කාලීන සංවාද

නාමල් උඩුගම සැත්කම සඳහා…

Off

මාතලන් මේ දින ටිකේ උන්නේ අනුරාජපුරේ නිසා, කොළඹ ආවේ ඉඳලා හිටලාය. ඒ විශේෂ අවශ්‍යතාවයක් සඳහාම පමණි. ඒ ඇර අනුරාජපුරෙන් පිට වූයේ, මුලින් “චෙෆාකි” නම් සොඳුරු බ්ලොග් කරුවා හමුවීම වෙනුවෙනි. ඊට පස්සේ ආවේ, අප කාගෙත් හිතවත්, “පත්තර මල්ලිගේ” කුප්‍රසිද්ධ පාටිය වෙනුවෙනි. ඒ සොඳුරු දින දෙකම ජීවීතයේ කිසිදා අමතක නොවන සොඳුරු මතක සටහන්මය. මේ දින ටිකේ පෞද්ගලික වෘත්තිය අරගලයක නිරත වෙමින් සිටින නිසා, ඉන්නේද කොළඹය.

හාමිනෙත්, පුත්‍ර රත්නයත් නාමල් බලන්නට ගොස් තිබිනි. අනිවාර්යයෙන් යා යුතු ගමනක් වූ නිසා, මස්සිනා පොඩ්ඩත් කොළඹ ආ ඊයේ රාත්‍රියේ, අපේ කාළයේ සිහින කුමරා වූ නාමල් බලන්නට ගියෙමු.

රියල් නාමල් යනු සමාජය දන්නා චරිතය නොවේ. අපේ භාෂාවෙන් කියනවා නම්, නාමල් උඩුගම යනු පිස්සු සාගරයකි. ඕනෑම දෙයක් විහිළුවට හරවා ගත හැකි, සෑම මොහොතකම සෑම දෙයක්ම සැහැල්ලුවෙන් දරා ගත හැකි නියම මිතුරෙකි. කෙල්ලන්ට පිස්සු හැදෙන රූප සොභාවකි. කොල්ලන් ගල් ගහන්නේ ඒ නිසාවෙන්මය. ඒත් ගල් වලින් සංග්‍රහ කළ කොල්ලෝත් හොරෙන් හොරෙන් ඇසුවේ නාමල්ගේ සින්දුය.

නාමල්ගේ පළවෙනි කැසට් එකේ තිබුනු ගීත සියල්ලම, ඒ කාළේ කෙල්ලන්ට පමණක් නොව, කොල්ලන්ටද කට පාඩම්ය. එය එසේ නොවනවායි කියන්නේ නම්, එය පට්ට බොරුවකි. කෙල්ලන් නාමල්ට කොතරම් පිස්සු වැටි සිටියාදැයි, සංගීතවලදි මෙන්ම, පාර තොටේදී පවා අප අත්දැකීමෙන්ම දැක ඇත්තෙමු.

සිහිණ කුමාරයකු වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. කළක් සිහිණ කුමරුන් සිටියේ සිනමාවේය. එයින්ද විජයට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. ඒ තැන ගත හැකි කිසිවකු හෝ අප ජීවීත කාළය තුල නම් නැවත් පහලව නොවන බව ඉඳුරාම විශ්වාසය.

විජයගේ කුරීරු ඝතනයෙන් පසු ඒ තැන යම් තරමකට සනත්ට තිබිනි. සැටලයිට් නෝනාගේ ඔඩොක්කු කුක්කකු වන්නෙත් ඒ පිනෙනි. කමල් අද්දරආරච්චිද යම් තරමකට ඒ තැන ගත්තද, රමණි බර්තොලමියුස්ගේ හුටප්පරෙන් පස්සේ, කෙල්ලෝ කමල්ට බිය වන්නට ඇත. අද සිනමාවේ සිහිණ කුමරුන් ඇත්තේම නැත. ටෙලි නාට්ටිවල තත්වයද් එසේමය.

ජෝති අතිශයින් ජනප්‍රිය ගායකයෙක් වුවද, සිහින කුමාරයෙක් නොවීය. එහෙත් විජයගෙන් පසු උන්මාදයක් මෙන් ඒ තැනට පත් වූයේ නාමල් උඩුගමය. ඉන් පසු ෂෙහාන් මිහිරංග, නාමල්ද අභිබවා ගිය බව සඳහන් නොකරන්නේ නම් මේ පෝස්ට් එක බල්ලාට දැමිය යුතුය.

අප නිවසට යන විට නාමල් පුත් නෝමිත හා දුව දැහැමි සමග වාහනයෙන් රවුමක් ගැසීමට ගොස් තිබිනි. ඒ ගෙදරටම හිරවෙලා ඉන්නට බැරි නිසාය. ටික වෙලාවකින් ගෙට ගොඩ වූයේ වයසක මුත්තා කෙනෙකි.

මාතලන් ඇසුවේ ආ නාමල් සීයා කොහොමද කියාය. සුපුරුදු උත්තරය කටෙන් එලියට ආවේ නිමේෂයකිනි. සීය නෙමෙයි මචං… දැං මම දෙසියා… ඒ කාළේ කරපු පිස්සු විකාරද, නාමල් මිය ගිය පුවත අසා නිවසට පැමිණි පිරිස් හා සම්බන්ද රස කතාද, සියල්ලන්ගේම සිනා හඬ මැද දිගටම ගලා ගියේය. නාමල් තරමක සුවයක් දැන් ලබා ඇත.

ලබන 23 වෙනිදා නාමල් සහ ඔහුගේ ලිවර් ට්‍රාන්ස්ප්ලාන්ට් ශෛල‍යකර්මය සඳහා ඉදිරිපත්වූ හිතවතුන් දෙදෙනාද සමඟ ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්වේ. ඒ සියල්ල සඳහා වැය වන මුදල අති විශාලය. වත්මන් ආන්ඩුවෙන් මේ වන තෙක් කිසිම උපකාරයක් ලැබී නැත. ඒත් මහින්ද මහත්තයා සිටියා නම්, මේ සියල්ලම රජයෙන් සිඳුවන බවත් මාතලන් විසින් උන්නැහේට උපහාර පිණිස ලියා තියනවාය.

Namal-Udugama-20150210

ඔහුට උපකාර කිරීමට බොහෝ පිරිසක් ඉදිරිපත් වී සිටිති. එහෙත් නාමල් පැවසුවේ යම් කිසි කෙනෙකුට උපකාරයක් කිරීමට කැමති නම්. කෙලින්ම ඔහුගේම ගිණුමට එය බැර කරන්නේ නම් එය ඉතා පහසු බවකි.

කිසිවකු හෝ උදව් කිරීමට කැමති නම්, ගිණුමේ තොරතුරු පහත සඳහන් වේ.

B.P.N. Udugama
NSB Wattala
A/c No. 100850402613

ලංකාවේ වී පර්යේෂන ආයතවලට අමතරව, නාමල් විසින්ද වී වර්ගයක් සොයාගත් බව අපට කීවේ තිලක් කුමාර රත්නායකය. ඒ නාමල්, කුමාරසිරි පතිරණ හා ෂශී විජේන්ද්‍ර එකතුව කළ, “තුන් සිතක ගී” ප්‍රසංගයේය. කලක් කුමාරසිරි පතිරණද දරුණු ලෙස රෝගාතුර වූයේය. ශෂී නම්, සිංහල සිනමාවේ පෙර පිනකට සිනමාවෙන් මෙන්ම ගායනයෙන්ද සමු ගත්තේය.

නාමල්ට උපහාර පිණිස, බත්තිරම්ගේ නාමල් ප්‍රසන්න නාමල් උඩුගම විසින් සොයා ගත් වී වර්ගයෙන්ම මේ පෝස්ටුව ලිවීම නවතනවාය.

තනි”වී”………..
තනි”වී” නෑ ඔබ ළොව සොඳුර..

“සමුගන්නේ නෑ…. වෙන් වන්නේ නෑ…. කෙදිනක හෝ අපගෙ සිතුම් පැතුමන්, ඉටුවේවී……”

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල