණා. මමත් ඉතින් දුම් බොන්නකු වශයෙන් එම අංශයෙ ‘සාමාජිකයෙක් උනා’. එම නගර සභාවේ පිට වැඩ කරන අය එනම් මලපහ මාර්ග සුද්ද කරන්නන් ඇතුළු සියළුම දෙනා දුම් බොන්නන්. ඔවුන් අඳින්නේ ඔවුන්ගේ රැකියාවට අදාල ඇඳුම්. සීත කාලයේදී බොහෝ විට අපි ඇන්ඳේ බ්ලේසර් එකක් සහ ටයි පටියක්. රැකියාවේ තත්ත්ව තරාතිරම් නැති එම රටේ අපි ඔක්කොම එකම මේසේ වාඩිවී තේ බොන්නේ මචං වලට සමාන වචනයක් එකිනෙකා ඇමතීමට භාවිතා කරමින්.

    තවත් මතකයක් තමයි මගේ අංශයේ අය දවස තුල කල වැඩ ටයිම් ශීට් එකක් සදා ඉදිරිපත්කලවිට මට එය අනුමත කිරීමට තිබුණා. එක් දිනක් මම මගේ අංශයේ පහලම වැඩ කොටසක් කරන තරුණියකට වසරක් අවසානයේ කළයුතු යමක් කිරීම ආරම්භ කරන ලෙස උපදෙස් දුන්නා. පැය තුනකට පසු මට මතක් උනා ඇය එම දේ කිරීමට පෙර මම යමක් සම්පූර්ණ කළ යුතුයි කියා. එම නිසා මම ඇයට එම කාර්‍යය නවත්වන ලෙස දැනුම් දුන්නා. ඊලඟ සතියේ ඇයගේ ටයිම් ශීට් එකේ අදාල පැය තුනක කාලය සඳහා ඇය ලියා තිබුණේ ” “මගේ නම’ ට පැහැදිලි තීරණයක් ගැනීමට නොහැකිවීම නිසා මෙම කාලය අපතේ ගියා’ කියායි. (Wasted 3 hours as X could not make up his mind) එය දුටු මට පොඩි පහේ තරහක් ආවත් එය ඇත්ත නිසා මම එය අනුමත කලා.

    අපිටනම් ජොබට යන්න කලින් ඉන්ඩක්ෂන් එකේදිම කිවුවා මෙහෙ සර්ලා මැඩම්ලා නෑ කියල.

    හැබැයි බ්ලොග් ලෝකෙදි සහෝදර බ්ලොග්කරුවන්ට නම කියලා කතාකරන්න ගිහින් මම ඇතිතරම් බැනුම් අහගෙන තියෙනවා අනිත් බ්ලොග්කරුවන්ගෙන්. සමහරුනම් මුට්ටි ඇල්ලීමේ මානසිකත්වයෙන් කමෙන්ට්වලම දොස් කියනවා. තවත් සමහරු ඉන්බොක්ස් කරනව උපදෙස් මාලාවක්. තවත් මොන කතාද ඉතින්!

    Anonymous

    පරිපාලන විවෘත පාස් වුන අයගෙ ආකල්ප දන්නවනම් ඔහෙල හිනාවෙලා නහිනවා. මගෙ කියුබිකල් එකට එහා පැත්තෙ හිටියෙ පරිපාලන පාස් වුන කෙල්ලෙක්. මට ඇහෙනව ඒකි යාළුවො එක්ක කියන කතා.සාරි ගන්න ගියාම කඩේ එවුන් එක්ක වලිලු ,ලොකුම ප්‍රශ්නෙ මොකක්ද දන්නවද දුම් රියේ සෙකන්ඩ් ක්ලාස් එකේ කළමනාකරන සහකාරල , කාර්යාල සේවක සේවෙ අය යන එකලු.කෝච්චියෙ දෙවෙනි පන්තියෙ සල්ලි දීල ඒ මිනිස්සු යන එකටත් මේ අය කැමති නෑ. ක්ලාක්ල පියන්ල ගැන කතා කරන්නෙ ” අනේ එහෙම අයත් එනවද ,එහෙම අයත් එහෙම ඒවට දානවද ” වගෙ නිකම් කැත විදියට .

    මේ නිකම් සාමාන්‍ය උපාධි තියන අය.කිසියම් විශය ප්‍රවීනත්වයක් තියන අයත් නෙමේ. ඉංජිනේරු සේවය වගෙ රාජ්‍ය අංශයෙ සමාන්තර සේවා වල මේ තත්වය දකින්න නැති තරම්. ඊට හේතුව ඒ අය පෞද්ගලික අංශයෙ රැකියා කර අත්දැකීම් ඇති නිසා.
    මේ අයගෙ පඩිත් පිටරට යන ගෘහසේවිකාවන්ගෙ පඩියටත් අඩුයි (මැලේසියා ,සිංගප්පූරු ) .වැඩවසම් රදලයො වගෙ හිතන්නෙ.

    මේක ලිව්වෙ දියුණු රටවල තත්වය ගැන තිලක ගෙ විග්‍රහය ලංකාවෙ මේ වගෙ අයගෙ මානසිකත්වය එක්ක සසදන්න.

    තිලක කියන ආයතනවල ටොම් ල ඇත්තටම ලොක්කො.සර් මැඩම් කියන වචනවලට උරුමකාරයො.
    අර පරිපාලන කෙල්ලො මැඩම් කියන වචනෙ ඇහෙනකොට මූණ මලක් පිපුන වගෙ ක්ලාක් කෙනෙක් මැඩම් කෑල්ල නැතිව කතා කළොත් මූණ කජු ලෙල්ල වගෙ.
    නමුත් විශ්ව විද්‍යාලවල ත් මේ තත්වය අඩුයි නේද .මිස් කියල කියපුවම ප්‍රමාණවත්.ඒ අය කථිකාචාර්යවරු වුනත් . සමහරුන්ට ආචාර්ය උපාධි තිබුනත් මිස් ප්‍රමානවත්. පරිපාලන කජුකිරි කෙල්ලන්ට මැඩම් කියල දනගහල වදින එක ඕනමයි.

    හොඳ ලිපියක් මේ රටේ සර් කියන වචනේ මට ඇහිලා නෑ. සුපර්මාර්කට් එකේදිවත්. කොහෙදිවත්.. එයාලා කෙලින්ම නම කියලා කතා කරන්නේ. අනික ලංකාවේ දුරකථන සමාගම් වලට කතා කරාම එපා වෙන්නම මැඩම් සර් කියනවා කිසිම තේරුමක් නැතුව.. ඒ අපේ මිනිස්සු එයාලට ම රඳවා ගන්න වෙන්න ඇති,, මෙහෙ රටේ නායකයට කියන්නෙත් කෙලින්ම එයාගේ නම.. බීබී නෙතන්‍යාහු.. පොලිසියේ අයට කවදාවත් සr කියන්නේ නෑ,, පොලිස් කාරයන්ව ගණන් ගන්නේ නෑ විශේෂයෙන්,,, එයාලත් සමාජයේ යම් රැකියාවක් කරන පිරිසක් විතරයි..අපේ ආසියාතික රටවල තත්වය ඔයා හොඳට පැහැදිලිව ලියලා තියෙනවා

    අපිට නම් ඉතින් දවසක් සීනියර් උනත් සර් තමයි.. :p මරු ‘සර්’ සීන් කීපයක්ම තියෙනවා නේවි එකේ ෆේමස්.. හිටපු නාවික හමුදපතිකෙනෙක්; බොහෝම බලගතු පුද්ගලයෙක් නාවික හමුදාපති උනාම නීතියක් දාල තිබ්බ සියලුම ‘බැචා’ ල තමුන්ට මින් ඉදිරියට සර් කියල කතා කරන්නොනේ කියල.. ඒක එයාගේ එක ‘අධිෂ්ටානයක්’.. මගේ බැචෙක් අපි ජොයින් වෙච්චි අලුතම සීනියර් බැච් එකේ එකෙක්ගෙන් අම්බානට ගුටි කෑවා ‘මචං’ කියල.. බැලින්නම් උන් දෙන්නම එක ඉස්කෝලේ එක පන්තිවල, එකට නේවි ඉන්ටර්විව් ඇවිත් අපේ එකා ඉල්ලපු බ්‍රාන්ච් එකේ වෙචාන්සියක් නැතුව එක බැච් එකක් පස්සේ ජොයින් වෙන්න වෙලා.. යාළුවා දැකපු ගමන් සන්තෝසෙට ‘මචං’ කියල.. කියුව තමයි.. හැක හැක..
    හමුදා පුද්ගලයෝ සිවිල් සමාජෙට ඇවිත් ‘ප්ලග්’ වෙන්න අමාරු එක තැනක් තමයි ඕක.. අවුරුදු විසි ගානක් තරු පටි ගහගෙන රැස්පොට් එකේ ජාතික කොඩිය තියපු මේසෙක තනි කාමරේක වාඩි වෙලා ඉඳල එළියේ ඔෆිස් එහෙක වැඩට ආපු පලවෙනි දවසේ අවුරුදු 18-20 ‘ඇච්ච කොල්ලෝ’ ඇවිත් මෙසේ කොනකින් වාඩිවෙලා xxx කියල නම කියල කතා කරනකොට කොහොමද දැනෙන සනීපේ.. හිහ් හිහ්.. උඩින් රවී අයිය කියුව වගේ බොස්ට නම කියල කතා කරන්න දිව නැමෙන්නේ නැති අමාරුවක් මටත් තාම තියෙනවා.. හොල්සිම් එකේ වැඩට ගිය අලුත ඔය තත්වෙට හුරු වෙන්න පට්ටම අමාරු උනා.. දැන්නම් ඒ හැටි ගානක් නෑ.. දැන් ඒ වෙනුවෙන් තියෙන හොඳම ආදේශකය ලොකු පොඩි හැමෝටම ‘මහත්තය’ කියල කතා කරන එක..

Related Posts

2 Comments

  1. sanka August 28, 2015 at 5:54 am - 

    I was a International Relations Adviser to a government organisation in Sri Lanka from 2011 to 2014. I was totally new to this Sir culture and in the work place. But my refusal to call the chairman of the organisation created me huge problems. Threats from directors and orders that i must call the chairman sir and comments that i dont know how to work in a structure were very common. Chairman him self didnt asked me to call him Sir at the beginning but later he also wanted it i strongly assume.

  2. Upasena Hewage September 2, 2015 at 8:03 am - 

    If we are bring about equality in Sri Lankan society, we have to do away with Sir and madam at the work place. It is somthing we can adapated from the western society without any hesitation. It saves ur time as well.

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල