කාලීන සංවාද, විශේෂ

අවුල් වුනු ලිබරල් හන්දිය , දොන් කොර්ලියෝනේ සහ ලිබරල් ජවිපෙ

Off

“දවස් කීපයක් බැලුවත් හරියන්නේ නැතිය. මේකාට නම් හොඳටම අවුල් වගේය. නෙලුම් යාය දාල බ්ලොග් පල කරහම බ්ලොග් නැති වෙනවා කියා දහ අතේ දිවුරුවේය. මයියා කියන කතාව හරි කිව්වේය. පලු පැලෙන්න ළඟ නැති නෙළුන් අජියාට බැන වැදෙනවාය. ඇත්තටම තමුන්නැහේ ට මොකද වෙලා තියෙන්නේ කියල ඇහැව්වාම, “මාව තේරුම් ගන්නේ නැහැනේ උඹල” කියල අඬනවාය. තෑගී දුන්නහම බ්ලොග් ලියවෙන්නේ නැතය, නිර්මාණ ශක්තියටද මොකක්ද එකට කෙල වෙනවා ය කියා හතර හන්දියක් ගානේ දෙස් දෙවොල් තියනවාය. ක්ලස්සික් බොනපාර්ට් කැරැස්ටරිස්ටික්ය ”

ඒත් මේ සොඳුරු අවුල් වූ හංදියා ට මම කීවේ කාලය එළඹෙන විට සියල්ල හරියන බවත් වැටහෙන බවත්ය. සම්මාන දීමෙන් බ්ලොග් වලට කෙළ නොවෙන බවත්ය. හන්දියා අන්තිමට එයට එකඟ වුවත් අපි දෙදෙනාගේම පහන් සංවේගයට හා ආදරයට කාලයක් පාත්‍රවූ “පස්සයට” මගේ ඇති නිර්පාක්ෂික භාවය මගේ කුහක කමක් හා දේශපාලන අවස්ථාවාදයක් ලෙස විස්තර කිරීම ගැන නම් මට මල පැන්නේය. කොටින්ම කිවහොත් අහවල් “පස්සයට” මගේ අකමැත්තක් නැත. දුෂණයට, භීෂණයට විරුද්ධව පසුගිය පාර්ලිමේන්තුව තුලත් පිටත් ඔවුහු සෑහෙන හඬක් නැගූහ. ඒකාධිපතිවාදී බලයන්ට විරුද්ධව හඬ නැගූහ, ඒ නිසාම මර්දනයට ද ලක්වුහ. නමුත් දෙමුහුන් න්‍යායක් හදමින් නරෝද්නික්වාදී නැගිටීම් දෙකක් කරමින් ජන අරගලයන් අවුරුදු ගණනක් පස්සට තල්ලු කලේද ඔවුහුමය. ඒ නිසා විවේචනයක් තිබේ. ඒ ආදරණිය විවේචනයකි. කණ ආදරයෙන් අතගා ඔළුවට සැරෙන් ටොක්කක් ඇන්නේ නැත්නම් මුන් අවදි වෙන්නේ නැතිය. ඒ විවේචනය කුහකකමක් හෝ අවස්ථාවාදයක් වන්නේ නැත.

බ්ලොග් ගැන කතා කරනවා නම් සිංහල බ්ලොග් කලාවක් දියුණු කිරීමට කවුරුවත් නෙලුම් යාය පටන් ගත්තේ නැත. අවශ්‍ය වුයේ බ්ලොග් කරුවන් වැඩි කිරීමට, බ්ලොග් හැම තැනටම ගෙන යාමට සහ ප්‍රචලිත කිරීමට කියා කියන්න පුළුවන් හැම තැනම කියා තිබේ. බ්ලොග් කරුවන් උනන්දු කිරිමටත් සංවාදයක් ඇති කිරීමටත් කැප වෙනවාය කියා දිවුරා පොරොන්දු වී නැතත් එහෙම දැනටමත් වෙනවාය. මේ සිංහල, දෙමල , ඉංග්‍රීසි යන භාෂා තුනෙන්මය. සිංහල බ්ලොග් කලාව සඳහාම සින්ඩි ත් ගහක් ගලක් ගානේ තිබේ.
සිංහල බ්ලොග් කියවනය, ඉන්දි .කා , මාතලන්ගේ සින්ඩිය, අජිත් කුමාරගේ සින්ඩිය ලඟදි පිටියට බඩ ගෑ කුරුටු ගෑ ගී පවුරේ සින්ඩිය ද තිබේ. අටමාද තරහට වගේ එකක් අටමාගෙන තිබේ. හන්දියාට මේක ඔළුවට වක්කරලා දෙන්නට බැරිය.

හැබැයි හන්දියෝ මෙහෙම ප්‍රශ්නයක් තිබේ. අපේ දොන් කොර්ලියෝනේ බොහොම දක්ෂයෙකි. තමන් ට විරුද්ධ අය පවා හරවා ගෙන තමන් ගේ අදහස් සුක්ෂමව ප්‍රතිවාදියාගේ මොළයේ කරකැවීම ට දක්ෂයෙකි. හංදියා නිතර කතා කරන භාෂාවෙන් කියනවා නම් “හුලයට මොකන්නෙකි. ” මෙහි අවසන් ප්‍රතිඵලය වුයේ බ්ලොග් ලෝකය පැත්තකට දමා හංදියා, හන්දියක් ගැන ලිවීමට පටන් ගැනීමය. මට කුණු හබ්බයෙන් බැන වැදුනේ අහවල් පස්සය ගැන නොලිවීම ගැන නිසා නම් හංදියා ගේ අදහස මට තේරුම් ගත හැකිය. ඒත් හංදියා බ්ලොගය නොලිවීම ගැන කොල්ලන් සහ බල්ලන් බනින්නේ මටය. බ්ලොග් ලෝකයම පාවා දුන්නේ හංදියාය. මට මාර ජොලිය.

හංදියා තීරු රචකයෙකු වීම මගේ අමන්දානන්දයට හේතු වුනත් මූ ඒක කලේ මට බැන වදිමිනි. මට දැන් හේතුව තේරී තිබේ. තීරු රචකයෙකු හා පස්සයට ජන මාධ්‍යවේදියෙකු වීමේ උණෙන් පෙළුණු අවුල් වූ හන්දියා ට හිත හදා ගැනීමට බැනීමට එකෙක් සිටිය යුතුය. (හික්ස්)

හැබැයි පස්සයට සපෝර්ට් කරන්නට පටන්ගත් හන්දියා චන්දෙ දවසට කලින් දවසේ පස්සය සමුලඝාතනය කළේය. කොටින් මමූ පස්සය ලිබරල් කළේය.

හන්දියා කීවේ න්‍යාය අවශ්‍ය නැති බවය. සෝවියට් දේශය වැනි රටවල් ලෝකයේ තිබ්බත් නැතත් ඒවා ගැන කතා කිරීම හන්දියාට අනුව කාටවත් අවශ්‍ය නැතිය. කතාව ඇත්තය. පන්ති පහක් කලහම දැනුම ඇති යයි සිතූ කාලයක් ද විය. න්‍යාය පොඩ්ඩක් හා භාවිතාව ගොඩක් තිබ්බාම වැඩේ ගොඩය. වැඩේ ගොඩ වීම හෙවත් ඇන ගැනීම නම් හැමදාම කෙරුණි. බලාගෙන යනවිට හන්දියාගේ භාවිතාවද දෝරේ ගලාගෙන යයි. හන්දියාගේ ලොකුම ප්‍රශ්නය දීප්ති කුමාර ගුණරත්නගේ න්‍යායවාදයයි. දීප්ති කරන්නේ හෝ කරන්නට තැත් කරන්නේ හඩු ගැහුණු පරණ පුස් බැඳුනු ලංකාවේ මාක්ස්වාදයට ජිජැක් ලැකාන් ලා ඇසුරෙන් වත් නව ජීව වායුවක් පිඹීමට මිස හන්දියා වැනි ලොං හැලුණු ජෙප්පන්ට න්‍යාය කියා දීමට නොවේ. කුමාර් ගුණරත්නලා හදන්නේ ජවිපෙ මාක්ස්වාදී කොටස තමන් ගේ කරට ගැනීමට නිසා ඒ ගොල්ලන් බලන්නෙත් ජවිපෙ කෑල්ල දිහමය. ඒ ගැන උන්ට වරදක් කීමට බැරිය. උන් වුනත් පොඩ්ඩක් වෙන්නට සුමිත් චාමින්දගේ “භාව සත්තා නිමේෂයේ ” රිංගන්නේත් ඒකය. විජේවීර ෂන්මුගදාසෙන් ගෙන් අයින් වෙච්ච් දවසේ ඉඳන් කලෙත් ඕකමය. මේ දෙගොල්ල ගේම මහා අනෙකා ජවිපෙ වී ඇත්තේ ඒ නිසාය. නමුත් මේ පක්ෂ චන්දෙ ඉල්ලුවාය කියා ජවිපෙ චන්ද වලට වෙන කෙහෙල්මලක් නැත. ඒ පක්ෂවලට ගිය ඈයෝ එහෙම ගියේ ආයි ජවිපෙ පැත්ත බලන්න නෙමේය. එතනින් කැඩෙන චන්දයක් නැත. දැන් චන්දෙන් පස්සේ වත් ඒ බව තේරිය යුතුය.

හන්දියා ඒ වෙනුවට කිවේ ජවිපෙ වඩ වඩාත් ලිබරල් විය යුතු බවය. හන්දියාට පෙනුන විධිහට අනුර කුමාර, බිමල්, විජිත හේරත් ගේ සිට ලාල්කාන්ත දක්වා ඔක්කොම පට්ට ලිබරල්ය. හඳුන්නෙත්ති මාර ලිබරල්ය. කොච්චර ලිබරල්ද කියනවා නම් ආසනයද පැරදුනේය. ඇයි හන්දියෝ, නව ලිබරල් ධනවාදය හොඳටම ක්‍රියාත්මක කරන්න යුඇන්පී කියා එකකුත් තියෙන එකේ, ඒකෙ අනුර වගේම කැරිස්මටික් අගමැති වුනු නායකයෙකුත් ඉන්න එකේ මිනිස්සු ලිබරල් ජෙප්පන්ට චන්දෙ දෙන්නේ මොකටද කියා හිතුනේ නැත්ද? මේක තනිකරම දොන් කොර්ලියෝනගේ සීනි තැවරු ගුලියක් එහෙම පිටින්ම ගිලල ලියපු එකක් වත් දෝ කියා හිතුනත් මට පස්සේ හිතුනේ බෝතලේ මාරු වෙන්න ඇති කියලාය.

හපුට්ටන්ට කුරුට්ටන්ට බනින්ට කලින් න්‍යායක් දන්නෙත් නැත්නම් කියන්නට තිබ්බේ අඩුම ගානේ විජේවීර ගේ දෙමුහුන් න්‍යාය වත් අනුගමනය කරන්න කියලා ය. යුඇන්පී එකට චන්දෙ දෙන එවුන් ජෙප්පන්ට චන්දෙ දෙන්නේ නැත. පාවෙන චන්දය දෙන එවුන් වඩා ලිබරල් පාටියට චන්දය දෙනු ඇත. කියන්නට තිබ්බේ “මෙන්න ඇස්ටි හැලෙන සමාජවාදය අලුත් මුහුණුවරකින් “, “රතු වෙනුවට ඊස්ට්මන් වර්ණයෙන් ” “අයිස්චාර්යා රායි රංගනයෙන් ජිප්සීස් මි විතෙන්, කපුගේ බයිට් කරමු ” වගේ දේවල්ය. ශ්‍රී ලංකා එකේ චන්ද කියක් හරි කඩා ගන්නට තිබුනේය. මොකද අර කවුද කීවා වගේ කවන්ධය නැති වෙන ශ්‍රීලනිපයේ ඔලුව ජෙප්පන් ගේ විය යුතුය. මේ ඇවිල්ලා 56න් පස්සේ අනාථ වුනු ජාතිවාදී දරු කැලය. 2005 දී රාජපක්ෂ මහත්තයා එක්ක සෙට් වෙච්ච සෙට් විල්ල නැගලා ගියේ ඒකය . දැන් රට බේරා ගෙන ඉවර නිසා හන්දියාට ඕන වුන පලියට ලිබරල් යන්නට බැරිය. ලංකාවේ උන් එක්ක අවංක වී බැරිය. ලිබරල් යනවා වුනත් කියන්න ඕනේ ජනසතු කරනවා කියලාය. ඔය එක එක ධනපති ව්‍යාපාරික උන් එක්ක ගිවිසුම් ගැහුවේ ඇන ගන්නමය. අඩුම ගානේ “අපි චීන ක්‍රමය ගෙනෙනවාය” කියා කිව්වා නම් අර බිල්ඩින් වැඩ නතරවී වැලේ වැල් නැතුව ඉන්න උන් ටිකගේ චන්ද ටික හරි ගන්නට තිබුනේය.

අඩුම ගානේ ජේ ආර් ගෙන් ඉගෙන ගත්තේ නැත්ද කියා හිතෙන්නේ මේ වෙලාවටය. විවෘත ආර්ථිකය ගෙනත් ලංකාව නම් කලේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා ය. කොහෙද සමාජවාදය කියා කවුරුවත්ම ඇහුවේ නැතිය.

දැන් කෙළවී හමාරය. හපුට්ටෝ හා කුරුට්ටෝ ද සිනාසෙති. අවුල් වුණාම ඔහොම වෙනවාය. දැන්වත් පොඩි න්‍යායක් හරි ඉගෙන ගන්නවා නම් හොඳය. එන්ෆිල්ඩ් පැත්තේ අවොත් නොමිලයේ ටියුෂන් පාරක් වත් දෙන්න පුළුවන්ය.

උදාහරණයකට කියනවා නම්,

බීලා නැති වෙලාවට තනිකරම අවුල් වුනු හන්දි ගැන ලිවිය හැකිය. බීර බෝතල් දෙකකින් ශේප් වෙන වෙලාවට එකම හන්දියක් ගැන රිපීට් කල හැකිය. වොඩ්කා එකකට සෙට් වෙන කොට කාගේ හරි හතර හන්දි ගැන ලිවිය හැකිය. බැරි වෙලාවත් විස්කි වඩියකට සෙට් වුනොත් කොම්පඤඤ වීදියේ හන්දියටම යා හැකිය.

ලිබරල් හන්දියට උඹට දැන්ම යන්ට බැරිය. ඒක තවම කොළ පාටය.

පස්සයේ සමුළුවට ආ අසහාය ගායක තුමාගේ වදනකින්ම කෙළවර කොරනවාය. මාත් අඩියකට සෙට් වුණාම කියන්නේ දැන් මේවා ය. කපුගේව ඕනේ කාටද බන් දැන් ?

“නුඹ නාඩන් නුඹ නාඩන් උඹට ඕව හොඳ පාඩම්.”

හන්දියට මෙතැනින් ගිය හැකිය.

http://kolambagamaya.blogspot.co.uk/2015/08/blog-post_24.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල